Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි පුරාණය

කැලණිය, ඓතිහාසික වශයෙන් සලකා බැලීමේදී ලක්දිව පැරැණිම නගරයකි. කැලණිය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ නගර බිහිවූ අයුරු අපගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. ඒ අනුව කැලණි ගඟබඩ ඇසුරු කරගෙන බිහිවූ පැරණිම නගරය කැලණිය බව පෙනේ. මහා භාරත, රාම්‍යයන මහා කාව්‍යයන්හි සඳහන් වන වකවානුවල ඉන්දියාව , ලංකාව , වැනි රටවල අසුර ,රාක්‍ෂ, යක්‍ෂ, නාග යන මිනිස් වර්ගයන් ජීවත් වී ඇති බව කියැවේ.

බුදුපියාණන් වහන්සේ මහියංගණයට වැඩම කළ අවස්ථාවේ එහිදී ධර්ම ශ්‍රවණයට කැලණියේ මනිඅක්ඛික නා රජු ද පැමිණි බව සඳහන් වේ. එම මනිඅක්ඛික නාරජුගේ ඇරැයුමෙන් බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ අටවැනි වර්ෂයේ කැලණියට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ.

රුහුණු මායා පිහිටි වශයෙන් පළාත් වලින් වශයෙන් මායාරට අගනුවර වන්නේද කැලණියයි. පණ්ඩුකාභය යුගයේ කැලණිය පිළිබඳ සඳහනක් නැතත් දෙවැනි පෑතිස් රජුගේ මලණු කෙනෙකු වූ උත්තිය කුමරු මායා රට අගනුවර වු කැලණියේ සිට රාජ්‍ය විවරණ ලද බව සඳහන්ය. උත්තිය රජුගේ ඥාති පුත්‍ර යටාලතිස්ස රජු කැලණි විහාරස්ථානයේ පස්මහල් ප්‍රාසාදයක් ඉදි කළ බව කියැවේ.

අනතුරුව උත්තිය යුවරජුගේ මුණුබුරු කැලණිතිස්ස සමයේ කැලණියේ අද්භූත සිදුවීම් සිදුවූ යුගය ලෙස සිතිය හැකිය. කැලණිතිස්ස රජුගේ සොහොයුරකු වූ අරිය උත්තිය කුමරු කැලණිතිස්ස රජ බිසව සමග රහස් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. මෙය හෙළිවන විට අරිය උත්තිය නුවරින් පිටත පලා ගියේය. රජගෙදර දාන ශාලාවට සිවුරු පොරවා ගත් අයෙකු අත අරිය උත්තිය ,බිසවට එවන ලද රහස් හසුන් පත හසුවීමෙන් රජු එම ලිපිය කැලණියේ රහත් තෙරනමක් විසින් එවන ලදැයි වරදවා තේරුම්ගෙන එම රහතන් වහන්සේ තෙල්කටාරමක දමා මැරවීය. මෙයින් මහ සාගරය කෝපවී ගොඩ ගලන්න විය. මෙහිදී රජුගේ ‘දේවී’ නම් දූ කුමරිය මුහුදට බිලිවී තම රටත් ජනතාවත් බේරාගැනීමට ඉදිරිපත් වූවාය. ඇය මුහුදේ පාවී පැමිණියේ රුහුණේ කාවන්තිස්ස රජු රජකළ මාගම්පුරයටයි. ඇය කාවන්තිස්ස රජුගේ අගබිසව බවට පත්වීමෙන් පසුව ඇයගේ පුත් වීර දුටුගැමුණු ද ලංකාවත් බුද්ධාගමත් බේරාගත් රාජ්‍ය පාලකයා බවට පත්වීය. මෙයින්ද කැලණියට ලැබෙන්නේ මහත් කීර්තියකි. පසුව එළඹී සමයේ කැලණියේ අඳුරු යුගයක් උදාවී තිබුණි.

මහා පරාක්‍රමබාහු යුගයේ යළි කැලණිය ගැන සඳහන් වන්නේ යුධ හමුදා පුහුණු කඳවුරක් ලෙසයි. කාලිංග මාඝගේ පැමිණීමෙන් විනාශ වූ කැලණිය තෙවැනි විජයබා රජු ප්‍රතිසංස්කරණය කරන ලදී. පසුව දෙවැනි පැරකුම්බා සමයේද කැලණිය යළි රමණීය වන්නට විය. 14 වැනි සියවසේ කැලණියේ “ ගතාරා “ පිරිවෙනක් වූ බව සඳහන්ය. විල්ගම්මුල සඟරාජ හිමියන් මෙහි සිට බුදුදහම හා ශාස්ත්‍රය බබුළුවාලූහ.

සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වු කෝට්ටේ යුගයේ ලියන ලද සියලුම සංදේශ කාව්‍යයන්හි කැලණිය වර්ණනාවට පාත්‍ර වී තිබුණි.

පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට
බැද කිකිණිය දද ගිගිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුර වරට

යනුවෙන් සැලලිහිණිය කළ ශ්‍රී රාහුල හිමියන් කැලණිය ගැන වර්ණනා කර ඇත. කැලණි පුද බිමේ පුද සිරිත් පිළිබඳ 9 වැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු කරවන ලද ශිලා ලිපිය අදත් කැලණියේ දක්නට ලැබේ. පෘතුගී‍්‍රසින් විසින් 1551 සත්වැනි භුවනෙකබා මරණයට පත් කර රූකඩ ධර්මපාල සිංහාරූඩ කිරීමෙන් පසු කැලණිය යලි විනාශ වී ඇත. අනතුරුව කැලණිය සතු ඉඩ කඩම් දේපොළ ප්‍රතිකාලුන් විසින් අන්‍ය ආගමිකයනට පවරා දී ඇත. එයින් පසු පාළුවට පත් කැලණි විහාරය 1699 යලි සඟරුවන වෙත පැවරිණි. (1749 - 1782 ) කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වෙත කැලණිය ප්‍රතිසංස්කරණයට යලි ඉඩ ලැබිණි. දෙහිගස්පේ අත්ථදස්සි හිමිපාණන් වහන්සේ අරඹන ලද කැලණිය මාපිටිගම සංඝ පරම්පරාවට අයත්ව අද දක්වා එම සඟ පරපුරේ සඟරුවන විසින් කැලණි වෙහෙර පාලනය කරනු ලබති. 1888 හෙලේනා ඩැප් වීරසිංහ මැතිණිය ආරම්භ කරන ලද නව කැලණිය අද දක්වා අපට දක්නට ලැබේ.

1927 ජනවාරි 10 දින යළි හෙලේනා විජේවර්ධන ළමාතැනිය විසින් නව ප්‍රතිසංස්කරණයට මුල්ගල තබන ලදී. එතුමියගේ පුත්‍රයා වන වෝල්ටර් විජයවර්ධන මහතා ඒ වර්ෂයේම කැලණි පෙරහර ආරම්භ කරන ලදී. අතීතයේ සිට පැවති කැලණි පෙරහර යළි ආරම්භ කිරීමෙන් එතුමා කැලණියට නව පණ ගැන්වීම ආරම්භ කළේය. 1939 දක්වා කැලණිය දායක සභාවේ සභාපතිවරයා වූ වෝල්ටර් විජයවර්ධන මහතාගෙන් පසු ඔහුගේ සහෝදර ඩී.සී. විජයවර්ධන මහතා සභාපති විය.

හෙලේනා විජයවර්ධන මැතිණියගේ ශ්‍රද්ධාව නිසා වර්තමාන ශ්‍රී විභූතිය ලද කැලණියේ පෙරහර අද දක්වා අත්‍යාලංකාරයෙන් පවත්වා ගෙන යනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.