Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නා ලොව සතියක් පුද ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

“දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය
නා ලොව සතියක් පුද ලද බෝධිය
දෙනෝ දහක් දෙන වඳිනා බෝධිය
අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය”

බොදු බැතිමතුන් අතර ඉතා ප්‍රසිද්ධ මෙම කාව්‍ය අප බෝධි පූජා කරන අවස්ථාවන්හිදී බොහෝ විට භාවිතා කරන්නකි. එහෙත් වංශකථා වලට අනුව මේ කවිය තුළ විශාල අර්ථයක් ගැබ්ව ඇති බවත් ගම්‍ය වේ. මහාවංශය, දීපවංශය, වංසත්ථප්පකාසීනිය (මහාවංශ ටීකාව), බෝධිවංශය මෙන්ම සුළු බෝධිවංශය තුළ ද ජය ශ්‍රී මහා බෝධි ශාඛාව නා ලොව සතියක් පුද සත්කාර ලැබූ බැව් විස්තර සහිතවම විග්‍රහ කොට ඇත.

මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක යෙදී මෙහි සඳහන් නාග ලෝකය කුමක් ද යන්නත්, එහි විසූ නාගයින් කවුරුන් ද යන්නත්, ඔවුන් හා බුදු දහම අතර පැවැති සබඳතාවය කුමන ආකාරයේ වූවක් ද? යන්නත් සොයා බැලීම දුමින්දාගමනය සිදු වූ අදවන් දිනක කාලෝචිත වනු නියතය.

මහාවංශයේ දහනව වැනි පරිච්ඡේදයේ එම පුවත මෙසේ දක්වා ඇත. “ නාගයෝ මහා බෝධිය ගන්නා පිණිස සෘද්ධි විකුර්වණය කළහ. අභිඥා බල පරප්‍රාප්ත වූ සංඝමිත්තා නම් මහ තෙරණි තොමෝ ගුරුළු වෙස් ඇතිව ඒ මහා නාගයන් බියගැන් විය. බිය ගන්වන ලද්දා වූ ඒ මහා නාගයෝ මහ තෙරණින් යාච්ඥා කොට මහා බෝධිය එතැනින් නාග භවනයට වඩා ගෙන ගොස් සත් දවසක් මුළුල්ලෙහි නාග රාජ්‍යයෙන් හා නානාවිධ පූජායෙන් පුදා වඩා ගෙනවුත් නැවෙහි පිහිට වූහ”

මහාවංසයට ලියන ලද ටීකාව වන වංසත්‍ථප්ථකාසිනීයේ දහ නවවන පරිච්ඡේදයේ 17 සිට 22 ගාථා තුළ එම පුවත මෙසේ විග්‍රහ වී ඇත.

දක්‍ෂිණ බෝධි ශාඛාව නාග භවනයට ගෙන යාම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් සිංහල බෝධි වංශයේ දුමින්දාගමන කථා නම් පරිච්ඡේදයේ ඇතුළත්ව ඇත.

“ එකල්හි සමුද්‍රයෙහි වසන්නා වූ නාගයෝ මහා බෝධීන් වහන්සේ ගෙතු මහ පවන් හා වර්ෂා අන්ධකාරය ද දක්වා ක්‍ෂෝභ කෙරෙමින් සෘද්ධි විකුර්වණය කළහු යැ. ඒ දැක සංඝමිත්‍රා නම් ස්ථවිරා තොමෝ ගුරුල් වෙසක් මවා ගෙනැ කල්පාන්ත වහ්නි ස්කන්ධයක් සේ භයානක වූ ගරුඩ වේශයෙන් අහස්කුස් පුරා, ඉන්ද්‍රනීල මාණික්‍යමය වූ මස්තකයෙහි රශ්මි ජ්වාලයෙන් ආකාශය ඒකාන්ධකාර කොටැ, පක්‍ෂ මාරුත වේගයෙන් සමුද්‍ර ජලය අළලා ප්‍රලය කාලයෙහි සූර්ය මණ්ඩලයක් බඳු වූ භයානක වූ නේත්‍ර යුගලයෙන් නයින්ගේ ළය උපුල්වා, ප්‍රලය සාගරයෙහි ගර්ජනාවක් හා සදෘශ වූ ඝෝෂාවෙන් නයින් නැති ගන්නා.

නාග සමූහයා ප්‍රලය කළා යැ ඒ ස්ථවිරාවන්ගේ ආනුභාවයෙන් තැති ගත්තා වූ නාගයෝ අවුත් ඒ විභූතිය දැක සංඝමිත් තෙරණියනට යාච්ඥා කළෝ යැ. ‘ආර්යාවන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මුචලින්ද නා රජුගේ දරණ වැල තමන් වහන්සේට ගඳකිළියක් කොටැ සතියක් මුළුල්ලෙහි ඕහට සංග්‍රහ කළ සේකැ. බුදු වන දවස් නිල්දලා හෝ තෙරු දී තමන් වහන්සේ වැලැඳු තලිය මහ කෙළ නා රජ හට හළ සේකැ. උරුවේලායෙහි නාග රාජයා විසින් මවන ලද විෂධුම හා ගිනි කඳු ද නොසලකා මැ ශරණශීල නමැති ආභරණ දුන් සේකැ, මුගලන් මහ තෙරුන් වහන්සේ යවා නන්දෝපනන්ද නම් නාග රාජයාගේ විෂ, සාගරය කල්පාන්ත වහ්නියෙහි සූර්යයා මෙන් වියළාපු සේකැ. මෙසේ ලෝකස්වාමි වූ සර්වඥයන් වහන්සේ අපට උපකාරී සේක. නුඹ වහන්සේත් අප ගේ දෝෂය නො සලකා, ඇසිල්ලක් මහා බෝධීන් වහන්සේ අපට හªරු නාග සමූහයාට ස්වර්ග මෝක්‍ෂ සැප සිද්ධ කළ මැනැවයි යාච්ඥා කළාහු යැ. ඒ සංඝමිත්‍රා නම් ස්ථවිරාව නයින් හට මහාබෝධීන් වහන්සේ හැරැ මෙසේ කිවූ යැ. “එම්බා නාගයෙනි! නාග ලෝකයෙහි පටන් භවාග්‍රය දක්වා සියලු දසදහස් සක්වළ විෂය නො වන්නා වූ කෙනෙක් නම් නැත. කොතැනට ගියාවුත් බෝධීන් වහන්සේ ගෙනැ ඊට මට භාර වන්නේ යැ. එසේ හෙයින් තෙපි සතියක් මුළුල්ලෙහි මහත් වූ බෝධි පූජා කොටැ ගෙනෙවු” යි කිවු යැ. ඉක්බිත්තෙන් නාගයෝ සත්රුවනින් පුදමින් නාග භවනයට ගෙනැ....’ (බෝධිවංශය, දුමින්දාගමන කථා, ලංකාව තරණ කථාව, පිටු 266 – 268)

ඉහත වංශ කථාවල සඳහන් වන ආකාරයට නාගයින් දක්‍ෂිණ බෝධි ශාඛාව ගැනීමට යම් උත්සාහයක් දරා ඇති බැව් ගම්‍ය වේ. නමුත් එහිදී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ තම අභිඥා බලය පෙන්වා ඔවුන් බියට පත් කොට පලවා හැර ඇත. නැවත පැමිණි මේ පිරිස සංඝමිත්තා තෙරණින් වහන්සේගෙන් සමාව ගෙන එය එක්වරක් තම නාග භවනයට වඩමවා ගෙන දෙන ලෙස ඉල්ලා ඇවිටිලි කළ බැව් මේ තුළින් කියැවේ. මෙම වංශකථා තුළ නාගයින්, නයින් ලෙස කරන මේ විස්තරය තුළ ඇතමුනට මේ පවසන්නේ බඩගාන නයින් පිළිබඳව දෝද යන්න සිතිය හැකි ය. ඇත්ත වශයෙන්ම මෙහි සඳහන් නාගයින් කවුරුන්ද යන්න පිළිබඳව මීළඟට විමසා බැලිය යුතු ය.

ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම ලක්දිව ගෝත්‍ර හෝ කණ්ඩායම් වාසී ජනතාව ජීවත් වූ බවට සාධක තිබේ. දැනට හඳුනාගෙන තිබෙන සාධක අතර මෙම ගෝත්‍ර හඳුන්වා ඇත්තේ යක්‍ෂ, රාක්‍ෂ, නාග සහ දේව යන නම්වලිනි. ඔවුන් නම් හෙළයෝ ය. මේ රට නිජබිම කරගත් මේ පිරිස සිව් හෙළය නමින් හඳුන්වා තිබේ. අරිසෙන් අහුබුදු සූරීන්ගේ මතය වන්නේ ද සිව් හෙළය පසුව සිංහලය බවට පෙරළුණු බවකි. කෙසේ වූවත් වෙනත් සමාජ සංස්කෘතීන් ගේ මෙන් ම පුරාණ ලක්දිවෙහි ද මෙසේ කණ්ඩායම් වශයෙන් ජනතාව බෙදී ඇත්තේ ඔවුන් කරන ලද කාර්යයන් මුල් කර ගැනීමෙන් බැව් පෙනේ. එනම් එදා රටපාලනය කළ පිරිස දේව ලෙස හඳුන්වා ඇත. යකඩ කර්මාන්තයේ නියැලුණු පිරිස යක්‍ෂ නම් විය. රට ආරක්‍ෂා කළ ආරක්‍ෂක සේවයට අයත් පිරිස එදා රාක්‍ෂ ලෙස හඳුන්වා ඇත. නාගයෝ වර්ග දෙකකි. පර්වතවාසී නොහොත් ගොඩවැසී නාගයන් හා සමුද්‍රවාසී නොහොත් දියවැසි නාගයන් යන නමින් මේ වර්ග දෙක හඳුන්වා ඇත. පර්වතවාසී නොහොත් ගොඩවැසී නාගයින්ගේ රැකියාව වූයේ ගොවිතැන හා සත්ත්ව පාලනයත්, පේෂ කර්මාන්තයත් වැනි කර්මාන්ත වේ. දියවැසි නොහොත් සමුද්‍රවාසී නාගයෝ මහාජලාශ, ගංගා හා සමුද්‍ර අසල ජීවත් වූහ. මොවුන්ගේ ප්‍රධාන රැකියාව වූයේ ධීවර කර්මාන්තයයි. තොටියන් ලෙස ද ගංඟා ඔස්සේ නාවික යාත්‍රා මගින් වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ද ඔවුන්ගේ රැකියාවන් විය.

මෙම නාග ගෝත්‍රිකයන් මුල් කාලීනව නාග වන්දනාව කළ අය වේ. සර්පයන් ඇදහීමේ ආදී කාලීන සිරිත නාග වන්දනාව බිහිවීමට බෙහෙවින් ඉවහල් වූ බව නිසැකයෙන් කිව හැකි යැයි ඔෂාමි පඬිතුමා පවසයි. මෙම නාග වන්දනාවෙන් ඵෙහලෞකික ඵල ප්‍රයෝජන මිස පාරලෞකික ප්‍රයෝජනයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් මෙම නාග ගෝත්‍රික ජනතාව බුදු දහම කරා නැඹුරු වන්නට ඇත.

මේ සඳහා බලපෑ තවත් හේතු සාධකයක් වූයේ බුදුරජාණන් වහන්සේ නාගදීපය කෙරෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය වේ. උන්වහන්සේ බොහෝ විට ඛ්ඹා ගියේ උසස් සමාජයේ තාඩන පීඩනයන්ට ලක් වූ මනුෂ්‍යයන් කරා ය. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් අනාර්යන් හෝ අනාර්ය සම්භවයක් ඇති අය වූහ. මේ නිසා උන්වහන්සේ අනාර්යන් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් හා නාග ගෝත්‍රිකයන් සොයා ඔවුන්ගේ සුවසෙත උදෙසා තෙවරක්ම ලක්දිවට වැඩියහ. උන්වහන්සේ දෙවනවර වැඩියේ සද්ධර්මාලංකාරයේ කියවෙන මණිනාග දිවයින හෙවත් සමුද්‍රනාග භවන නමින් හැඳින් වූ දූපතකට ය.

මහා වංසයේ එය පන්සියයක් යොදුන් නාග භවන නමින් හඳුන්වා ඇති අතර එය වර්තමාන යාපන අර්ධද්වීපය අසළ පිහිටා ඇති දූපත් වලින් එකක් වන නයිනා තිවි දූපත ලෙස සැලකේ. යාපන අර්ධද්වීපයේ වඩුන්නාගල පිහිටි නාග රාජධානියේ රජුත් මණි නාග දිවයිනේ වාසය කළ නාග රජුත් අතර ඇතිවන්නට ගිය බිහිසුණු සටනක් මෙහිදී තථාගතයන් වහන්සේ විසින් සමථයකට පත් කරන ලදී. උන්වහන්සේ තුන්වෙනි වර කැලණියේ නාග වංශික රජුගේ ආරාධනයෙන් එහි වැඩි සේක. එදිනම සුමන නම් නාරජු වාසය කළ සේරු ප්‍රදේශයට වඩිනා ලද බව ධාතු වංශයේ සඳහන් වේ.

මේ අනුව වංශකථාවල කියවෙන නාග භවන වර්තමාන නයින තිවි දූපත ලෙස සැලකේ. දක්‍ෂිණ බෝධි ශාඛාව නාග ගෝත්‍රිකයිනට, ලැබුණු පසු ඔවුන් තම නාග භවන හෙවත් නාග රාජධානියට ගෙන ගොස් පුදසත්කාර කළ බැව් දීපවංශය තුළින් ද කියවේ. එහිදී ඔවුන් කළ සැරසිලි යනාදිය පවා එහි විස්තර වී ඇත.

“එසේම නාගරජවරු නාග කණ්‍යාවන් හා ඔවුන්ගේ දරුවන් ද සමඟ නිවෙස් වලින් පැමිණ උතුම් වූ බෝධීන් වහන්සේලාට පූජා පවත්වති. නොයෙක් වර්ණවත් ඇඳුම් ආයිත්තම් වලින් සැරසී අලංකාර වූ නාගයෝද මෙසේ සාගරයේ වැඩම වන්නා වූ බෝධීන් වහන්සේට වඳිති. නිලුපුල්; උපුල්; කුමුදු; කහ්ළාර; මනාසේ සුවඳ ඇති අවිමුක්තාදී; මල් ද තාක්කාරී; කොබෝලීල; පලොල්; බිඹුදැල්; අශෝක; සල්, මිස්සක, පුවඟු, මල් වර්ගද ගත් නාරජවරු හා නාග කන්‍යාවෝද මහත් සතුටින් යුක්ත වූවාහු බෝධීන් වහන්සේ වඳිති. එය ඉතා අලංකාර බවින් යුක්ත විය. බෝධීන් වහන්සේ සිත්සේ වැඳපුදා ගැනීමට කැමතිව නාග භවනයට ද වැඩමවා ගෙන යන ලදී.

එය වැඩමවන ලද්දේ මෙසේ ය. සමීප දිවයිනට වැඩම වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ බෝධි ශාඛාව පිරිවරා ගන්නා ලද නාගයෝ සතුටින් ප්‍රමුදිත වූයේ නොයෙක් ක්‍රීඩා පවත්වති. එම නාග භවනයෙහි බිම මැණික් අතුරා ඇති අතර එහි මුතු ලෑලි ද අතුරා ඇත. විවිධ ආරාමවලින් ගැවසීගත් එහි නොයෙක් මල්වලින් අලංකාර වූ පොකුණු ද වූයේ ය. දෙවියන් සහිත මනුෂ්‍යයෝ එහි සත්දිනක් විසූහ. එසේම දෙවිවරු ද නාගයෝ ද, නාග භවනින් නික්ම විවිධ මල්දම්වලින් බෝධීන් වහන්සේ පූජා කෙරෙති” (සිංහල දීපවංශය, 16 වැනි පරිච්ඡේදය, පිටුව 156)

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙන් දක්‍ෂිණ බෝධි ශාඛාව ලබාගත් පසු හා එය නාග භවනට වැඩම කරන විට නාග ගෝත්‍රිකයෝ ගී ගයා, නටා, වයා සතුටු වූ බවද දීපවංශය තුළින් අනාවරණය වේ. “ නාගයෝ ද, සයුරෙහි වැඩමවන්නා වූ බෝධීන් වහන්සේ පිරිවැරුවාහු ය.

ඔවුහු වයමින්, ගයමින්, නටමින්, සිනාසෙමින්, මහත් සේ දෙගුණ තෙගුණ කොට ගුණ ගායනා කරමින් අත්පොලසන් දෙති” (දීපවංශය, 16 වැනි පරිච්ඡේදය) මෙම නාග ගෝත්‍රිකයින් ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව බලහත්කාරයෙන් ගෙන යෑමට උත්සාහ කළ බැව් වංශකථා තුළින් කියවෙතත් එය එසේම වූවාද යන්න පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතු ය. ඔවුන් ඇතැම් විට එය සතියක් තම නාග භවනයෙහි තබා පුද සත්කාර කිරීමට ඉල්ලුවා විය හැකි ය.

සැබවින්ම ඔවුන් එය කරන ලද්දේ වැරදි සහගත චේතනාවකින් නොවන්නට පුළුවන. මන්ද වැරදි සහගත චේතනාවකින් කරන විට යමකින් නිසි ප්‍රතිඵල (කුසල්) නොලැබෙන හෙයිනි. එසේම චේතනාහං භික්‍ඛවේ කම්මං වදාමි යන බුදු වදනද අප අමතක නොකළ යුතු ය. මෙම නාග ගෝත්‍රිකයින් ත්‍රිවිධ රත්නය සරණ ගිය ජන කොට්ඨාසයකි. ඔවුන් බුදුන් දවස ද මේ ආකාරයට නැවකින් ගමන් කරමින් සිටි සංඝරක්‍ෂිත හිමියන් තම නාග භවනට ගෙන ගොස් එම භික්‍ෂුවගෙන් දහම් කැරණු අසා දැනගත් බැව් සංස්කෘත ග්‍රන්ථයක් වන දිව්‍යාවදානයේ එන සංඝරක්‍ෂිතාවදානයේ අන්තර්ගතව ඇත.

“ රත්නද්වීපය ආසන්නයේ දී ඔවුන්ගේ නැව නාග (ගෝත්‍රික) යන් විසින් වට කරන ලදී. තැතිගත් නැවියෝ යදින්නට වූහ. මේ අතර නැව වටලා ගෙන සිටි නාගයෝ මහා ඝෝෂාවක් කරමින් ‘සංඝරක්ෂිත අපට දියව් සංඝරක්‍ෂිත අපට දියව් යනුවෙන් කෑ ගසන්ට පටන් ගත්හ. නාගයෝ සංඝරක්‍ෂිත හිමියන් නාග භවනට කැඳවා ගෙන ගියහ. “ ස්වාමීනි, සංඝරක්‍ෂිතයනි, මේ තියෙන්නේ විපස්සී බුදුහාමුදුරුවන්ගේ විහාරයයි. මේ සිචී බුදුහාමුදුරුවන්ගේ විහාරයයි. අර තියෙන්නේ කකුසඳ බුදු කුටියයි. කාශ්‍යප බුදුරදුන්ගේ ගඳකිළිය මෙයයි. ස්වාමීනී, අපේ (ගෞතම) භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර ධර්මය මාතෘකා (අභි) ධර්මය දෙවි මිනිසුන් අතර දේශනා කර තිබෙනවා.

තවම අපට ඒ දහම උගෙනීමට බැරි වුනා. ඔබවහන්සේ අනුකම්පා කර (දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර) ආගම් සතර අපට උගන්වන්නැයි එහිදී සංඝරක්‍ෂිත තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. එය පිළිගත් සංඝරක්‍ෂිත හිමියෝ නාග භවනයේ ළමයින් සතර දෙනෙකුට ‘ආගම සතර’ උගැන්වූහ” (සිංහල දිව්‍යාවදානය, 23/24 සංඝරක්‍ෂිතාවදානය පිටු 270 – 271 )

ඉහත දැක් වූ වංශකථා ආශි‍්‍රත තොරතුරු තුළින් මනාව ගම්‍ය වන්නේ නාග ගෝත්‍රිකයින් ත්‍රිවිධරත්නය සරණගිය බෞද්ධ ජන කොට්ඨාශයක් බවත්, ඔවුන් නිරන්තරයෙන් නොසන්සිඳෙන දහම් පිපාසාවකින් පෙළී සිටිය බවත්, සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙන් ලද දක්‍ෂිණ බෝධි ශාඛාව තම රාජධානියට ගෙන පුරා සතියක් වැඳුම් පිඳුම් කිරීමට ලැබීම ඔවුනට මහත් අස්වැසිල්ලක් වන්නට ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.