Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පහත සඳහන් පාඨය කියවන්න. “මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනොමයා” හැම ක්‍රියාවකටම සිත පෙර ගමන් කරුවෙයි. සිත ප්‍රධානකොට ඇති ඒ සියලු ක්‍රියා සිතින් නිර්මාණය කරන ලද්දෝ ය. මෙම උත්කෘෂ්ට දේශනය අනුව, කෙනෙකුගේ දෙව්ලොව හෝ අපාය නිර්මාණය කරන්නේ සිත විසිනි, විමසීමක් කරන්න.

පිළිතුර - අපගේ සියලු කර්තව්‍යයන් මෙහෙය වන කරවන කර්තෘ කෙනකු නැතිහෙයින් සිත විෂය වස්තුවක් පිළිබඳව අවදිකම ලෙස හඳුනාගත හැකි ය. සිත පහළ වන්නේ කය පහළවීමත් සමඟ ය. (පහළ වීම යන වචනය අදාළ කරුණ අවබෝධය සඳහා පමණි.) එහෙයින් විඤ්ඤාණ නම් වූ ආරම්භ සිත පුද්ගලයාගේ පූර්ව ජන්මයෙහි කර්මානුරූපව හට ගත්තකි. මිනිසුන් අතර පවත්නා බුද්ධිමය හා චර්යාමය බහුත්වය සහ නානා චර්යාමය සියුම් වෙනස්කම් (නානත්ථ චරියා නානත්ථ සඤ්ඤා) මේ කර්මජ පටිසන්ධි චිත්තය නිසා ඇතිවෙයි.

කය හා සිත යන ද්විධ සිද්ධාන්තයන් අතරට නාම, රූප යන ජීවිතින්ද්‍රය හඳුන්වා ඇත. මෙම නාම ජිවිතින්ද්‍රිය හා රූප ජීවිතින්ද්‍රිය කය හා සිත යන ද්වයෙහිම නිරූපණය වෙයි. මිනිසා කය, සිත ජීවිතින්ද්‍රිය යන තුන් සාධක එක්වීමෙන් සකස් වී ඇත. මේ සාධක තුනේ සමුච්චයෙන් (එකතුවෙන්) නිරූපිත මිනිසා අසීමිත අප්‍රමාණ විභවයන්ගෙන් (පරිවර්තනයන්) යුක්ත ය. තමා ඇති කරගන්නා මෙන්ම, නැති කරගන්නාද හෙතෙම ගුණදම් ගබඩාවක් මෙන්ම කුණු ගොඩක් ද හිමිකර ගත්තෙකි. ඔහු තුළ පණුවෙක්, රකුසෙක්, මිනිසෙක්, සුපිරි මිනිසෙක්, දෙවියෙක් හා බ්‍රහ්මයෙක් ද වෙසෙයි. සත්ගුණ මෙන්ම දුර්ගුණ ද ඔහු තුළ නිලීනව පවතී. තමාට හා අනුන්ට ශාන්තියක් වීමට හෝ ශාපයක් වීමට ඔහුට පිළිවන. එසේ නම් මිනිස්සිත විසින් තමන්ගේ දෙව්ලොව හෝ අපාය නිර්මාණය කරගනියි. (අපවත් වී වදාළ නාරද හිමියන්ගේ බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ ග්‍රන්ථය ඇසුරෙනි)

ප්‍රශ්නය - ස්ත්‍රී, පුරුෂ සම්භෝගය සහවාසය, පවුල් ඒකකයේ උල්පත වේ. ඒ සඳහා දෙපාර්ශවයෙහි ම පි‍්‍රය මනාප බව (ස්කන්ත මනාප) අවශ්‍ය වෙයි. බුදුදහම මේ පිළිබඳව දරන ආකල්පය පිළිගැනීම ධර්ම ග්‍රන්ථයන්හි ඉතා සරලව සටහන්ව ඇත. ගිහි බෞද්ධයෙකුට මෙම කරුණු පිළිබඳව උපදේශනය අත්‍යවශ්‍ය වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - (සං නිකාය මාතුගාම, සං මාතුගාම සූත්‍ර)

කරුණු පසකින් කාන්තාව පුරුෂයාට ඒකාන්තයෙන්ම පි‍්‍රය මනාප වේ. රූපවත් බව, ධනය හා සිල්වත් බව, අනලස්, දක්‍ෂ බව, දරුවන් බිහි කිරීමේ (පප්ඤචස්සලභති) හැකියාව ප්‍රධාන වෙයි. මෙසේ පුරුෂ පක්‍ෂයෙහි ද මෙබඳු ගුණ තිබිය යුතු බව පුරුෂ සූත්‍රය මෙසේ සඳහන් කොට ඇත. රූපවා හොති, භෝගවා හෝති, සිලවාච හොති ආදී වශයෙන් පෙර පරිදි කාන්තාව හා සමාන සුදුසුකම් තිබිය යුතු ය. ප්‍රජනනය (දාව උපන්) පිළිබඳ අදහස වැදගත් ය. බුදු දහම තුළ සටහන්ව තිබෙන මෙබඳු සද්භාවයන් විවාහ වන හා විවාහපේක්‍ෂක පිරිස් වෙත සමාජගත කළ යුතු ය. එහි ප්‍රතිඵලය භුක්ති විඳින්නේ එම භූමිකාවෙහි නියැලී සිටින්නන් පමණක් නොවේ. සමාජයේ සියලු දෙනට එයින් සෙතක් ශාන්තියක් වනු ඇත.

ප්‍රශ්නය - ‘කාන්ත’ යන වචනයේ සරල ව්‍යවහාරය සිත් ඇදගන්නා සිත පැහැර ගන්නා යන අර්ථයයි. එම අර්ථයෙහි ම පද පෙරලිය කාන්තාව යන්නයි. ස්වභාවයෙන් ම කාන්තාව පුරුෂයන්ගේ සිත් යොමුගත කරන කරුණු බොහොමයක් දේශනා පාලියෙහි දක්නට ඇත. එහෙත් කාන්තාව විඳින දුඞඛ දෝමනස්සයන් පිළිබඳව ද බුදු දහම සැලකිලිමත් අවස්ථා බොහෝමයක් දක්නට ඇත. එයින් එක් අවස්ථාවක් පැහැදිලි කරන්න.

පිළිතුර - මාතුගාම සංයුත්තයෙහි මාතු ගාම වර්ගයෙහි ආවේණික දුඞඛ සූත්‍රය වනිතාවගේ අභ්‍යන්තර දුඞඛ දෝමනස්සයන් පහක් මෙසේ දක්වා ඇත.

1. මාතුගාමො දහ රොච සමානොපත්තුලං ගච්ඡති – තාරුණ්‍යයෙන් කාන්තා පතිකුලයට යා යුතු ය.

2. ඤාතකෙභි විනාහොති – නෑයන් ගෙන් වෙන් වෙයි.

3. අඤ්ඤත්‍රෙව පුරිසෙසි පච්චනු හොති මාතු ගාමේ උතුනී හොති – ඔසප් ඇත්තී වෙයි. මාගමට උරුම වූ දුකකි.

4. මාතුගාමො ගබ්භිනී හොති – ගැබිණියක් වීම

5. මාතුගාමො විජායති – දරුවන් ලබයි.

මෙහිදී මෙම කරුණු දුකක් බවට පත් වන්නේ මෙම ක්‍රියා තුළ ඇති වගකීම හා බැඳීම නිසයි. පතිකුලයට යාමට සිදුවීම කුමක්වුවත් ඒ හා බැඳී පවත්නා වගකීම් සමූහය අනුව කාන්තාවට ආවේණික වූ දුකක් වෙයි. ථෙර - ථෙරී ගාථාවලදී මෙම අදහස් තවදුරටත් පැහැදිලි කොට ඇත. තවද කාන්තාවට බල ශක්තීන් (පංචහි බලෙහි) පහක් ඇති බව බල වර්ගයෙහි විශාරද සූත්‍රය සඳහන් කරයි. එනම් රූපය, ධනය (භොග) ඤති – පුත්‍ර සීලය. මෙම බලශක්තින්ගෙන් ඇති කාන්තාව ශ්‍රේෂ්ඨ බව සඳහන් කරයි. මෙම වර්ගයෙහිම ‘අභිභූය්‍ය සූත්‍රය, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි බලෙහි සමන්නාගතො මාතුගාමො සාමිකං අභිභූයය වත්තති’ මේ බල පසින් යුතු කාන්තාව සැමියා යටත්කොට ගෙන ජීවත් වන බවද සඳහන් වෙයි.

ප්‍රශ්නය - අතුපතර විහිදුනු මහ ගහක් වූවද, තනිව සිටුනේ නම් මුලින් ඉදිරී යතත් සමූහව සිටිනතාක් කල් ගස්ගොන්න අනතුරු නො ලබන බවට උපමා කෙරෙමින් බොහෝ වූ ඤාතීන් සමග විසීම සුරක්‍ෂිත යයි “රුක්‍ඛ ධම්ම” ජාතක කථාව පවුල් ජීවිතය අගය කරයි. බුදු දහමෙහි සටහන් වන පවුල් ඒකකය පිළිබඳ දේශිත සූත්‍රාගත තොරතුරු පැහැදිලි කරන්න.

පිළිතුර - බුදු දහමට අනුව පවුල නමැති සමාජ ඒකකය දෙවියන් විසින් මිනිසාට ප්‍රදානය කළ පරිත්‍යාගයක් නොව. ජීවමාන මිනිසුන් අතර විශේෂිත ගුණාත්මක කරුණු මත සකස් වූවකි. එහි අඹු, සැමි, දෙපල මූලිකයෝ වෙති. දෙදෙනා අතර “ඒකාන්ත මනාපො” පි‍්‍රය මනාප බව මාතුගාම සං: පුරිස සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි. රූපවත් බව භෝගවත් බව, සීලවත් බව, දක්‍ෂ බව, කුසීත නොවන බව දරුවන් ලැබීමේ බලාපොරොත්තු ඇති බව විශේෂ හේතු වශයෙන් දක්වා ඇත.

ගිහි ගෙයින් නික්ම සසුන්ගත වූ ශ්‍රාවකයන් හැර ගිහිගෙය වසන්නාවුන් කෙසේ පිළිපැදිය යුතු දැයි “ධම්මික” බුදුරදුන්ගෙන් විචාළ විට පළමුව පැවිදිවත වදාළ බුදුහිමියෝ අනතුරුව “සම්බාධ සහිත ගෘහස්ථයාට ගැළපෙන ලෙස ගිහිවත දේශනා කළ බව සු.නි. ධම්මික සූත්‍රයෙහි සඳහන් වෙයි. පැවිද්දන් මෙන්ම ගිහියන්ද ශ්‍රාවකයින් ලෙසම මෙහි හඳුන්වන ලදහ. අඹුදරුවන් සමගින් කම්සුව විඳින කසී සළු අඳින සඳුන් ඇඟ ගල්වන මල් සුවඳ විලවුන් ඈ දරන රන් රිදී මසු කහවනු ඉවසන ගිහියනට මෙලොව පරලොව දෙකෙහිම හිතසුව පිණිස පවත්නා මඟක් සසුනෙහි ඇති බව “දීඝජානු” කෝලිය සිටුපුත්‍රයාටද උජ්ජය බමුණාටද බුදුහිමියෝ සවිස්තරව වදාළහ. ‘සංවාස’ සූත්‍රයෙහි දී සහවාසය සඳහා සුදුසුකම් පැහැදිලි කරමින් මිලාන වූ, ස්ත්‍රී, පුරුෂ සම්භෝගය පිටුදකිමින් උතුම් (දේව) ගති ඇති ස්ත්‍රී පුරුෂ සහවාසයම ශ්‍රේෂ්ඨ බව වදාළහ.

සදිසා නමදිමින් වෙසෙන ගිහියා ආර්ය ශ්‍රාවකයෙකු ලෙසත් දිසා නමස්කාරය සසුන් ගත පිළිවෙතක් ලෙසත් (අරියස්ස විනයෙ) සිඟාලක සිටු පුතුට බුදුහු වදාළහ. අඹු, සැමි සබඳතාව උතුම්ගිහිගෙය යන අරුතින් ‘සදාර බ්‍රහ්මචරිය’ යනුවෙන් ප්‍රකට විය. ගිහි සැපය ‘සදාර සන්තුට්ඨිය’ ලෙසින් හඳුන්වා දුන්හ. අඹු දරුවන් දැහැමින් පෝෂණය කරමින් පින් කරන සිල්වත් ගෘහපතියන්ට තමන් වඳින බව දෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් ප්‍රකාශ කළ බව ‘සක්කනමස්සන’ සූත්‍රය කියයි. සුළු වැඩපල කරමින් දුකසේ ජීවිකාව ගෙවන දිළින්දකු අඹුදරුවන් පෝෂණය කරමින් දහමෙහි හැසිරෙමින් කෙරෙන අල්පමාත්‍ර පරිත්‍යාගය. පවා සහසු (දහසක්) යාග කළ මහා යාගයකටත් වඩා සය ගුණයක් අගනේ යැයි බුදුරදුන් විසින් ස.නි. මච්ඡරී සූත්‍රයෙහි දී මෙසේ වදාළහ.

ධම්මං චරෙ යොපි සමුඤ්ඡකං
වරං දාරංච පොසං දදමප්පකස්මිං
සතං සහස්සානං සහස්ස යාගීනං
කුලම්පි නාගස්සන්ති තථාවිධස්ස තෙ

අබ්‍රහ්ම චාරී වූ අඹුදරුවන් සමග සතුටු වූ කාම භෝගී වූ ඉසිදත්ත වැන්න වුන් සකෘදාගාමීව කළුරිය කළ බව ප්‍රකාශ වීමෙන් ආර්ය මාර්ගයෙහි ගමන් කිරීම ගිහියාට ද විවෘත වූවක් බව පෙනෙයි. අතුපතර විහිදුනු මහ ගහක් වූවද තනිව හුදකලා වූයේ නම් මුලින් ඉදිරී යතත් සමූහව සිටිනතාක් කල් එකමුතුව අනතුරක් නොලබන බව උපමා කරමින් බොහෝ වූ ඤාතීන් හා සමඟ විසීම යහපත් බව පවසන ‘රුක්ඛ ධම්ම ජාතකය’ පවුල් ජීවිතය අගය කරයි. අඹු සැමියන් මව්පියන් ද දරුවන් ද යන පරම්පරා තුනකට අයත් සාමාජිකයන් සහිත පුළුල් පරාසයක ජීවත් වන ගිහියකුගේ තොරු තුරු සිඟාලෝවාද සූත්‍රයෙහි දක්නට ලැබෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.