ඔබ බෞද්ධ ගෘහණියක් නම්
ශාස්ත්‍රපති නිර්මලා ද අල්විස්
බෞද්ධ වූ අපට දෙලොව දියුණුව සාධනය කරගන්නට ම¼ග පහදා දුන්නේ බුදුන්
වහන්සේ ය. එනිසාම අපට උන්වහන්සේට වඩා වැඩි උතුමකු නොවේ. දොහොත් මුදුන්
දී නමදින බුදුන්වහන්සේ අමා මෑණියන් වහන්සේ, සම්බුදු මෑණියන් ආදී
පර්ය්‍යාය පද වලින් ද අපි හඳුන්වන්නෙමු. ගෙන් ගෙට බුදුවරුන් සේ
මව්වරුන් වැඩහිඳින්නේ යයි බුදු මුවින්ම ප්‍රකාශිත ය. මාතෘත්වය ඉහළින්
අගය කල අවස්ථා බොහෝ ගණනක් ශ්‍රී මුඛ දේශනාවන් අතරින් උපුටා ගත හැකි ය.
මෙලෙස උත්තම ගණයේ ලා සැලකෙන මෑණිවරු සෑම ගෘහයක් තුළම වැඩ හිඳිති.
නිවසක් ඒකකයක් ලෙස ගත් කළ එම නිවැසියන්ගේ සාමය දියුණුව සතුට ආදී සෑම
යහපතක් කෙරෙහිම වඩාත්ම විශ්වාසවන්තව බලපාන සාමාජිකත්වය හිමිවන්නේ
මවටයි. ගෘහණියටයි. මෙහිදී ගෘහණිය යන පද භාවිතය නිසා ළදැරියන්,
බාලිකාවන්, තරුණියන් ගෘහණියන් නොවන බැව් නොසිතිය යුතුවේ. වනිතාව යම්
දිනෙක සම්පූර්ණ ලෞකික සම්පූර්ණත්වය ලබන්නේ මවක් ගෘහණියක් වීමෙන් බව
සමාජ සම්මතයයි. එක් එක් ගෘහයක් යහපත් වූ විට එවන් නිවෙස් සමූහයක් එකතුව
යහපත් ගමක් තැනෙයි. ගම් කීපයක් එක්ව පළාතක් ද පළාත් එක්ව රටක් ද රටවල්
එක්වී සමස්ත ලෝකයමද යහපත් කළ හැකි බව පොදු නිගමනයයි. ඒ සියල්ලටම කුඩා
පියවර නගන්නේ පවුල නමැති ඒකකය සංකේන්ද්‍රගතවූ ගෘහයක් තුළිනි.
මේ මොහොතේ බෞද්ධ ගෘහණියකගේ සිතට නොයෙකුත් ප්‍රශ්න මතුවන්නට පුළුවන. අප
දහසක් ධර්ම දේශනාවන් අසා ඇත. ලෝකයට යහපත් දරුවන් බිහිකරන්නට පමණක් හැම
මවක්ම කැමති වනවා මිසක අයහපත් පුද්ගලයකු බිහිකිරීමට සිහිබුද්ධිය ඇති
මවක කැමති නොවේ. යම් හෙයකින් කෙනෙකු සමාජයට අහිතකර පුද්ගලයකු වී නම්
එහි වරද අනෙකුත් අයද භාරගත යුතු වෙයි. මේ ආදී වශයෙන් මතුවිය හැකි
ප්‍රශ්න රාශියකි. ඒ හැම ප්‍රශ්නයකටම පිළිතුරු එම ප්‍රශ්න තුළම තිබේ. ඒ
ගැන පිළිවෙළින් සිතා විමර්ශනයක යෙදිය යුතු ය.
සාමාන්‍යයෙන් කාන්තාවෝ නිතර සිය පිළිරුව කැඩපතෙන් නරඹති. එය තව තවත්
පියකරු කිරීමට වෙහෙසෙති. බටහිර සමාජීය බලපෑමට අනුව එම කර්තව්‍යය සඳහා
සීමාවෙන් ඔබ්බට යන තරම් බාහිර පියකරු බව සඳහා යොමු වී ඇති බව පෙනේ.
බාහිර පෙනුම ඉතා වැදගත් බව නොරහසකි. කාන්තාවන් තබා භික්‍ෂූන් වහන්සේලාට
ද අභ්‍යන්තර මෙන්ම බාහිර පෙනුමද අන්‍යයන්ගේ පැහැදීම පිණිස වැදගත් බව
බුදුන් වහන්සේම පැහැදිලි කර ඇත. බාහිර පෙනුමෙන් පි‍්‍රයංකර බෞද්ධ
වනිතාව එහි සම්පූර්ණත්වයට පත් වන්නේ සිය ගතිගුණ හා සැබැඳි
ක්‍රියාකාරකම් ද පි‍්‍රයංකර වීමෙනි.
මනාව ඔපවත් දෙතොලෙන් කිරිසුදු දත් අතරින් ඔබ පිටකරන වදන් ද පිරිසුදු
විය යුතු ය. අප දෙසවනට වැදෙන වදන්වල සමබරතාවය සම සිතින් දරාගත යුතු
වන්නේ ය. සිය මුවගින් ගිලිහෙන මිතුරු සිනා සිලිල හදවතින්ම උපන් කරුණාව
මෛත්‍රීය නමැති සිතිවිලි වලින් දෝවනය වී තිබිය යුතු ය. තමන් කරන
ක්‍රියාවන් වල හැඩරුව ස්වකීය පි‍්‍රයංකරත්වයට ගැලපෙන්නක් විය යුතු ය. ඒ
සඳහා සුදුසු මිනුම් දඬුවක් අපට බුදුවදන් ඇසුරින්ම උපුටා ගත හැකිවේ.
තමන් කරන ක්‍රියාවන් හැමවිටම තමන්ටත් අනුනටත් යහපතක් වන තුන්කාලයටම
එනම් අතීත ප්‍රෞඪත්වයටත් වර්තමානයේ සැනසිල්ලටත් අනාගතයේ අභිවෘද්ධියටත්
සුදුසු දැයි සලකා බැලීම උන්වහන්සේ අනුදැන වදාළ ක්‍රමයයි. කැඩපතින් නරඹා
තම රූසපුව නිවැරැදි කරගන්නා සේ අප සතු ගුණදහම් වල අලංකාරයද දැකබලා
ගැනීමට පුළුවන. එහි මිනුම් දඬුව වන්නේ අන්‍යයන් ඔබව හඳුන්වන
තක්සේරුවයි. තාක්‍ෂණික හා කාර්මික දියුණුව හරහා ශීඝ්‍රයෙන් කුඩාවන
සමාජයේ කිසිසේත්ම අපට වෙන්වී තනිවී ක්‍රියාකළ නොහැක. ආරණ්‍යගතව බවුන්
වඩන උතුමකුට හැර අපට හැමවිටම අන්‍යයන්ගේ සහයෝගය අවශ්‍ය වෙයි. එනිසා අඩු
තරමින් ඔබගේ මව්පියන්, ස්වාමියා, දූදරු, නෑදෑයින් ඔබගේ යහපත් ගුණ ගැන
කථාකරනවාද? අසල් වැසියන් ඔබ සිරිකතක් ලෙසින් අගය කරනවාද? එසේ නොවන්නේ
නම් ඔබ තුළ යම් අඩුපාඩුවක් තිබිය හැකි ය.
බුදු දහමට අනුව ක්‍රියාකළ උතුම් වනිතා රත්නයන් විවිධ අවස්ථාවන්හිදී ගෙන
ඇති ක්‍රියාමාර්ගයන් විමසන විට අපට ඉහත සඳහන් මිනුම් දඬුවට අනුව ඔවුන්
ක්‍රියා කළ ආකාරය උදාහරණ ලෙස පෙන්වා දිය හැක. අතිශය පෞද්ගලික සිදුවීමක්
ලෙස පෙනුණත් මීට වසර දෙදහස් පන්සියයකට වඩා පැරැණි සිදුවීමක් සිහිපත්
කරමු. විශාකා මහ උවැසියන්ගේ මිනිපිරියක් හා දනට වඩින සාමණේර හිමි නමක්
අතර ඇති වූ හබයේ දී විශාකාව ගත් පියවර කුමක්ද? එම සිදුවීම පිළිබඳ
විමර්ශනයක යෙදෙන විට පෙනෙන්නේ එම පියවර එදාට මෙන්ම අනාගතයටත් යහපතම පතා
ගත් පියවරක් බව ය. ඒ සිදුවීමට අද මවක් මුහුණ දුන්නා නම් විවිධ
කොම්පැණිවල ඕනෑ එපාකම් සපුරන්නට තොරතෝන්චියක් නොමැතිව කාරණා කරුණු
විසුරුවන අයගේ කියමන් වලට අනුව හෙට දවසේ බොහෝ දෙනෙකුට අත්වන අභිවෘද්ධිය
නොතකා ළමා මනස පිළිබඳ පමණක් සලකා පියවර ගැනීමට ඉඩ තිබේ.
බෞද්ධ වනිතාව සිය උතුම් උදාරත්වය සිය ගෘහ ජීවිතයට පෞද්ගලිකත්වයට සීමා
කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. නිවසට ගමට සිරිකත කැන්දන බෞද්ධ වනිතාව ඊට
වඩා වැඩි මෙහෙවරක් සමාජයට සලසා ඇති අන්දම ඉතිහාසය පැහැදිලි ලෙසම පවසා
ඇත. ගැබ්බරව සිටි සෝමා දේවිය සැමියා සමග පලා යද්දී රට වෙනුවෙන් ගත්
ක්‍රියා මාර්ගය කුමක්ද? පිය රජුට පවා අකීකරු කම් පාමින් අධිවේගී අදහස්
තිබූ ගැමුණු කුමරු රට බේරාගැනීමේ ව්‍යායාමයට නිසිලෙස යොමු කරන්නට වෙහෙර
දේවිය ක්‍රියාකළේ කෙලෙසකද? බුදු හිමියන් විසින් පැවිද්ද තෙවරක්ම
ප්‍රතික්‍ෂේප කරද්දීත් එය ලබා ගැනීමට ප්‍රජාපති දේවිය යෙදූ උපාය
කෞශ්‍යල්‍ය මොකක් ද? මේවා සියල්ල බෞද්ධ වනිතාව ගෘහය නමැති කුටුම්බියෙන්
ඉවතට විත් දියත් කොට ඇති උදාර මෙහෙවරයන්ට ඓතිහාසික උදාහරණයි.
අපගේ යටගියාව වනපොත් කිරීමට හෝ පොත්ගුල් සැරසීමට පමණක් නොතබා භාවිතයට
ඉඩදිය යුතුවෙයි. මෙහිදී බෞද්ධ ඉතිහාසය ගැන පමණක් හැදෑරීම අදහස් නොකෙරේ.
බුදුදහමට අනුවම බෞද්ධයාට අනෙකුත් සත් ආකල්පවලට සවන් දොරටු විවෘතය.
බෞද්ධ සංස්කෘතිය අනෙක් සමාජයන් හා මිශ්‍රණය වෙද්දී අනෙක් යහපත් ආකල්ප
හැමවිටම ක්‍රියාකාරීව ගෙන ඇත. එනිසාම ලෝකයේ අනෙකුත් ශ්‍රේෂ්ඨ කාන්තා
චරිත පිළිබඳ තොරතුරු ඔබේ දිවියට අදාළ අයුරින් සමීප කරගැනීම සුදුසුයි.
නූතන වනිතාව රැකියාවන් ආදී විවිධ කාර්යයන්හි නියුක්තය. ඒ කිසිවක් බෞද්ධ
ආකල්ප වර්ධනයට බාධාවක් නොවේ. කොතැන කවර මෙහෙවරක යෙදුණත් අප තුළ ඇති
අඩුපාඩු සකසා ගන්නට සුදුසු කාරණා එක්රැස්කොට ජීවිතය මිහිරි සැනසිලිදායී
කරගන්නට මුලින්ම අවදි කරගත යුතු වන්නේ මනසයි. සිතීමේ හා විමසීමේ
පුද්ගලික නිදහසත් ඒ අනුව ක්‍රියාකිරීමේ වගකීමත් අගය කෙරෙන එකම දහම බුදු
දහමයි. ඒ නිසාම චින්තන නිදහස ඉහලින්ම භුක්ති විඳින බෞද්ධ කාන්තාව
තොරතෝන්චියක් නැතිව අප මනසට පටවන කරුණු අතරින් සුදුසු දේ පමණක් තෝරා
බේරා ගන්නට සමත් විය යුතුය. ඒ සඳහා සුදුසුම කාලය ද නැකතද මේ මොහොත
වන්නේ ය. දිනපතාම හිරු සමඟ අරඹන අලුත් ජීවිතයේදී හිරු මෙන්ම නැණ නුවණ
විහිදා කටයුතු කිරීමෙන් නිතිපතා නැවුම් බව ද රැකගත හැකි වෙයි.
ඔබ නිවසේ රැඳුනත් වෙන කොතැනක සිටියත් බොහෝ විට තමනට අවශ්‍ය ගමන් මලු
අත්පසුම්බි හෝ වෙනත් භාණ්ඩ රැගෙන යා හැක. සමහරවිට ඒවා අමතකව දමා යන්නට
ද පුළුවන. එහෙත් ඔබ කොතැන ගියත් සිත කය වචනය යන තුන්දොර රැගෙන යන්නට
අමතක වන්නේ නැත. ඒ තුන්දොරින් ඇතුළුවන හා පිටවන දේ පිළිබඳව දක්වන
සැලකිල්ල මත මුළු සමාජයේම යහපත රඳා පවතින බව වචනයට වඩා ක්‍රියාවෙන්
අත්දැකිය යුතු දෙයකි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වැනි යයි සමාන කළ
මාතාව බෞද්ධ ගෘහණියක් සේ වඩාත්ම මූර්තිමත් වන්නේ ඒ උතුම් බුද්ධි ගුණයන්
යම් පමණකට තමන් ද විදහා දැක්වීමෙනි.
නූතන බෞද්ධ වනිතාව සෙසු ලෝකයා මෙන්ම නවීකරණයට නැඹුරු වන බව අපි දනිමු.
අද අපට හමුවන්නේ එදා විශාඛාට අනුලාට ප්‍රජාපති දේවියට සෝමා දේවියට
ඇතිවූ ප්‍රශ්න නොවිය හැක. එහෙත් බෞද්ධ ගෘහණියක් වශයෙන් තමනට හමුවන
ගැටලුවල ස්වභාවය තේරුම් ගැනීමට අවශ්‍ය මිනුම් දඬු දත යුතුය. පියකරු
පිරිසුදු මුදු කඩිසර ගෘහණිය වටින්නේ ය. එසේම කාරුණික නුවණැති සංයත බවත්
රැඳේනම් ඊටත් අගනේ ය. ඒ සමඟම සිත කය වචනය නිසි ලෙස හසුරුවන මුලාවෙහි
නොවැටෙන බුද්ධිමත් බව තිබේ නම් ඇය නිසැකයෙන්ම බෞද්ධ කාන්තාවක් ලෙස ලොව
කැපීපෙනේ. |