විදර්ශනා භාවනාව
රත්නපුර සිවංකර හිමි
බුදුදහම මගධ බසින් හදාරා ලද අත්දැකීම් අනුව දැනට හැට වසරක පමණ සිට
‘ගුරුතුමා’ නමින් බොහෝ සැදැහැවතුන් අතර ගෞරවනීය තත්ත්වයකට පත්ව සිටී.
ඩී.ඒ. රණතුංග මහතාණන් භාවනා පිළිබඳ කරන ලද දේශනා හා මඟ පෙන්වීමට ද
අසන්නට ලැබිණ. දැනට මාස පහකට පමණ පෙර අවුරුදු අනූඑකක් ආයු වළඳා දිවන්ගත
වූ එතුමන්ට කරන ගෞරවයක් වශයෙන් එතුමන්ගේ දේශනා ඇසුරෙන් මෙසේ ලිපියක්
ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු.
විදර්ශනා කර්මස්ථාන භාවනාව විපස්සනා භාවනාව නමින්ද හැඳින් වෙයි. දැක
දැනගත් කර්ම ස්ථානයන්හි විවිධ අන්දමින් ස්පර්ශවන භවයේ ආදීනව දැක දැන
ගැනීමයි. විවිධ දර්ශන කීම යනු විවිධ ආකාර දැකීම් දැනීම් ක්‍රමයි. මසැස
මනස, නැණස, ප්‍රඥා ඇස, විද්‍යා ඇස, ආලෝක ඇස, සම්‍යයක් ඇස, යනුවෙන්
දැනීම් ක්‍රම සත් ආකාර වේ.
මසැස අපේ ඇසට පෙනීමය. මනැස සිතා බලා කල්පනා කිරීමෙන් දැකීමය. නැණස නුවණ
යොදා හේතු ප්‍රත්‍ය අනුව දැන ගැනීමයි. ප්‍රඥා ඇස නම් කිසි ක්‍රමයකින්
පැහැර හැරීමට නොහැකි තත්ත්වයෙන් දැක දැන ගැනීමයි. විද්‍යා ඇස යනු
ත්‍රිවේධ චතුර්වේද ක්‍රම අනුව හෝ නවීන සිදුවීම් අනුව හෝ කිසිම ක්‍රමයකට
යටපත් නොවන තත්ත්වයෙන් දැකීම දැනීමයි. ඉහත කී දැකීම් දැනීම් සියල්ල
උපකාරයෙන් සත්ව, පුද්ගල, ස්ත්‍රී පුරුෂ ආත්ම වශයෙන් සැලකූ අවිද්‍යා
අඳුර දුරුවී යනු දැකීම ආලෝක ඇසයි. මේ සියලු ක්‍රමවලින් ඇත්ත ඇතිසේ දැක
ගැනීම සම්‍යක් ඇසයි.
මේ සත්විධ ක්‍රමයෙන් කර්මස්ථාන භවයේ ආදීනව දැක දැන ගැනීමට පටන්
ගන්නාවිට හිඳීම් ක්‍රම, ඇවිදීම් ක්‍රම, හෙවත් සක්මන් ක්‍රම පහසු විවේක
ස්ථාන සොයා ගැනීම තම තමාගේ පහසුකම් අනුව විය යුතු ය. ආරාමවල හෝ
මිනිසුන් අඩු කරදර නැති ස්ථානවල හෝ රුක්‍ෂ මුලවල හිඳීම වඩා හොඳයි.
යමෙක් චුති ප්‍රති සන්ධිය නොදනී නම් ඔහු අවිද්‍යාවේ වෙලී අන්ධයකු සේ
ගිය ගිය තැන හැපී විනාශ වෙයි. එවැන්නෝ අන්ධයකුගේ ගමන මෙන්, අවිද්‍යා
පච්චයා සංඛාරා, යනුවෙන් පුණ්‍යාභි සංඛාර, අප්‍රණ්‍යාභි සංඛාර,
අනිජ්ඣාභි සංස්කාර, රැස් කරමින් සසර කතර පැටලී, කර්ම වශයෙන් පුණ්‍ය
කිරීම, අපුණ්‍ය කර්ම, අනිජ්ඣාභි කර්ම යන කර්මස්ථාන නිසා සැපයයි මුළා වූ
පින්කම් වලට අසුවී අනන්ත දුක් විඳිමින් සසර සැරි සරණ බව දුටු සම්මා
සම්බුදුපියාණන් වහන්සේ සතවෙත කරුණාවෙන් දේශනා කර වදාළ සත්‍ය ධර්මය
ඉහතකී සත් ආකාරයෙන් අවබෝධ කරගන්න.
දුක නොදන්නාකමද, ඊට හේතුව නොදන්නාකමද, දුක නැති කිරීම නොදැනීමද, එහි
මඟද, පූර්වාන්ත ස්කන්ධ පංචක ආදියද ප්‍රත්‍ය සමූහයක් උපදනා තත්ත්වයද
නොදන්නාකම අවිද්‍යාව නොහොත් අන්ධයා වැනි යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ
සේක.
ඒ සියල්ල දැන ගැනීම විද්‍යාව හෙයින් ඉහතකී දර්ශනයෙන් කර්මස්ථාන භවයේ
ආදීනව දැක දැන ගැනීමට පටන් ගනිමු. මේ කරුණු අට දැන ගන්නා විට ශරීරය
අනුව මේ කරුණු අට ස්පර්ශ වන භවයේ ආදීනව දැක දැන ගත හැකි ය. ඒ කායානු
පස්සනා භාවනාවයි. එලෙසම සිත අනුව මේ කරුණු අට ස්පර්ශ වන භවයේ ආදීනව දැක
දැන ගත හැකි ය. එය චිත්තානු පස්සනා භාවනාවයි. ඒ සමඟම විඳීම් වශයෙන් මේ
කරුණු අට ස්පර්ශවන භවයේ ආදීනව දැක දැන ගත හැකි ය. වේදනානු පස්සනා
භාවනාවයි.
මේ කරුණු අට මෙසේ කයින්ද සිතින් ද විඳීමෙන් මේ භවයේ අනිත්‍යතාවය දැක
දැනගත් උතුමන්ට සම්‍යක් දෘෂටීන් යැයි කියනු ලැබේ. එසේ නොදැනීම මිථ්‍යා
දෘෂ්ටියයි. මිථ්‍යා දෘෂ්ටීන් යැයි කියනු ලබන්නේ වැරැදි දැකීම් ඇත්තෝ ය.
ඉහත කී කරුණු අට ඇතුළුව භවයේ ආදීනව මනා සේ දැක ගැනීමට හැකිවීම හෙවත්
දැනීම සම්මා දිට්ඨි කියාද, ඒ දැනගත් දැකගත් අන්දමට කල්පනා කිරීම සම්මා
සංකප්ප කියාද, ඒ දැක දැනගත් අන්දම තමාත් තම ශරීරයත් එක්ව කථා කිරීම
සම්මා වාචා කියාද, ඒ දැක දැනගත් ඉහත කී කර්ම හෙවත් කරුණු අට අන්ත
කිරීමට හෙවත් අවසන් කිරීම සම්මා කම්මන්ත කියාද මේ අවසන් කරනතුරු
ජීවත්වීම සම්මා ආජීව කියාද, ඒ සඳහා ඉඳුම් හිටුම් යාම් ඊම් ස්වල්පයක්
කිරීම සම්මා වායාම කියාද, ඒ ගැනම සිහි යොදා මේ කරුණු අටෙන් සිදුවන
විපත් දුක් ගැන සිහි යෙදීම සම්මා සති කියාද, මේ කරුණු අට එලෙස පසෙක
තිබියදී තමා ඒවා ස්පර්ශ නොකර විමුක්තියෙන් පසුවීම සම්මා සමාධි කියාද
ආර්යන් අනුගමනය කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුන් වහන්සේ වදාළ සේක.
තිරිසනාගේ පටන් දෙවියා, බ්‍රහ්මයා, මනුෂ්‍යයා ආදීන් තම තමන්ගේ බුද්ධි
අනුගමනය කරති. මේ සියල්ල දත් බුදුන් වහන්සේ සියල්ලන්ට සැපසුව පිණිස
හේතුවන නිවීම පිණිස සම්‍යයක් දෘෂ්ටි වී ඒ දෘෂ්ටි වූ බුද්ධිය අනුගමනය කර
සැනසීමට ඒකායන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වදාළ සේක.
මෙලෙස සම්‍යක් දෘෂ්ටි වී මේ කරුණු අට මනාසේ දැක දැනගත් පසු ඒ සම්‍යයක්
දෘෂ්ටි වූ උතුමන් හට ප්‍රත්‍ය සමූහය උපදන තත්ත්වය දැනෙන හෙයින් ද පෙනෙන
හෙයින්ද ප්‍රත්‍යවේක්‍ෂා කිරීමට පටන් ගත හැකි ය. ප්‍රත්‍යාවේක්‍ෂා
කිරීම යනු ප්‍රත්‍ය සියල්ල නැතිකර දැමීමය. මේ කරුණු සියල්ල දැක දැනගත්
උතුමන් තමාට අරමුණු ප්‍රත්‍යවන තත්ත්වය දැක දැන ගන්නා, හිතට ප්‍රත්‍ය
වූ අරමුණු තම ශරීරයට කීමත්, තම ශරීරය ලවා කරවීමත් නැවැත්වීමට හැකි
වන්නේම ය.
මෙය විමුක්ති සුවයෙන් කිරීමට හැකි වුවහොත් දින හයකට පසු ඒ තත්ත්වයෙන්
නැඟිට කැඳබත් කා නැවත දින කීපයකින් මෙලෙස පටන් ගෙන හොඳාකාර සිහියෙන්
යුක්තව විමුක්ති සුවයෙන් කළ හැකි වුවහොත් ඒ උතුමන් හට හිතටද ප්‍රත්‍ය
නොවී ක්ෂය කර දැමිය හැකි තත්ත්වයක් ඇතිවිය හැකි ය. එසේ දිනකට පැය බාගය
පටන් ක්‍රමයෙන් වැඩි වැඩියෙන් පුරුදු කර දින හයක් සිතීමෙනුත් තම ශරීරයට
කීමෙනුත් තම ශරීරය ලවා කරවීමෙනුත් නැවැත්වීමට හැකි වුවහොත්, ඒ හැකිවීම
සතුටින් හෙවත් විමුක්ති සුවයෙන් සිදුවූවා නම් ඒ උතුමන් හට නිරෝධ
සමාපත්තියෙන් නැවත නැගිටින තත්ත්වයට පටන් ගත හැකි ය. මෙසේ දින හයක්
නිරෝධ සම්පත්තියට සමවැදී නැවත නැගිට කැඳබත් කා දින කිහිපයකින් මෙලෙස
නැවත නැවත සිහියෙන් යුක්තව කළ හැකි වුවහොත් ඒ උතුමන්ට එක් දිනක
නොනැගිටීමට අධිෂ්ඨානයෙන් නිරෝධ සමාප්තියට සම වැදිය හැක. ඒ නිවීමේ
මාර්ගයයි. මෙහිදී අරමුණු නැති ශරීර අවස්ථාව ආරඤ්ඤගත නිසාද, මතක නැති
ශරීර අවස්ථාව සුඤ්ඤාගාරගත නිසාද, ගසක මුලක් වැනි ශරීර අවස්ථාව රුක්ඛ
මුලගත කියාද කියනු ලැබේ.
පටිච්ච සමුප්පාද පොත ලක්‍ෂවාරයක් කීවත් සතර සතිපට්ඨාන පොත ලක්‍ෂවාරයක්
කීවත් මේ සත්‍ය වූ සම්බුදු දහමෙහි වදාළ සැනසීම නොලැබෙන බව කරුණාවෙන්
සලකන්න.
සම්‍යයක් දෘෂ්ටිවීමට ක්‍රමයෙන් ඉගෙන ග්‍රන්ථධුරය පුරා කරුණු වටහා ගත්
පසු විදර්ශනා ධූරය පිරීමට පටන් ගන්න. සම්මුති අදහස්වලට බැඳී ඒවා ගැනම
සිත, කය, වචනය යොදා කටයුතු කරන පින්වතුනි, යුතුකම් ඉටුකරමින්ම මේ
විමුක්තිය හෙවත් සැනසීමේ මඟ මේ ආකාරයට සෙවීමට පටන් ගන්න.
ඒ මඟ සෙවීමට පටන් ගන්නා පුද්ගල තෙම සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙකි. මඟ
සෙවීමට ගන්නා උත්සාහය නිසා ඔහු නිවරදි මඟට පිවිසීමෙන් සම්‍යක් දෘෂ්ටි
වේ. ඔහු සෝවාන් ඵලස්ථ පුද්ගලයෙකි. සෙවු මඟ සම්බවීම ඵල ලැබීමකි. මේ
පුද්ගලයා මේ කරුණු අටෙන් හෙවත් භව චක්‍රයෙන් වෙන්වන මඟ සොයන්නට පටන්
ගනී. දැන් ඔහු සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයෙකි. ඒ මඟ නම් මෙහි දැක්වූ
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම බව පෙනුණු පසු දැනුණු පසු ඔහු සෙවූ ඵලය ලැබුන
හෙයින් සකෘදාගාමී ඵලස්ථ පුද්ගලයෙකි. ඒ උතුමා මේ අටමස්පර්ශ නොවී බේරීමේ
මග කල්පනා කරන්නට පටන් ගනී. දැන් ඔහු අනාගාමී මාර්ගස්ථ පුද්ගලයෙකි. ඒ
උතුමාට ප්‍රත්‍යාවේක්‍ෂා කිරීම හිත කය වචනයෙන්ම කළ හැකි බව පෙනුණු පසු
ඔහු අනාගාමී ඵලස්ථ පුද්ගලයෙකි.
ඒ උතුමාට ඉහත කී කරුණු සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමේ මඟ සෙවීමට
කල්පනාවෙයි. ඒ අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය. ඒ උතුමා එසේ කල්පනාකර
ප්‍රත්‍යවේක්‍ෂ කිරීමෙන් හිතෙන් කයෙන් වචනයෙන් මේවා අත්හැර දැමිය හැකි
බව වටහා ගනී. අවබෝධ කර ගනී. එතුමා අර්හත් ඵලස්ථ උතුමෙකි. එතුමා නිරෝධ
සමාපත්තියෙන් සම වැදී නිවී සැනසේ. මේ සම්මා සම්බුදුන් වහන්සේලා ඇතුළු
ආර්යයන් නිවී සැනසී වදාළ ඒකායන ක්‍රමයයි.
මේවා පාලි පදවලින් මහමෙර සේ සලකා සම්මුතියේ ඇලී ගැලී දුක් විඳිමින් සිට
තම තමන්ගේ හිතුමතේ වන්දනාවේ විනෝද වෙමින් ලක්‍ෂ ගණනක් ධනය පොළවේ යට
කරන්නා සේ අවිද්‍යාවෙන් දන්පින් කරමින් මුළා වී සිටීම හෝ පාලි පද දැහැන
කීම කොතෙකුත් කළත් මේ සම්බුදු දහම අනුව ලබන නිවීම නම් ලැබිය නොහැකි ය.
පත පතා හිත හිතා ඉන්න අදහස් නොලැබීමට ලැබීමටත් පුළුවන් අස්ථිර අදහස්
බවත් පින් ගෙන යනවාද, පින් ගෙන යන්නේ කෙසේද?, පින් ඵල විපාක ඇද්ද
නැද්ද, පරලොවත් තිබේද, තිබේනම් පරලොව යන්නේ කවුද යන ප්‍රශ්නයට නිවැරදි
පිළිතුර ඇත්තේ චූති ප්‍රතිසන්ධි දහම අවබෝධය තුළ ය. එය අවබෝධ කරගත
නොහැකි අය වෙතොත් බුදුන් වහන්සේ වදාළ අනු ධර්මය අනුව මනුෂ්‍ය ආත්ම
ලබාගැනීමට වත් සූදානම් විය යුතු ය.
සම්මුතියේ දී මගේ කියමින් බැඳී ඇති අවිද්‍යා අදහස් වන මගේ පුරුෂයා, මගේ
බිරිඳ, දරුවා, මව්, වස්තුව ආදී බැඳී ඉන්නා අවිද්‍යාලෝභය නිසා ඒ දේවලට
විපතක් වූ කල, ජීවත්ව ඉන්නාකල කළ ලෝභ ගති නිසා ප්‍රේත ගති සිත් තුළ ඇති
වී, එනිසාම ද්වේශ ගති හෙවත් රාක්‍ෂ ගති යක්‍ෂ ගති ඇතිවී, ඒ නිසාම මුළා
වී, ජීවත්ව සිටින කාලය තුළ නිතරම මනුෂ්‍ය ගතිවලට වඩා යක්‍ෂ, රාක්‍ෂ,
තිරිසන්, ප්‍රේත ගතිවලට පත්වෙමින් මියගිය අවස්ථාවේ ද ඒ ගති අනුව
ප්‍රතිසන්ධිය සිදුවන බැවින් යහපත් ගති පැවතුම් පුරුදු කරත්වා. |