Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ භාවනාව සහ අනාත්ම ලක්‍යණය

නවීන විද්‍යාවේ ආලෝකයෙන් බටහිර ලෝකයේ තිබූ නිර්මාණවාදය වැනි විවිධ මිථ්‍යා මත, දෘෂ්ටි, කෙමෙන් බිඳවැටීමත් සමගම අද ලෝකයේ විවිධ රටවල සම්බුද්ධ සුදේශිිත ශ්‍රී සද්ධර්මය විකසිත වන බව, බැබලෙන බව, සිහි බුද්ධියෙන්, සාවධානව සිටින සෑම කෙනෙකුටම ප්‍රත්‍යක්‍ෂ වන කරුණකි.

බුදුදහම විවිධ රටවල ව්‍යාප්ත වීමත් සමඟම විශේෂයෙන් පෙරදිග රටවලට වඩා මෙම අපරදිග රටවල ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ දානයට හෝ සීලයට නොව භාවනාවට ය. පෙරදිග කතාකරන දාන සීල, භාවනා යන තුන් පුණ්‍යක්‍රියාවන් මෙහිදී කතා කිරීමට සිදු වී ඇත්තේ භාවනා දාන, සීල යනුවෙන් හෝ භාවනා සීල, දාන යනුවෙනි. කෙසේ වූවද අප මෙයින් අදහස් කරන්නේ මෙම අපරදිග රටවල ජනතාව විශේෂයෙන්ම දානයටත් සීලයටත් වඩා භාවනාවටම මුල් තැන දෙන බව ය.

වත්මන් ලෝකයේ විශේෂයෙන්ම මෙම අපරදිග ආධ්‍යාත්මික වෙළඳ පොළෙහි දැන් විවිධ භාවනා ක්‍රම රාශියක්ම අපට දක්නට ඇත. “මෙඩ්ටේෂන් ටෙක්නික්” නමින් කතාකරන එම භාවනා ක්‍රම අතර විශේෂයෙන් ම ශීඝ්‍රයෙන්ම පැතිර යන භාවනා ක්‍රමය වන්නේ සමහර අය විසින් “ගොඵන්කා භාවනා ක්‍රමය” නමින් හඳුන්වාදෙන විදර්ශනා භාවනා ක්‍රමයයි. මෙයට කලකට පෙර ලොව විවිධ රටවල ප්‍රචාරය වූ “මහාසී භාවනා ක්‍රමය” ද අදත් විවිධ රටවල ප්‍රචලිතව පවතියි.

වෙනත් භාවනා ක්‍රම ගැන අප මෙහිදී කතා නොකළයුත්තේ අපට අදාළ නොවන බැවිනි. වෙනත් ආගමික භාවනා අතර විවිධ භාවනා ක්‍රම ඇතත් ඒ සියල්ලම සමථ භාවනා බව පමණක් මුලින්ම අපි තේරුම් ගනිමු. විදර්ශනා භාවනාව හෙවත් විපස්සනා භාවනාව ඇත්තේ බුදුදහම තුළ පමණි. විදර්ශනා හෙවත් විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ ලොව සල නිසල, සජීවී, අජීවී සියල්ලෙහි දක්නට ඇති ලක්‍ෂණ තුනක් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් තමා තමා විසින්ම දැකීමය. “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි” යනුවෙන් දක්වා වදාළ පරිදි මෙහිදී සිදුවන්නේ මෙම ත්‍රිලක්‍ෂණය තම තමා විසින්ම ප්‍රඥාවෙන් දැකීමය. එම ත්‍රිලක්‍ෂණය යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තුන ය. ලොව සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි.

මෙම ලක්‍ෂණ ප්‍රඥාවෙන් දකින යෝගාවචරයා මුලින්ම මේවා තමා තුළින්ම දකින අතර අනතුරුව සෑම වස්තුවකම සෑම පුද්ගලයෙකු තුළම දකියි. අනිත්‍ය දුක්ඛ යනු යමක් නිබඳවම නිරතුරුවම වෙනස්වීම හෙවත් ඇතිවන නැතිවන ස්වභාවයෙන් යුක්ත බව දැකීමය. දුක්ඛ යනු වෙනස් නොවන දෙයක් සේ සලකා සිටින දෙය, වෙනස්වන බව දැකීම නිසා ඇතිවන අසතුටු ස්වභාවයයි. අනාත්ම යනු වෙනස්වන දෙය තුළ වෙනස් නොවන හෙවත් ස්ථිරව පවතින දෙයත්, නැති බව දැකීමය. බොහෝ දෙනා සිතා සිටින්නේ වෙනස් වන ලෝකයේ කිසියම් වෙනස් නොවන දෙයක් ඇති බවය. එයම අවිද්‍යාවයි. මුළාවයි. මෙම අවිද්‍යාවෙහි, මුළාවෙහි සිටින තාක් චතුරාර්ය සත්‍ය දැකීමට නොහැකි ය.

සියලුම නිර්මාණවාදී, දේවවාදී, ආගම්වලින් ආත්මය හෙවත් සුද්ධාත්මය නමින් ස්ථිරව පවතින දෙයක් ඇතැයි පිළිගනිති. ඒ අනුව මෙම විශේෂයෙන් දැකීමක් විවිධත්වයෙන් දැකීමක් හෙවත් විපස්සනාවක් බුදුදහමින් තොරව ලබාගත නොහැක. බුදුදහමෙහි ඇති සුවිශේෂත්වය මෙයයි. බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව විපස්සනාවෙන් තොරව කෙලෙස් නැති කිරීමක් ද කෙලෙස් නැති කිරීමෙන් තොරව නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමක් ද නැත.

සාමාන්‍යයෙන් ලෞකික පුද්ගලයා නිතරම පාහේ සිතන්නේ වස්තු මෙන්ම පුද්ගලයන් ගැන ද “මෙය මගේය, මේ මම වෙමි, මේ මගේ ආත්මයයි” යනුවෙනි. මෙසේ ආත්මවාදීව සිතන සිතිවිලි යම්දිනෙක තමා විසින්ම “මෙය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ” යනුවෙන් පට්සෝතගාමී චින්තනයකට යොමුවෙයි ද එතැන් පටන් හෙතෙම ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙයි.

ආත්ම, අනාත්ම යන වචන බුදුදහමට පෙර පැවති වේද හා උපනිෂද් වැනි ග්‍රන්ථවල ද දක්නට ඇත. මෙම වචනය සංස්කෘත භාෂාවෙන් භාවිතා වන්නේ ‘ආත්මන්’ යනුවෙනි. බුදුරජාණන් වහන්සේ විසින් මෙය පාලි භාෂාවෙන් භාවිතා කර ඇත්තේ ‘අත්ත’ හෝ ‘අත්තා’ යනුවෙනි. සම්බුද්ධ සුදේශිත විවිධ සූත්‍ර දේශනා වල හා ගාථා ධර්මවල “අත්ත දීපා විහරථ අත්ත සරණා” “න අත්ත හේතු න පරස්ස හේතු” අත්තානමෙව පඨමං” “අත්තාහි අත්තනො නාථො” “අත්තාහවෙ ජිතං සෙය්‍යො” ආදී වශයෙන් මෙම වචනය අපට හමුවෙයි. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් මෙම වචනය යොදාගෙන ඇත්තේ “අත්ත” යනුවෙන් හෝ “අත්තා” යනුවෙන්ම නොව “අනත්ත” හෝ “අනත්තා” යනුවෙන් බව මජ්ඣිම නිකාය හා සංයුක්ත නිකායාගත බොහෝ සූත්‍ර දේශනාවලින් පැහැදිලි වෙයි. ඒ අනුවම වරෙක “රූප අනත්තා, වෙදනා අනත්තා, සඤඤා අනත්තා, සංඛාරා අනත්තා විඤ්ඤාණං අනත්තං” යනුවෙන් පඤ්චස්ඛන්ධයම අනාත්ම බව පෙන්වා දෙයි. තවත් වරෙක චක්‍ඛුං අනත්තා, සොතං අනත්තා, ඝාණං අනත්තා, ජිව්හා, අනත්තා, කායො අනත්තා, මනො අනත්තා” යනුවෙන් අභ්‍යන්තර ආයතන හයම අනාත්ම බව පෙන්වා දෙයි.

එපමණකුදු නොව පුද්ගලයාගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය ඇතිවෙන ආකාරය හෙවත් ඉන්ද්‍රියයන් මගින් පුද්ගලයා ලෝකයට විවර වෙන ආකාරය පෙන්වා දෙන, ඇස, රූපය, චක්‍ඛු, විඤ්ඤාණය, චක්‍ඛු සම්පර්ශය, වේදනාව යන සියල්ලම අනාත්ම බව මජ්ඣිම නිකායේ ජ ජක්ක සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලින් පෙන්වා වදාළහ. ලොව ඇති බොහෝ දෙනාට ධර්මය අවබෝධ නොවන්නේ මෙම ආත්ම දෘෂ්ටියේ ඇති බලවත් කම නිසා ය. මෙය උපාදානයක් ලෙසද බුදුහු පෙන්වා දුන්හ. (අත්තවාද උපාදාන) උපාදාන යනු දැඩි ග්‍රහණයයි හෙවත් අල්ලා ගැනීමයි. සැනසීම ඇත්තේ අල්ලා ගැනීමෙන් නොව අත හැරීමෙනි. නිවණ යනු කෙලෙස් බැමිවලින් මිදීමයි. අනුපාදාවිමුක්ත තත්ත්වයයි.

බුදුරජාණන් වහන්සේ විසින් තම මංගල ධර්ම දේශනය වන ධම්මචක්ක පවත්වන සූත්‍රයේ මුලින්ම පස්වග තවුසන් අමතා අන්ත දෙක හඳුන්වා දෙමින් දේශනා කොට වදාළේ කාමසුඛල්ලිකානු යෝගය හා අත්ත කිලමථානුයෝගය යනුවෙනි. මෙහි අත්තකිලමථානුයෝගය යනු තමා ක්ලාන්ත බවට පත්කරවන ක්‍රමයයි. ඒ අනුව මෙහි අත්ත යන්නෙන් අදහස් කරන්නේ ආත්මයක් නොව තමා යන්න සක්සුදක් සේ පැහැදිලි ය. අත්ත යන්නෙහි තේරුම තමා යන්නය. බෞද්ධ පොත පතෙහි මෙය කිසිම තැනක ආත්මයක් (ස්ථිර දෙයක්, යම් පදාර්ථයක්) දැක්වීම සඳහා යොදාගෙන නැ. මෙම අත්ත යන වචනයට තේරුම් දෙන බුදුදහමෙහි හරය නොදත් සමහර උගත්තු මෙම වචනයෙන් බුදුහු ආත්මයක් නිර්දේශ කර ඇතැයි සලකති. එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි බව කිවයුතු ය.

සිංහල භාෂාවෙන් ආත්ම යන්න භවය යන අදහසට ද යොදාගෙන ඇති බව පෙනේ. උදාහරණ වශයෙන් බොහෝ දෙනා “මේ ආත්මේ” “ලබන ආත්මේ” ඉහත ආත්මේ” “ පෙර ආත්මේ” යන වචන භාවිතා කරන බව පෙනේ. මෙයින් ද බෞද්ධයෝ ස්ථිරව පවතින ආත්මයක් ගැන කතා නොකරති.

එදා බුදුරදුන් ජීවමාන දවස භාරතයේ විශේෂ ආගමික සම්ප්‍රදායයන් දෙසැටක් පමණ තිබුණ බව අපේ බෞද්ධයන් සෑම කෙනෙක්ම පාහේ දන්නා කරුණකි. එම ආගමික ශාස්තෘන් අතරින් සදෙනෙක් එනම් පුරණ කස්සප, මක්‍ඛලී ගෝසාල, පකුධ කච්චායන, සංජය බෙල්ලටඨිපුත්ත, අජිත කේසකම්බල සහ නිගන්ඨනාථ පුත්ත යන සදෙනා, නිර්මාණ වාදයෙන් බැහැර වූ අයයි. ඒ අය ලෝකය හා සත්වයා දෙවියන් විසින් මවන ලදී යන චින්තනයෙන් බැහැර වූවද ඒ අයටත් ආත්මවාදයෙන් හෙවත් “ස්ථිර වූ පදාර්ථයක් ඇත” යන විශ්වාසයෙන් බැහැරවීමට නොහැකි විය. ඒ නිසාම ඔවුන්ට සත්‍යාවබෝධයට හෙවත් නිවන් අවබෝධයට අවස්ථාව ලැබුණේ නැත.

යම් කෙනෙක් නිවන් අවබෝධ කරගැනීමට නම් අනිවාර්යයෙන්ම මෙම දෘෂ්ටි දෙකෙන්ම එනම් නිර්මාණවාදය සහ ආත්මවාදය යන දෙකෙන්ම ඉවත් විය යුතු ය. දිට්ඨි උපාදාන යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් උපාදානවලට මෙම දෙකම අයත් වේ.

තවද බුදුරජාණන් වහන්සේ විසින් තම ප්‍රථම ධර්මදේශනය වූ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් පමණක් සෝවාන් තත්ත්වයට පත්වූ බවත් ඉතිරි සිවුදෙනා වහන්සේට ධර්මාවබෝධයක් සිදු නොවුන බවත් ඔබට මතක ඇතැයි සිතමි. මේ ගැන ද අපි සොයා බැලිය යුතු ය. මෙම පස්වග තවුසන් බ්‍රාහ්මණ පවුල් වලින් පැවිදි වූ අය බව මුලින්ම තේරුම් ගත යුතු ය. එදා බ්‍රාහ්මණ සමාජයේ තිබූ විවිධ යාග හෝම ක්‍රමවලින් කළකිරී සිටි සමහර බමුණු තරුණයින් කැළයට ගොස් භාවනා කළ බව සඳහන් වේ. මෙම පස්දෙනාම එකට එකතුව භාවනා කළ අතර සිදුහත් තවුසාණන් ඔවුන්ට හමුවූ අවස්ථාවේ සිට එම සදෙනාම එකට භාවනා කළහ. ඔවුන් සිදුහත් තවුසාණන්ට ද ඉගැන්වූයේ අත්තකිලමථානුයෝගයයි හෙවත් ආත්මය විමුක්ත කිරීම සඳහා සිරුර තවන දවන ක්‍රමයකි. එය විමුක්තියට මග නොවන බව අවබෝධ කරගත් සිදුහත් තවුසාණෝ ඔවුන් අතහැර ගියහ.

ප්‍රථම ධර්මදේශනය අවසන් වන විට ඔවුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අවබෝධ කරගැනීමට නොහැකි වූයේ ආත්මයෙන් හෙවත් ආත්ම වාදයෙන් බැහැර වීමට නොහැකි වූ නිසා ය. ඒ නිසාම එය දත් තථාගත බුදුරජාණන් වහන්සේ අනතුරුව එම පස් දෙනාවහන්සේටම අනාත්ම ලක්‍ෂණ සූත්‍රය දේශනා කළහ. අනාත්ම ලක්‍ෂණ සූත්‍රයෙන් පෙන්වා වදාළේ මෙම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධයේ හෝ චක්‍ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන සළායතන වල හෝ මගේ ය, මම වෙමි, මගේ ආත්මයය, යනුවෙන් ගත හැකි ස්ථිර සාර වූ නොවෙනස් වෙන අව්පරීත වූ පදාර්ථයක් හෙවත් ආත්මයක් නැති බවය. අනතුරුව භික්‍ෂූන් අමතා “මහණෙනි, ඔබ හිතන්නේ කොහොමද? රූපය නිත්‍යද අනිත්‍යද?” යනුවෙන් ඇසූහ. එහිදී භික්‍ෂූන් එයට පිළිතුරු දුන්නේ “අනිත්‍යයි ස්වාමීනි” යනුවෙනි. එවිට බුදුහු “මහණෙනි, යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?” යැයි ඇසූහ. භික්‍ෂුහු “ස්වාමීනී යමක් අනිත්‍ය නම් එය දුකයි” යැයි පිළිතුරු දුන්හ. බුදුරජාණන් වහන්සේ ඊළඟට ඇසුවේ “මහණෙනි, යමක් අනිත්‍ය නම් දුක් සහිත නම් එය මගේ ය, මම වෙමි, මගේ ආත්මයය යනුවෙන් ගත හැකි ද? යනුවෙනි. එවිට භික්‍ෂුහු “ස්වාමීනී, එසේ ගත නොහැක. යමක් අනිත්‍ය නම් දුක්සහිත නම් එය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ” යැයි පිළිතුරු දුන්හ.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අතීත වර්තමාන අනාගත හෝ අභ්‍යන්තර බාහිර හෝ රළු හෝ මෘදු හෝ දුර පිහිටි හෝ ළඟ පිහිටි හෝ මොනම ආකාරයක වූවද යම් රූපයක් වේ නම් වේදනාවක් වේ නම් සඤ්ඤාවක් වේ නම් සංඛාරයක් වේ නම් විඤ්ඤාණයක් වේ නම් ඒ සියල්ලම අනිත්‍ය බවත් දුක් සහිත බවත් ආත්ම වශයෙන් ගත හැකි යමක් එයි නැති බව හෙවත් අනාත්ම බවත්, ඔවුන්ටම වටහා ගැනීමට අවස්ථාව සළසා දුන්හ. ඒ අනුව මේ ආකාරයෙන් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන පඤ්චස්කන්ධයම අනිත්‍ය බව දුක් සහිත බව අනාත්ම බව ඔවුහු වටහා ගනිමින් අවබෝධකර ගනිමින් එම පස්වග භික්‍ෂූන්ම අරහත් තත්ත්වයට පත්වූහ. ඒ අනාත්මය අනාත්ම ලෙසින්ම දැක ගැනීමට හැකියාව ලැබුණ නිසා ය.ඔවුහු ආත්මයක් ඇතැයි සිතමින් යම් තාක් කල් විසුවේද ඒතාක් කල් විමුක්තියට පත්විය නොහැකි විය. ඉතාම සුළු වශයෙන් හෝ ආත්මයක් ඇතැයි යම් කෙනෙක් ගන්නේ නම් හෙතෙම බුදුන් වදාළ නියම ධර්මය නොදත් කෙනෙකි. සමහර උගතුන් විසින් බුදු දහමට ද ආත්ම වාදයක් සුළු වශයෙන් හෝ රිංගවීමට යත්න දරා ඇතත් බුදුදහම ;ත්රුම් ගෙන විදර්ශනා භාවනාවට හුරුවූ තැනැත්තාට නම් එය කෙසේවත් පිළිගත නොහැක.

වරක් එක්තරා භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, නිත්‍ය වූ ධුව වූ සාස්වත වූ නෙවෙනස්වන සුළු වූ කිසියම් රූපයක්, වේදනාවක්, සඤ්ඤාවක්, සංඛාරයක්, විඤ්ඤාණයක් තිබේද?” යැයි ඇසුවේ ය. එවිට බුදුරජාණන් වහන්සේ “නත්ථි බො භික්‍ඛු කිංචි රූපං යං රූපං... වෙදනා.... සඤ්ඤා... සංඛාරං.... විඤ්ඤාණං...නිච්චං ධුවං, සස්සතං, අව්පරිණාම ධම්මං, සස්සතිසමං තතේව තිටඨති” යනුවෙන් එවැනි නිත්‍ය වූ ධුව වූ සාස්වත වූ නොවෙනස්වන සුළු රූපයක් වේදනාවක් සඤ්ඤාවක් සංඛ්‍යාරයක් හෝ විඤ්ඤාණයක් නැති බව දේශනා කළහ. තදනන්තරව බුදුරජාණන් වහන්සේ සිය නිය පිටින් පස් ටිකක් ගෙන පෙන්වමින් “පින්වත් භික්‍ෂුව මෙපමණ තරම්වත් වූ ස්ථිර සාර දෙයක්, ආත්මභාව වශයෙන් ගත හැකි දෙයක් දක්නට නැත. මෙපමණ තරම්වත් ආත්මභාවයක් තිබුණේ නම් මේ දුක් නැතිකිරීම සඳහා මේ ආකාරයෙන් බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න යැයි පණවන්නේ නැත. මේ බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න යැයි මා කියන්නේ පණවන්නේ මෙපමණ තරම්වත් ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් දක්නට නැති නිසයි” යැයි වදාළහ. මේ ආකාරයෙන්ම බුදුහු වරක් සියතින් ගොම ස්වල්පයක් ගෙන පෙන්වමින් ද ප්‍රකාශ කර ඇත්තේ එපමණ තරම්වත් ආත්ම වශයෙන් ගත හැකි දෙයක් ලොව නැති බවය. (සං.නි.බන්ධ සංයුත්තය)

මේ අනුව සලකා බලන විට බුදුදහමෙහි නියම භාවනාව විපස්සනා භාවනාව බවත්, බුදුදහම තුළ ආත්ම සංකල්පයක් නැති බවත්, ආත්මවාදයත් නිර්මාණවාදයත් දෙකම ප්‍රතික්‍ෂේප නොකර කිසිවෙකුටත් නිර්වාණ ධර්මය අවබෝධ කළ නොහැකි බවත් අපට පැහැදිලි කරගත හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.