ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව සමඟ පැමිණි අටළොස් කුලය
චසිත බුලත්සිංහල
වංශකථා වලට අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව
ලක්දිවට වැඩම කරවීමත් සමඟ අටළොස් කුලයක පිරිස පැමිණි බැව් කියවේ. ඇතැම්
විද්වතුන් එය ශිල්ප ශ්‍රේණි දහඅටක පැමිණීමක් ලෙසින් ද අර්ථ දක්වනු
ලැබේ. කෙසේ වෙතත් මේ පැමිණි පිරිස කවුරුන්ද? යන වග හා ඔවුනට පැවරී
පැවැති කාර්යයන් මොනවාද? යන්න පිළිබඳව වංශකථා ඇසුරෙන් යම් විමසීමක
යෙදීම වැදගත් වේ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාව පිණිස විධුරින්ද නම්
අමාත්‍යවරයකු පත් කළ ධර්මාශෝක රජතුමා ඔහුගේ ප්‍රධානත්වයෙන් අට කුලයක
පිරිස ලංකාවට එවීමට කටයුතු කළ බැව් මහාවංශය තුළ අන්තර්ගතව ඇත. එසේම
බෝධිවංශය, සුළු බෝධිවංශය, වංසත්‍ථප්පතාසිනීය (මහාවංශ ටීකාව) ආදිය
අධ්‍යනය කිරීම තුළින් තවදුරටත් එම අටළොස් කුලය පිළිබඳ තතු සොයා ගැනීමට
පුළුවන. එය මහාවංශයේ දහනව වැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර වී ඇත.
“ ඒ මිහිපති වූ මහ රජ තෙම මහ බෝ රක්නා පිණිස අටළොස් කුලයක ඇමතියන් ද,
අට කුලයක බමුණන් ද, අට කුලයක කෙළෙඹියන්ද, ගොපලු කුලයන් හා තරස් කුලයන්
ද, කලිඟු කුලයන් ද, එසේම පෙහෙර කුලයන් ද, සියලුම සේනා සම්බන්ධ කුලයන්
ද, නාග යක්‍ෂයන් සම්බන්ධ කුලයන් ද අට අටාදී අභිමතාදායි වූයේ රන් රිදී
මුවා කළයන් අට අටාදී ගංගා නම් නදියෙහි සරසන ලද නැවට මහා බෝධිය නංවා
එකළොස් නමක් මෙහෙණින් සහිත වූ සංඝමිත්‍රා නම් තෙරණින් ද එසේම අරිෂ්ට
කුමරා දීන් ද නැව් නංවා....”
මහා වංශය සපයන ඉහත විග්‍රහයට වඩා සුළු වෙනස්කමක් බෝධි වංශය විමසා
බැලීමෙන් සොයා ගත හැකිය.
“ ධර්මාශෝක රජ්ජුරුවෝ පැමිණියාවූ, ෂඩ්භිඥා ඇති, තමන්ගේ දූ වූ
සංඝමිත්‍රා නම් ස්ථවිරාව කැඳවා ආර්යාවන් වහන්ස, දැන් මහ බෝධිය ගෙනැ
ලංකාද්වීපයට ගිය මැනැවැයි” කියා විධුරින්ද නම් රාජ කුමාරයෙක් කැඳවා
“තෙපි සහ පිරිවරින් මහා බෝධීන් වහන්සේට ආරක්‍ෂා කරව“ යි කියා, අටළොස්
කුලෙකැ දෙවියන් කැඳවා, “තෙපි පිරිවර හා සමඟ බෝධීන් වහන්සේට රැකවල් ගෙනැ
සිටුව“යි කියා එසේමැ රජකුල අටක් ද, සිටු කුල අටක් ද, බමුණු කුල අටක් ද
කෙළෙඹි කුල අටක්ද, වෙළඳ කුල අටක්ද, දුනුවා කුල අටක්ද, සරස් කුල අටක් ද,
කිළිඟු කුල අටක්ද, කපු කුල අටක් ද, ඔසු ද වටු කුල අටක් ද, බලත් කුල
අටක්ද, පෙහෙර කුල අටක් ද, කුඹල් කුල අටක් ද, මල් කරු කුල අටක්ද,
සන්නාසි කුල අටක්ද, අරක්කැමි කුල අටක් ද, කුඹුරු කුල අටක්ද, ලෝකුරු කුල
අටක්ද, ස්වර්ණකාර කුල අටක්ද, බෙරවා කුල අටක්ද සත්කරු කුල අටක්දැ
යන්ගොවු කුල අටක්ද දී ඔවුන් අතුරින් සූර්ය වංශයෙහි උපන්නාවූ වේදිස
දේවියන්ගේ සහෝදර වූ රාජ කුමාරවරුන් අට දෙනාට ප්‍රධාන වූ සුමිත්ත යැ
බෝධිගුත්ත යැ යන නම් ඇති ශාක්‍ය පුත්‍රයන් දෙදෙනා තමන් පැළඳි ආභරණ
පළඳවා, තමනට කළ මනා සියලු පෙරහර කරවා, තමන් හා සම තනතුරෙහි තබා බාල වූ
සුමිත්ත නම් රාජකුමාරයනට කුලවාසීන් පවාදී, වැඩි මහලු බෝධිගුත්ත නම්
කුමාරයනට මහා බෝධීන් වහන්සේ පාවාදී, බෝධීන් වහන්සේට නිරන්තරයෙන්ම පැන්
වඩනු සඳහා රාජ වංශයෙන් පෙරහර බිසෝවරුන් සතර දෙනෙකු පාවාදී, බෝධි ස්නානය
කරනු සඳහා ස්වර්ණ භිඞකාර අටක් හා රජත හිඞකාර අටක් ද දී, මහ පෙරහරින්
මහා බෝධීන් වහන්සේ ග¼ඞගා නම් ග¼ඞගායෙහි සරහන ලද නැවට වඩා...” (සිංහල
බෝධි වංශ පහදනය, දුමින්දාගමන කථා 3 ල¼ඞ්කාවතරණ කථාව, පි.266 – 267 )
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව සමඟ ලංකාවට පැමිණි පිරිස
පිළිබඳ සංඛ්‍යා ලේඛන, ඇතැම් කෘතිවල එකිනෙකට මඳක් වෙනස්ව දක්වා ඇත.
ඉහතින් ද එය පැහැදිලි වේ. මහාවංශයේ දක්වන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක්
පිළිබඳ බෝධිවංශය විස්තර කරයි. එයටත් වඩා සුළු වෙනසක් ‘සුළු බෝධි වංශයේ
අන්තර්ගතව පවතී. මේ තත්ත්වය හේතුවෙන් දක්‍ෂිණ ශාඛාව සමඟ පැමිණි එම කුල
වලට අයත් පවුල් ගණන මෙන්ම පුද්ගලයින් ගණන ද අපට නිශ්චිතව පැවසීමට අපහසු
ය. නමුත් ඉහත දැක් වූ සියලු වංශ කථා විමසීමෙන් විවිධ ශ්‍රේණීන්ට අයත්
ජනයා විශාල පිරිසක් ලංකාවට පැමිණ ඇති බැව් ඒ සියල්ලෙන්ම ගම්‍ය වේ.
සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේට අමතරව, උත්තරා, හේමා, පසදමාලා,
අග්ගිමිත්තා, මල්ලා, මහාදේවී, පදුමා, සුමා ඇතුළු තවත් මෙහෙණින්
වහන්සේලා එකළොස් නමක් බෝධීන් වහන්සේ සමඟ ශ්‍රී ලංකාවට වැඩම කරවා තිබේ.
බෝධීන් වහන්සේ සමඟ පැමිණි කුමාරවරු අට දෙනා වූයේ බෝධි ගුප්ත, සුමිත්ත,
චන්ද්‍රා ගුප්ත, දේව ගුප්ත, ධම්ම ගුප්ත, සුරිය ගුප්ත, ගෝතම හා ජුතින්දර
යන අය වේ. මොවුන් සියලු දෙනාම ධර්මාශෝක රජතුමාගේ අග බිසවවූ “වේදීස
දේවිය” ගේ සහෝදරයන් බැව් බෝධිවංශයේ ද සඳහන් වේ.
එම කුමාරවරුන් අතුරින් ප්‍රධාන වූ වැඩිමහල් වූ බෝධිගුප්ත කුමාරයාට ජය
ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකීමේ කාර්ය පවරා “ලක්දිව ජයම¼ග ලේනා” තනතුර
පිරිනමා ඇත. පිරිසේ සම ප්‍රධානියා වූ “සුමිත්ත කුමාරයාට කුළ වැස්සන්
සමඟ බෝධීන් වහන්සේට පෙරහර කිරීම පැවරිණි.
“ජය මහ ලේනා” තනතුර ඔහුට පිරිනමා ඇත. එසේම චන්ද්‍රගුප්ත කුමාරයාට ජය
ශ්‍රී මහා බෝධීන් වහන්සේට රන් බෙර වැයීම පැවරුන අතර ඔහුට “මලය රජ” නම්
තනතුර පිරිනැමුවේ ය. දේව ගුප්ත කුමාරයාට “ලක්මව රුටිනා තනතුර” පිරිනමා
තිබූ අතර ඔහුට පැවරී තිබුණේ පිරිත් පැන් ගෙන නුවර පැදකුණු කිරීමය. ධර්ම
ගුප්ත කුමාරයා සක්පිඹීම භාරව සිටි අතර “මෝරිය” සිටු තනතුර ඔහුට
පිරිනමා තිබුණි. ශ්‍රී මහා බෝධියට රන් කෙණ්ඩියෙන් පිරිත් පැන් ඉසීම
භාරව පැවතියේ සූරිය ගුප්ත කුමාරයා වෙතය. එම නිසා ඔහුට “කොතුරුගානා” නම්
තනතුර ප්‍රදානය කොට තිබුණේ ය. ගෝතම කුමාරයා බෝධීන් වහන්සේට ඉහළින් ධවල
ඡත්‍ර දැරීමේ කාර්ය බාරව සිටි අතර මේ නිසා ඔහුට “සත් ගන්නා” නම් තනතුර
ප්‍රදානය කොට තිබුණි. මෙහි සියලු ආරක්‍ෂක කටයුතු ප්‍රතින්දර කුමාරයා
භාරයේ පැවති අතර ඒ වෙනුවෙන් ඔහුට අරක්මේනා නම් තනතුර ප්‍රදානය කෙරුණි.
වංශ කථාවලට අනුව මෙම රාජකුමාරවරු අට දෙනා සමඟ අටළොස් කුලයක පිරිවර
ජනයාද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමඟ ලක්දිවට පැමිණි බැව් ඉහතින් ද
දැක්වූවෙමු. ඔවුන් සියලු දෙනාටම මහ බෝ මඟුලෙහි විවිධ කාර්යයන් පවරා
තිබුණි.
රජතුමා විසින් එම කුලයේ නායිකයාට තනතුරු ද පිරිනමා ඇත. මහබෝ මඟුලෙහි ඒ
ඒ කුලවලට පැවරුණ රාජකාරී සහ ඔවුනට හිමි වූ තනතුරු පිළිබඳවද වංශකථා
ඔස්සේ මේ ආකාරයට විමසා බැලිය හැකි ය.
01. බලත්ත කුලය – මහ බෝධි ගෘහයේ දොරටුව රැකීම භාරවීම. නායකයාට “දොර නා”
තනතුර
02. උයන්පලු කුලය – මහාබෝධිය පිදීම සඳහා මල් ලබා ගැනීමට මල් වැවීම
භාරවීම. නායකයාට “උයන්ගොවි වැදෑරුම් නා” තනතුර
03. කුලිංග කුලය – මහා බෝධියට නිරන්තරයෙන් අලුත් මල් සැපයීම භාරවීම.
නායකයාට “කිළිඟු නා” තනතුර
04. මල්කරු කුලය – මහා බෝධියට මල් දම් ගෙතීම භාරවීම. නායකයාට “මල්කරු
නා” තනතුර
05. කපු කුලය – මහා බෝධියට ලද පස්මල් සැපයීම භාරවීම. නායකයාට “කපු නා”
තනතුර
06. ඔසද වටු කුලය – මහා බෝධියට සුවඳ වර්ග සැකසීම භාරවීම. නායකයාට
‘ගඳකුරු නා’ තනතුර
07.සත්කරු කුලයට – මහා බෝධිය සඳහා සේසත් තැනීම භාරවීම. නායකයාට ‘සත්කරු
නා’ තනතුර
08.සරස් කුලයට – මහා බෝධියට සේසත් වැඩීම භාරවීම. නායකයාට ‘සරස් නා’
තනතුර
09. පෙහෙර කුලයට – මහා බෝධියට අවශ්‍ය පෙරහන්කඩ, පහන් වැටි ආදිය සඳහා
අවශ්‍ය රෙදි සැපයීම භාරවීම. නායකයාට ‘පෙහෙරකරු නා’ තනතුර
10. තුනා කුලයට – මහා බෝධියට අවශ්‍ය ධජ පතාක තිර ආදිය මැසීම භාරවීම.
නායකයාට ‘මහසි නා’ තනතුර
11. කුඹල් කුලයට – මහා බෝධියට දානය පිදීමට පාත්‍රා ආදී බඳුන් සැපයීම
භාරවීම. ඔවුන්ගේ නායකයාට ‘කුඹල් කරු නා’ තනතුර
12. අරක්කැමි කුලයට - බෝධීන් වහන්සේගේ දානයට අවශ්‍ය බත් සපයා දීම
භාරවීම. නායකයාට ‘මුළු රැති නා’ තනතුර
13.කුඹුරු කුලයට - බෝධීන් වහන්සේගේ, පිළිල බේදුරු ආදිය ඉවත් කිරීම සඳහා
කතුරු කියත්, පිහි සැපයීම භාරවීම. නායකයාට ‘කුඹුරු නා’ තනතුර
14. ලෝකුරු කුලයට - බෝධීන් වහන්සේගේ අවශ්‍යතා සඳහා ලෝහ වැඩ කිරීම
භාරවීම. නායකයාට ‘ලෝකුරු නා’ තනතුර
15.සුවණ්ණාකර කුලයට - බෝධීන් වහන්සේ සඳහා රන් පහන්, රිදී පහන්, රන්
රිදී වළන් ආදී බදුන් සැකසීම භාරවීම. නායකයාට ‘අටතෙලි නා’ තනතුර
16. වඩු කුලය – මහ බෝ මඟුලට අවශ්‍ය වියන් මණ්ඩප ආදිය සැකසීම භාරවීම.
නායකයාට ‘මහ ඇදුරු නා’ තනතුර
17.සිත්තරු කුලය – මහා බෝධියෙහි විසිතුරු වියන් සැකසීම භාරවීම. නායකයාට
‘මුදුන්කවිරු නා’ තනතුර
18. දෙවි කුලයට – මහා බෝධියේ හේවිසි පූජා පැවැත්වීම. නායකයාට ‘මහ පෙළ
නා’ තනතුර
විවිධ ශ්‍රේණීන්ට අයත් ජනයා විශාල පිරිසක් ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ
ශාඛාවද සමඟ ලක්දිවට පැමිණි බැව් වංශ කථා පවසන ඉහත තොරතුරු තුළින් මනාව
ගම්‍යමාන වේ. බෝධිභාර කුල ලෙස හඳුන්වනු ලැබූ මෙම පිරිස නිසැක වශයෙන්ම
සමකාලීන සමාජයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ විවිධ කර්මාන්ත හා සේවා
පිළිබඳ හසල දැනුමක් සහිත අය වූ බව පෙනේ. ඔවුහු මහාබෝධියට තම සේවාව
උපරීමයෙන් ඉටු කළහ. ඒ අතරම එකී කර්මාන්ත එකල සමාජයට ද දායාද කෙරුණි.
නමුත් මෙම කුල පැමිණීමට පෙරද ලාංකේය සමාජය තුළ ඉතා දියුණු තාක්‍ෂණික
ක්‍රමවේදයක් තිබී ඇත.
එමනිසා මෙම දෙකොටසේ සම්මිශ්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස සංස්කෘතියේ නව
දියුණුවක් මෙන්ම නව චින්තනයක්ද බිහිවූවා යැයි පැවසීම වඩාත් යුක්ති
යුක්ත වේ |