Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය නිරවුල් කරන නිවන් සුව සලසන ඉන්ද්‍රිය සංවරය

මෙලොව උපන් මිනිසාට හුදකලාව ජීවත්විය නොහැකි ය. අනිවාර්යයෙන්ම ඔහුට අවට ලෝකය හා සම්බන්ධතා වන්නේ බිළිඳකු මෙලොව එළිය දුටු වේලේ සිට ය. කිරිකැටි බිළිඳා, මවගේ කිරි උරා බොමින්, දරු සෙනෙහස, දයාව, කරුණාව, මැද මවගේත් අවට සමාජයේත් සම්බන්ධතාව පවත්වා ගනියි. එසේ අවට ලෝකය හා සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා ස්වභාව ධර්මය විසින් මිනිසාට ලබා දී ඇති ඉන්ද්‍රිය හයකි. එනම් ඇස, කන, නහය, දිව, කය හා මනසයි. පි‍්‍රය ජනක රූප දර්ශන ආදිය සොය සොයා ඇස මහන්සි වෙයි. කන මිහිරි ශබ්දත් නහය සුවඳ ආඝ්‍රාණයත්, දිව මිහිරි රසත් සොයයි. සැපවත් ස්පර්ශ විඳීමට කය කැමැති ය. මනස පි‍්‍රය ජක අරමුණු වලින් ආශ්වාදය ලබයි. මෙසේ, ඉඳුරන් කැමැති අරමුණු කෙරෙහි දක්වන අසීමිත ලොල් බව හේතුවෙන් සමාජයේ විශාල පිරිසක් විපතට පත්ව සිටිනු දිස් වෙයි. නමුත් යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් ඉඳුරන් පිනවීම පාලනය කර ගන්නා පිරිස ඉතා අල්ප ය. මෙසේ ඉඳුරන් පිනවීම පාලනය කර ගැනීම බුදු සමයෙහි ඉගැන්වෙන්නේ ඉන්ද්‍රිය සංවරය යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ, මෙලොව පහළ වූ සමයේ, මහා භාරතය පුරා ඉන්ද්‍රිය සංවරය පිළිබඳ කතිකාවන් බොහෝ වූ බව, බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. ඒ සඳහා සමහර බ්‍රාහ්මණයෝ ඇසින් රූප නොබලා සිටිම, කනින් ශබ්ද නො අසා සිටීම වැනි බොළඳ ක්‍රියා මාර්ග අනුගමනය කළ බව කියැවෙයි. ඉන් යහපත් ප්‍රතිඵල අත් පත් කර ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. ඇතැම්හු ශරීරයට අප්‍රමාණ දුක් දෙමින් අත්තකිලමථානු පිළිවෙත් පුරමින් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමට වෙහෙසුණහ. එලෙසම තවත් පිරිසක් අසීමිතව ඉඳුරන් පිනවමින් කාමසුඛල්ලිකානු පිළිවෙත් ක්‍රියාත්මක කළහ.

මහා භාරතය පුරා ප්‍රචලිතව පැවැති මේ පිළිවෙත් පිළිබඳ ලද අත්දැකීම් සම්භාරයක් භාග්‍යවතුන් වහන්සේ සතුව පැවතිණ. එම අත්දැකීම උපයෝගී කර ගත් උන්වහන්සේ, ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කළහ. ඉන්, එම අන්ත දෙකේම හිස් බව මනාව වටහා ගෙන, ඒ අන්ත දෙකම ප්‍රතික්‍ෂේප කළහ.

ඒ වෙනුවට, නුවණැස ලබා දෙන, කෙළෙසුන් සංසිඳීම චතුස්සත්‍ය අවබෝධය, නිවන් අවබෝධය පිණිසම හේතු වන මධ්‍යම ප්‍රතිපදාව දේශනා කර වදාළ අන්දම, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දැක්වෙන්නේ මෙසේ ය. “ද්වේ මෙ භික්‍ඛවේ අත්තා පබ්බජිතෙන න සෙව්තබ්බා, යෝචායං කාමසුඛල්ලිකානු, යෝගෝ - හිතො, ගම්මො, පෝථුජ්ජනිකො, අනරියො, අනත්ථසංහිතො, යෝචායං අත්තකිලමථානු යොගො දුක්ඛෝ, අතරියෝ, අනත්ථසංහිතො, එකෙ ;ත භික්‍ඛවේ උභෝ අන්තෙ අනූපගම්ම මජ්ජිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය නිබ්බාණය, සංවත්තති” යනුවෙනි. (මෙහි සරල අදහස ලාමක වූත්, අනර්ථයක් සිදුකරන්නාවූත් කාමසුඛල්ලිකානු යෝගය හා දුක් උපදවමින් අනාර්ථකාමීවත්තා වූ අත්තකිලමථානු යෝගය යන අන්ත දෙකම පැවිද්දන් විසින් අත්හළ යුතු අතර, නුවණැස ලබාදෙමින් නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා වූ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම සුදුසු වෙයි යන්න ය.) එසේම මධ්‍යම ප්‍රතිපදාව තුළින් ස්වකීය ඉන්ද්‍රිය සංවර කර ගනිමින් දෙලොව හිත සුව සලසා ගන්නා අන්දම පහදා වදාළහ.

පෘථග්ජන මිනිසා තුළ ඉන්ද්‍රිය අසංවරභාවයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී. එලෙසම ඕනෑම කෙනකුට ඉන්ද්‍රිය අසංවරව පවත්වා ගැනීම ඉතා පහසු ය. නමුත් ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ශික්‍ෂාකාමී ජීවිතයක් ගත කිරීම දුෂ්කර ය. එබැවින් නැණවත් මිනිසා ඉන්ද්‍රිය සංවරය ගැන අවබෝධයක් ලබා ගැනීමට උත්සාහවත් වෙයි. ඉන්ද්‍රිය සංවරයෙන් තොර පුද්ගලයා ඉන්ද්‍රියවලට පි‍්‍රය අරමුණු ලැබුණු වහාම දැඩි සේ ඊට ලොල්ව ඒවා ග්‍රහණය කර ගැනීමට පෙළඹෙයි. කිසිම විචාරයකින් තොරව ඔහු පාප මිත්‍ර සේවනයට යොමුවෙයි. මවුපිය, ගුරු, වැඩිහිටි උපදෙස් නොපිළිපදියි. පහසුවෙන්ම මත්පැන්, මත්කුඩු හා වෙනත් දුශ්චරිත ආදියටද පෙළඹේ. මේ අන්දමට ඉන්ද්‍රිය සංවරභාවයෙන් තොර වූ මොනතරම් පිරිසක් සිපිරි ගෙවල සිර දඬුවම් විඳීමත් දුක් විඳිත් ද ස්වකීය ජීවිත විනාශ කර ගත් පිරිස කොපමණද?

රටක සාරධර්ම සුරකිමින් සංවර, ශික්‍ෂාකාමී සමාජයක් බිහිකිරීම සඳහා මාධ්‍ය මඟින් ඉටු කළ හැකි සේවාව ඉතා විශාල ය. මේ වගකීම හරිහැටි අවබෝධ කර නොගත් මෙරට සමහර රූපවාහිනී, නාලිකා වාණිජ, දේශපාලන හා පෞද්ගලික වාසි ආදිය සඳහාතම මාධ්‍ය යොදා ගනිමින් ක්‍රියා කරන අන්දම ඛේදජනක ය. දීර්ඝ කාලයක් තිස්සේ බෞද්ධ රටක පැවැති උතුම් සාරධර්ම විනාශ කිරීමකි, එය. නොදැනුවත්වම රටේ සමස්ත සමාජය පිරිහීමට පත් කරවීමකි. මේවායේ දවසේ වැඩි කාලයක් තිස්සේ ප්‍රදර්ශනය කැරෙන ටෙලිනාට්‍ය, තුට්ටු දෙකේ හින්දි චිත්‍රපටවල ඇතුළත් ප්‍රචණ්ඩත්වය, කාමුකත්වය, අසංවර හැසිරීම්, පවුල් අවුල් ආදිය මඟින ළමා තරුණ, වැඩිහිටි කොයිකාගේත් සිත් සතන් දූෂණය කර අසංවරභාවයට පොලඹවනු පෙනෙයි. අඩනිරුවත් කාන්තා රංගන, පිළිකුල් සහගත හැසිරීම් රටා ආදිය ඇතුළත් වෙළෙඳ දැන්වීම් වලින් ද අඩුවක් නැත. මීට සමගාමීව, හොර රහසේ ප්‍රදර්ශනය වන ‘නිල් චිත්‍රපට’ ජාවාරම මගින් ඉන්ද්‍රිය සංවරය රැකගැනීමට විශාල ලෙස බාධා පමුණුවන බව පෙනෙයි. මාතෘත්වයට පවා නිගාදෙන අඩ නිරුවත් කාන්තා ඇඳුම් විලාසිතා වලින් ගමත් නගරයත් එකසේ පිරී ඇත. මින් සමාජයේ ඉන්ද්‍රිය සංවර බව රැක ගැනීමට ඉතා විශාල බාධා ඇතිවෙයි.

ප්‍රඥාවන්ත වූ, බුද්ධිමත් වූ පුද්ගලයාට මෙවැනි සමාජය කෙළෙසන, සමාජය පරිහානියට ඇද දමන දේ පිළිබඳ අවබෝධය තුළින් ඉන්ද්‍රිය සංවරව පවත්වා ගැනීමේ හැකියාව ඇත. ඔහු නිරතුරුවම ධාර්මික වූත්, ප්‍රතිපත්ති ගරුක වූත් සාර්ථක දිවි පෙවෙතක් ගත කරයි. ගමන, බිමන, ඇඳුම්, පැළඳුම්, ;;දනික කටයුතු ඥාති මිත්‍රාදීන් ඇසුර ආදී සෑම කටයුත්තක්ම ක්‍රමවත්ව ඉටු කරයි. කිසිම පාපකාරී ක්‍රියාවකට හෝ අධර්මිෂ්ට ක්‍රියාවකට නොපෙළඹෙයි. මේ අන්දමේ චර්යා රටාවකින් යුතු ඉන්ද්‍රිය සංවර පුද්ගලයා සමාජයට පි‍්‍රයශීලී පුද්ගලයකු වෙයි. කාගේත් ප්‍රසාදයට ලක් වෙයි. ඔහුගේ කීර්තිය පැතිරෙයි.

මේ කරුණු පිළිබඳ එදා සිංහල සමාජය වැටහීමකින් ක්‍රියා කළ බව පෙනෙයි. නමුත් වර්තමාන සමාජය තුළින් එය ගිලිහී යෑමට පටන් ගෙන තිබෙන බව පෙනෙයි. වාණිජත්වය මත පදනම් වූ සිතුම් පැතුම් වලින් වර්තමාන සමාජයේ බහුතර සිත් සතන් පිරී ගොස්, දූෂිතව පවතී. ඒ හේතුවෙන් සමාජය භයානක ඉරණමකට මුහුණපෑමේ තර්ජනයකට ලක්ව සිටියි. කාම වස්තූන්ගෙන් ලැබෙන ආශ්වාදයට වසඟවීම නිසා ඒවා තමා සතු කර ගැනීමට හා රැක ගැනීමට යොමු වීම. ඉන්ද්‍රිය අසංවර පුද්ගලයාගේ ස්වභාවයයි.

එහි දී ඔහු තමන්ට ආශ්වාදය ලබා ගැනීම සඳහා බාධා පැමිණෙන විට අපරාධ කිරීමට පවා පෙළඹෙයි. එබැවින්, සමාජ ජීවිතයේ දී ඉන්ද්‍රිය සංවරය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය. සංවර වූ ඉන්ද්‍රිය, පුද්ගලයාට රන් රිදී මුතු මැණික් පරදවන ආභරණයකි. එහි බැබලීම දස අත පැතිරෙයි. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව එය පවතියි.

ලොව පහළ වූ ආගම් කර්තෘවරුන් අතර, බුදුරජාණන් වහන්සේ තරම් ඉන්ද්‍රිය සංවරය පිළිබඳ දේශනා කළ ආදර්ශ ලබා දුන් ශ්‍රේෂ්ඨ උත්තමයකු ගැන සඳහන් නොවෙයි. බුදුන් වහන්සේ ඇති කළ සංඝ සමාජය, ගුණගරුක, විනයගරුක, ප්‍රතිපත්ති ගරුක, උතුම් සංස්ථාවක් බවට පත් කිරීම සඳහා ක්‍රියා කළ සේක. සංඝ සමාජයේ යහපත් පැවැත්ම උදෙසා දේශනා කර වදාළ ‘සේඛියා පද’ ආදිය තුළින් ඒ බව තහවුරු වෙයි.

එසේම ගිහි ජීවිත ගත කරන පෘථග්ජන ගිහියාට ලබා ගත හැකි මඟ පෙන්වීම්, අවවාද ආදිය ද බොහෝ ය. ගිහි බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පන්සිල් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඉන්ද්‍රිය සංවරය අවධාරණය කර ඇත. ඉන්ද්‍රිය සතුටු කිරීමට යොමු වන නොහික්මුණු පුද්ගලයා තුළ ජනිත වන ආශා, දුක්, දොම්නස් ආදී කෙලෙසුන් හේතු කොට ගෙන පන්සිල් රැකීමට බාධා පැමිණෙන හෙයිනි.

මෙසේ වූ ආශා දුක් දොම්නස් ජය ගැනීම උදෙසා ඉන්ද්‍රිය සංවරය හේතු වන අන්දම, ධම්මපදයේ භික්‍ඛු වග්ගයේ දැක්වෙන්නේ මෙසේ ය.

චක්ඛුනා සංවණේ සාධු
සාධු සෝතේන සංවරෝ
ඝණෙන සංවරෝ සාධු
සාධු ජිවිහාය සංවරෝ

කායෙන සංවරෝ සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ථ සංවරෝ

මෙහි සරල අදහස නම් ඇස, කන, නාසය, දිව, කය, මනස හා වචනය සංවර කර ගැනීම, යහපත් බවයි. සැම තැන්හිම සංවර වීම යහපත් ය.

ඉන්ද්‍රිය සංවරය මගින් බුදු දහම අපේක්‍ෂා කරනුයේ, මිනිසා අක්‍රීය තත්ත්වයකට පත් කර කොටු කර තැබීම නොවෙයි. හික්මුණු ඉඳුරන් තුළින් වඩා යහපත් ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් මානව සමාජයක ඔහු කොටස් කරුවකු කිරීමයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.