උඳුවප් පුර පෝදා විශේෂ කවි සංකල්පනා විශේෂාංගය
බුදු රුව දැකීම
බැති සිතින් අඹා ඇති
බුදු රුව කෙරෙන් නොපෙනෙයි
උන්වහන්සේ ගේ සැබෑ රුව
එබැවින් නෙත් පියා ගනිමි
තැත් කරමි ඒ
උත්තර මිනිස් රුව දැකුමට
ධන හිමි කුමර රුව නොව
දිවි රැකුමට පමණ
මඳ අහර වැළැඳු
බුදු සමිඳුගේ සිහින් උදු කය
මම දකිමි
පන්සාළිස් වසක්
කුලුණු සිහිලැල් හදින්
පුදා ගත හිරු තාපයට
ගම් දනව් සැරි සැරූ
උන්වහන්සේ ගේ
තඹ පැහැ සිරුර
මම දකිමි
වන ජල දුර්ග ඇසුරේ
වඩිනා කල තැළුණු
සිරි පතුල් මත කැළල්
සුබ මඟුල් ලකුණ ලෙස
මම දකිමි
හර්ෂ හෑගොඩ
බුදුන් සෙවීම
පොහොය සැණකෙළියේ
විදුලි නෙත් මිණි කැලුම් දහරා
පිරිතිරී ගලනා
මහා පුරවරයේ
එකලා ව මම සොයා ඇවිදිමි
බුදුරජාණන් වහන්සේ
තොරණ මුදුනේ නැඟූ පෙති පිළිමේ
විලාසිනියක මුහුණුවර පළ වේ
මහා කරුණා මුහුණ නා ඳුනනා
නුරා දන මැද සොයා ඇවිදිමි
බුදුරජාණන් වහන්සේ
ගොදුරු සොයනා සලෙළ දන අතරේ
තමන් සොයනා කෙනකු නැත දුටුවේ
සිහි මුළා වූ ජටිලයන් ගයනා
ලාබ කවි බණ අතර නො දකිමි
බුදුරජාණන් වහන්සේ
හිමත් වීරසිංහ
කොළඹ ආනන්ද විද්‍යාලය
නෙළඹු ඇට
නෙළඹු ඇට වැටෙයි
දිය මත....
වරල් නැති ඒ ඇට
නොපිහිනා දිය මත
හෙමි හෙමින් කිදී යයි
පල් ගඳින් ආ කුල
කලල් මත කිදී යයි
නො පෙනී ම නිසසල ව
මඩ යට දැහැනක ද
ඒ ඇට ....?
සඳෙන් සඳ ගෙවී යන සඳ
මඩ තුළින් එබෙයි අංකුර
රිදී පැහැ මසුන් පසු කොට
පත් සියක් විදා පිබිදෙයි
සුසුවඳ සිය දහස් සියපත
සත් සියක් යොදුන් දුරකට
සිල් සුවඳ නඟා හිනැහෙන!
නිමල් උඩගෙදර
මරණයේ අඬහැරය
ගන අඳුරු සෙවණැල්ල
මිටියාවතේ සිට
ගාට ගාටා ඇවිත්
මගේ ගෙයි පිල් කඩට
හති අරින හඬ ඇසේ
මිනීමල් සුවඳ ඇති
වත්සුනෙන් සුවඳවත්
මගේ පොඩි කාමරේ
ඉන්න බැහැ කොහොමවත්
සීතල ම සීතලයි
අතැර යෑමට නොහැකි
කිසිත් නැත ළෙංගතුව
පැමිණි ලෙස යා යුතු ය
නව නවාතැන්පොළට
එස්. ලලිත්චන්ද්ර ධර්මපි‍්‍රය
නවතින්න ආනන්ද
“ඈත දා ගිය හේන
දැවුණු අර වැඳීරි රුව
මැරුණු අතු උඩ ඇවිද
විරිත්තන්නෙත් අපට
ඉරී ගිය වැව් තුලා
සොහොන්, කෙත් බිම් උඩින්
ඇසෙන්නේ ඔය තවත්
කණ කොකා ගේ හඬ ය...”
“පිපාසයි ස්වාමීනි පිපාසයි
මෙ පුර හැර යන්න දැන්
කාලයයි”
“දුටුවෙහි ද ආනන්ද
කඩින් කඩ වැහි පොකුරු
මල් පළන්දා රඟනා
මරඟනක සේ ඈත
පෙනෙන්නේ පුරඟන ය...
දුටුවෙහි ද ගෙයි පිළක
දර ඉපල්ලක් වගේ
දරු සිඟිත්තකු සිහින්
ගිලී ගිය ඇස් දෙකින්
උඩ බලා හූල්ලන...?”
“නවතින්න.. ආන්ද නවතින්න..”.
තියඹලාවක් දනට ගෙනාවෙත්
මේ දුකින් මිදෙන මඟ අසා ආ
උපාසකයකු නේද?
විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි
ගොඩ වදිනු නැණ රළට
දිරා යන ඔරුවකට
නැගී රුදු සයුරු රළ
සමඟ පොර වැදීගෙන
ගෙවන මේ ජීවිතය
ගොඩ බිමක් අසලවත්
නෙත ගැටෙන හැඩක් නැත
ටිකින් ටික දිරා යන
ඔරු කඳට දිය පිරෙන
ආසාවෙ බර පොදිය
කර තබාගෙන ගොඩට
ඇදෙන්නට තැතනුවත්
ඒ පොදිය බර වැඩිය
ඉවතලා බර පොදිය
දිරන ඔය ඔරුව හා
ගොඩ වදිනු නැණ රළට
ගෙන යාවි ඔබ ගොඩට
කේ.කේ. සිරිසේන
එළිය වෙත...
නවාතැන්පොළකි මෙය
නොනවතින දිවි මඟෙහි
ඉසව්වක් නොපෙනේ ය
ගිමන් හරිනට මඟෙහි
එහෙත් දැන් බෝ දුරක්
පැමිණ ඇත දහිරියෙන්
ඈත එළියක් දිලෙන
නමුදු යන මඟ දිගු ය
එහෙත් දිරි වඩාලමි
එළිය වෙත ගමන යමි
හසන්ති මහේෂා අබේවර්ධන |