Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව:

නොදැනුම නසන මඟ


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අවිජ්ජමපාහං භික්‍ඛවේ, සාහාරං වදාමි, නො අනාහාරං, කො චාහාරො, අවිජ්ජාය, පඤච නීවරණාතිස්ස වචනියං, පඤචපහං, භික්ඛවේ, නීවරණෙ සාහාරෙ වදාමි, නො අනාහරෙ. (අවිජ්ජා සූත්‍රය) (අංගුත්තර නිකාය, දසක නිපාතය)

සැදැහැබර පින්වත්නි,

සත්වයා සසර නොයෙක් භවයන්හි ඉපදෙමින්, මැරෙමින් ගමන් ගැනීමට හේතුව අවිද්‍යාවයි. එනම් සිවුසස් ධර්මයන්ගේ නොවැටහීමයි. සත්වයා තුළ පවතින අවිද්‍යාව කවර අවස්ථාවක ඇති වූයේ දැයි සඳහන් කළ නොහැකි ය. නමුත් අවිද්‍යාව පවත්වන්නේ කිනම් කාරණයකින් දැයි පෙන්වා දිය හැක. බුදුන් වහන්සේ පෙන්වාදෙන්නේ අවිද්‍යාවේ පැවැත්ම ප්‍රත්‍යයන්ගෙන් සිදුවන බවය. එනම් එය හේතු සහිතව පවතින කරුණක් බවය. තව විදියකින් කියතොත් අවිද්‍යාවේ පැවැත්ම ආහාරයෙන් පවතින බවය.

මුලින්ම බුදුරජාණන් වහන්සේ මෙම අවිද්‍යාවේ ආහාර (පෝෂණය)වශයෙන් පෙන්වා දෙන්නේ පංච නීවරණයන් ය. එනම්, කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා ය. කාමච්ඡන්ද නම් පංච කාමයන් පිළිබඳව ඇතිවන ආශාව ය. ඇසෙන් දකින ලස්සන රූප, කයෙන් අහන මිහිරි ශබ්ද, නාසයෙන් මිහිරි ගන්ධ, දිවෙන් ලබන ප්‍රණීත රස, කයෙන් ලබන සැප පහස යන මේවා පංචකාමයෝ වෙති. ලොව සියලු සත්වයෝම මෙම පංචකාමයන්ට ඇලුම් කරති. කාමයන් කෙරෙහි ඇති කරගත් ආශාව නිසා ජීවිතය අවිද්‍යාවෙන් වැසී යන්නේ ය. සත්‍ය නොවැටහී යන්නේ ය. එම නිසා කාමයට ඇති කැමැත්ත (කාමච්ඡන්දය) අවිද්‍යාවේ පෝෂණය (ආහාරය) බව දැනගත යුතු ය. සිතේ හටගන්නා වූ ව්‍යාපාදය (තරහ) අවිද්‍යාවේ මීළඟ ආහාරය වන්නේ ය. සතුරා දුටු සැණින් හෝ සිහිවන විටද මෙම ව්‍යාපාදය මනසෙහි නැග එන්නේ ය. එය දණ්ඩෙන් පහර කෑ සර්පයෙක් සේ ය. ක්ෂණිකව තරහ, කෝපය, පැමිණි කල්හි පුද්ගලයාට සියල්ල අමතක වී යන්නේ ය. මෙය චතුරාර්ය සත්‍ය නොවැටහීමට කාරණයක් ලෙස දැක්විය හැක. මීළඟට ථීනමිද්ධය, එනම් සිතේ හටගත් අලස බවය. එය සිතිවිලි වල ඇති අලස බව යැයි ද සඳහන් කළ හැක. අලසකම පැනනැගීම නිසා තමා කරගෙන යන සියලු කුසල සහගත කර්ම අඩාල වන්නේ ය. තමා භාවනා යෝග කර්මයක නිරත අයකු නම් එයද අඩාල වන්නේ ය. සිතිවිලි වල අලස බව ධර්මය නුවණින් මෙනෙහි කිරීමට බාධාවකි. එය සත්‍ය නොවැටහීමට ද හේතුවකි. එම නිසා ථීනමිද්ධය අවිද්‍යාවේ ආහාරයක් ලෙස දක්වා ඇත. සිතෙහි ඇතිවන විසිරියන ගතිය හා නොසන්සුන් බව උද්ධච්ඡ කුක්කුච්ඡ නම් වේ. ඇස් කන් ආදී ඉඳුරන්ගෙන් පැමිණෙන්නා වූ විසම අරමුණු මුල්කොට නිතර සිතෙහි විසිරීම හා නොසන්සුන් බව ඇති වන්නේ ය. සිතේ නොසන්සුන් ගතිය එක අරමුණක සිත පවත්වාගනීමට බාධාවකි. ඒ තුළින් ඒකග්‍රතාව නැතිව යන්නේ ය. මෙය අවිද්‍යාවට ආහාරයක් වන්නේ ය.

මෙසේ සිතෙහි හටගත් පංච නීවරණය කිසියම් ප්‍රත්‍යයක් මුල්කොට ගෙන ඇති බව බුදුන් වහන්සේ පෙන්වාදුන් සේක. හටගත් නීවරණයන්ට ආහාරය ලෙස ත්‍රිවිධ දුෂ්චරිතයන් පවතින බව අප දැනගත යුතු ය. එනම් කාය දුශ්චරිත, වචී දුශ්චරිත හා මනෝ දුශ්චරිත ය. කාය දුශ්චරිත නම්, සත්ව ඝාතනය සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, සුරාපානය වන්නේ ය. වචී දුශ්චරිත නම් මුසා බස් කීම, කේලම් කීම, පරුෂ වචන කීම හා හිස් වචන කීමය. මනෝ දුශ්චරිත නම් අභිජ්ඣා, ව්‍යාපාද හා මිච්ඡාදිට්ඨිය වන්නේ ය. මෙහිදී අභිජ්ඣා යනු සිතෙහි ඇතිවන දැඩි ලෝභය ලෙස දතයුතු අතර එය දෙයාකාරයකින් දැක්විය හැක. එනම් ස්වකීය පංචුපාදානස්කන්ධය පිළිබඳ ඇතිකරගන්නා ආශාව හා තමාට අයිති නැති කාම වස්තූන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව යැයි මෙය සඳහන් කළ හැක. ව්‍යාපාදය යනු මුලින් සඳහන් කළ ආකාරයට ඇතිකරගන්නා සතුරා නැසෙත්වා යන අදහසය. මිච්ඡාදිට්ඨිය යනු වැරදි දෘෂ්ටීන්හි එල්බෙමින් කටයුතු කිරීම ය. මෙම කියන ලද සියලු දුශ්චරිතයන් පංච නීවරණයන්ගේ පෝෂණය බව අප දැනගත යුතු ය. එසේම මෙම ත්‍රිවිධ දුශ්චරිතයන් ද කාරනා සහිතවම පුද්ගල ජීවිතය තුළ ගොඩනැගෙන්නකි. එය නම් ඉන්ද්‍රීය අසංවරයි. පින්වත්නි, යමෙකුගේ ඇස, කන නාසය දිව, කය, මනස යන මෙම ඉන්ද්‍රියන් යම් ආකාරයෙන් අසංවර නම් ඒ තුළින් උපදින්නේ ත්‍රිවිධ දුශ්චරිතයන් බව තේරුම් ගත යුතු ය. මෙම අසංවර ඉන්ද්‍රිය ඇති වීමටද හේතුව අසිහිය හා මනාව නොදැනීම වන්නේ ය. මෙය අස්මෘති අසම්පජඤ්ඤය යැයි දත යුතු ය. අස්මෘති යනු ස්මෘතිය නොමැති බවය. යමෙකු තුළ ස්මෘති සම්පජඤ්ඤය හෙවත් නුවණින් විමසා බැලීමේ හැකියාව නොමැති කම සත්‍ය වටහා ගැනීමට ඇති දැඩි බාධාවක් බව හඳුනාගත යුතු ය.

පින්වත්නි, මේ කියන ලද ‘අස්මෘති අසම්පජඤ්ඤය’ ද ඉබේ හටගත් දෙයක් නොවන්නේ ය. එයට ද හේතුවක් ඇත. එය අයෝනිසෝමනසිකාරය (එලඹ සිටි සිහිය නොමැති කම) නිසා ඇතිවන්නකි. අයෝනිසෝමනසිකාරය නිසා පුද්ගලයාට කුසලය අකුසලය තෝරාගත නොහැකි වන්නේ ය. එතුළින් ඇස, කන, නාසය ආදී ඉඳුරන්ගෙන් ලැබෙන අරමුණු කෙරෙහි ඇලීමත් ගැටීමත් ඇතිවන්නේ ය. එයින් සිදුවන්නේ මෝහය දියුණු වීමය. සත්‍ය නොවැටහීමය. එසේම මෙම අයෝනසෝමනසිකාරය ද ඉබේ පහළ වූවක් නොව එයට ද හේතුවක් ඇත. එයට හේතුව ශ්‍රද්ධාව නොමැති කමයි. මෙය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හා විශ්වාසය නොමැති කම බව දැනගත යුතු ය. යමෙක් තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හා විශ්වාසය නොමැතිකම යෝනිසෝමනසිකාරය ඇති නොවීමට හේතුවක් බව දැනගත යුතු ය. එසේම ශ්‍රද්ධාව නොමැතිකමත් හේතු සහිතව පවතින්නකි. එයට හේතුව අසද්ධර්මය ඇසීමය. එනම් සසරින් නිදහස් වීම සඳහා දේශීත ධර්මය වෙනුවට සසර දික් වීම සඳහා කෙරෙන ප්‍රකාශයන් අසා එම අසද්ධර්මය ප්‍රගුණ කිරීමය. මෙයින් සිදුවන්නේ යමෙකු තුළ තෙරුවන් කෙරෙහි යම් ශ්‍රද්ධාවක් පැවැතුනි ද එයද නැති වී යෑම ය.

පින්වත්නි, යමෙකුට අසද්ධර්මය ඇසීමට නිකම්ම සිදු වන්නේ නැත. එයටද හේතුවක් පවතියි. එය අසත්පුරුෂ සේවනය නිසා සිදු වන්නකි. අසත්පුරුෂයන් ඇසුරු කිරීම සසර ගමන දීර්ඝ වීමට හේතුවකි. ඒ නිසා සසර දුක් කෙළවර කිරීමට බලාපොරොත්තු වන හැමදෙනාම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය සත්පුරුෂයන් බව සලකා ඇසුරු කළ යුත්තේ ය. තථාගත බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය සසර දුකෙන් නිදහස් වීමේ ඇති වටිනාකම පිළිබඳව නිතර දේශනා කරන උත්තමයන් බව සිහියේ තබා ගත යුතු ය. එසේම නම් අසත්පුරුෂ ඇසුර සසර දුක් ඉපිද වීම පිණිස හේතුවන අතර එය අසද්ධර්ම ශ්‍රවණයට ආහාරය බවද වටහාගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ මෙම අවිජ්ජා සූත්‍රයේ දී අවිද්‍යාව සම්පූර්ණ වන ආකාරය පිළිබඳ මෙසේ දේශනා කළ සේක. එනම් මහණෙනි, යම් සේ පර්වතයක් උඩ වැහිබින්දු ඇති වර්ෂාවක් ඇති කල්හි, එම ජලය නිම්නය කරා ඇදී යන්නේ ඇළ, දොළ, ගංඟා පුරවමිනි. ඉහළ සිට ගලා එන ජලය මුලින්ම කුඩා වලවල් ජලයෙන් පුරවත්, අනතුරුව ලොකු වලවල් පුරවත්, අනතුරුව කුඩා ගංඟා දපසුව මහා ගංඟා ද පුරවත්, මහා ගංඟා මහා සමුද්‍රය පුරවත්, මෙසේ මහා සමුද්‍රයේ ආහාරය ගලා පැමිණි ගංඟා ජලය වූවාසේ පුද්ගල මනසේ ඇති අවිද්‍යාවද මේ ආකාරයෙන් ක්‍රමයෙන් පෝෂණය වන බවය.

පින්වත්නි, මෙසේ තථාගත ශ්‍රාවකයා මෙම අවිද්‍යාවෙහි පැවැත්ම පිළිබඳව හඳුනාගත් පසු එහි නිරෝධය ප්‍රකට කර ගැනීමට උත්සාහ විය යුතු ය. යම් අවස්ථාවක අවිද්‍යාවේ නිරෝධය ප්‍රකට වූ කල්හි එයින් ඇති වන්නේ විද්‍යා විමුක්ති ය. අවසානයේ දී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන්නේ සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවනය සම්පූර්ණ කරන බවත්, සද්ධර්ම ශ්‍රවනය තුළින් ශ්‍රද්ධාව ඇතිවීමෙන් යෝනිසෝමනසිකාරය ද යෝනිසෝමනසිකාරයෙන් ත්‍රිවිධ සුචරිතය ද ත්‍රිවිධ සුචරිතය ප්‍රගුණ වීමෙන් පංච නීවරණයන්ගේ නිරුද්ධිය ද නීවරණයන් සමුච්ඡේද වීමෙන් අවිද්‍යාවේ නිරෝධය ද ඇති වන බවය. එසේ නම් පින්වත්නි මෙම අවිද්‍යා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන ලද්දේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නොවැටහීමට පාදකවී ඇති කරුණු කාරණා ය. එම නිසා ආර්ය සත්‍ය නොවැටහීමට පාදක වී ඇති හේතු හඳුනාගෙන එම හේතූන් නිරුද්ධ කිරීමට අප අප්‍රමාදීව වෙහෙස විය යුතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.