ලක්දිව කතුනට මොක් මඟ පෙන්වූ සඟමිත් තෙරණිය
ගා/සරස්වතී මණ්ඩප ආචාර්ය,
ශාස්ත්‍රපති
කරපුටුගල ධම්මරතන හිමි
ලක්දිව කාන්තා සමාජයේ විශාලතම පෙරැළියකට මඟ පෙන්වු කත සංඝමිත්තා
තෙරණිය බව අවිවාදයෙන් යුතුව සැම දෙනාම පිළිගනිති. දඹදිව සිට මෙහි
පැමිණි ඇය ශි‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීම ලංකා
ඉතිහාසයේ කිසි දිනක අමතක නොවන වැදගත්ම සිදුවීමකි. ලක්දිව මෙහෙණි සසුනේ
ආරම්භයත් සඟමිත් තෙරණියගේ වැඩම කිරීමෙන් පසු සිදුවිය.
බෞද්ධ යුගයට පෙර ඉන්දියාවේ කාන්තාවන්ගේ තත්වය විමසා බැලීමේදී පෙනී
යන්නේ ඇයට සමාජයේ හිමිව තිබුණේ ඉතා පහත් තත්ත්වයක් බවයි. යම් පවුලක
ගැහැණු දරුවකු ඉපදුනොත් ඇය පිළිගන්නා ලද්දේ සාපයක් හැටියටය. විවාහ නොවී
ගෙදර වයසට ගියහොත් එයද නින්දාවක් ලෙස සැලකීය. යම් කාන්තාවක් විවාහය
කරදීමට දෙමවුපියන් සිය සේසතම වියදම් කළ යුතුවිය. කාන්තාවන්ට සිය
පියාණන් වෙනුවෙන් අවමංගල කටයුතු සඳහා අවසර ලැබුණේ නැත. ගෙදර දොරත්,
මහජන කටයුතු වලිනුත් ඇය ඈත්කර තිබූ ආකාරය මැනවින් පැහැදිලි වෙයි.
වැන්දඹු වුවහොත් ඇය පියාගේ හෝ පුතාගේ රැකවරණයට පත් වූ අයුරුද ඉන්දියානු
සමාජය අධ්‍යයනයේදී පැහැදිලි වෙයි.
බෞද්ධ යුගය ආරම්භ වන්නට පටන් ගත්විට කාන්තාවෝ සමානත්වයෙන් පිදුම් ලදහ.
එම තත්වය බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා සිදු වූ බව සෑම දෙනාම
අවිවාදයෙන් පිළිගනිති. පුරුෂයාට බලය ක්‍රමයෙන් ගිලිහෙමින් ඇය ගෙදරත්
සමාජයේත් පිළිගැනීමට ලක්වූවාය. එපමණක් නොව බුද්ධිය හා විනය අතින්
කාන්තාවෝ ආදර්ශ සම්පන්න ලෙස ක්‍රියා කළහ. බුදු දහම දැනගත් පසු පුරුෂ
පක්ෂය කාන්තාවගේ නිදහසට මං සලසා දෙමින් රළු පරුෂ භාවයෙන් මිදී ඇයට මෘදු
ලෙස සලකන්නට පුරුදු වූහ. එම නිසා කාන්තාවට අධ්‍යාත්මික සුවය වන නිවන්
අවබෝධයට අවස්ථාව සැලසිණ.
බුදුදහම නිසා කාන්තාවට ලැබුණු නිදහස යටතේ ඇය වැන්දඹුවක වූ විට
මිනිසුන්ගේ අපහාස උපහාසවලින් තොරව මහමග යන්නට හැකියාව ලැබිණි. එකල
සමාජයේ දෙමවුපියන්ගේ නොමද සැලකිල්ල ලැබුණේ දුවට නොව පුතාටය. එවැනි
සමාජයක අපේ ලොව්තුරා බුදු පියාණෝ ප්‍රගතිශීලි දහම් මගක යමින් කාන්තාවට
විමුක්ති මග විවර කළහ. බුදුන් වහන්සේ පෙන්වූ මේ මග නිසා ඹ්ෂතයේ
අවසානයක් මෙන්ම, වටිනාකමක්ද ඇති බව කාන්තාවෝ තේරුම් ගත්හ. මේ නිසා ගෙදර
වැඩත්, සමාජයේ වැඩත්, ආගමික වැඩත් සිදුකරන්නට ඇයට හැකියාව ලැබිණි.
පුරුෂ පක්ෂය මෙන්ම කාන්තාව ද සසර ගමනින් එතෙරවීමට සිත , කය , වචනය
සංවරයට යොමුවන්නට පටන්ගත්හ. ලෞකික ගිහි සැප පමණක් නොව, ලෝකෝත්තර සුවය
සොයන්නට කාන්තාවෝ අධිෂ්ඨාන කරගත් බව පැහැදිලිව පෙනෙයි. මේ තත්ත්වය
භික්ෂූණී ශාසනයේ ආරම්භයට හේතු විය.
බුදු දහමට අනුව නිවන් අවබෝධයට හොඳ පිිරිසුදු ජීවිතයක් ගත කළ යුතු බව
පැහැදිලි වෙයි. එය ගිහි - පැවිදි, ස්ත්‍රී - පුරුෂ වශයෙන් භේදයක්
නොමැත. අප එක් ආත්මයක නොව ආත්ම ගණනාවකදී සෑම ස්ත්‍රී පුරුෂයකු විසින්
ඉතා ආයාසයෙන් ලබාගත යුතු ඵලය වන්නේ නිවනයි. අප මිදිය යුත්තේ රාගයෙන්,
ද්වේෂයෙන්, මෝහයෙන් බව අවබෝධ කරගත යුතුය.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ නිදහස් ධර්මයක් දේශනා කරන්නට පටන් ගත්විට
දඹදිව කාන්තාවෝ ඒ ධර්මය දෙසට යොමු වන්නට පටන් ගත්හ. මෙම තත්ත්වයට හේතු
වූයේ සමාජයේ කොන්කර කාන්තාව ඇද බැඳ තැබීමයි. නිදහස ප්‍රාර්ථනා කර සිටි
කාන්තාවන්ට බුදුන් වහන්සේගේ, ධර්මය අමා වැස්සක් බඳුවිය. මුලින්ම සසුනට
ඇතුළත් වූයේ යස කුල පුත්‍රයාගේ මව සහ ඔහුගේ භාර්යාවයි. පසු කලෙක මහා
ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේට මෙහෙණි සසුන පිහිටුවන ලෙස ඇරැයුම්
කිරීමත් මෙහිදී ඉතා වැදගත් වෙයි.
මහා ප්‍රජාපතී ගෝතමිය සිදුහත් බෝ සතුන් ගේ සුළු මව කාන්තා
විමුක්තිදායිකාව වූ බව මෙහෙණි සසුන ආරම්භ කිරීමට ගත් උත්සාහය තුළින්
පැහැදිලි වෙයි. එසේම සිදුහත් කුමරාගේ භාර්යාව යශෝධරා දේවියද තවත්
කාන්තාවන් සමග මෙහෙණි සසුනට ඇතුළත් වී එම සංස්ථාව ශක්තිමක් කළේය. මේ
සියලු කාන්තාවෝ අෂ්ටගරු ධර්ම පිළිගෙන කටයුතු කළ අය වූහ.
මහා ප්‍රජාපතී ගෝතමිය පිළිබඳ කථා පුවත මෙහිදී විමසා බැලිය යුතු වෙයි.
කාන්තාවන් පිරිසක් සමග ඇය කහවත් පොරවා ගෙන නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටි
බුදුරජාණන් වහන්සේ කරා පැමිණියේ ශ්‍රමණ ජීවිතයට ඇතුළුවීමටයි. එතුමිය
තෙවරක් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියත් නොලැබිණි. පසුව මහා ප්‍රජාපතී
ගෝතමිය ඇතුළු කාන්තා පිරිස ඉතා දුක්මුසුව එම ස්ථානයෙන් ඉවත්ව ගියහ.
අනතුරුව බුදුරජාණන් වහන්සේ වේසාලියට වැඩි අවස්ථාවේ එතුමිය පිරිස සමග
දුරකතර ගෙවාගෙන පයින්ම එම ස්ථානයට පැමිණියේ පැවිද්ද ලබා ගැනීමටයි.
බොහෝ දුර කතර ගෙවාගෙන පයින්ම පැමිණි මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස
දැක අනුකම්පා සහගතව කාරුණික වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදු පියාණන්
සමග කථා කොට එම පිරිස බලාපොරොත්තු වන සැනසිල්ල ලබාදීමට අධිෂ්ඨාන කළහ.
කාන්තාවන්ට ස්වභාවයෙන්ම උසස් ශීලය ධර්මය ආරක්ෂා කළ හැකිය. එසේම
අංගුත්තර නිකායේ සඳහන් වන අයුරින් මවටත් පුතාටත් ලෝභ , ද්වේශ මෝහ දුරලා
ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට හැකියාව පවතියි.
මෙහිදී ස්ත්‍රී- පුරුෂ දෙපක්ෂයේ කිසිදු බලතලයක් ගැන උන් වහන්සේ
නොසිතූහ. එසේ සඳහන් කළ හැක්කේ බෞද්ධ සංස්ථාව තුළ සිව් පිරිසක් සිටීම,
භික්ෂු - භික්ෂූණී , උපාසක , උපාසිකා වශයෙන්ස ද අග්‍ර ශ්‍රාවන - අග්‍ර
ශාවිකා වශයෙන්ද තනතුරු දක්නට තිබීමයි. බුදුරජාණන් වහන්සේ කාන්තාවන්
සඳහා පැනවූ ප්‍රථම අණ පනත් වන්නේ මුලින් පෙන්වූ අෂ්ට ගරු ධර්මයි.
අප ශ්‍රී ලංකාවට දඹදිව සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව,
ධර්මාශෝක මහරජුගේ දියණිය සංඝමිත්තා මහ තෙරණිය රැගෙන වැඩියහ. ඇයටද මෙම
උත්තරීතර තත්ත්වය ලැබුණේ මහා ප්‍රජාපතී ගෝතමිය හෙළි කළ ඒ මාර්ගය නිසා
බව සැමදෙනාම පිළිගනිති’ දෙවන පෑතිස් රජුගේ ආරාධනාවෙන් එතුමිය දක්ෂිණ
ශාඛාව රැගෙන වැඩි බව ඉතිහාසගතව සඳහන්ව ඇත.
ඉන්දියාවේ රජකම් කළ විශිෂ්ට රාජ්‍ය පාලකයා වූ අශෝක මහ රජතුමා දිග්
විජයෙන්, ජනතාව අධික දුකින් කාලය ගත කරන අයුරු දැක එය අත් හළහ. එතුමා
ජනතාව සුවපත් කරන ක්‍රමයන් සොයමින් සිටින විට, එක් දිනක් සඳලු තලයේ සිට
බලන කළ මාලිගය ඉදිරිපසින් සන්සුන් ගමනින් වඩින නිග්‍රෝධ සාමණේරයන්
වහන්සේ දුටහ. එසේ දැක පණිවුඩකරුවන් යවා ඒ හිමියන් රජ මාලිගාවට ගෙන්වා
කරුණු විමසූහ. නීග්‍රෝධ සාමණේරයන් පවසන්නේ ඉතා දුක් සහගත වැරැදි සිදු
වුවත් හදවතින් ඒවා ගැන දුක්වන නිසා රජතුමා ඉතා අනුකම්පා සහගත අයෙකු
බවයි. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ තම මවට පියාට වූ කරදර පෙන්වා දුන්හ.
පාටලි පුත්‍ර නුවර රජකම් කළ අශෝක රජු තම සොහොයුරා සුමන මරාදමා, මව පළවා
හැරීය බවත් එතුමිය රොඩී රැහැනකට අසුවූ බවත්, පසුව ඇයගේ කුසින් නුගරුකක්
යට ඉපදුන හෙයින් නීග්‍රෝධ නම් වූ බවත් පැහැදිලි කළහ. පසුව ඇය බුදු දහම
පිළිගත් හෙයින් පුතා මහණ කළ බවත්, සිහිපත් කළ නිග්‍රෝධ සාමණේරයන්
වහන්සේ සිය අතීත කථාව අශෝක නිරිඳුන්ට වටහා දුන්හ.
කුඩා සත් වයස ඇති සාමණේරයන් කෙරෙහි පැහැදුණු රජතුමා උන් වහන්සේ රජගෙදර
නවතාගෙන ධර්මය ඉගෙන ගත්හ. ධර්මය තේරුම්ගත් රජතුමා අචල ශ්‍රද්ධා
භක්තියෙන් යුත් බෞද්ධයකු වූ ආකාරය ඉතිහාස ගත කරුණු වලින් පැහැදිලි
වෙයි. ධර්මාශෝක රජු තුන්වන ධර්ම සංගායනාවට පූර්ණ සහයෝගය ලබාදී, තම
පුතාත්, දුවත්, සසුනට භාර කළහ. මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා
අනුව දුවත්, පුතත් මහණ කිරීමෙන් ශාසනයෙහි දායාද ලදහ. තුන්වන සංගායනාවේ
ප්‍රතිඵල වශයෙන් රටවල් නවයකට ධර්ම ධූතයන් යැවීමට කටයුතු කරන ලදී.
ලක්දිවට ප්‍රථම ධර්ම දූත ගමනක යෙදුනේ සිය පුතු වන මිහිදු මහ රහතන්
වහන්සේය. උන් වහන්සේ ලක්දිවට වැඩම කොට මිහින්තලාවේදී දෙවන පෑතිස් රජු
හමුවිය. එහි දී රජු තෙරුවන් සරණ ගොස් බෞද්ධයකු වූ අතර, රජ මාළිගය
ඉදිරිපස සිට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූහ.
එහිදී පැහැදුණු බොහෝ පිරිසක් පැවිදි වූහ.
ඉන්පසුව එම ධර්ම දේශනාව ශ්‍රවණය කළ කාන්තාවන්ටද සසුනේ පැවිදිවීමට
අවශ්‍ය විය. මෙම ඉල්ලීම මුලින්ම සිදු කළේ දෙවනපෑතිස් රජුගේ බාල
සොහොයුරාගේ බිරිඳ අනුලා කුමරියයි. එම කුමරිය සමග පන්සියයක් කුමාරිකාවෝ
පැවිදිවීමට කැමැත්ත පළ කල අතර, එහිදී මිහිඳු මහරහතන් වහන්සේ සිය
සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය කාන්තාවන් පැවිදි කිරීම සඳහා ගෙන්වාදීමට
එකඟවූහ. මෙහිදී මෙම දූත මෙහෙවර සඳහා දෙවනපෑතිස් රජුගේ බෑණනුවන් වූ
අරිට්ඨ කුමරු යෙදවීමට රජතුමා එකඟතාව පළ කළහ. ගෞතම බෝධිසත්වයන් වහන්සේට
බුදුවීමට උපකාර වූ සෙවණ ලබාදුන් ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ
ශාඛාවක් ලක්දිවට වැඩම කරවීමේ ගෞරවය හිමිවන්නේ සංඝමිත්තා තෙරණියටයි.
එතුමිය පැවිදිවීමට පෙර අග්ගි බ්‍රහ්ම නමින් එතුමියට ස්වාමි පුරුෂයකු වූ
බවත්, එම දෙපළට සුමන නම් පුතකු සිටි බවත් සඳහන් වෙයි. ඇයගේ
උපාධ්‍යායිකාව ධම්මපාල මෙහෙණිය වශයෙන්ද , ආචාර්ය වරයා ආයුපාල මෙහෙණිය
වශයෙන්ද පොත පතෙහි සඳහන් වෙයි.
මිහිඳු මහරහතන් වහන්සේගේ සොහොයුරිය වූ සංඝමිත්තා මහ තෙරණිය මෙහෙණි සසුන
පිහිටුවීමට ලක්දිවට වැඩියේ අහසින් නොව මුහුදු ගමනකිනි. ඇය සමඟ මෙහි
පැමිණි අය අතර උත්තරා, හේමා, ප්‍රසාදපාලා , අනගි, මිත්තා , දාසිකා,
පෙග්ගු, පබ්බතා, මත්තා, මල්ලා, ධම්මදීය , මහාදේවී , පදුමා, හේමසාලා,
උත්තලා, අන්ජලී, සාමා, යන මෙහෙණින් වහන්සේ වූහ. එම සියලු අය පැමිණියේ
දඹකොළ පටුනෙන් බව දීපවංශය පවසයි.
භාරතයේ සිට ලක්දිවට වැඩම කළ සඟමිත් තෙරණිය දඹකොළ පටුන වෙත ගෙනෙන ලද
ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව එහි සිට මහා පෙරහරකින් එදා අගනුවර පැවති
අනුරාධපුර නගරය වෙත ගෙන එන ලදී. සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂූණීන් සඳහා
දෙවනපෑතිස් රජු තුමාගේ මඟුලැතාගේ අත්හල අසල උපාසිකාරාමයක් ඉදිකරවූ බව
සඳහන් වෙයි. සඟමිත් තෙරණියෝ ද සිංහල කාන්තාවන් පැවිදි කරමින්ද, ඔවුන්ට
ධර්මය, විනය, කියා දෙමින් ද එහි වැඩ සිටියහ. මෙසේ එතුමිය භික්ෂුණී
සසුනෙහි ව්‍යාප්තියට කටයුතු කළ ආකාරය ඉතිහාසගතව ඇත. සධම්ම නන්දනී,
සෝමා, ගිරිදා, දාසියා, ධම්මා, ධම්මපාලා, මහිලා, සෝභනා, ධම්මන්තපාසා,
තරමිත්තා, සාමා,, කාලා, උත්තරා, යන නම්වලින් හැඳින්වෙන මෙහෙණින් වහන්සේ
ඇයගේ ශිෂ්‍යාවන් වූහ. (අනුලා, සහ ඇගේ පිරිවර සඟමිත් තෙරණිය වෙනුවෙන්
ඉදිකළ විහාරය උපාසිකා විහාරය නමින් හැඳින්වේ. අනුලා බිසව ඉදිකළ
විහාරස්ථ ගොඩනැගිලි සංඛ්‍යාව 12 ක් බවද, එයින් කිහිපයක් ප්‍රධාන ඒවා වූ
බවද සඳහන් වේ. සිය සොහොයුරු මෙන්ම සංඝමිත්තා තෙරණියද මෙන්ම සංඝමිත්තා
තෙරණියද සිය මුළු ජීවිතය සම්බුද්ධ ශාසනයේ වෙයි. සඟමිත් තෙරණිය ද වයස
අවුරුදු 59 ක් වැඩ සිටි බවද, උත්තිය රජුගේ රාජ්‍ය කාලයේදී එතුමියගේ
අභාවය සිදු වූ බවද සඳහන් වෙයි.
එම සිද්ධිය මුල් කරගෙන එවකට සිටි රජතුමා දින හතක ශෝක ප්‍රකාශ කාලයක්
ප්‍රකාශයට පත් කළහ. එතුමියගේ අවසන් කටයුතු ථූපාරාමයට නැගෙනහිරින්, ජය
ශ්‍රී බෝධිරාජයාණන්ට විවෘත තැනකද සිදුකළ බව ඉතිහාස ගත කරුණු වලින්
පෙනෙයි.
සඟමිත් තෙරණිය ජීවමාන කාලයේදී කරන ලද ඉල්ලීමක් නිසා ජය ශ්‍රී මහා
බෝධීන් වහන්සේ අබියස එම ආදාහනය කළ බව පැහැදිලි වෙයි. උත්තිය රජතුමා
විසින් සංඝමිත්තා තෙරණියගේ ධාතු නිදන් කොට ස්ථූපයක් කරවන ලදී. ශ්‍රී
ලංකා වාසීන්ට අනූපමේය සේවයක් සිදු කළ සඟමිත් මහරහත් මෙහෙණිය සිහිපත්
කිරීම, කෘතවේදී අප සැමගේ යුතුකම වෙයි. |