Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තෘෂ්ණාව සහ ලෙඩදුක්

මිනිසා යනු තෘෂ්ණා පිණ්ඩයකි. ඒ නිසා අපි සියලු දෙනා ම තෘෂ්ණා පිණ්ඩයෝ වෙමු. එබැවින් ඒ ගැන සසල විය යුතු නොවේ. ඒ ඇයි? ලෞකිකත්වයේ ස්වභාවය එය වන හෙයිනි. ජීවත්වීම යනු කය නඩත්තු කිරීම යැයි කීමේ වරදක් නැතැයි සිතේ. කය නඩත්තු කිරීම යනු පඤ්චස්කන්ධය තෘප්තිමත් කිරීම නොවේද? එනම් ඇස, කන, නාසය, දිව හා කය පිනවීමයි.

පැහැදිලි ලෙස ගත් කළ ඇස, කන, නාසය හා දිව ද්වාර වශයෙන් ප්‍රකටව පෙනේ. කාය ද්වාරයැයි කියන විට පැහැදිලිව පෙනෙන ද්වාරයක් නැතත් මුළු කයම ගත් කළ ඒ සමස්තය ද්වාරය ලෙස සැලකිය හැකි ය. සැබවින්ම කයින් ස්පර්ශය අරමුණු කරන විට රෝම කූපයක් පාසා උත්තේජනය වන බව අපට දැනේ. එබැවින් ම කය අනේක ද්වාර ස්කන්ධය සේ සැලකීම මැනවි.

ඇස, කන, නාසය හා දිව එකී අනෙක් ද්වාර ස්කන්ධයේ සුවිශේෂ ද්වාර හතරක් වන බව කීම සාධාරණ ය. කෙසේ වෙතත් අරමුණු ගැනීමේ එක්තරා විශේෂත්වයක් සලකා පඤ්චස්කන්ධයැයි කීවත්, සමස්තයක් ලෙස ගත් කළ හුදු කායස්කන්ධයක් ම වන බව පෙනේ. නැවත මතක් කිරීමක් වුවත්, ජීවත්වීම යනු කායස්කන්ධය අපමණ සීරුමාරුවකින් රැක ගත යුත්තක් බව සහතික කළ යුතු ය.

අප එකී කායස්කන්ධය රැක ගැනීමට යත්න දරන්නේ අපේ පසිඳුරන් පි‍්‍රය කරන දේ ඒවාට ලබා දී ඒවා තෘප්තිමත් කිරීමෙනි. ඒ ලබන තෘප්තිය සැපයක් ලෙස සිතන්නට අපි පුරුදුව සිටිමු. එහිලා අපි නිරතුරුව දිරි ගන්වනු ලබමින් ද සිටිමු. ලෞකිකත්වයේ ස්වභාවය එයයි. ඒ ස්වභාවය විසින් ම වරක් සුඛ ලෙස සලකන ලද්ද දුක්ඛ ලෙස සැලකෙන අවස්ථාවකට අපි එළඹෙමු. එබැවින් ලෞකිකත්වය තුළ පවත්නා සුඛ හා දුක්ඛ නිරන්තරයෙන් දෝලනය වන්නක් වන බව පෙනේ.

සත්ත්වයාගේ ජීවිතය පවත්වාගෙන යෑමට නැතිව ම බැරි දේ ආහාර යයි. ‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ හෙවත් සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවිතය රඳවා හෙවත් ස්ථාවරව පවත්වා ගන්නෝ ය. යනු බුදුවදනයි. මේ අනුව ජීවිතය පවත්වාගෙන යෑමට ආහාර ගත යුතුම ය. බුද්ධ දේශනාවේ මැදුම් පිළිවෙතක් දක්වා ඇත. සත්‍ය අවබෝධ කර ගැනීමට කෙසේ වෙතත්, හැම ලෞකික පුද්ගලයකුට ම සිත, කය, වචනය පිළිබඳ හැම ක්‍රියාවකදී ම මැදහත් පිළිවෙතක් අනුගමනය කිරීම හැම අතින් ම පලදායක ය. ආහාරය සම්බන්ධයෙන් මෙය අත්‍යන්තයෙන් වැදගත් ය. එහෙත් ලෝභ, දෝෂ, මෝහ ආදී අකුසල මූලයන්ගෙන් තෙතබරිත වූ අපට අන් සියලු කාමයන්හිදී මෙන් ආහාර කාමයෙහිදී ද කවර නම් විනයක් ද?

ආහාර කාමයේ විපාක දැක්වෙන කියමන් බොහෝ වෙයි. ඒවායින් කියවෙන්නේ අප කන බොන හැටියේ අනුපාතයට ලෙඩ ද හැදෙන හැටියි. “අර කුණු ජරාව කාල තමයි බඩ කුණු කර ගත්තේ”, “කුණු මාළු කතත් තිරිත්තුවක් ඇතුව කන්න එපැ යැ”, “කුණු මාළු කතත් කරේ ඔතා ගෙන කන්න එපා”, “උගුර ඉදිකටුව, බඩ අම්බලම”, “ පෙරේතකමට ඔහොම කන්න එපා”, “දැන් වෙන කරන්න දෙයක් නෑ, ගිරියට ඇඟිල්ල ගහල වමනෙ කරපන්” වැනි කියුම් වලින් පෙනෙන්නේ ලෙඩ හදා ගන්නට හිතා ගෙන දෝ අප කන බොන හැටියි.

මෙබඳු කවර හැටියෙන් බැලුවත් පෙනෙන්නේ අපට ලෙඩ හැදීම අමුත්තක් නොව ජන්ම උරුමයක් බවයි. සෞඛ්‍ය විද්‍යාව මඟින් සමතුලිත ආහාරයක, අදාළ අනුපාතයකින් ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, මේදය, ඛනිජ, ලවණ, ජලය හා විටමින් අඩංගු විය යුතු යැයි අනුදැන ඇත්තේ නිරෝගි සිරුරක් ඇති කර ගනිමින් ලෙඩ වීමෙන් වළක්වා ගනු පිණිසයි.

අපේ සිරුර ගැන සිතන විට එය මවිතය දනවන නිර්මාණයක් බව පෙනේ. මිහි මත ජීවියකු බිහි වූ දා සිට වසර ලක්‍ෂ ගණනක් තිස්සේ සොබාදහම නමැති නිර්මාණකරුවා විසින් නිමවන ලද්දක් මිස අන් කවර හැටියකින් වත් අත්දකින්නට නොහැක්කක් බව කියන්නට සිදු වී තිබේ. ඒ නිමාව වුවත් මිහි මත මිනිසා ජීවත්ව සිටිනතාක් පරිසමාප්තියක් නොදකිනු ඇත.

බඹයක් පමණ වූ මේ සිරුරේ විස්ම දනවන සුළු බව කොතරම් ද යතහොත් එයට වැලඳිය හැකි රෝග සංඛ්‍යාව ද විස්මය දනවන සුළු ය. දැනටමත් සොයාගෙන ඇති රෝග සංඛ්‍යාව, අනාගතයේ සොයා ගනු ලබන අලුත් රෝග කීයක් එකතු වනු ඇද්දැයි කිසිවකුට කිය නොහැකි වනු ඇත.

අපේ කායික ව්‍යුහය පද්ධති අටකින් නිමැවී ඇති බව අපි දනිමු. එනම්, අස්ථි (පද්ධතිය) රුධිර සංසරණ, ජීර්ණ, ශ්වසන, ස්නායු, මෞත්‍ර, බහිස්ස්‍රාවි, ප්‍රජනන යනුයි. මේ පද්ධති මිනිසකු උපන් දා සිට මිය යන තෙක් සිරුර තුළ එක ගොඩේ සිට නොනැවතී ක්‍රියා කරන්නේ කෙසේ දැයි සිතීම විටෙක මවිතයත්, විටෙක බියත්, විටෙක අසිරියත් ආදි විසින් නන්විධ හැඟීම් ජනනය කරනු නිසැක ය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව ඉහත දැක්වුණු පද්ධති හැඳින්වෙන්නේ ශ්‍රෝත නමිනි. එහි මෙසේ දැක්වෙයි. එනම්, ප්‍රාණවාහ, අන්නවාහ, අස්ථිවාහ, මජ්ජවාහ, ශුක්‍රවාහ, පුරීෂවාහ (අසූචි ගෙන යන) මුත්‍රවාහ, ස්වේදවාහ, ආර්තවාහ, ස්තන්‍යවාහ, මනෝවාහ යනුයි. මෙයින් ආර්තවාහ හා ස්තන්‍යවාහ කාන්තා පක්‍ෂයට විශේෂිත ය. මෙය කලින් සඳහන් කරන ලද අට වඩාත් විග්‍රහාත්මකව ඉදිරිපත් කිරීමක් බව පෙනේ.

මෙසේ බුදුදහම විසින් ඉදිරිපත් කරනු ලැබ අර්ථකථනය කරනු ලබන මූලික සංකල්පයක් වන තෘෂ්ණාව හා ලෙඩදුක් අතර ඇති අනිවාර්ය, අන්‍යෝන්‍ය සම්බන්ධය පැහැදිලි වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.