Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත් පහන් කරන නොයදින පිළිවෙත

භික්ෂුව, භික්ෂුණිය යන වදන් වල අර්ථ රැසක් ඇත. භික්ෂාවෙන් යැපෙන්නේ භික්ෂුවයි. මෙය එක් අර්ථයක් පමණකි. භික්ෂුවක් සිව්පසය ලබා ගන්නේ අනුන්ගෙනි. එහෙත් සිව්පසය වුවද ඉල්ලීම සුදුසු නැත. ගෙපිළිවෙළින් පිඩු සිඟා වඩින භික්ෂූන් වහන්සේ මුවෙන් කිසිවක් කතා නොකරති. නිවසක් ඉදිරිපිට සන්සුන් ඉඳුරන් ඇතිවැ වැඩ සිටිති. නිවසට වැඩම කළ පසු, එම නිවැසියන් යමක් පූජා කිරීමට අදහස් කරත් නම්, ඒ බව වටහා ගත හැකිය. එම නිවැසියන් අසුනෙන් නැගිටිති. භාජන ආදිය ගනිති. හැඳි වැනි උපකරණ ගනිති.මෙවැනි ආකල්ප දැකිය හැකි නම් එම නිවසියන් යමක් පූජා කිරීමට අදහස් කරන බව වටහා ගත හැකිය. එවැනි ආකල්ප දැකිය හැකි නම් එම නිවසින් පිණ්ඩපාතය ලැබෙන බව සළකා එම ඉරියව්වෙන්මැ වැඩ සිටිය යුතු ය. පාත්‍රයට යමක් පූජා කරයි නම් දෙඅතින්මැ අල්වා ගෙන පිළිගත යුතුය. තවත් යමක් පූජා කරන ලකුණු පෙනේ නම් එතෙක් සිටිය යුතු ය. එයද ලැබුණු පසු නික්ම යා යුතුය. කඨින පින්කම් කිරීමේ දී ද ඉල්ලීමෙන් ලබා ගත් චීවරය නීත්‍යානුකූල නොවන බව සඳහන් වේ.

බොහෝ විට ඉල්ලීමට සිදු වන්නේ ලද පමණින් සතුටු නොවන නිසයි. භික්ෂු, භික්ෂුණී, උපාසක , උපාසිකා කොයි කවුරුත් තමනට ලද පමණින් සතුටට පත්වීම උතුම් ගති ලක්‍ෂණයකි. එය ‘ අප්පිච්ඡතා ‘ ගුණය නමින් හඳුන්වයි. එනම් නොයෙක් දෙයට ආශා නොකිරීමේ ගුණයයි. හොඳ තත්ත්වයේ හෝ දුර්වල තත්ත්වයේ වුවද, සුළු ප්‍රමාණයක් වුවද, තමනට තිබෙන ප්‍රමාණයෙන් සතුටට පත්වීම මගින් සහනයක් ලැබිය හැකි නම් එය ඉතා වැදගත්ය. යම් කිසිවකුට මෙම ‘අජ්පිච්ඡතා’ ගුණය ඇත් නම් එම පුද්ගලයාට ‘සන්තුට්ඨිතා’ ගුණය ද ඇත. මෙම ගුණ නොමැති පුද්ගලයා තුළ බෙහෙවින් ඇත්තේ ‘මහිච්ඡතා ‘ ගතියයි. කොපමණ දේවල් ලැබුණද සෑහීමට පත් නොවී. තව තව දේවල් බලාපොරොත්තු වන, විශාල දේවල් බලාපොරොත්තු වන, වඩාත් හොඳ දේවල් බලාපොරොත්තු වන කොපමණ දේවල් ලැබුණත් තව තවත්දේවල් සොයන, ගති ලක්ෂණ තිබෙන්නේ ‘මහිච්ඡතාව ‘ තිබෙන පුද්ගලයා තුළයි. හෙතෙම අවශ්‍ය ප්‍රමාණය හෝ පාවිච්චි කළ හැකි ප්‍රමාණය පිළිබඳ අවධානය යොමු නොකරයි. ඔහු තමන්ගේ ගුණ අනුන් ඉදිරියේ ප්‍රකාශ කරයි. එයින් පැහැදෙන අනුවණ පුද්ගලයන් දෙනු ලබන සියල්ල සැහීමකට පත් නොවී පිළි ගනියි. එවැනි භික්ෂුව හෝ භික්ෂුණිය දානය පිළිගන්වන අවස්ථාවලදී පාත්‍රය හෝ භාජනය පිරි ඉතිරි යතත්, තව තවත් පිළිගනියි. ඇතැම් විට වෙනත් බදුනකටද පිළිගනියි.

‘අග්ගික්ඛන්දෝ සමුද්දෝච - මයිච්ජෝචාපි පුග්ගලෝ ...යනාදී වශයෙන් දක්වා තිබෙන පරිදි, ගින්නට කොපමණ දර දැමුවත් සාගරයට කොපමණ ජලය ලැබුණත් සෑහීමට පත් නොවන සේ ඇතැම් පුද්ගලයෝ කොපමණ දෙය ලැබුණත් කොපමණ දෙය තිබුණත් සෑහීමට පත් නොවෙති. එවැනි පුද්ගලයන් ලෝකයේම ගර්හාවට ලක්වෙති. කොයි කවුරුත් අපි‍්‍රය කැරෙති. බොහෝ දෙය බලාපොරොත්තු වන පුද්ගලයන් ඒවා ලබාගැනීමට නොහැකි වූ විට ඒවා සපයා ගැනීම උදෙසා යමක්කමක් තිබෙන අය වෙත ගොස් ඉල්ලති. වරක් ඉල්ලූ විට නොපැකිල දුන්නොත්, නැවත ද ගොස් ඉල්ලති. විවිධ අවශ්‍යතා දක්වමින් ඉල්ලති. එක්තරා භික්‍ෂුවක් රජුන්, ඇමැතියන් වෙත ගොස් නිතර ඉල්ලීම පුරුද්දක් වශයෙන් කැගෙන ගියේ ය. එයින් කළකිරීමට පත් ඇමතිවරයකු ස්වාමිනී, මම ඔබ වහන්සේට පෙර ආත්මයක ණය කරුවෙක් වත් වීද? යනුවෙන් ප්‍රශ්න කළේ ය. එක්තරා මෙහෙණි ආරාමයකට දානය ගෙන යන සැදැහැවතුන්ගෙන් නොයෙක් දෙය ඉල්ලීම පුරුද්දක් වශයෙන්ම සිදු විය. පසු කාලයේ දී එම ආරාමයට දානය රැගෙන යෑමට බොහෝ දෙනකු මැළි බවක් දැක්වූයෙන් දානය පවා හිඟවූ බව දැනගන්නට ලැබුණි. මෙවැනි නිදසුන් රැසක් දැක්විය හැකි ය. මෙමඟින් පෙන්නුම් කරන්නේ ඉල්ලීමෙහි තිබෙන අයහපත් පැත්ත ය.

මිනිසුන් ධනය උපයන්නේ තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමටයි. දහසකුත් ප්‍රශ්න හමුවේ දිවිපෙවෙත ගෙන යන මිනිසුන් වෙත ගොස් මිල මුදල්, භාණ්ඩ ඉල්ලන තැනැත්තන් ඔවුනට පෙනෙන්නේ සතුරන් ලෙස ය. එලෙස ඉල්ලන අය නිවසට පැමිණෙන විට ඇතැම්හු ගෙයි දොර වසා ගනිති.

බුදුරදුන් දවස ‘අලව් නුවර’ භික්‍ෂූන් වහන්සේ විශාල ආරාම, ගොඩනැගිලි ඉදි කැරෙමින් ජනතාවගෙන් නොයෙක් දෙය ඉල්ලන්නට වූහ. ඒ නිසා එනුවර වැසියනට භික්‍ෂූන් වහන්සේ එපා විය. භික්‍ෂූන් වහන්සේ පැමිණෙන විට මහත් බියෙන් පලා යන්නටත්, ඉවත බලා ගන්නටත් ඇතැම් විට ගෙයි දොර වසා ගන්නටත් පටන් ගත්හ. මෙලෙස ඉල්ලන අය නිසා ඇති වූ ඒ තත්ත්වය නිසා භික්‍ෂූන් වහන්සේට පිණ්ඩපාතය ලබා ගැනීම ද දුෂ්කර විය. දිනක් ‘මහා කාශ්‍යප’ මහරහතන් වහන්සේ එම නුවරට වැඩිය පසු උන්වහන්සේට ද පිණ්ඩපාතය සපයා ගැනීම අපහසු විය. උන්වහන්සේ හිස් වූ පාත්‍රයෙන් ආරාමයට වැඩමකැර භික්‍ෂූන් වහන්සේට මෙම කරුණ සැල කළ කල්හි, එම භික්‍ෂූන් වහන්සේ හේතුව ප්‍රකාශ කැර දුන්හ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට එම කරුණ සැළ කළ කල්හි බුදුහිමියන් අලව් නුවර භික්‍ෂූන් රැස් කැර, ඉල්ලීමෙහි ඵල විපාක දක්වමින් ‘ඤටිකාර ශික්ෂාව‘ පැනවූහ.

මෙකල ද අලව් නුවර භික්‍ෂූන් මෙන් වැ, ඉල්ලන පිරිස් වැඩිවෙමින් පවතියි. සුවිසල් ආරාම, ධර්ම ශාලා, බුද්ධ ප්‍රතිමා ආදිය ඉදි කිරීමෙහි වරදක් නැත. එහෙත් එයින් සැදැහැවත් මහජනයා පෙළීමට පත්වේ නම්, එය සුදුසු නැත. සෘජුව හෝ වක්‍රාකාරයෙන් මුදල් යැදීම සිදුවන විට මිනිසුනට සිද්ධස්ථාන එපා වෙයි. නිවසක්, වෙළෙඳ සැළක් පාසා යමින් මුදල් යදින භික්‍ෂූන් වහන්සේ මෙන්මැ සිල් මෑණි වරු ද සිටිති. ඇතැම් විට පාසල්, රජයේ කාර්යාල පමණක් නොව අන්‍ය ආගමික නිවෙස් වලට ද ගොස් ආධාර පත්‍රිකා ඉදිරිපත් කැරෙමින් ඉල්ලීම සිදු කරති. සුප්‍රසිද්ධ සිද්ධස්ථාන වල ශබ්ද විකාශන යන්ත්‍ර පවා උපයෝගී කැරගෙන මුදල් ඉල්ලන අයුරු දැක ගත හැකි ය. නිතර සිදුවන ඉල්ලීම නිසා මිනිසුනට සිද්ධස්ථාන එපා වෙයි.

එසේමළුය සැදැහැවතුනට ඉමහත් කරදරයකි. හිරිහැරයකි. මිනිසුන් පමණක් නොව, තිරිසන් සත්ත්වයෝ ද ඉල්ලීම පිළිකුල් කරති. එදා අලව් නුවර වැසි භික්‍ෂූන් අමතමින් ‘සැබෑ ද මහණ, තෙපි , කරවා දෙන හිමියන් නැති, ප්‍රමාණය ඉක්මැවූ, තමන් ඉල්ලා ගත් උපකරණ ඇති, තමන් උදෙසා වූ කුටි කරව් ද? ඒ කුටි නිමාවට පත් නොවෙත් ද?, තෙපි පුරුෂයකු දෙන්න, අත් වැඩ දෙන්න, කුස තණ දෙන්න, මැටි ගඩොලු දෙන්න ය’යි යැදීම් බහුලව වාසය කරව්ද? මිනිස්සු යැදීමෙන් මිරිකුණේ පීඩාවට පත්වැ, මහණුන් දැක උද්වේගයට පත් වෙත් ද? තැති ගනිත් ද? පලායත් ද? මග වළසා යත්ද? මුහුණු වෙනතකට හරවා ගනිත් ද? දොර වසත් ද?, සැබෑව, භාග්‍යවතුන් වහන්ස යැයි පැවසූ කල්හි, හිස් පුරුෂයනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස නොවේ. යනාදී වශයෙන් ගර්හාවට ලක් කොටැ, මණිකණ්ඨ නාගරාජයාගේ කථාව ඇතුළත් දහම් දේශනා කළහ.

පෙර සොහොයුරන් දෙනෙකු පැවිදිවැ විසූහ. එකල ‘මණිකණ්ඨ’ නමැති නාග රජයා මිනිස් වෙසින් පැමිණ බාල පැවිද්දා සමග මිත්‍රත්වයක් ගොඩ නඟා ගත්තේ ය. මිත්‍රත්වය කොතෙක් ද යත් ඇතැම් විට නාග රාජය මිනිස් වේසය අත්හැර නාග වෙසින් පැවිද්දාගේ ශරීරය වෙලාගෙන පෙනය හිස මත තබාගෙන සිටියි. පැවිද්දාට මෙය මහත් බියක් හිරිහැරයක් විය. තම සොයුරු වැඩිමහල් භික්‍ෂූන් වහන්සේට මෙම කාරණය දැනුම් දුන් පසු නාග රාජයා පැමිණි විට ඔහුගේ මාණික්‍යය ඉල්ලන සොහොයුරු භික්‍ෂුව ලෙස උපදෙස් අනුවැ නාග රාජයා පැමිණෙන හැමවිටකම එම මැණික ඉල්ලීම නිසා නාග රාජයාගේ පැමිණීම නතර විය. බලවත් ප්‍රේමයෙන්, මිත්‍රත්වයෙන් සිටි නාග රාජයා එක් දෙයක් ඉල්ලීමෙන්මැ මිත්‍රත්වය නිමාවට පත් කළේ ය.

නතං යාචේ තස්ස පියං ජිගිංසේ
දෙස්සෝ හෝති අති යාචනාය
නාගෝ මණිං යාචිතෝ බ්‍රාහ්මණෙන
අදස්සනං යේච තදප්ජ ගාමා

යනුවෙන් යම් දෙයක් යමෙකුට පි‍්‍රය වේ නම් ඒ දෙය නොඉල්විය යුතු ය. එසේ ඉල්ලීමෙන් පි‍්‍රය පුද්ගලයා අපි‍්‍රය බවට පත් වෙයි. එම ශ්‍රමණයා විසින් නාගරාජයාගේ මැණික ඉල්ලූ පසු මිත්‍රත්වය අතහැර යන්නට ගියේ ය. මහණෙනි, ගිහියන් විසින් භෝග රැස් කළ යුතුයි. ඒවා දුක සේ සුරැකිය යුතුයි. හිස් පුරුෂයනි, දුකසේ රැස් කළ යුතු, දුකසේ සුරැකිය යුතු මිල මුදල් ඇති ගිහියන්ගෙන්, තෙපි පුරුෂයකු දෙන්න, අත් වැඩ දෙන්න, වාහනයක් දෙන්න, අවි ආයුධ දෙන්න, ගල් වැලි සිමෙන්ති දෙන්න, වශයෙන් ඉල්ලීම බහුලව වෙසෙත් ද, හිස් පුරුෂයනි මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස නොවේ... යනුවෙන් බුදු හිමියෝ ඉහත සඳහන් කළ භික්‍ෂූන් වහන්සේට අවවාද කළහ.

‘යථාපි හමරෝ පුප්ඵං
වණ්ණ ගන්ධං අහේඨයං
පලේති රසමාදාය
ඒවං ගාමේ මුණී චරේ’

බමරා මල් වලටත්, එහි රොන් වලටත්, සුවඳටත් හානි නොවන සේ රොන් ගන්නාක් මෙන් කිසිවකුටත් හිරිහැරයක් නොවන ආකාරයට දායකයන් අතර කටයුතු කළ යුතු ය. වරක් බෝසතුන් වහන්සේ තවුස් දම් පුරන සමයක ‘පංචාල’ රජුගේ උයනට පැමිණියේ ය. රජු එතුමාට වැසි සමය නිම වන තුරු තම උයනෙහි නවතාගෙන උවටැන් කළේ ය. වැසි සමය නිම වූ පසු ආපසු හිමවතට යන්නට අදහස් කළ තවුසා, තමනට පාවහන් සඟලක් සහ කූඩයක් තිබුණොත්, හොඳයැයි සිතුවත් රජුගෙන් ඒවා ඉල්ලීම නොහැකි විය. ඉල්ලීම තම ආත්ම ගෞරවයට හානියක යැයි සැළකූ බෝසත්තුමාට වසර දොළහක් යනතුරුම එය කියාගත නොහැකි විය. අවසන රජුගේ බලවත් ඇවිටිල්ල නිසාම තම අවශ්‍යතාව ප්‍රකාශ කළේ ය. එහිදී බෝසත්තුමා පැවසුවේ ‘මහරජ. ඉල්ලන පුද්ගලයාට ලැබෙන්නට හෝ නොලැබෙන්නට පිළිවන. ඉල්ලීම වනාහී හැඩීමකි. ඉල්ලන අයට එය නොදීමත් හැඬීමකි. ‘මෙසේ කරුණු පැහැදිළි කළ එතුමා, හිමාල වනයට වැඩියහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.