Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහින්දාගමනය හා සිරිලක කාන්තා ප්‍රබෝධය

වනිතාව සමාජ ප්‍රවර්තන මෙහෙවරෙහි සම දායකත්වය දරන බව අපි දනිමු. එය වර්තමානයට මෙන්ම අතීතයේදීත් අනාගතයටත් එක සේ සාධරණ වූවක්. එහෙත් නොයෙක් ශිෂ්ටාචාරයන්හි පැවතුණු විවිධ ආධිපත්‍යයන් අනුව ඇයට හිමි තැන පිළිබඳ ව ඉතිහාසය වාර්තා කරන්නේ ශෝචනීය කරුණු ය.

කෙසේ වෙතත් අප ගෞතම බුදුන් වහන්සේ කාන්තාවගේ බුද්ධිමය හැකියාවත්, විමුක්තිමය ලාභය උදෙසා ඇයට ඇති අයිතියත් පිළිබඳව දැරූ යථාවාදී ආකල්පය නිසා මීට වසර දෙදහස් පන්සිය පනස් ගණනකට පෙරාතුව කාන්තාව කෙරෙහි සමාජයේ ඇති ගෞරවනීය ආකල්පය උදෙසා ස්ථිරසාර පදනමක් වැටුණි.

එම විමුක්ති මාර්ගයෙහි ආදි කතුවරිය මහා ප්‍රජාපතී ගෝතමියයි. මහින්දාගමනයෙන් පසු ලක්දිවට සැපත් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ලත් අනුලා බිසව ලාංකේය ප්‍රජාපතී පරපුරේ ආදි මිත්තනිය ලෙස හැඳින්විය හැකි ය. එහෙත් එහි පදනම මහින්දාගමනයෙන් ම ඇති වූ බව අමතක නොකළ යුතු ය.

මහින්ද මහ රහතන් වහන්සේ තම්බපණ්ණියට වැඩම කරන විට මෙරට පැවැතියේ අසංවිධානාත්මක පරමාර්ථ සාධන අංග බව ඉතිහාසය අනුව හෙළි වේ. අඩු ගණනේ මිහිඳු හිමියන් ඇතුළු පිරිසට නවාතැන් දිය හැකි ගොඩනැගිල්ලක් හෝ නොවීම ගැන තොරතුරු කාල ප්‍රාසාදයේ මුල් ගොඩනැගිල්ල පිළිබඳ පුරා වත සපයයි. දහම් දෙසීමට ඇත් හලත් දහම් ඇසීමට මහමෙවුනාවත් උපයෝගී කරගැනීමෙන් මෙහි තරම දැක්වෙයි. එසේම ඔවුන්ගේ ජීවිතවල ඒකායන අපේක්‍ෂා ද නොවී ය.

මේ බව තේරුම්ගත් මිහිඳු රහත් හිමියෝ චුල්ල හත්ථි පදෝපම වැනි ඉතා උචිත විවරණයකින් ලාංකේය ජන ජීවිතයේ නැණ පහන් පුබුදුවාලීමට සමත් වූහ.

පුරුෂයන් මෙන් එක සේ ම ඒ ප්‍රභාව ලැබගත් කාන්තාව ඉක්මනින් පැවිද්දත් ඉල්ලා සිටින්නට ඇත. එතැනි ඇරඹුන ගමන කොතරම් ද සංඝමිත්තාවන් මෙහි පැමිණෙන්නට පෙරාතුවම අනුලා බිසව ඇතුළු පන්සියයක් උපාසිකාවන් මැදුරු දොළසකින් යුත් උපාසිකාරාමයක් කරවීමෙන් පෙනේ.

මිහිඳු යුගයෙන් ලත් වනිතා ප්‍රබෝධය අංශ දෙකකින් විහිදී ගියේ ය.

ඉන් ප්‍රධාන වූයේ සියවස් ගණනාවක් පුරා පැවැති භික්‍ෂුණී ශාසනයයි. ලාංකික භික්‍ෂුණීන් පෞද්ගලික ව සිය පරමෝත්තම විමුක්ති සාධනය කර ගැනීම පමණක් ඉන් ප්‍රකාශ නොවීය.

ජාත්‍යන්තර සබඳතාවන් ගේ ශාසනික මෙහෙවරෙහි නායකත්වය ඉසිලීමේ භාරදූර කාර්යය දක්වා එය විහිදී ගියේ ය. මහාවංශය පවසන පරිදි දෙවන අග්‍රබෝධි රජ සමයේ දඹදිව කාලිංග රජු ලක්දිවට පැමිණ පැවිදිව සිටියදී ඔහු ගේ බිසව හා ඇමැතිනියෝ මෙහි පැමිණ පැවිද්ද ලබා ගත්හ. මහානාම රජු දවස දේවසාර මෙහෙණින් වහන්සේ ඇතුළු දහනව දෙනෙකී චීනයට ගොස් එහි මෙහෙණි සස්න පිහිටුවීමේ වගකීම් දැරූහ.

පරසතුරු උවදුරු බහුල වත්ම භික්‍ෂු ශාසනය පිරිහිණ. එම උවදුරු වලට තනිව මුහුණ පා ජය ගැනීම පහසු නොවූයෙන් භික්‍ෂුණී ශාසනය මහ විජයබාහු කාලයට පෙරාතුවම වාගේ අභාවයට ගිය බව පෙනේ. එහෙත් එතුවක්ම දහස් ගණනින් රට පුරා ව්‍යාප්ත වූ භික්‍ෂුණීන් වහන්සේලා ස්වකීය විමුක්ති සාධනය මෙන්ම ශීල ගුණේපිත ධාධු චර්යාවෙන් සමාජ සංවර්ධනයට දායක වූ අයුරු දැකිය හැක.

බොහෝ කොට ම ලක්දිව භික්‍ෂුණී ශාසනය රජ පවුල් බිසෝවරුන්ගෙන් ම ඇරැඹි ව්‍යාප්ත වූ නිසා දෝ කලින් කළ රජදරුවන් ගේ විශේෂ සම්භාවනාවන්ට භික්‍ෂූණීන් පාත්‍රවූවා පමණක් නොව රජ බිසවුන් දූහිතෘන් මෙම ශාසනයේ සාමාජිකත්වය දැරූ අයුරු ද පෙනේ. රජ පවුලේ ඇතැම් වනිතාවන් ඉතිහාසගත වන්නේ භික්‍ෂුණීන්ට සිව්පසයෙන් කරන ලද ඇප උපකාරයන් නිසා ය.

මිහිඳු යුගයෙන් ප්‍රණීත වනිතා විමුක්තිය ශාසනික වශයෙන් පමණක් නොව ගිහි සමාජයේ ද මහා ප්‍රභාවක් විහිදුවන ලද බව පෙනේ.

ලාංකික වනිතා විමුක්ති ව්‍යාපාරයේ අනුශාසකත්වය දැරූ සංඝමිත්තාවන් දඹදිවදී ලද අත්දැකීම් පෙර පුහුණුව මෙම සංවිධානය හරවත් කිරීමට මනා පදනමක් වූ බව සිතිය හැක.

අශෝක අධිරාජයාගේ දිග් විජය ඒවායේ අනිටු විපාක මෙන්ම ඉන්පසු දඹදිව ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය ධර්ම සංඝායනාව ඇතුළු ශාසනික ප්‍රබෝධය එසේම ශාසනික කටයුතු වලට පුරෝගාමී වූ අය ගැන දුටුවා ය. පියාණන් විසින් ගම් නියම් ගම් පුරා ඇරඹූ විවිධ පුණ්‍ය කටයුතු දුටුවා ය.

එම පෙර හුරුව සමග එතුමිය තුළ බුදුදහමින් පරිපෝෂිත අධ්‍යාත්මික ගුණාංග සියල්ල නිසා ද ලක්දිව කාන්තා ජන ජීවිතයේ සාරවත් පදනමක් පිහිටුවන්නට හැකි වූ බව සිතිය හැක.

ඉන් උපන් කාන්තා අභිවෘද්ධියක් පමණක් ම නොව සමස්ත සමාජයේ ම සංවර්ධනයට ඇයගේ දායකත්වය ඉවහල් වී ඇති අයුරු අදත් පෙනේ. බුදු දහමින් විවරණය වන බෞද්ධ කාන්තාව දියණියක, පතිනියක මවක හා මිත්තනියක ලෙසින් අත්‍යවශ්‍ය මෙහෙවරෙහි යෙදීම අතිශයින්ම සමාජ ප්‍රගමනයට අවශ්‍ය වේ. ඇය සෞන්දර්යාත්මක ආදරණීයත්වයට පමණක් නොව ගෞරවනීය සම්භාවනාවට ද බඳුන් වේ. එසේ නොවන තැන ඇතිවන්නේ සමාජ සංස්කෘතික උරුමය සදාචාරය වැනි ශක්තීන්හි සොදාපාලුවකි. එයම හෙළ බොදු කතගේ අවශ්‍යතාව මනාව පෙන්වාදෙන උදාහරණයක් වේ.

මෙලෙස ස්වකීය නිවස තුළින් සිය පවුල වෙත සදාචාර ගුණ සම්පන්න චරිතයක් මගින් සිය යුතුකම් ඉටු කොට විශ්වසනීයත්වය දිනාගත් කාන්තාව ඉන් ඉදිරියට යයි. අවශ්‍යතාවය අනුව ආර්ථික සමබර දැරීමට ද ඇය ශක්තියක් ;වයි.

ඒ වෙනුවෙන් ද ලබන පුහුණුවක් සඳහා උරුමකම් ලබන ඇය සිය පාරම්පරික හික්මීම නිසාම එම පුහුණුවෙහි නිපුණ බව ලබන්නී ය. එතැනින් බුහුමන් ලබාගත් පුහුණුව සමාජයට ප්‍රකට කිරීමෙහි වරප්‍රසාදයට හිමිකම් කියයි.

එය මිහිඳු යුගයෙන් මෙරට ඇති වූ කාන්තා විමුක්ති ප්‍රභාවයේ සමාජීය ලක්‍ෂණයයි. ඒ නිසාම කාන්තාව පාලන කිරුළ දැරීමට පවා හිමිකම් දැරුවා ය. රාජ්‍ය අනුශාසනා ගැන කිවමනා නොවේ. මේ දක්වා ජාත්‍යන්තර ප්‍රජාව හා සමතැන් ගෙන කුසලතා දක්වන්නට ඇයට හැකියාව ලැබුනේ ද ඒ මගින් ලත් ප්‍රතිඵල නිසයි. අද කාන්තා විමුක්ති මග ගැන මෙසේ සටහන් කළ හැක්කේ ද මහින්දාගමනයෙන් පසු ඇති වූ වනිතා ප්‍රබෝධයේ නිවැරැදි අඩිතාලම හේතුවෙනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.