බුදුරදුන්ට කර්ම විපාක ඵල නොදේ ද?
බදුරලිය කුරුඳුගස්වානාන ශ්‍රී විද්‍යාලෝක දහම් පාසලේ ආචාර්ය
ආර්.ඒ.ඩී. සංජීව
ලක්මාල්
‘කර්මක්‍ෂය හා පරිනිර්වාණ’ මැයෙන් 2007.09.26 දින බුදුසරණ පත්‍රයට
බෝකුන්දර කුසලධම්ම හිමියන් විසින් ලියන ලද ලිපියට පිළිතුරක් වශයෙන් මෙම
ලිපිය ලියන ලද්දේ ධර්මකාමී සැදැහැවතුන් කෙරෙහි යහපත් අවබෝධයක් ඇති කරනු
පිණිස ය.
අවුරුදු පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කරන ලද උතුම් බුදු වදන් සංග්‍රහ
කර ඇත්තේ විනය සූත්‍රාභිධර්ම සංඛ්‍යාත පිටකත්‍රයෙහි ය. ත්‍රිපිටක ධර්මය
මනාව පරිශීලනය කිරීමෙන් ඉගෙන ගැනීමෙන් ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබිය
හැකි ය. නමුත් ධර්මය විනය ඉගෙන ගන්නා ඇතැම් අය එය අවබෝධ කර ගනුයේ අර්ථ
වශයෙන් වැරැදි අයුරිනි. එසේ දැන ඉගෙන මහදැනමුත්තන් සේ “අභිධර්මය බුද්ධ
දේශිතයක් නොවේ ය” ආදි අදහස් තැන තැන පවසති. පත්‍රවලට ලියති. මෙයින්
සත්පුරුෂයන් ද මං මුලාවන බව නොකියාම බැරි ය. එබැවින් තමා උගත් දේ හරියට
දැන මිනිසුන් යහමඟ යැවීමට උත්සාහ කරන්නේ නම් මහත් පිනක් අත්වන බව කිව
යුතු ය.
මිනිස් ලොව වනාහි සුගතියෙකි. මිනිස් ලොව උපදිනුයේ කුසල කර්මයක විපාක
වශයෙනි බුදු පසේ බුදු මහ රහත් තත්ත්වයයට පත්වනුයේ කර්මක්ක්‍ෂයකර ඤාණය
උපදවා ගැනීමෙනි. කර්මක්‍ෂයකර ඤාණය උපදවා ගැනීම යනු, අනාගත උත්පත්තියක්
සඳහා හේතු වන වර්තමානයේ කරන කුසල කර්මවල ශක්තිය නසාලීම ය. බුදු පසේ
බුදු මහ රහතන් වහන්සේ හට අනාගත උප්පත්ති භවය ඇති කරන කර්ම ශක්තිය
නිරුද්ධ ය. ඒ මහෝත්තමයෝ වර්තමානයේ රහත්ඵලය ලැබුවාට පසු කරන කියන යහපත්
දෑ කුසල් ගණයට නොවැටෙයි. ඒවා ක්‍රියා සිත් වශයෙන් හැඳින්වෙයි. මතු
විපාක දීමේ ශක්තියක් ඒවායේ නැත. මේ අනුව රහත්ඵලයට පත් වූ පසු කුසලා
කුසල කර්ම සම්පූර්ණයෙන්ම නිරෝධ වෙයි. නැවත උපතක් රහතන් වහන්සේට නැත.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේට කර්ම විපාක විඳීමට නොලැබෙන බවට උන්වහන්සේ
කළ දේශනයක් ත්‍රිපිටකයේ නැත. කර්ම විපාක ලැබුණු බවට බුදුන් වහන්සේට
පවසා ඇති දේශනා නම් ත්‍රිපිටකයෙන් හා අටුවා වලින් පෙන්වා දීමට හැකි ය.
සැබවින් ම ලොවතුරා බුදුවරයකු පහළ වනුයේ මහානුභාව සම්පන්න කුසල කර්මයක
බලයෙනි. කුසල කර්මයෙන් උපන්නා වූ ඒ මහෝත්තමයන් වහන්සේ පිරිනිවන්
පානතුරු කර්මශක්තිය නොසිඳී පවතී. අතීත කුසල කර්ම විපාක නොලැබේ නම්,
බුදුරදුන්ට මොහොතක් හෝ ජීවත්වීමට නොහැකි බවයි.
මේ කාරණා අනුව පැහැදිලි වනුයේ බුදුන්වහන්සේට වුව ද කුසලාකුසල කර්ම
විපාක විඳීමට සිදුවන බවයි. සම්බුදුපියාණන්ට විපාක දුන් අකුසල කර්ම
දොළොසක් පිළිබඳ පුබ්බකම්ම පිලෝතික අපදානයෙහි සඳහන් වෙයි.
මෙම කාරණා ඉතා පැහැදිලිව පිටකත්‍රයෙහි සඳහන් වී තිබියදී බුදුවරුනට කර්ම
විපාක නොලැබෙන බව පැවසීම, ධර්මය නොදත්කම හෝ පිටකත්‍රය නොබැලීම හැර වෙන
කුමක්ද? මෙයින් බෝකුන්දර කුසලධම්ම හාමුදුරුවන් පවසන දෙය කෙළින්ම
නිශ්ප්‍රභා වන බව කිව යුතු ය.
බුදුන් වහන්සේට කර්ම විපාක දෙන බව පැවසීම අවිද්‍යාව නිසා සිදු කරන බව ද
පුරාණ කාලයේ නොවියත් උපාසක අම්මලාට දෙසූ බණ වර්තමාන වියත් සමාජයට
නොගැලපෙන බව සැලකුව මනා යැයි කුසලධම්ම හිමියෝ පවසති. එවිට පුරාණ කාලයේ
සිටියේ නූගත් උපාසක අම්මලා ය. අද ඉන්නේ ප්‍රඥාවන්ත උපාසකම්මලා ය.
ඇත්තෙන්ම මේ කතා හරිද? අදට වඩා ප්‍රඥාවන්ත උපාසක අම්මලා හිටියේ පුරාණ
බුද්ධ කාලයේ ය. එවැනි අයට උදාහරණ ත්‍රිපිටකයේ සඳහන් වෙයි. මේ බුදු වදන්
රැක ගැනීමට පුරාණ උපාසක අම්මලාගෙන් විශාල පිටුබලයක් ලැබී ඇත. තව ද, මහා
පරිනිර්වාණ සූත්‍රයේ ලෝද්‍රාත පක්ඛන්දිකා රෝගයේ තතු දක්වද්දී,
මාරාන්තික වේදනාවක් බුදුන්වහන්සේට ඇති වූ බව පෙළෙහි ද දැක්වෙයි. මෙහිදී
මාරාන්තික වේදනාවක් යන්නෙහි අරුත අපේ හාමුදුරුවන්ට දැන ගැනීමට නොහැකි
වී තිබේ.
තවද මිලින්ද ප්‍රශ්නයේ දී නාගසේන හාමුදුරුවන් පවසා ඇත්තේ බුදුවරයන්
වහන්සේට කර්ම විපාක නැති බවයි. පිටකත්‍රය විමසීමේ දී මෙම කාරණාව සඳහන්
වෙන එකම තැන මිලින්ද ප්‍රශ්නය පමණකි. තව ද ජාති ජරා මරණ වලට, අලුත්
අර්ථකථන දී තිබේ. අවුරුදු දෙදහස් පන්සිය පනහක් නිර්මලව පැවැති මහා
සංඝරත්නයේ මුඛ පරම්පරාවෙන් රැගෙන ආ දහම් කරුණු අද අලුත් වෙමින් පවතී.
තව ඉදිරියට මේවාට කෙබඳු අර්ථකථන ඉදිරිපත් වේ දැයි අපි නොදනිමු. ශ්‍රී
සද්ධර්මය කවදා නමුත් පිරිහෙනුයේ, අන්‍ය ආගමිකයන් නිසා නොවෙයි. |