Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්ථූපය, දාගැබ හෙවත් චෛත්‍යය

ශාස්ත්‍රවේදී, එන්. කරුණාරත්න

ස්ථූපය යන්න සිංහල බසින් හැඳීන්වෙන්නේ තුබ හෝ තුඹ යනුවෙනි. එය සිංහලයට වඩාත් හුරුව ඇත්තේ දාගැබ නමින්ය. එහි අරුත ධාතු ගර්භය යන්නයි. ස්ථූප යන වචනය සංස්කෘත එකකි. පාලි භාෂාවෙන් ථූප නමින් හැඳින්වෙයි. අද අපි සෑය, චෛත්‍යය යන නම් වලින් හඳුන්වන්නේ ද මෙම දාගැබයි. ප්‍රාග් යුගයේ දී පුද පූජා ලැබූ වෘක්ෂයන් ද චෛත්‍ය යනුවෙන් හඳුන්වා ඇත. ස්ථූපයෙහි ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. මෙය පැරණි ලෝකයේ ස්මාරක විශේෂයකි. දුරාතීතයේ සිටි නා නා විධ මනුෂ්‍ය වර්ගයන් තමන්ගේ මියගිය අය වෙනුවෙන් මෙවැනි ස්මාරක ඉදි කළහ.

චෛත්‍ය නිර්මාණය දඹදිව ප්‍රචලිත වූයේ ද බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදීමය. එවක සිටි ජෛනාගමිකයෝ ද චෛත්‍ය ඉදි කළහ. චෛත්‍ය නිර්මාණය ආසියාතික රටවලට පැතිර ගියේ ද දඹදිව සිටය. ඒ දඹදිව සිට බුදු දහම ඒ රටවලට ව්‍යාප්තවීමත් සමගය.

චෛත්‍ය නිර්මාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ද අනුදැන වදාළහ. බුදු පසේබුදු මහ රහත් මෙන්ම සක්විති රජවරුන් සඳහා ද චෛත්‍ය ඉදිකිරීම සුදුසු බව බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දී ආනන්ද හිමියන්ට දේශනා කර ඇත.

“රමණීයං උදේනි චේතියං
රමණීයං ගොතමංකං චේතියං”
“උදේනි චෛත්‍යය රමණීයයි
ගොතමකං චෛත්‍යය රමණීයයි”

බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදීම චෛත්‍ය ඉදිකර තිබේ. සැරියුත්, මුගලන් දෑග සව්වන් ගේ ශාරීරික ධාතු නිදන්කර චෛත්‍ය ඉදි කිරීම බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත සිදු විය. බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පසුව ඇති වූ යුද ගැටුම් සහ වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් සෙසු දාගැබ් විනාශයට පත් විය. එසේ විනාශයට පත්ව තිබුණු දාගැබ්වල නටබුන් රාශියක් පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත. ඔවුන් ඒවා පිළිබඳව විවිධ පර්යේෂණ ද පවත්වා ඇත.

ලක්දිව ඉපැරණි බෞද්ධ ස්ථූප ද විනාශ වී ගියේ මේ ආකාරයෙන්මය. දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසාත්, කාල විපර්යාස නිසාත් මේවා විනාශ විය. මේ ඓතිහාසික නටබුන් ස්මාරක පිළිබඳව කුතුහලයක් දැක්වූ මෙ රටට පැමිණි ඉංග්‍රීසි ජාතික විද්වත්හු මේවා ගැන සොයා බැලූහ. ඒ අනුව ඔවුන් අපට කර තිබෙන සේවය අපි අගය කළ යුතු වෙමු.

ලක්දිව ඉදි කරන ලද චෛත්‍ය ඉන්දියාවේ නිර්මිත චෛත්‍යවලට වඩා වෙනස් ස්වරූපයක් ගත්තේය. ඉන්දියාවේ සාංචි ස්ථූපයට වඩා අලංකාර මෙන්ම විශාලත්වයෙන් යුත් චෛත්‍ය නිර්මාණයට හෙළ කලාකරුවෝ උනන්දු වූහ. දාගැබෙහි හැඩය අනුව ඒවා ධාන්‍යාකාර, ගණ්ඨාකාර, බුබ්බුලාකාර, ඝටාකාර, පද්මාකාර සහ ආම්ලාකාර යනුවෙන් වර්ග කළ හැකිය.

පොළොව තලයේ දී මහත්ව ඉහළට යන විට කෙමෙන් සිහින්ව යන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන මෙම චෛත්‍ය සැදැහැවතුන්ගේ ආශාවන් තුනීකර නිවනට යන මග පෙන්වන්නාක් වැනිය.

දඹදිව මෙන්ම ලක්දිව චෛත්‍ය නිර්මාණය ආරම්භ වූයේ ද බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී මය. උන්වහන්සේට ප්‍රථම දානය පිළිගැන්වූ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ ඔවුන්ට ලැබුණු කේශධාතු නිදන් කොට තිරියායේ ස්ථූපයක් කළහ. එය ගිරිහඬු සෑය නමින් හැඳින්වෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන මස ලක්දිවට වැඩම කළහ. එම අවස්ථාවේ දී සුමන දෙවියන්ට පරිත්‍යාග කරන ලද කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කළේය.

එය සත් රියනක් උස විය. එයින් පසුව සරභූ නම් රහතන් වහන්සේ විසින් ගෙන එන ලද බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුව නිදන් කර දොළොස් රියනක් උසට බැඳවීය. නැවත එය චූලාභය රජතුමාගේ කාලයේ දී තිස් රියනක් උසට බඳවන ලදී. ගැමුණු රජතුමා එය අසූ රියනක් උසට නැංවූයේය. පසු කාලයේ දී චෛත්‍ය අභ්‍යන්තරයේ තිබුණ චිත්‍ර කිහිපයක් ද සොයා ගැනිණ.

බුදුරජාණන් වහන්සේ තෙවන වර කැලණියට වැඩියහ. එහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මිණිපළඟ තැන්පත් කොට මණිඅක්ඛිත නා රජු විසින් චෛත්‍යයක් ඉදිකරවන ලදී. අද කැලණි වෙහෙර නමින් හැඳින්වෙන්නේ එයයි. මෙම චෛත්‍ය ධාන්‍යාකාර හැඩයෙන් යුක්තය.

ලක්දිව ඉදි කරන ලද පැරණිම චෛත්‍යයන් මේවාය. නමුත් ලක්දිව ඉදි කරන ලද පැරණි ඓතිහාසික චෛත්‍යය වශයෙන් සලකනු ලබන්නේ ථූපාරාම චෛත්‍යයි. ක්‍රි. පූ. 307 දී දේවානම් පියතිස්ස රජතුමා විසින් මෙය ඉදිකරන ලදී. එය කුඩා ස්ථූපයකි. උස අඩි 68 කි. වට අඩි 194 කි. සුමන සාමනේරයන් විසින් සක්දෙව් රජුන්ගෙන් ලබා ගත් සිළුමිණි සෑයේ තිබූ අකු ධාතුව ගෙනැවිත් මෙහි නිදන් කළ බව සඳහන් වෙයි. පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පෙරහන්කඩය, කෝණාගම බුදුුරජාණන් වහනසේගේ පටී ධාතුව සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නාන කඩ ද ඒ ඒ කාලවල දී මෙම ස්ථානයේ කරවන ද චෛත්‍යවල නිදන් කර ඇත. මෙම ස්ථානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටියහ.

ක්‍රි. පු. 207 - 197 දී දේවානම් පියතිස්ස රජතුමාගෙන් පසු රජ පැමිණි උත්තිය රජතුමා විසින් මිහින්තලයේ අම්බස්ථල චෛත්‍යය කරවන ලදී. මිහිඳු හිමි හා දේවානම් පියතිස්ස රජතුමා මුල්වරට හමු වූ ස්ථානයයි.

උත්තිය රජ දවස මිහිඳු හිමියෝ මිහින්තලයේ දී අපවත් වූහ. රජු එම දේහය අනුරාධපුරයට ගෙන්වා ආදාහනය කර (ඉසිභූමංගන්) භෂ්මාවශේෂ අනුරාධපුරයේ දී ද, සෑගිරියේ ද, තවත් ස්ථාන කිහිපයක ද චෛත්‍ය ඉදි කළහ. අම්පාර - රජගල ද මිහිඳු හිමිගේ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍යයක් ඇත. උත්තිය රජ දවස හත්ථාලක ආශ්‍රමයේ වැඩ සිටි සඟමිත් තෙරණියෝ අපවත් වූහ. රජතුමා ථූපාරාමයට නැගෙනහිර චිත්ත ශාලාව අසල එතුමිය ආදාහනය කරවා එහි චෛත්‍යයක් කළහ.

ක්‍රි. පූ. 186 - 161 දක්වා රෝහණ දේශය පාලනය කළ කාවන්තිස්ස රජතුමා විසින් තිස්සමහාරාමය කරවන ලදී. මෙහි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇත. පසු කාලීනව සොයා ගත් සෙල් ලිපියකට අනුව එහි බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව නිදන් කොට තිබෙන බව කියැවේ. චෛත්‍යය වට අඩි පන්සිය පණහකි. උස අඩි එකසිය අසූවකි.

මෙයින් පසුව චෛත්‍යය ඉදිවන්නේ ක්‍රි. පූ. 161 දීය. ඒ දුටුගැමුණු රජ දවසය. අනුරාධපුරයේ එතුමා විසින් ඉදි කරවන ලද මිරිසවැටියේ එතුමාගේ සධාතුක ජය කුන්තය නිදන් කොට ඇත. මෙහි උස අඩි පනස් හතරකි. විශ්කම්භය අඩි එකසිය විස්සකි.

මහාථූපය නමින් හැඳින්වෙන රුවන්වැලි සෑය දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදි කරන ලද විශාලම චෛත්‍යයයි. මෙම ස්ථානයේ තෙලඹු ගසක් විය. එහි ස්වර්ණමාලි දෙව් දුව වාසය කළාය. මෙම ස්ථානයේ පෙර බුදුවරුන් මෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ ද සමාධි සුවයෙන් වැඩ සිටියහ. රජතුමා එහි තිබූ තෙලඹු ගස ඉවත්කර එතැන දෙව්දුවගේ නමින් ස්වර්ණමාලි චෛත්‍යය ඉදිකර වීය. මෙහි දඹදිව රාම ගාමයෙන් ගෙන ආ සර්වඥ ධතු නිදන් කර ඇත. ගැබෙහි නොයෙක් සිතුවම් සහ රූකම් ද කරවා ඇත. විශ්කම්භය අඩි 294 කි. උස අඩි 300 කි. බුබ්බුලාකාර හැඩයෙන් යුක්තය.

නැවත විශාල චෛත්‍ය නිර්මාණය වන්නේ වළගම්බා රජ දවසය. ක්‍රි. පූ. 103 - 77 එතුමා දක්ෂිණ චේතියත්, උත්තර විහාරය නමින් හැඳින්වූ අභයගිරියත් කරවන ලදී. ගජබා රජ දවස අභයගිරිය විශාල කරවන ලදී. ඒ අනුව පාද විශ්කම්භය අඩි 325 ක් විය. උස අඩි 350 කි. මෙය මහා ථූපයට වඩා විශාලය.

ක්‍රි. ව. 7 - 19 දී මහා දාඨික මහානාග රජු විසින් මිහින්තලයේ මහා ස්ථූපයක් ගොඩ නංවන ලදී. එහි විශ්කම්භය අඩි 136 කි. මෙය මිහින්තලයේ ඉදි කළ කණ්ඨික චෛත්‍යයට වඩා අලංකාරය.

මහසෙන් රජතුමා විසින් ක්‍රි. ව. 274 - 301 දී ජේතවනාරාමය ඉදිකරන ලදී. මෙය මහාස්ථූපයට වඩා විශාලය. පාද විශ්කම්භය අඩි 367 කි. උස අඩි 232 කි.

අනුරාධපුරයෙන් පසු පොළොන්නරු යුගයේ දාගැබ් ඉදි විය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ භද්දවතී බිසව විසින් ක්‍රි. ව. 1153 - 1187 කිරි වෙහෙර කරවන ලදී. මෙහි පාද විශ්කම්භය අඩි 89 කි. එතුමාගේ තවත් දේවියක් වූ රූපවතී බිසව විසින් පබළු වෙහෙර කරවා ඇත. එය දැනට නටබුන් වී පවතී.

මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ආරම්භ කළ දෙමළ මහා සෑය අතර මග නතර කර දැමූ එකකි. ඉදිවූයේ නම් එය ආසියාවේ විශාලම දාගැබ වන්නට ඉඩ තිබිණ.

ක්‍රි. ව. 1182 - 1196 දී නිශ්ශංක මල්ල රජතුමා ද විශාල දාගැබ් ගොඩ නැංවීය. ඒ රන්කොත් වෙහෙරයි. එහි පාද විශ්කම්භය අඩි 186 ක් විය.

එයින් පසුව බෞද්ධ ශිෂ්ටාචාරය පිරිහෙන්නට වූයෙන් විශාල දාගැබ් ගොඩ නැංවීම අතර මග නැවතුණි.

බුද්ධං ධම්මංච සංඝං
සුගතතනුභාවා ධාතුයෝ ධාතු ගබ්භේ
ලංකාය ජම්බුදීපේ තිසද
පුරවරේ නාග ලෝකේ ච ථූපේ
සබ්බේ බුද්ධස්ස බිම්බේ සකල
දස දිසේ කේස ලෝමා දි ධාතුං
වන්දේ සබ්බේපි බුද්ධං දස බල
තනුජං බෝධි චේතිං නමාමි.

වන්දාමි චේතියං සබ්බං
සබ්බ ඨානේසු පතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා

සියලු චෛත්‍ය නමදිමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.