අවබෝධය සලසන
චින්තන පිළිවෙත
ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී
බෝකුන්දර
කුසලධම්ම හිමි
පසුගිය (2008- 02 - 20)
පත්‍රය හා සම්බන්ධයි
වේදයේ සඳහන් ඇතැම් දේද පෙල පොත් වලට සහ අටුවා පොත් වලට ඇතුළත් කර අප රටේ
තිබුණු නිර්මල බුදු දහම විකෘත කර, පාලි භාෂාවට ඒවා පරිවර්තනය කර
සිංහළෙන් ලියා තිබූ අටුවා හා පෙල පොත් ගිනි තබා විනාශ කිරීමෙන් පසුව,
අප රටේ තිබූ නිර්මල බුදුදහම වෙනුවට හින්දු ආගමේ ස්තොත්‍ර වලට හා පුද
පූජා වලට සමාන ඇදහිලි ක්‍රම ආදේශ කර අවුල් ජාලයක් බවට පත් කර ඇත.
ඉන් පසුව නොයෙක් පර සතුරු උවදුරු හා දුර්භික්ෂ සාගත ආදි හේතු නිසා, අප
රටේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වෙනුවට , ශාසනික කටයුතු වල යෙදී සිට
ඇත්තේ කහ නූලක් කරේ දාගත් ගණින්නාන්සේ ලා නමින් හැඳින්වුණු
උපාසකවරුන්ය.
මෙම ගනින්නාන්සේලා ශතවර්ෂ ගණනක් යනතුරු ප්‍රතිමා වන්දනාව පුද පුජා
කටයුතු හා පින් වාක්‍ය කියමින් පින් අනුමෝදනාවෙන් හෝ ශාසනය විනාශ වීමට
නොදී පවත්වාගෙන ඒම, බෞද්ධ ජනතාවගේ ලොකු භාග්‍යයකි. විචාරාත්මක අවදිකමක්
නොමැතිකමින් ගතානුගතික සම්ප්‍රදායික පිළිවෙත් ආදාන ග්‍රහණයෙන් වැළඳගෙන
ගුරු පරපුරෙන් පරපුරට ශාසනය පවත්වාගෙන යනවා යයි පවසන ඇතැම් භික්‍ෂූන්
වහන්සේට නිදහස්ව, ස්වාධීනව , ස්වෛරීව සිතන්නට ඉගෙන ගැනීම සඳහා වල්පොල
රාහුල හිමිපාණන්ගේ “ සත්‍යොදය “ පොතෙන් උපුටාගත් වැකි කිහිපයක් පළකිරීම
සුදුසු යැයි අදහස් කරමු.
“ ආගමික පොත් පත් වල ලිය වී තිබෙන බැවින්ම යමක් පිළිගත යුතු යැයි සිතීම
බලවත් මිථ්‍යා අදහසකි. ‘මා පිටක සම්ප්‍රදානේන” පිටකයේ එන බැවින් නො
පිළිගනිව් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. පිටක යනු ආගමික පොත්
වලට ව්‍යවහාර කරනු ලබන වචනයකි. බයිබලය ක්‍රිස්තියානියේ පිටකයයි.
ක්වොරාන් පොත මහමදාගමේ පිටකයයි. ත්‍රිපිටකය බුද්ධාගමේ පිටකයයි. පිටකයේ
ලියැවී තිබෙන බැවින්ම යමක් පිළිගැනීම කිසිවකුටත් යුතුකමක් නො මැතියි.
පරම්පරාගතව එන පිළිගත යුතු දේ ඇතත්, හැම සිරිතක්ම , හැම මතයක්ම පිළිගත
යුතු යැයි සිතීම බලවත් මුලාවකි. සත්‍යය පරම්පරාගතව එන දෙයක් නොවේ.
පුරාතන දෙයට ගරු කළ යුතු යැයි බොහේ දෙනා කියති. පුරාතන වූ නිසාම යමකට
ගරු කළ යුතු බවක් අපට නම් නො වැටහෙයි.
‘පුරාතන’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ කල්ගත වූ පරණ වූ යන්නයි.
අද ජීවත් වන අය කරන දේත් තව අවුරුදු සියයකින් පමණ පරම්පරාගත වනවා ඇත.
නමුත් මතු කාලයේ ඇතිවන මිනිසුන් විසින් ඒවාත් පිළිගත යුතු ද?නමුත් බොහෝ
දුරට අද බෞද්ධ ඉගැන්වීමත් මේ තත්ත්වයේ පවත්නා බැව් පිළිගත යුතුව තිබේ.
ගුරුවරයාගේ අදහසට හෝ පොතේ අදහසට නැතහොත් පරම්පරාවට විරුද්ධ මතයක්
ශිෂ්‍යයා පළ කළහොත් ගුරුවරයා තදින් කිපී ඔහුට නොයෙක් අන්දමින් තරවටු
කරයි.
ගෝලයාගේ පරීක්‍ෂා බුද්ධි විවේචන බුද්ධිය පාගා දමන්නට ගුරුවරයා නිතරම
සූදානම් වෙයි.
ගුරුවරයාට වඩා ගෝලයා නුවණැතියකු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.
ගෝලයා ජීවිතාන්තය දක්වා තමාගේ වහලා කරගන්නට ගුරුවරයා නිතරම වෑයම් කරයි.
මේ ඉගැන්වීම් ක්‍රමය නිසා ඇති වූ වහල්ලු, අප අතර බොහෝය. නිදහස් මතයක්
ඔවුන්තර ප්‍රකාශ කිරීම බීරි අලින්ට කරන වීණා වාදනයකි. (“සත්‍යොදය “
වල්පොල රාහුල හිමි)
යථොක්ත කරුණු ගැන මැදහත් සිතින් යුතුව විමසා බැලීමේදී එහි යථාර්ථය
තේරුම් ගැනීමට අපහසුවක් නැත. බුදු දහම බුද්ධාගමක් බවට හරවාගෙන හේතු ඵල
දහම අමතක කොට දමා තිබේ.
ආගම් වල උගන්වා තිබෙන ස්වභාවය අනුව ශාස්තෘවරයා ඇදහීමත්, ගුරුවරයාගේ
අනුගාමිකයෙකු වීමත් යන භක්ති වාදය වත්මන් බෞද්ධ ජන සමාජය තුළ අද
පැහැදිලි ලෙසම නිර්දිෂ්ට වන අවස්ථා බොහෝය .
‘පින් - පව් හා කුසල් - අකුසල් යනු එකම අර්ථයක් ගෙන දෙන වචනය ‘
‘බුදුරදුන්ටත් අතීත කර්ම විපාක විඳීමට සිදුවිය’. ‘අභිධර්මය බුදුරදුන්ගේ
ශ්‍රී මුඛ දේශනාවකි’. ‘නිවන් අවබෝධය පිණිස ප්‍රාර්ථනාද අවශ්‍යවේ’.
‘සම්මා දිට්ඨිය ඇතිවන්නේ සම්මා සමාධියෙන් පසුව ලැබෙන ප්‍රඥාවෙනි’,
යනුවෙන් අද ධර්මය උගන්වන බොහෝ ගිහි පැවිදි උභය පාර්ශ්වයේම ගුරුවරුන්
විසින් උගන්වනු ලැබේ. මෙ වැනි දේ ඇසූ පමණින් ඒවා නිවැරදි ධර්ම වශයෙන්
පිළිගෙන විශ්වාසය ඇති කර ගැනීම බොහෝ දෙනාගේ සිරිතක් වී තිබේ.
ඊට හේතුව වී ඇත්තේ තමන් පි‍්‍රය කරන ගුරුවරුන් කෙරෙහි අන්ධ භක්තියක්
ඇති කර ගැනීමයි. භක්තිය ඇති තැන බුද්ධිය පරාජයට පත් වනු ලැබේ. මේ හේතුව
නිසා කිසි දිනෙක එ වැනි පුද්ගලයින්ට සත්‍ය වටහා ගැනීමට නො හැකි වනවා
ඇත. ඉහත දක්වා ඇති කරුණු කෙරෙහි ඕනෑම කෙනෙකුට විශ්වාසයක් ඇති කර ගැනීමට
පුළුවන. නමුත් විශ්වාස කළ පමණින් ඒවා සත්‍ය නොවේ.
ධර්මකාරණා ගැන හිතන්නට විමර්ශනය කරන්නට විවේක බුද්ධිය අවශ්‍යය.
නිදහස්ව, ස්වාධීන , ස්වෛරීව සිතන්නට ඉගැන්වූ බුදුදහමෙන් සත්‍ය තමන්ටම
වටහා ගන්නා ආකාරය පෙන්වාදී ඇත. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය අවසන්
කර ඇත්තේ මෙසේය. යම් විටෙක ඔබට ම මේ දෙය යහපත්ය.
කුසලය, මෙය අභිවෘද්ධියට හේතුවේය යනුවෙන් වැටහේද එවිට එය පිළිගන්න.
මෙයින් උගන්වා ඇත්තේ තමා ගේ බුද්ධියම ප්‍රධානකොට ගැන්මය.
විචාරපූර්ව අවදිකමක් නොමැති හෙයින් අනවබෝධයෙන් ඇති කර ගනු ලබන මිථ්‍යා
විශ්වාසයන් නිසා, අමූලිකාදී ශ්‍රද්ධාවෙන් පුද පූජාවන් පැවැත්වීමට එක්
රැස්වන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් ජීවිත යාත්‍රාව වන්දනා ගමනක් කරගෙන
තිබේ.
නොවියත් බෞද්ධ ජනතාවගේ සසර ගමන දිගු කරන පුද පූජා ඔවුන්ගේ සත්‍යාවබෝධය
පිණිස කොතරම් දුරට උපකාරයක් වේදැයි ඒවා මෙහෙයවන භික්‍ෂූන් වහන්සේ තම
හෘද සාක්‍ෂියට අනුව විමසා බලත්වා. ! |