Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැදුම් පිළිවෙත සහ සංවර්ධනය

භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකයාට හඳුන්වා දෙන ලද ජීවන ක්‍රමය මැදුම් පිළිවෙත (මජ්ඣිම පටිපදා) යනුවෙන් ප්‍රකට වී තිබේ. සංවර්ධනය සඳහා මිනිසා විසින් අනුගමනය කරන වර්තමාන ක්‍රම අතර බුදු දහමෙන් හෙළිවන මැදුම් පිළිවෙත කොතෙක් දුරට අර්ථවත් වේ ද යන්න විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. එසේ කිව යුත්තේ වර්තමාන සංවර්ධන ක්‍රියාදාමය තුළ මිනිසාගේ ප්‍රගතියට එක් අතකින් පෙළඹවීමක් දැකිය හැකි අතර විසඳා ගැනීමට නොහැකි අයුරින් ගැටලු රැසක් ද මතු කර ඇති හෙයිනි. ඒ ගැටලු මිනිසාගේ පරිහානියට මඟ තනා ඇති හෙයිනි.

මෑතකදී සිදු වූ විද්‍යාත්මක, කාර්මික හා තාක්‍ෂණික දියුණුව මිනිසාට අලුතින් උපකරණ, භාණ්ඩ හා මෙවලම් රැසක් දායාද කොට තිබේ. ඒවා එක් අතකින් මිනිසාට ජීවත් වීම ඉතා පහසු හා ප්‍රසන්න තත්ත්වයක් උද්ගත කර ඇත.

ඒ සමඟම මිනිසා මිහිපිටින් අතුගෑවී යන ආකාරයේ පරිසර විනාශයක් සහ සමාජ පරිසරයක් ඒ උපකරණ, භාණ්ඩ හා මෙවලම් භාවිතයෙන් පැන නැඟී තිබේ. වර්තමාන සංවර්ධනයේ දක්නට ලැබෙන මේ පරස්පර අන්ත දෙක ක්‍රියාත්මක වීම වර්තමාන සංවර්ධන සංකල්පයේම වරදකි. මේ වරද යම් තරමකින් දකින ඇතැම් විද්වතකු බුදු දහමේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරන අවස්ථා දක්නට ලැබේ. එහෙත් ඔවුනට ත්‍රිපිටකාගත ඉගැන්වීම් පිළිබඳ ඇති දැනුම ප්‍රමාණවත් නොවන නිසා හෝ වෙනත් හේතූන් නිසා හෝ ඔවුනගේ විමර්ශන අපරිපූර්ණ ය. ඒ නිසා පෙළ දහම හදාරන බෞද්ධයන්ගේ වගකීමකි මේ ගැන ස්වකීය අවධානය නිසි ලෙස යොමු කිරීම.

මෙහිදී පළමුව සංවර්ධනය යන වචනය වර්තමානයේ පිළිගෙන ඇති අයුරු මඳක් විමසා බලා ඉන්පසු එයට පෙළදහම තුළ ලබා ගත හැකි අර්ථය සොයා බලමු. අනතුරුව මැදුම් පිළිවෙත යන යෙදුමෙන් හෙළි වන අර්ථය ද එය සංවර්ධනයට මඟ තනන ආකාරය ද සාකච්ඡා කරමු.

සංවර්ධනය යන්නට විවිධ අර්ථකථන විවිධ පුද්ගලයන් හා විවිධ ආයතන විසින් කර තිබේ. ඒවා සමාලෝචනයකට මේ ලිපියෙහි දී නුපුළුවන් නිසා, සංවර්ධනය මනින දර්ශක කිහිපයක් මගින් දැනට සමස්තයක් ලෙස පිළිගෙන ඇති සංවර්ධන සංකල්පය හැඳින ගැනීම ප්‍රමාණවත් යැයි හැඟේ.

20 වන සියවසේ අග භාගය දක්වා ම සංවර්ධනය යන්න ආර්ථික හෝ භෞතික සංවර්ධනයට සීමා වූ අරුතකින් භාවිත වචනයක් වූ බව පෙනේ. දියුණු, නොදියුණු බව මැනීම සඳහා  GNP හෙවත් දළ ජාතික නිෂ්පාදිතය යන දර්ශකය යොදා ගැනීමෙන් මේ බව පැහැදිලි වේ.

මෙහි අඩු පාඩු ඇති බව පිළිගත් නිසා සමාජයීය, හා සංස්කෘතික අංශ ද සැළකෙන පරිදි නව දර්ශකයක් භාවිතයට ගැනිණ. එනම් PQLI හෙවත් භෞතික ජීවන තත්ත්වය දර්ශකයයි. එමඟින් උපතේ දී අපේක්‍ෂිත ආයු කාලය, ළදරු මරණ අනුපාතිකය හා සාක්‍ෂරතාව සැළකීමට ගන්නා ලදී. එහෙත් එය GNP වැනි තවත් දර්ශක සමඟ යොදා ගැනීම සිදු වූ හෙයින් 1990 දී මානව සංවර්ධන දර්ශකය (HDI)හඳුන්වා දෙන ලදී. ජනතාවකගේ පෝෂණය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රය ශක්තිය වැනි සමාජයීය, සංස්කෘතික හා ආර්ථික තත්ත්වය මේ මගින් මැන ගැනීමට අපේක්‍ෂා කරන ලදී. මෙයට අදාළ අංශ (දරිද්‍රතාව වැනි) මැන ගැනීමට ද දර්ශක, මේ හා යොදා ගන්නා ලදී. එහෙත් මෙයට ඔබ්බෙහි ඇති මිනිසා හා සම්බන්ධ මූලික තත්ත්ව සළකා බැලීමට සුදුසු දර්ශකයක් පිළිගැනීමට පොහොසත් වී ඇති බවක් නොපෙනේ. මිනිසා පත්ව සිටින තෘප්තිමත් භාවය හෝ අතෘප්තිය හෝ ඔහුගේ සදාචාරාත්මක හා අධ්‍යාත්මික දියුණුව හෝ මෙමඟින් අවධානයට යොමු වී නැත.

සංවර්ධනය යන අදහස ගැබ් වූ වචන කිහිපයක් පෙළ දහමෙහි ඇතුළත් වේ. අත්ථ, වුද්ධී, වඩ්ඪී යන වචන තුන එයින් වඩාත් ප්‍රකට ය. ඒ හැර, මංගල හා භාවනා යන වචන ද මිනිසාගේ දියුණුව හෙවත් සංවර්ධනය අදහස් කිරීමට යොදාගෙන තිබේ. මෙහිදී වඩ්ඪී යන වචනය ප්‍රමාණවත් බව හැඟේ. අංගුත්තර දසක නිපාතයේ එන එක් සූත්‍රයක් ඒ නමින් ම හැඳින් වේ. එය විමසා බලන විට සංවර්ධනය පිළිබඳ බෞද්ධ අර්ථකථනය පරිපූර්ණව දැක ගත හැකි යි. එහි මෙසේ දැක්වේ.

දසහි භික්‍ඛවේ වඩ්ඪීහි වඩ්ඪමානෝ අරියසාවකෝ අරියාය වඩ්ඪීයා වඩ්ඪති, සාරාදායී ච හෝතිවරාදායී කායස්ස, කතමේහි දසහි?

ඛෙත්තවත්ථුහි... ධන ධඤ්ඤේන... පුත්තදාරේහි.... දාස කමික කර පෝරිසේහි... චතුප්පදේහි.. සද්ධාය.. සීලේන.. සුතේන... ඩාගේන.. පඤ්ඤාය.

වඩ්ඪී සූත්‍රය, අංගුත්තර නිකාය, දසක නිපාත මෙහි තේරුම මෙසේ ය.

පහත සඳහන් කරුණු දහයෙන් වර්ධනය වන ආර්ය ශ්‍රාවකයා, ආර්ය වෘද්ධියෙන් වැඩෙයි, කයෙහි සාරය ද, උත්තමාර්ථය ද ලැබ ගත්තේ වෙයි. කුමන කරුණු දහයකින් ද ?.

1. කෙත් වතුවලින්
2. ධන ධාන්‍යයෙන්
3. අඹු දරුවන්ගෙන්
4.දැසි දස් කම්කරු පිරිසෙන්
5. සිවුපා සතුන්ගෙන්
6. ශ්‍රද්ධාවෙන්
7. සීලයෙන්
8. අධ්‍යාපනයෙන් (ශ්‍රැතයෙන්)
9. ත්‍යාගශීලීබවෙන්
10. ප්‍රඥාවෙන්

වර්තමාන ව්‍යවහාරයට අනුව විග්‍රහ කළහොත් මෙහි කෙත් වතු වලින් ධන, ධාන්‍යයෙන් හා සිවුපා සතුන්ගෙන් වැඩි දියුණුවීම (1, 2, 5 කරුණු) යනු ආර්ථික හා භෞතික දියුණුව ලබා ගැනීම ය. අඹු දරුවන්ගෙන් හා දැසිදස් කම්කරු පිරිසෙන් දියුණුවීම යනු (3, 4 කරුණු) හිතකර සමාජ සම්බන්ධතා පිහිටුවා ගැනීම ය. සීලයෙන් දියුණුවීම (7) නම් සදාචාරාත්මක දියුණුව ය. ශ්‍රද්ධාවෙන්, ශ්‍රැතයෙන් හා ප්‍රඥාවෙන් (6, 8, 10) දියුණුවීම ආධ්‍යාත්මක දියුණුව ලැබීමයි. ත්‍යාගශීලී බව (9) ආධ්‍යාත්මික දියුණුවට ද සමාජ සබඳතා ගොඩනැංවීමට ද හේතු වේ.

සංවර්ධන සංකල්පය, වර්තමාන සමාජාර්ථික විද්‍යාඥයන් විසින් විග්‍රහ කර දක්වන ලද ක්‍ෂේත්‍රයට වඩා බොහෝ සෙයින් පුළුල් වූ ක්‍ෂේත්‍රයක් තුළ ව්‍යාප්ත වන අයුරු බෞද්ධ විග්‍රහයෙන් මැනැවින් හෙළි වේ. මෙයට හේතුව මිනිසා ද ලෝකයද, බෞද්ධයා හැඳින ගන්නේ සාකල්‍ය දෘෂ්ටි කෝණයකින් Holisticview නිසා ය. මිනිසාගේ ද ලෝකයේ ද පැවැත්මේ න්‍යාය ලෙස බුදු දහම ඉදිරිපත් කරන ප්‍රතීත්‍ය සමුත්පාද ආර්ය න්‍යායෙන් (අරියෝ ඤායෝ = පටිච්ච සමුප්පාද) පුද්ගලයා වනාහි සමස්තයේ අංශු මාත්‍රයක් බව ප්‍රකට කරයි. මැදුම් පිළිවෙත විමසන විට මෙයට පදනම් කරගත් දර්ශනය හා පිළිවෙත ඉදිරිපත් වේ.

වඩ්ඪී සූත්‍රයෙන්, මිනිසාගේ දියුණුව (සංවර්ධනය) පිළිබඳ සතරාකාර අංශයක් අවධාරණයට ලක් වන අයුරු වටහා ගැනීම වැදගත් ය. මේ අංශ සතර වනාහි,

1. මිනිසාගේ ආර්ථික භෞතික සංවර්ධනය

2. හිතකර සමාජ සම්බන්ධතා සංවර්ධනය

3. සදාචාරාත්මක සංවර්ධනය සහ

4. ආධ්‍යාත්මික සංවර්ධනයයි.

ගිහි මිනිසුන් අරමුණු කොට භික්‍ෂූන් අමතා භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද දේශනා මෙන් ම ගිහියන්ට ම දේශනා කරන ලද සූත්‍ර ධර්මය ද විමර්ශනය කරන විට, ඒවායෙහි ඇතුළත් කරුණු මේ තේමා සතරට (ඇතැම් විට එයින් තේමා කිහිපයකට හෝ එකකට) ඇතුළත් කළ හැකි බව පෙනෙනු ඇත. එයින් සූත්‍ර ධර්ම කිහිපයක් වශයෙන් සිඟාලක, පත්තකම්ම, අනණ, ව්‍යග්ඝපජ්ජ, මංගල කාමභෝගී, රාසිය, වේළුද්වාර ආදී සූත්‍ර නම් කළ හැකි ය. සංවර්ධනය මැනීම සඳහා GNP, PQLI, HDI වැනි දර්ශක භාවිතය කෙතරම් දුරට සාර්ථක ද යන්න සැළකිල්ලට ගත් නිසා විය යුතු ය. බෞද්ධ භූතානය මිනිසාගේ තෘප්තිමත් බව මනින GNH හෙවත් දළ ජාතික සංතෘප්තිය (Groos National Happiness) නම් වූ දර්ශකය භාවිත කරන බව අසන්නට ලැබෙන්නේ.

මැදුම් පිළිවෙත යනු, සමස්ත බුද්ධ ධර්මයම ඇතුළත් ඉතා පුළුල් සංකල්පයකි. බෞද්ධ විශ්ව කෝෂයෙහි ‘මධ්‍යමා ප්‍රතිපත්’ යනුවෙන් පළ කර ඇති ලිපිය කියවන්නකුට එයින් අර්ථවත් වන පෘථුල ක්‍ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි යි. මෙහිදී එයින් දාර්ශනික අර්ථය හා පුද්ගල චර්යාව සම්බන්ධ එක් අංශයක් පමණක් මෙහිදී විමසා බලනු ලැබේ. එය, සංවර්ධනය ගැන සාකච්ඡා කිරීමට මේ ලිපියෙහි දී ප්‍රමාණවත් වන බැවිනි.

බුද්ධ කාලීන භාරතයෙහි පැවැති ආගමික මතිමතාන්තර මූලික වශයෙන් අන්ත දෙකකට අයත් බව බුදු දහම පෙන්වා දෙයි. ඒ අන්ත දෙක වනාහි ශාස්වත වාදය සහ උච්ඡේද වාදයයි. ‘පුද්ගලයා ඉපදී, ජීවත් වී, මැරී යයි. එය පුද්ගලයා සම්බන්ධ අවසානය වේ. ශරීරය හා සම්බන්ධ ආත්මයක් තිබෙන අතර මරණයේ දී කය බිඳීමත් සමග එය ද විනාශ වේ. මෙය, ‘උච්ඡේද වාදය’ නමින් හැඳින්විණි.

අනෙක් අන්තය වූයේ, මිනිසාගේ සිරුර මරණයේ දී අවසන් වූවත් එය තුළ වූ ආත්මය නොනැසී පවතින බව ය.

ඒ අඛණ්ඩ ආත්මය නව භව තනා ගනිමින් සසර සැරිසරයි. කය හා සම්බන්ධ වීමෙන් කිළිටි වන ආත්මය පිරිසුදු වූ දිනෙක, එහි ප්‍රභවය වූ බ්‍රහ්මන් හා එක් වීමෙන්, විමුක්තිය ලබා ගනියි. මෙය ශාස්වත වාදයයි.

මරණයෙන් අවසන් වන හෝ කය මිය ගියත් නොනැසී පවතින හෝ ආත්මයක් ප්‍රතික්ෂේප කරන බුදු දහම මිනිසාගේ පැවැත්ම විස්තර කිරීම සඳහා ඒ අන්ත දෙකම බැහැර කරයි.

පුද්ගලයාගේ හා ලෝකයේ මූලික ස්වභාවය වෙනස් වීම (අනිත්‍යය) බව පෙන්වා දෙන බුදු දහම, වෙනස් වන ස්වභාවය තුළ පැවැත්ම සිදු වන්නේ හේතුප්‍රත්‍ය හා ඵල සබඳතාවකින් බව පෙන්වා දෙයි.

මේ ප්‍රතීත්‍ය සමුත්පන්න ස්වභාවය විස්තර කිරීම සඳහා ආර්ය න්‍යාය (අරියො ඤායෝ) නම් වූ ‘පටිච්චසමුප්පාද ධම්ම නියාමය’ ඉදිරිපත් කර තිබේ. ඒ අනුව කිසිවක් වෙන් වෙන් වූ ඒකක වශයෙන් නොපවතින අතර ඒකක, වශයෙන් පෙනෙන හැම දෙයක් ම සමස්තයේ අංශු මාත්‍ර.

පමණක් බව හෙළි කරයි. ඒ අනුව පුද්ගලයා තමා තේරුම් ගත යුත්තේ අවට පරිසරයට සම්බන්ධ ඒකකයක් වශයෙනි. එනම් අනෙකුත් මිනිසුන්ටද (එනම් සමාජයට ද) ශාක පද්ධතියට ද, සත්ව ප්‍රජාවටද, භෞතික පරිසරයටද අත්‍යන්තයෙන් සම්බන්ධ අන්තර් පරායත්ත ( interdependeut ) සමස්තයේම අංශු මාත්‍රයක් වශයෙනි. තමා සමස්තයෙන් වෙන් වූ (පෘථක්) ඒකකයක් වශයෙන් සිතීම ‘පෘථක්’ මානසිකත්වයයි. පෘථක් මානසිකත්වයෙන් යුත් මිනිස්සු, පෘථක්ජනයෝ වෙති. ඒ පෘථක්ජන මානසිකත්වය මනෝ විකෘතියක් බව පෙන්වා දී, සමස්තයේ අංශු මාත්‍රයක් බවට තමා පිළිබඳ සිතන ආර්ය මානසිකත්වයට පුද්ගලයා පත්කිරීම, බුදුදහමේ අරමුණයි. දරිද්‍රතාව, සංවර්ධනයට එරෙහි මහා බාධකයකි. ඕනෑම සංවර්ධන කාර්යයක දී දරිද්‍රතාව මුලිනුපුටා දැමිය යුතුය. රජයක් හෝ කිසියම් සංස්ථාවක් දරිද්‍රතාව උපුටා දැමීම සඳහා අවංක උත්සාහයක් දරන්නේ නම්, එය එක් ආගමක, එක් පන්තියක, එක් ගෝත්‍රයක, එක් ජන කණ්ඩායමක, එක් පක්ෂයක, එක් ජාතියක හෝ එක් රටක ප්‍රශ්නයක් වශයෙන් ගෙන විසැඳීමට යෑම, නිරර්ථක උත්සාහයකි. පරම රෝගය කුසගින්න යැයි හඳුනාගෙන, සියලු සතුන් ආහාරයෙන් යැපෙතැයි පිළිගෙන, දරිද්‍රතාව නැති කිරීමේ පොදු වැඩපිළිවෙළක් ඇතිකළ යුතුªයි. එසේ නැතිව, එක් කොටසක් වෙන්කොට ගෙන ඒ ප්‍රශ්නය විසැඳීමට යෑමෙන්, තවත් ප්‍රශ්න රැසක් උද්ගත වීම විනා දරිද්‍රතා ප්‍රශ්නයට විසඳූම් නොලැබේ. මෙවැනි විසඳුම් මඟකට යා හැකි වන්නේ පෘථක් මානසිකත්වය ඇතිව නොව, ආර්ය චින්තනයට එළැඹීමෙනි.

නිවැරැදි පරිභෝජන දර්ශනය මැදුම් පිළිවෙත මගින් ඉදිරිපත් කර තිබේ. එය පැවිදි ගිහි උභය පාර්ශ්වයටම පොදු වූවකි. වචන පහක එය අන්තර්ගත වේ. අගථිතෝ, අමුච්ජිතෝ, අනජ්ක්වාපන්නෝ, ආදීනව දස්සාවී, නිස්සාරණ පඤ්ඤෝ යනුවෙනි. මෙහි ‘අගථිතෝ’ යන වචනය පමණක් විමසා බැලුවද, එය මෙතැනට ප්‍රමාණවත් ය.

‘අගථිතෝ’ යනු නොඇලී (ගථිත නොවී) පරිභෝජනයෙහි යෙදීම ය. පරිභෝජනයේදී ඇලීම, වර්තමානයට වැටහෙන වචනයෙන් කිවහොත් අධිපරිභෝජනයට ( Overconsumption ) නම් වේ’ ආහාරපාන සම්බන්ධයෙන් නම් එය ලෙඩ රෝග ඇතිකිරීමට හේතුවයි. ‘නොඉවසන දිව‘ නිසා තෙල් කෑම, සීනි කෑම, කෘතිම ආහාර පාන ගැනීම, මේ නිසා සිදුවේ.

ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන සම්බන්ධයෙන් නම් මේ නිසා අය - වැය තුලනය නොවීම, ණය වීම, සැහැසි ධන උපායනයෙහි යෙදීම ආදියට පෙළඹීමට සිදු වේ. සමාජ සම්බන්ධතා දුර්වලවීමට, ඇති නැති පරතරයක් බිහි කිරීමට ගැටුම්, ආරවුල් හා අවසන් වශයෙන් යුද්ධ හට ගැනීමට ද එය මං පාදයි. පුද්ගලයා හැම මොහොතකම අසහනයෙන්, අතෘප්තියෙන්, අසන්තුෂ්ටියෙක් සිටින්නකු බවට පත් කරයි. කෑදරකම, ප්‍රදර්ශන කාමය, අනුකරණය හා තරගය වැනි ආරම්භයේ සිට අතෘප්තිය ළඟා කර දෙන මං පෙත් හෙළි කරයි. මෙතෙක් සොය බැලූ කරුණු අනුව ගථිත පරිභෝජනයෙහි (අධි පරිභෝජනයෙහි) යෙදෙන සමාජය හෝ පුද්ගලයා ප්‍රශ්න රාශියකට මැදි වන්නෙකි. එය සංවර්ධනයේ ලක්ෂණය නොවේ.

නිෂ්පාදනයේදී නැතහොත් ධනෝපායනයේදී ගථිත බව, ලාභේන ලාභං නිජිගිංසනතාව හෙවත් ලාභය එකම අරමුණ කර ගැනීමට පොළඹවයි; එවිට ස්වභාවික සම්පත් මතු නොව මිනිසා ද ආර්ථික භාණ්ඩයක් බවට පත්වේ. මිනිසුන් ‘දහයේ කෑලි’ හෝ පනස්දාහේ කෑලි’ බවට එහිදී පත්වේ. පරිසරය සූරා කෑමට ලක්වෙයි. අනාගත පරපුරට ජීවත්වීමට මහපොළොව පවා ඉතිරි නොවන තැනට කරුණු යෙදේ. මේ බව යම්තමින් තේරුම් ගත්තාහු ‘තිරසාර සංවර්ධනය’ (Sustainable development) වැනි නව සංකල්ප ඉදිරිපත් කරති. මැදුම් පිළිවෙත මගින් සංවර්ධනය කරා යෑමට බලාපොරාත්තු වූවකු, සිඟාලෝවාදයේ කියැවුණු පරිදි මී මැස්සාගේ ඉරියව්වෙන් (භමරස්සේව ඉරීයතෝ) ධනය රැස් කරගෙන වේ තුඹස බැඳෙන්නාක් මෙන් (සොයා සන්නිචයං යන්ති වම්මිකෝ වූපචීයති) මනා සංවර්ධනයකට පත්වන බව කිව යුතුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.