කවි සංකල්පනා
සංස්කරනය නන්දන වීරසිංහ
මීතලාවේ වනස්පති
අනුලා විජයරත්න මැණිකේ
සසර මඟ ඇවිද යන වෙහෙස පත් දන රැඳෙන
තිබේ එක් කෙම් බිමක් සිසිල් ජලයෙන් සැදුණ
ඒ සිහිල් දිය කිමිඳ අරිඅටඟ මඟ සොයන
සිත් නිවේ නා සමිඳු මීතලාවේ දකින
සා මඬුල්ලෙන් සුසැදි වනස්පතියක ලෙසින
තෙමෙන අව්වට දැවෙන දනා සෙවණට රැගෙන
වඩා බුදු ගුණ සරාගී ජවන් සිත් නිවන
නා සමිඳු පා කමල් වඳිමු අපමණ පෙමින
දරා අරහත් ධනය සඟ සෙබළ මුළු රැගෙන
අවා දොර වසාලන සතිර කඳවුරු බඳින
ගමින් ගුවනින් රටින් යති සඳුන් බණ අසන
සිත් පහන් වී නිවී – නිවි නිවී යයි සෙදින
හුරු පුරුදු හැම දෙය ම අලුත් ඇසකින් දකින
මිනිස් අත්බව ලැබූ පිනෙහි උරුමය රැකෙන
දිවි අරුත දැනගනිමු යති සඳුන් පා සෙවණ
ණය ගෙවන්නට මදි ය මේ කුසුම් අප පුදන
යති සඳුන් පෙරටු කොට මඟට පියවර මනින
අපමණ ය බුදු පුතුන් ස¼ග සසුන් බබළවන
නොසැලී ම නිහඬ ව ම උරගලක් සේ බෙජෙන
නා සමිඳු දිනේවා! වා සියක් කල් යෙහෙන
යති සඳුන් පා කමල් රැඳි දූලි ගෙන හිසින
මේ පිරිත් පැන් සිහිල විඳ විඳ ම අප පුදන
ආයුරාරෝ සැපත් නිබඳ ව ම ලැබ තුටින
නා සමිඳු දිනේවා! සියක් වස් කල් යෙහෙන
සුභාගේ නෙත්
ආරියවංශ රණවීර
ගන්න
මේ
දෙනෙත්
බරකි
මට
ඒවා
පහන් සිළ
සලිත ය
නො ගෙනෙයි
ඇතුළු
රංගන
උදා හිරු
නො වියයි
රන්වන්
විසිදැල්
විහඟුන්
සීපා සතුන්
අණු
පමණකි
එක් වුණු
මඳකට
ගන්න
මේ
දෙනෙත්
මිය ගොස් ය
ඒවා
බොහෝ
කලකට
පෙර
දර මැස්ස
කේම බයව, අවුලේගම.
දර මැස්ස බර වෙලා දුර ගමන් බැහැ යන්න!
කර රිදිලා වැර සිඳීලා කොර ගමන් ඇති වුණා!
අර අතන දොර බිඳිලා පර මලක් අඬනවා!
හෙට කියලා මිටි බැඳලා ලෝ දහම කියනවා!
මගෙ මගෙයි මඟ දිගයි හුඟ දෙනෙක් දන්නේ නෑ!
නැහැ අගට ඇහැ වැටිලා බැහැ කියන දිනේ එයි!
හිරු බොහෝ වරු ගණන් හුරු ගමන් ඔහෙ දිවෙයි!
අනඳ හිමියනට බුදුන් පැවසූ බස්
ගුණපාල ජයතිස්ස සියඹලාගොඩ,
මේ සිරුර
දැන් අවසඟ ය
කෘෂ ව ගොස්
වාරු කර යා නො හැකි ය
ආනන්දය,
පැන් පවස ඉතා දැඩි ය
එහෙත්
බොර වී ඇත
කකුක්ථා නදිය
හිඳ ගනිමි
මේ රුක් මුල
බොර වූව ද කම් නැත
දිය බිඳක් ගෙන එන්න
ආනන්දය
බුදුන් නො ව
බුද්ධත්වය දැරූ
මේ සිරුර ය
අනිත්‍ය.
එතෙර වීම
චින්තා පවිත්‍රානි
ඉහළ නඟින පහළ බසින
තොරක් නොපෙනෙන දියතලය මත
දිගු ගමනක ය සුසුදු හසරද
කිරි කොකුන් හිඳින
තපස් රකිමින දියබුං ගසමින
පිහිනති මසුරැළ දුටු ව ද එ සැම
නිම් නො වේ ගමන
සුදු පෙණ කැටි යට ගැඹුරු දිය
දකිමින වළඳමින පොකුරු
මී රස මෙතෙර අතැර
එතෙරට වඩී හසරද !
(විල) ස
චමින්ද රොෂාන්
විල් තෙර නුදුර
තුරුණු තුරු මඬුලු
ලිය පෙළ
සුසිනිඳු ළපලු සළුපිළි
සිතැඟි ලෙස පවනත
සැලෙන්නට හැර
නුරා නෙතගින්
වසත් තෙපුලින් කොඳුරන විල් දිය නිසලයි
දැහැන් වඩයි
හාත්පස බැල්මකුදු නො හෙළයි
වියැළි පත්, පත් කිරුළු ගිලිහුණු
වසන්තය හැර දමා ගිය
තුරු - ලතාවෙත
සෝබර දසුන ඈත දුරු තෙරින
නෙතු මානයේ ඇදෙන....
නෑසී ඇසෙන දුක්සර යන්තමින් මතුවන....
විල් දිය නිසල යි දැහැන් වඩයි
හාත්පස අඳුරින් අකම්පිත යි
පිරුණු බව
රිල්ලොලුවේ, රුවන් රත්නායක
තැබූ විට දොළ පිහිල්ලට
හිස් කළ ගෙඩියෙ කට
නැඟෙයි පත්ලෙන් හඬ
කියා හිස් බව පිටතට
ටික ටික පිරෙන විට දිය
වෙනස් වී ගොස් ඒ හඬ
මුළුමනින් නතර ව
පවසයි පිරුණු බව
නිහඬ ව
හැර යෑම
නඳුන් යසිත දසනායක
බැස යමි පිය ගැට පෙළ
තුරුණු කල තුටු සිතින
හනි හනික නැඟ ගිය
බැස යමි ඉහළ බිම අත හැර
කඳු හිස වැඩුණු තුරකින්
වැටුණු මළ පතක් ලෙසින
බසිමි
කඳු පාමුලට |