සුව නින්දකට අවැසි මග
ආරියචන්ද්‍ර කරුණාතිලක
මං ඊයෙ රෑ ඇඳේ පෙරලි පෙරලි හිටිය මිසක් කොහොමටවත් ඇහැ පිය උනේ නෑ.”
යනුවෙන් යම් යම් අය පවසනු අප කොතෙකුත් අසා ඇත. ඇතැමෙකු රැය පුරා සුවබර
නින්දක් ලබද්දී තවත් කෙනෙකු නිදි වරමින් රැය පහන් කරති. මෙය තම සයනයේ
වරදකැයි වරදවා වටහා ගත්තෝ ද වෙති. මෙවැනි පැනයක් පැන නගින්නේ සිත් පිත්
නැති සයනයේ වරදකින් ද නැතහොත් සිත් පිත් ඇති තමා නිසා ද? විමසා බැලිය
යුතු වෙයි.
බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් චරිතයේ එක්තරා සිදුවීමක් මෙහි දී වැදගත්
වේ. ශීත ඍතුවේ එක් ශීත දිනයක උන්වහන්සේ තණ වලින් සකස් කළ තණ මෙට්ටයක
රැයක් ගත කොට, හිමිදිරියේ පිබිද එහිම වැඩ සිටියහ. මේ අවස්ථාවේ එතැනින්
පියමං කිරීමට පැමිණි රාජ පුත්‍රයෙකු, උන්වහන්සේ දැක ගමන නවතා,
“ස්වාමීනි, ඊයේ රැය යහතින් සැතපුණා දැ”යි විමසීය. එවිට බුදුපියාණන්
වහන්සේ, “එසේය කුමාරය, මෙලොව සුවසේ නිදන්නන්ගෙන් මම ද කෙනෙක් වෙමි” යයි
කී සේක. මෙය රාජ පුත්‍රයාගේ මදක් විමතියට හේතු විය. “ස්වාමීනි! මේ දවස්
තද ශීතලයි. අනිත් අතට මේ තණ මෙට්ටෙ සැතපෙන්නත් බොහොම අමාරුයි. මේ වගේ
ශීත දවස්වල තණ මෙට්ටෙක හොඳට සැතපුණා යයි ඔබ වහන්සේ පවසන්නේ කෙසේ දැ”යි
ඇසීය. මෙහිදී පිළිතුරු සපයනු වෙනුවට බුදුන් වහන්සේ ඔහුගෙන් විමසුවේ
ඊයේ රාත්‍රියේ ඔහු කෙසේ නිදා ගත්තේද? කියායි. “ස්වාමිනි! ඊයේ රෑ මං
නිදා ගත්තෙ මාලිගාවෙ රතු පලසෙයි. ඒ පලසෙ කොන් හතරෙ තරුණියො හතර දෙනෙක්
පහන් හතරක් පත්තුªකරගෙන හිටිය. මං රෑ ගත කළේ ඔන්න ඔහොමයි, ස්වාමීනි.”
එවිට බුදුන් වහන්සේ, “ ඔබ නිදන කොට සිත ‘රාගයෙන් මත් වුණාද?’ ‘එහෙමයි
ස්වාමීනි!’ ‘ඔබේ සිත ද්වේශයෙන් දැවුනාද?’ ‘එහෙමයි ස්වාමීනි!’ ‘එහෙනම්
ඔබ සුවසේ නිදා ගත්තායයි ඔබ කියන්නේ කෙසේද?’
කුමාරයාට ඇති තතු වැටහුණේ එවිටය. තමන් වහන්සේ සුවසේ නිදන්නන්ගෙන්
කෙනෙකු යි බුදුපියාණන් වහන්සේ වදාල කරුණෙහි සත්‍යතාවය ඔහුට දැනුනි. මේ
සංවාදය ඇසුරෙන් ජනතාවට මාහැඟි පාඩමක්, උපදෙසක් මතුකර පෙන්වයි. අපි දිවා
කාලයේ යම් යම් කටයුතුවල දී යම් යම් අවස්ථාවල දී දැනුවත්ව හෝ නොදැනුවත්ව
අප්‍රමාණ කෙළෙස් සමුහයක් රැස්කර ගනිමු. ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය,
තෘෂ්ණාව, මාන්නය, තණ්හාව ආදිය ඉන් අල්පයක් පමණි. අමනාප කෙනෙකු දුටු විට
යටපත්ව තිබූ වෛරය, ක්‍රෝධය යළි පණ ගැන්වෙයි. පැහැපත් රුවක් නෙත ගැටුණු
විට ආශා ලියලන්නට වෙයි. මෙය සාමාන්‍ය සිතෙහි ස්වරූපයයි. එය එසේ නම්
එවන් සිතිවිලි සමුදායක් සිතෙහි විකසිත වන්නට ඉඩ හළොත් සිදු වන්නේ මහත්ම
අවැඩකි. එවැන්නෙකුට සුවබර රැයක් පහන් කළ නොහැකි වෙයි. නොනිදන්නාට රැය
දිගු යයි කියන්නේ ද එහෙයිනි.
මෙය සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් බැලීමකි. නින්ද, නොනින්දක්වීම එවන් ජන
කොටස්වලට පමණක් නොව රාජ රාජ මහාමාත්‍යාදීන් පවා ඒ තත්ත්වයෙන් නොමිදුණු
බව අපේ ඉතිහාසය පෙන්වා දෙයි. අතීත ආවර්ජනාවල යෙදීම කිසිසේත් සුදුසු
නොවේ.
නින්ද නොලබන පුද්ගලයාට මාහැඟි ඔසුවක් අපහසුවක් නොමැතිව ලබා ගත හැකි ය.
එය සිත සනසන භාවනාව යි. ඇතමුන් නිදි පෙතිවල සහාය පැතුවත් එහි රසායනික
ක්‍රියාකාරිත්වය නිසා කලක දී සිරුරට අතුරු ආබාධ නොසැලසෙතැයි කිසවකුට
කිව නොහැකි ය. භාවනාවේ දී එවැනි අහිතකර ප්‍රතිඵල නැත. භාවනාවෙන් නිසි
පල ලද ගිහිි පැවිදි විශාල පිරිසක් අදත් විසීම සිතට සුවයකි. සහනයකි.
භාවනා වර්ග රැසක් බුදුන් වහන්සේ දේශනා කර වදාළහ. ඒ අතරින් ද මෛත්‍රී
භාවනාව විශේෂිතය. එය සමථ භාවනා ගණයට අයත් වුවත් මග පල ලැබීමේ දී මේ
පදනම යටතේ සිට ඉදිරියට ගමන් කළ හැක. මෙතේ භාවනාවේ ප්‍රතිඵල විශ්මය
ජනකය. සුවිශේෂයි. එය වඩන තැනැත්තා භාවිතා කරන පුද්ගලයා ලෝ සතුන්ට මෙත්
වැඩීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමා නිදුක් නිරෝගී පුද්ගලයකු වන්නාසේම ඔහු
සිතින් මුදවා හරින ශක්තිය මුළු විශ්වය පුරාම ඉතිරී පැතිරී යයි.
කෙළෙස් රජස් සෝදා හරින, දවා හලු කරන කිසියම් පිවිතුරු බලවේගයක් බවට
මෛත්‍රී සිතිවිලි පත්වන බව ඔහුට කෙමෙන් දැනෙන්නට වෙයි. අන් අයට වෛර,
ක්‍රෝධ කරන්නාත් ලෝ සතුන්ට මෙත් කරන්නාත් අතර සුවිසල් පරතරයක් ඇත. ඉහත
කී වෛරී කරන පුද්ගලයා බොහෝ විට නොනිදා රැය පහන් කරන අතර, මෙත් වඩන
පුද්ගලයා සුවබර නින්දක ආශිර්වාදය ආශ්වාද කර ගනී.
තිදොරින් පව් රැස් කරන්නන් බොහෝ අවස්ථාවල සිහිනෙන් බියපත්ව කෑ මොර
දෙතත් මෙත් සිසිලෙන් සැනසෙන්නා කිසිදු විටක බියකරු සිහින නොදකියි. එසේ
වන්නේ පව්කම් හි යෙදෙන්නා දිවා කාලයේ කරන නරක නපුරු ක්‍රියාවන්හි
ප්‍රතිඵල නින්දේ දී අත්විඳීමට සිදුවන හෙයිනි.
පස් පවින් වැළකී, නිති පන්සිල් රකිමින් ලෝකය මෙත් සිසිලෙන් නහවන්නා සිය
ජීවිත කාලය පුරා මැනවින් සයනය කරයි. එසේ නම් රහසින්වත් පව්කම් නොකොට
තිදොර හික්මවා ආගමානුකූ®ල පැවැත්මක් ගෙන යන්නෙකු සුවබර නින්දක වින්දනය
ලබන බව නොරහසකි. |