<%
whichfile=ID & ".asp"
Set fs = Server.CreateObject("Scripting.FileSystemObject")
Set rs = fs.GetFile(Server.MapPath(whichfile))
Call ReadDisplayFile(whichfile)
%>බවදුක නිවන මග
පානදුරේ
එස්. ඒ.එස්. පෙරේරා
බුද්ධොත්පාදය ඉතා දුර්ලභය. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම . ඊටත්
වඩා දුර්ලභය. එවැනි දුලබ මිනිසත් බවක් ලබා උපන් අපට, බුදුන්
වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මුණ ගැසී ඇත. මේ කරුණු දෙක එක් වීම
ක්ෂණ සම්පත්තිය නමින් හැඳින්වෙයි. ඉන් ප්‍රයෝජන ලබා ගැනීම
බෞද්ධයන් වූ අපගේ වගකීමයි. නැතහොත් කල්ප -කෝටි ගණන් සසර දුක්
විඳීමට සිදුවිය හැකිය.
“කලෙකිනි බුදු කෙනෙකුන් උප දින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරු ලන්නේ
සුදනෙනි , කිම වීරිය නොක රන්නේ ?”
බුදු කෙනකුන් උපදින්නේ දීර්ඝ කාලයකින් ය. මනුෂ්‍යාත්මභාවය
ලබන්නේ ද දුකසේමය. මේ සංසාර දුඞඛය දුරු කරන්නේ මේ කරුණු
දෙකින්ය. එහෙයින් සාධු ජනයෙනි, මේ දෙක ලැබූ කාලයෙහි වීරිය
නොකරන්නේ කිම්ද”
ලෝවැඩ සඟරාව
බුදුන් වහන්සේ දැක, උන් වහන්සේගෙන් බණ ඇසූ එහෙත් සත්‍යාවබෝධය
ලැබීමට තරම් භාග්‍යවන්ත නොවූ බොහෝ පිරිස් ද වූහ. අපද ඒ අතර
සිටින්නට ඇත. “ බුදු හාමුදුරුවො බණත් කියන් නැති - අපත්
අසන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදිවෙන් නැති - ඒ කයි
තවමත් සංසාරේ” යන අරුත්බර ගීතයෙන් ද ඒ අදහස ප්‍රකට වෙයි. එසේ
නම් අපට සත්‍යාවබෝධය ලැබීමට නොහැකි වූයේ පෙර ආත්ම භාවයන්ගෙන්
රැගෙන ආ කුසලතා ප්‍රමාණවත් නොවූ නිසා බව සිතිය හැකිය. එසේ
හෙයින් බුද්ධි සම්පන්නව උපත ලබා ඇති අපි, මේ ජීවිතයේ දී ම
කුසලය උපදවාගෙන සසර දුකින් මිදීමට උත්සුක වෙමු.
බුදු දහමට අනුව තණ්හාව උපත සිදු කරයි. එහිම වෙලී - පැටලී
නොනිමි ආශාවන්ගෙන් හෙම්බත් වූ මිනිසා මුළු ජීවිත කාලය පුරා
පසිඳුරන් පිනවීමටම අසීමිත උත්සාහයක යෙදෙයි. එහෙත් අවසානයේ
ඉතිරිවන්නේ අසහනය හා දුක පමණකි. තණ්හාව හෙවත් ආසාවෙන් වැසුණූ
සිතට, යථාර්ථය නොපෙනෙයි අසංවර වූ අපේ සිත, නිතරම ලෞකික ආශාවන්ට
- වස්තූන්ට - සැප සම්පත්වලට ලාභ ප්‍රයෝජන වලට ඇලුණු
ආත්මාර්ථකාමී සිතිවිලිවලින් වැසී පවතී. එබැවින් මිනිසා කය
සන්තර්පණය කිරීම පිණිසම වෙහෙසෙනු විනා චිත්ත පාරිශුද්ධිය
තුළින් අධ්‍යාත්මික සුවය ළඟා කර ගැනීමට නොවෙහෙසෙයි.
අධ්‍යාත්මික සුවය ලැබිය හැකි වන්නේ අභ්‍යන්තර පාරිශුද්ධිය ඇති
කර ගැනීම තුළිනි. එසේ වූ විට සිතට යහපත් ප්‍රසන්න පී‍්‍රතිමත්
ස්වභාවයක් උපදියි. මෙම ස්වභාවය උදා කර ගැනීමට වැරැදි සිතිවිලි
හඳුනාගෙන සිත පාලනය කොට යහපත් අරමුණුවල පමණක් සිත ඇද බැඳ තැබීම
කළ යුතු වෙයි. සිතට ඒ මේ අත දිවීමට ඉඩ සැලසුවහොත් විවිධ අරමුණූ
වල සිත එල්බ ගනියි. එම අරමුණු හා ඇලුණු විට සිත එදෙසට නැමීය
යි. එම ස්වභාවය වැළැක්විය හැකි වන්නේ අවශ්‍ය අරමුණෙහි පමණක්
සිත බැඳ තැබීමෙනි. ඒ සඳහා භාවනාව වැඩිය යුතුයි. එනම් සමථ ,
විදර්ශනා, ආදී මානසික අභ්‍යාස පුරුදු පුහුණු කළ යුතුයි. ඵලදායි
අර්ථවත් සැපවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයෙන්ම ආත්මාවබෝධය
හෙවත් සිතේ ස්වභාවය දැන ගැනීම ප්‍රගුණ කළ යුතුයි. ඒ සඳහා චිත්ත
භාවනාව මගින් සිත සංවර කර ගැනීම ද අවශ්‍ය වෙයි. හොඳ නරක තෝරා
බේරාගෙන හරි මඟ ගමන් කිරීමට එවිට අපට හැකි වෙයි. සිත පිරිසුදු
කොට එය ප්‍රභාමත් කරන භාවනාවෙන් අධ්‍යාත්මික ශාන්තිය සැළසෙයි.
ඒ අනුව සිත තැන්පත් වෙයි. බුද්ධිය තියුණු වෙයි. සත්‍යාව බෝධය
ලබා ගත හැකිවෙයි. වැරැදි සිතුවිලි පාලනය ඇරැඹිය යුතු වන්නේ
සීලයෙනි, සීලය යනු පවින් එනම් කයින් - වචනයෙන් සිදු වන වැරැදි
වලින් වැළකීමය . හරි දේ වැරැදි දේ වෙන් කර හඳුනා ගැනීමෙන්
හික්මීම සීලයයි. සීලයක් සමාදන් වී “ මම මේ ශීලය ආරක්ෂා කරමි.
කයින් - වචනයෙන් වැරැදි සිදු නොවීමට වග බලා ගනිමි” යනුවෙන්
අධිෂ්ඨාන කළ විට වරදක් සිදු කිරීමට සිත පෙළඹීමේදී එළඹ සිටි
සිහියෙන් එය වළක්වා ගත හැකි වෙයි. එලෙස කායික මානසික වාචසික
සංවරය ඇත කර ගත යුතුය.
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ බුදුන් වහන්සේ රාහුල සාමණේරයන්
වහන්සේට කුසල හා අකුසල දෙපක්‍ෂය වෙන්කර ගැනීමට භාවිතා කළ යුතු
මිනුම් දණ්ඩ කුමක්දැයි මෙසේ වදාළ සේක. “ එම්බා රාහුලය තමන්ගේ
කායික - වාචසික මානසික ක්‍රියාව තමාට පීඩාව පිණිස පවතී කියා හෝ
අනුන්ට පීඩා පිණිස පවතී කියා හෝ දෙපක්ෂයටම පීඩා පිණිස පවතී
කියා හෝ වැටහෙයි නම්, එසේම එය දුක් වැඩි කරන හා විපාක වශයෙන්
දුක් ඇති කරන දෙයකැයි වැටහෙයි නම් එබඳු දෙය ඒකාන්තයෙන්ම නොකළ
යුතුය.
මාගේ මෙම ක්‍රියාව තමාට හෝ අනුන්ට හෝ දෙපක්‍ෂයටම හෝ පීඩා පිණිස
නොපවතින හා ඵලය වශයෙන් සැපත වැඩි කරන ක්‍රියාව කැයි වැටහෙයිද
එම ක්‍රියාව කළ යුතුය” යනුවෙනි. මෙම පදනමෙහි පිහිටා තමන් කරන
ක්‍රියාව කුසලයක්ද නො එසේ නම් අකුසලයක්දැයි කාට වුවද ස්වාධීනව
තීරණය කරගත හැකි වෙයි.
අධාර්මික ක්‍රියාවලින් වැළකී සිටිය යුතුයි. සත්ව හිංසාව අනුන්
සතු දේ පැහැර ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම ආදි කයින්
සිදුකැරෙන වැරැදි අත්හළ යුතුයි. එය කායික සීලයයි. එසේම
බොරුකීම, කේළාම් කීම , ඵරුෂ වචන කීම , ප්‍රලාප දෙඩීම ආදි
වචනයෙන් සිදුවන වැරැදි ද අත්හළ යුතුයි. එය වාචික සීලයයි.
එපරිදි අධාර්මික ජීවිකාවෙන් හා පැවතුම් වලින් අනුන්ට හිරිහැර
අයහපත පිණිස වන දෙයින් සම්පූර්ණයෙන්ම වෙන්වීමට අධිෂ්ඨාන කරගත
යුතුයි. එම ආත්ම සංයමය , සීලයයි. දුසිරිත් වලින් දුරු වීමෙන්
සීලය සම්පූර්ණ වෙයි’ “ මා දැන් සිල් සමාදන් වෙලාය. මේ සිල්පද
කඩන්න හොඳ නෑ” යනුවෙන් හොඳ කල්පනාවෙන් සිටීම සිල් රැකීමයි. දුක
පිණිස පවතින රාග - ද්වේෂ මෝහ ආදි ක්ලේශ ක්‍රියාත්මක වීමට ඉඩ
නොදී ඒවා යටපත් කිරීම, සිල් රැකීමේ ප්‍රයෝජනයයි.
අකුසලයෙන් වැළකී සිටීමට අමතරව, පුණ්‍ය කර්ම කියා කොටසක්ද වෙයි.
දාන , සීල, භාවනා ඉන් ප්‍රධාන වෙයි. ‘’දානය” නම් පරිත්‍යාගයයි.
අනුන් උදෙසා තමන් සතු සම්පත් යෙදවීම ආහාර , වස්ත්‍ර බෙහෙත්
පරිත්‍යාග කිරීම නැතිනම් ඒවා මිලදී ගැනීමට මිල- මුදල්
පරිත්‍යාග කිරීම තම කාලය හා ශ්‍රමය අනුන්ගේ යහපත උදෙසා යෙදවීම
තමා දන්නාදේ කියා දීමෙන් දැනුම පරිත්‍යාග කිරීම, ගිලන්ව සිටින
අයට ඇප උපස්ථාන කිරීම ආදි මේ සියල්ල දානයයි. කිසියම් කෙනෙක්
පංච ශීලය ආරක්ෂා කරයි ද එය ලෝකයට සාමය දන්දීමකි. සිත් වේදනාවට
පත් කෙනකුට කරුණු වටහාදී ඔහු සැනසීමද දානයකි. එසේ කිසි
ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර - කවර හෝ එබඳු පරිත්‍යාගයක් කළ විට
ඉන් ජනිත වන ශක්තිය සංසාර ගමනේදී යහපත් විපාක ලබාදීමට
හේතුවෙයි. එසේම සසර කෙටිකර ගැනීමට මෙම පුණ්‍ය ක්‍රියා උපකාරී
වෙයි.
තවද ඊර්ෂ්‍යාව - කෝපය, ද්වේෂය බඳු හානිකර අකුසල සිතිවිලි සිතේ
දියුණුවට බාධා පමුණුවන බව, අප මනාව තේරුම් ගත යුතුයි.
ඊර්ෂ්‍යාව කිරීමෙන් ලද හැකි කිසි වාසියක් නැත. ලැබතොත් අසහනය
හා මානසික පීඩාව පමණකි.
එම ආදීනව පිළිබඳ අවබෝධ කර ගත් විට එයින් සිත නිදහස් වී කරුණාව,
දයාව ආදී ගුණධර්ම වැඩීමට සිතට අවකාශ ලැබෙයි. එවිට ඊර්ෂ්‍යාව
කරනු වෙනුවට අනුන්ගේ දියුණුව ගැන සතුටුවීමට හෙවත් මුදිතා ගුණය
ප්‍රගුණ කිරීමට අවස්ථාව සැළසෙයි. කෝපය , ජය ගත යුත්තේ මෙත්
සිතිනි. වෛරය, තරහය, ද්වේෂය ආදී මේ සියලු දුර්ගුණ මෛත්‍රිය
වැඩීමෙන් යටපත් වෙයි. අපේ සතුට හා සාමය උදෙසා මේ සියල්ල ජය ගත
යුතුය. මේ සඳහා ආත්ම දමනය අවශ්‍යයි. විශිෂ්ටතම ජයග්‍රහණය ආත්ම
දමනය යැ’යි බුදුන් වහන්සේ වදාළහ. උන් වහන්සේ උගන්වා ඇති පරිදි
විශ්වයේ සනාතන නීතියට , එනම් ධර්මයට අවනත විය යුතුයි. එවිට
එලොව - මෙලොව - දෙලොවම සුරැකෙයි.
“වැනුවා නම් බුදු ගුණ වැනුවා මය
තැනුවා නම් තම සිත තැනුවා මය
දෙනුවා නම් දන් - පින් දෙනුවා මය
දිනුවා නම් පරලොව දිනුවා මය
වර්ණනා කිරීම නම් බුදු ගුණ වර්ණනා කිරීමය. තැනීම නම් තමාගේ සිත
තැනීම ම ය. දීම නම් දන් දීම හා පින් දීම ය. දිනීම නම් පරලොව
දිනීම මැයි”
(ලෝ වැඩ සඟරාව) |