UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

නිවැරැදි සංකල්පනාවෙන් ජීවිත සාරය ලබන්නෝ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අසාරේ සාරමතිනෝ
සාරේ චාසාර දස්සිනෝ
තේ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා

සාරාංච සාරතෝ ඤත්වා
අසාරංච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා

සුපින්වතුනි,

සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර බිම්බිසාර මහරජතුමන් විසින් කරවා පුද කරන ලද වේළුවනාරාම මහාවිහාරයෙහි වැඩවසනසේක් “සංජය” නම් පිරිවැජියාගේ ආධානගාහී මිථ්‍යාසංකල්පය අරමුණු කරගෙන සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා ප්‍රධාන සිව්වනක් පිරිසට ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.

රජගහ නුවර බ්‍රාහ්මණ මහාසාර පරපුරකට අයත් නැණවත්, ගුණවත් කෝලිත, උපතිස්ස යන නමින් ප්‍රකට යහළුවෝ දෙදෙනෙක් ලෞකික සම්පත්තීන් හි ආදීනව දැනගෙන ගිහිජීවිතයෙන් ඈත් ව එනුවර සුප්‍රකට සංජය නම් පිරිවැජියාගේ ශිෂ්‍යයන් වශයෙන් කලක් තවුස්දම් පිරූහ. එහෙත් එම ප්‍රතිපත්තීන් සංසාර විමුක්තියට හේතුභූත නොවන බව අවබෝධ කරගෙන දඹදිව ගම් නියම් ගම් ද නව්වල සැරි සරා නිවන් මඟ පානා ගුරුවරයෙකු නොලදින් යළිත් රජගහනුවරටම පැමිණ කල්ගතකරන්නට වූහ.

එකල අප බුදුරදුන්ගේ ප්‍රථම ධර්මදේශනාවෙන් උතුම් අර්හත්ඵලයට පැමිණි අස්සජි මහරහතන් වහන්සේ රජගහ නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟාවඩින සේක. උපතිස්ස පිරිවැජියාද තමන්ගේ ප්‍රධාන අරමුණු අනුව ගමන් කරන්නේ එම තෙරුන් දැක පසුපස ගොස් වළඳන තැන දී හමුවී ඉතා සුහදව තොරතුරු විමසා දැන ඔබවහන්සේගේ ගුරුන් කව්දැයි විචාළහ. අස්සජි මහරහතන් වහන්සේ “භවත” මාගේ ගුරුනම් සව්නේ ගෙවාදත් බුදුරජාණන් වහන්සේ යැයි පිළිවදන් දුන්හ. “බුද්ධ” යන වදන කන්වැකුණු විගස පස්වනක් පී‍්‍රතීන් පිනාගොස් එම බුදුන්ගේ ධර්මයක් සැකෙවින් දෙසනු හිමිට බරක් නොවේ නම් අසනු කැමැත්තෙ මැයි ඉතා ගරුසරු ඇතිව ආයාචනා කළෙන්

යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේසංචයෝ නිරෝධෝ
ඒවං වාදි මහා සමණෝ

යනාදී චතුස්පද ගාථාවෙන් දහම් වදාළ සේක. යම්ධර්මයක් යම්ධර්මයක් නිසා ඇතිවේද එම හේතුවත් නිරෝධයත් මහාශ්‍රමණ තථාගතයන් වහන්සේ දේශනා කරන සේක. එම ගාථාවේ ප්‍රථම දෙපදය ඇසෙන විටම ගාථාවත්, අර්ථයත් දැනගෙන එහි ප්‍රතිඵලයත් ලබා ශතසහසුනයින් ප්‍රතිමණ්ඩිත ආර්යඤාණයෙන් ආලෝකමත්ව උතුම් සෝවාන්ඵලයට පත්වූහ. තම අපේක්‍ෂා මුදුන් පමුණුවාගත් උපතිස්ස තවුසානෝ තම යහළු කෝලිතට මෙන්ම සංජය ගුරුවරයා ඇතුළු පිරිසට ද දන්වා සිටියද සංජයගේ අකමැත්ත නිසා දෙසිය පනසක් පිරිවැජි පිරිස සමග බුදුන් හමුවට ගියහ.

බුදුරජාණන් වහන්සේ “ඒථ භික්ඛවේ ස්වාක්ඛාතෝ ධම්මෝ චරථ බ්‍රහ්මචරියං දුක්ඛස්ස අන්තකිරියාය යයි වදාළ කෙණෙහි හැමදෙනම සෘද්ධිමය පාත්‍රා සිවුරු ඇතුව ගිහිවෙස් අතැර එහි භික්‍ෂු භාවයෙන් උතුම් පැවිදි උපසම්පදා ලබාගෙන විරාජමාන වූහ. මුගලන් මහතෙරුන් වහන්සේ මහණ වූ සත්දිනකින් මගධරට කල්ලමාල නම් ගමදී බුදුන් විසින් දෙන ලද ධාතු කර්මස්ථානය අරමුණු කරගෙන ආර්යඤාණයෙන් උතුම් අර්හත්ඵලයට පත්වූහ. සැරියුත් මහතෙරුන් වහන්සේ රජගහනුවර සූකරඛත ලෙනේ දී “දීඝනඛ” නම් පරිබ්‍රාජකයාට දේශනා කළ වේදනා පරිග්‍රහ සූත්‍ර ධර්මය අසා එයින් ආර්ය ඤාණාලෝකය උපදවා උතුම් අර්හත්ඵලයට පත්වූහ. මෙසේ අප ලොව්තුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙතෙක් එහි භික්‍ෂු භාවයෙන් පැවිදිව රහත් වූ එක් දහස් දෙසියපනසක් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ලා සමග වේළුවනාරාමයේ වැඩ සිට සැරියුත් මුගලන් දෙනමට අගතනතුරු දී

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං

යනාදී නයින් සෑම බුදුවරයෙකුගේම ප්‍රධාන අනුශාසනය වශයෙන් ද ඕවාද ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් ද දැක්වෙන ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. මෙසේ ධර්ම විනය නය වශයෙන් ද පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ වශයෙන් දින දින දියුණුවන්නට වූ නමුත් මිථ්‍යා දෘෂ්ටි ආධානගාහිත්වයෙන් තම මතයම සාරවත් යයි සිතන අය බුදුරදුන් වෙත පැමිණීම තමන්ට මදිකමක් වශයෙන් සැලකූහ.

දිනෙක අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේ බුදුන්වැඳ තමන්ගේ ගිහි ඹ්ෂතයත් සුහද මිත්‍රයන් වශයෙන් ගත කරමින් ගිරග්ග සමජ්ජ නාට්‍ය සංදර්ශනය නැරඹීමට යාමෙන් ජීවිතය පිළිබඳ යථාර්ථවබෝධයෙන් සංසාරවිමුක්තිය සොයමින් සිටින විට අස්සජී හිමියන් හමුවීමෙන් මෙසේ සත්‍ය මාර්ගය දැනගත් අයුරු ද විස්තර කළහ. අපගේ පූර්වාචාර්ය සංජයගේ නොපැමිණීම ද බුදුරදුන්ට මතක් කළ විට බුදුරජාණන් වහන්සේ ද “මහණෙනි” සංජයගේ මිථ්‍යා දෘෂ්ටිය නිසා ඔහු අසාරය සාරය වශයෙන් ද සාරය, අසාරය වශයෙන් ද මිච්ඡා සංකල්ප ගෝචරයෙන් විනාශශයට පත් වන්නේ යයි වදාරමින් මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

පුද්ගලයෙකු කායික මානසික වශයෙන් සකස් වන්නේ උපන් පරිසරය අනුකරණය කිරීමෙනි. යම්කිසි ප්‍රමාණයකට පියවරෙන් පියවරට හැඩගැසුන විට හරිවැරැදි කුමක් වූවද තමා සීමා කරගත් සංකල්ප ජාලාවෙන් මිදෙන්නට කෙසේවත් කැමති නැත. තාවකාලිකව හෝ තම මතයෙහිම පිහිටා තෘප්තියක් ලබා ගනී. අසාරේ සාරමතිනෝ යන ගාථා දෙක පිළිබඳ අර්ථ විවරණයේ දී සාරය, අසාරය, මිච්ඡා සංකල්පය හා සම්මා සංකල්පය යන කරුණු ව්‍යංජනාර්ථ වශයෙන් අදහස් සංයුක්ත කොට දැනගැනීමෙන් දෙලොව ශාන්තිය හා භවාන්තයේ නිවන් සම්පත් ලබාගැනීමෙහිලා මාර්ගය ප්‍රකටවේ. බුදුරදුන්ගේ සෑම බණ පදයක්ම සාර්ථං සව්‍යංජනං කේවල පරිපුණ්ණං යන ගුණාංග තුනෙන් සම්පූර්ණ වන නිසා දැනීම, අවබෝධය, හා අවසන ප්‍රතිඵලය ප්‍රත්‍යක්‍ෂ ඤාණයෙන්ම නොබෝ කලකින්ම ලබාගැනීමේ වාසනා භාගීවේ.

සත්වයා භෞතික සම්පත් තණ්හා ජාලයේ වෙලී පැටලී සිටින විට එය තමා ලැබූ ජයග්‍රහණයක් යයි තමා විසින් ගන්නා චින්තන සීමාව දසවස්තුක මිථ්‍යාදෘෂ්ටියයි. එයින් ඩබ්බලා බුද්ධිය මෙහෙයවීම වලකාලන්නේ පංචකාමගුණයයි. ගිහිජීවිතය ගත කරන්නා තම මූලික අවශ්‍යතා අයථා මාර්ගයෙන් උපයා සපයා අසීමිත සුඛවිහරණයට හුරු වන අතර පැවිද්දා සිව්පසය සෙවීම පරිභෝගය, මතුවට රැස් කිරීමට පුරුදු පුහුණු වේ. මෙම දෙපක්‍ෂයේම සංකල්ප එකම අරමුණක් ඔස්සේ ගමන් කරන්නේ වේ. එමෙන්ම පංචකාම සම්පත්තීන්හි නො ඇලීම එම තණ්හාජාලයෙන් මිදෙන්ට හේතු කාරක වෙන අතර එයින් සම්මා සංකල්පය නමැති ආර්ය ගුණය ක්‍රියාත්මක කෙරේ.

කතමෝච භික්‍ඛවේ
සම්මා සංකප්පෝ
නෙක්ඛම්ම සංකප්පෝ,
අව්‍යාපාද සංකප්පෝ
අවිහිංසා සංකප්පෝ

මිනිසෙකුට උත්තරීතර අදහසක් ඇතිවීමට තමා ලබන අරමුණ ශුභවාදී විය යුතු වේ. අශුභවාදී අරමුණු මඟ ගමන් කරණ පසිඳුරන් අනුව ක්‍රියාත්මක වන මනසින් සම්මා සංකප්ප සංඛ්‍යාත භෞතික සම්පත් පරිකල්පනයෙන් වෙන්වීම, සත්වයන් කෙරෙහි මෛත්‍රීය, අවිහිංසාව ඇති වී තහවුරු නොවේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ ප්‍රථමංගය ලෙස සම්මා දිට්ඨිය දක්වා වදාළ සේක. මිච්ඡා දිට්ඨියත්, මිච්ඡා සංකප්පයත් නිස්සාර වන අතර පුද්ගලයා සමාජගතව තැනැත්තෙකු වශයෙන් පුද්ගලාන්තරව සමාජ ප්‍රතිපත්තීන් සකස් කිරීමේ දී එම නිසරු දේ බැහැර කළ යුතුම ය.

සරුදේ සරු වශයෙන් ද නිසරු දේ නිසරු වශයෙන් ද බුද්ධියෙන් තීරණය ගැනීමට සමාජ පරිසරය බාධාවක් වන්නේ නම් සමාජ රටාවේ දුර්වල තැන් පෙන්වාදීම පුද්ගලයා සතුවගකීම වන්නේ ය. ලෝකයේ සෑමදාම හොඳ නරක දෙක අතර ගැටීම පොදු ප්‍රවණතාවයක් වූවද එය අයාලේ ක්‍රියාත්මක වීමට ඉඩදීම මානව ධර්මයට ප්‍රතිවිරුද්ධ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]