බෞද්ධ කථාව
කලණ මිතුදම
කුලියාපිටියේ
විසාකා දිසානායක
“ බ්‍රහ්මදත්ත “ නම් රජ කෙනෙකුන් රජ කරන සමයයි. මෙසමයේ නගර කලබලයෙන්
මිදුණු ශාන්ත සුවය දෙන පරිසරයක පිහිටි වන රජ දහනේ සස පණ්ඩිතයෝත්, ඔහුගේ
මිතුරනුත් සතුටින් විසූහ. කල්‍යාණ මිතුරු දම මේ යැයි ලොවට හඬගා
කියන්නාක් මෙන් මේ සුමිතුරෝ සමගියෙන්, සමාදානයෙන් දවස් හරිති. කණ්ඩායමේ
නායකයා සස පණ්ඩිතයෝය. ඔහුට මිතුරන් තිදෙනෙකි. එහි වඳුරෙක් , සිවලෙක්,
හා මස්කාවෙක් ලෙසය. මේ මිතුරනුත් සමඟ සස පණ්ඩිතයෝ ඉතා සතුටින් මහ වනයේ
වාසය කරති. වනයේ එක් පසෙක මහා පර්වතයකි. අනෙක් පැත්තේ ඝන වනාන්තරයකි.
තවත් පැත්තකින් සුන්දරව ගලන නදියකි. මේ නිසාම කිසිදිනක ඔවුනට කෑමෙන්,
බීමෙන් හිඟයක් නොවිණි. මිතුරන් පිරිස අතුරින් සස පණ්ඩිතයෝ දැන උගත්කම්
ඇත්තෙකි. ධර්මය මනාසේම දත්තෙකි. සසරේ බොහෝ හුරු පුරුදු කොට පුරන ලද
බෝධි සම්භාර ඇත්තෙකි. එහෙයින් නිරතුරුවම සිය සගයින්ට, අර්ථයෙන්,
ධර්මයෙන් අනුශාසනා දෙති. ධර්ම කථාවෙන්ම කල් ගෙවති.
“ සගයිනි....දන් දෙන්න ...සිල් රකින්න ...කුසල් රැස් කරන්න...” ධර්මය
ගැන මනා වැටහීමත් ඇති සස පණ්ඩිතයෝ දෙන අවවාද එළෙසම පිළිගන්නා මිතුරන්
තිදෙන ඒ අනුවම හැසිරෙති.
කාලය ගත වී යයි. දවසින් දවස ගෙවී පුර පසළොස්වක පොහෝ දිනය ලංවිය. නීල
ගගනත බබළවමින් චන්ද්‍රයා පෙරඹරින් නැඟුණේ, වනපෙත එකළු කරවමිනි. සස
පණ්ඩිතයන්ට ද මිතුරන් තිදෙනාටද සතුට නිම් හිම් නැති විය. පිරුණූ සඳ දෙස
බැලූ සස පණ්ඩිතයෝ...
“ යහළුවනි...පිරුණූ සඳ දෙස බලන්න. හෙට පෝය දිනයයි. මෙමස පෙහෙවස් සමාදන්
වෙමි. තොප තිදෙනද පෙහෙවස් සමාදන් විය යුතුයි. සීලයෙහි බලය අති මහත්ය.
සිල්වත්ව දුන් දෙයෙහි විපාක වැඩිය. එසේ හෙයින් පෙහෙවස් සමාදන් වන අතරේ
තොප වෙත පැමිණෙන යාචකයෙක් හෝ වෙත්නම් ආහාරයකින් සංග්‍රහ කරව “ යි අවවාද
කොට තමාද පෙහෙවස් රකිනු පිණිස සිය නිවහනටම ගියේය.
පසුදා උදෑසනම අවදි වූ මස් කාවා පෙහෙවස් රකින්නට පළමුව අහර ටිකක් සොයනු
පිණිස ගියේය. එවේලේ එක් බිලී වැද්දෙක් , ගඟ ඉහත්තාවේ සිට මසුන් කිහිප
දෙනෙකු මරා වැලියට සඟවා, ගඟ පාත මසුන් අල්ලනු පිණිස ගියේය. අහර සොයා
ගිය මස් කාවා මාංශ සුවඳින් වැලියට තිබූ මාළු වැල් හඳුනාගත්තේ,
තුන්විටක් අඬගසාත් අයිතිකරුවෙකු නොදුටු නිසා මාළු වැල ගෙනවුත් , දහවල
බුදින වේලාවට ගන්නෙමියි සිතා පෙහෙවස් සමාදන් වන්නට විය.
මේ අතර හිවලාද ගොදුරු සොයා ගියේය. එක් ගොවිපලක පැල්පතෙහි තිබූ වේලාගත්
කරවල මසුන් දෙදෙනෙකු හා දී ගෙඩියක් දැක අයිතිකරුවෙකු නොදුටුවෙන් ඒවා
රැගෙන විත් තබා දහවල් වූ පසුව කෑමට ගන්නෙමියි සිතා පෙහෙවස් රකින්නට
විය. වඳුරාද ගොදුරු සොයා ගියේ ඒ උදෑසනමය. එසේ යන විට මී අඹ ගෙඩියක් දැක
ගෙනවිත් දහවල අහර පිණිස තබා පෙහෙවස් සමාදන් වන්නට විය. මේ අතරේ සස
පණ්ඩිතයෝද උදෑසනින්ම පෙහෙවස් සමාදන් වූහ. සීලයට බාධාවක් නොවන සේ දහවල්
වූ විට තණ පත් බුදිමියි සිතා සීලයම මෙනෙහි කොට මෙසේ සිතූ®හ.
“ අද පොහොය දිනයයි. මේ උතුම් දිනයේ දැන් මා අසළට බඩසාගිනි වූ අයෙක්
පැමිණියහොත්, මා බුදින තණ පත් ඔහුට දෙන්නට නොපිළිවන. අහර පිණිස ගන්නා
සහල්, උඳු , මුං තෙල්, කිසිවකුත් මා සතුව නැත. එනිසා දැන් මෙවෙලේ බඩසා
දුක් ඇති කිසිවකු මා අභියසට පැමිණියහොත්, මාගේ ඇඟ මාංශ පුදා ඔහු
සනසමි.”
මෙසේ සිතමින් සීලයෙහි අනුහස් දකිමින් සස පණ්ඩිතයෝද මිතුරෝද පෙහෙවස්
රකින්නෝය. මේ අතරේ වනගැබ අතරින් මස්කාවා පෙහෙවස් රකින තැනට මහලු
බමුණෙක් පැමිණියේය. බමුණා දැක මස්කාවා මෙසේ අසයි.
“ බමුණාණෙනි මෙහි පැමිණියේ කුමක් සඳහා ද ?” “ යහළුව ...කුසගින්නේ
සිටිමි. යම්තම් හෝ අහරක් ලබන්නට හැකි වෙතොත් නුඹට සේම මටද පෙහෙවෙස්
රකින්නට හැකිවේවි “
“බමුණානෙනි...අයිතිකරුවකු නොමැතිව වැලියට සඟවන ලද මසුන් කිහිප දෙනෙකු
ආහාරය පිණිස ගෙන ආවෙමි.
එය අනුභව කළ මැනව“ ඒ නිසා මහලු බමුණා “ තවම උදෑසන වැඩිය. නොවරදවාම
දහවල් වූ පසුව එමි “යි කියා යන්නට යන්නේ සිවලා සමීපයටද ගියේය.
“සිවලාණෙනි දින ගණනකින් අහරක් නොලද්දෙමි. කුසගිනි නිවේනම් තොපට මෙන්ම
මටද පෙහෙවෙස් සමාදන් විය හැකිය”
“යහපත් බමුණ ...උදෑසන අහර සොයා ගිය වෙලේ අයිතිකරුවෙකු නොමැති පැලක තිබී
ගෙන ආ කරවල මසුන් දෙදෙනෙකුත් දී ගෙඩියකුත් රැගෙන ආවෙමි.අනුභව කොට
කුසගිනි නිවා සිල් රකිනු මැනව“ එහෙත් බමුණා එයට කැමති නොවී, “ තවම
උදෑසන වැඩිය.දහවල් වූ පසුව එන්නෙමි” යි කියා එතැනින්ද නික්ම වඳුරා
සමීයටද ගියේය. වඳුරාණන්ද මහලු බමුණා දැක මෙසේ අසති.
“ බමුණාණෙනි , මෙහි පැමිණියේ කුමකටද? “ යහළුව ..දින ගණනකින් අහරක් නැත.
කුස පිරෙන්නට අහරත් ලැබෙන්නේ නම් පෙහෙවස් සමාදන් විය හැකිය.
“ යහපත් බමුණ ..උදෑසන ගොදුරු සොයා ගිය වෙලේ ලද මිහිරි රස ඇති අඹයක්
ලදිමි. එය අනුභව කොට කුස ගිනි නිවා ගනු මැනවි..”
“ නැත යහළුව ...තවම උදෑසනය ..පසුව එන්නෙමි” මෙසේ යහළුවන් තිදෙනාම දුන්
ආහාර ප්‍රතික්ෂේප කළ මහලු බමුණා අනතුරුව ගියේ සස පණ්ඩිතයන් සමීපයටය.
එදා සුමේධ තාපසව දීපංකර බුදුහිමි පාමුල නියත විවරණ ලත්දින පටන් පුරන ලද
පාරමිතාවන් සපුරාලන උත්තුංග අරමුණින් ඒ පසළොස්වක පොහොය දින උදෑසනම තණ
බිඳක් කා කුස පුරවන්නටද ලත නොවී සස පණ්ඩිතයෝ පෙහෙවස් සමාදන් වෙති. මහලු
බමුණා පැමිණියේ මේ අතරය. බමුණා දුටු සස පණ්ඩිතයෝ කරුණාබරිත හඬින් ඔහු
ඇමතූහ.
“බමුණාණෙනි මෙහි පැමිණියේ කුමන් සඳහාද “
“ සස පණ්ඩිතයිනි... දින කිහිපයකින් අහරක් නොලැබ සා දුකින් පෙළෙමි.
යම්තම් බඩට අහරක් ලැබුණොත් ඔබට සේම මටද පෙහෙවස් සමාදන් වීමට පුළුවන. “
එවදන් අසා සස පණ්ඩිතයෝ ඉතා සතුටු වූහ. “ අද මාගේ මනෝරථය මුදුන් පමුණුවා
ගත හැක. මේ බමුණාගේ සාදුක නිවනු පිණිස මගේ ඇඟ මාංශ පූජා කොට දාන
පාරමිතාව පුරමි” යි යනුවෙන් සොම්නසට පැමිණ...
“යහළු බමුණ...නුඹට දෙන්නට මා ළඟ සහල්, උඳු මුං ආදී කිසිවක් නැත. ඇත්තේ
මගේ ශරීර මාංශය පමණි. මෙතුවක් මා විසින් නුදුන් දනක් නුඹට දෙමි. දර
කැබලි රැස් කොට ගින්දර එකතු කළ මැනවි. මම ඒ ගිනි අඟුරට පැන ආත්මදානය
කරන්නෙමි. මගේ මාංශ අනුභව කොට, කුස පුරවා බ්‍රහ්මචරියාව රැක මහණදම්
පුරනු මැනවි”
මහලු බමුණානෝත් සතුටුව ගිය සිත් ඇත්තේ ගිනි දල්වා අ¼ඟුරු එකතු කොට ඒ බව
සස පණ්ඩිතයන්ට දැන්වීය . සස පණ්ඩිතයෝද හිඳ සිටි තෘණ සයනින් නැගිට ගිනි
මැලය ළඟට පැමිණ මාගේ් ශරීරයේ කෙස් අතරේ කිනිතුල්ලන් ආදී වු කුඩා සත්ව
සමූහයක් වෙත්නම් මේ ගින්නෙන් ඔහු දැවී නොයේවායි තුන් විටක් ප්‍රාර්ථනා
කොට,.සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරන පාරමී දහම් සිහිකොට “ මාගේ් මාංශය
අනුන්ගේ සාදුක පිණිස වේවායි “ පතා අඟුරු ගොඩ මතට පැන්නෝය. මහලු බමුණු
වෙසින් මෙතුවක් සිටි ශක්‍රයාට සිය සැබෑ ස්වරූපයෙන් පෙනී සිට සාධුකාර
දුන්නේය. සස පණ්ඩිතයන් වහන්සේ හෙවත් අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම
කූපයකටවත් හානියක් නොවී සිටි පරිද්දෙන්ම නැඟී සිටි සේක.
“යහළු බමුණ මාගේ ශරීරයේ රෝම කූපයකටවත් හානියක් නැත. මේ කුමන පුදුමයක්ද?
“ සස පණ්ඩිතයිනි.මම සාදුකින් පෙළෙන මහලුළු බමුණෙක් නොවෙමි. සක් දෙවිඳු
නම් මම වෙමි. නුඹගේ සීල තේජසින් පාණ්ඩුකම්බල ශෛලාසන උණුවීමෙන් ඇතිවූ
කුතුහලයෙන් ලොව බලද්දී නුඹ වහන්සේ දුටුවෙමි. සාදු සාදු පණ්ඩිතයිනි
නුඹගේ දානය සැබැවින්ම උතුම්ය”
“ එම්බල ශක්‍රයාණෙනි, මේ සියලු ලෝකවාසීහු එක්වීමෙන් වුවත් මා පරදා දන්
දෙන්නට සමර්ථ කිසිවෙකු නොමැත. තිරිසන් සත්වයෙකු ලෙස උපත ලැබුවද තම
ශරීරමාංශයෙන් තවකෙකුගේ ක්‍ෂූධා ගින්දර නිවන්නට සිතූ සස පණ්ඩිතයාණන්ගේ
උදාර සිතිවිල්ල ශක්‍ර දේවේන්ද්‍රයාගේ සිත පහන් කළේය. මොහුගේ මෙම
ක්‍රියාව දිව්‍ය මනුෂ්‍ය ආදී වූ සියලු සත්වයන් හට ආදර්ශයක් වන්නට
කිසිදින නොමැකෙන අයුරින් සටහන් කොට තැබීම සුදුසු යැයි සක් දෙවිඳු
සිතුවේය. මේ සා උතුම් සස පණ්ඩිත නාමය මේ මහා භද්‍රකල්පය මුළුල්ලෙහිම
පවතින්නට නම් කුමක් කළ යුතුදැයි සක් දෙවිඳුන් කල්පනා කරන්නට විය. එදා
පුරපසළොස්වක පෝය දිනයයි. පෙරඹරින් නැගී මුදුන්වන පූර්ණ චන්ද්‍රයා දුටු
සක් දෙවිඳුන් හට කදිම කල්පනාවක් පහළ විය. කිසිදිනක නොමැකෙන අයුරින්
සියලු සත්ත්වයන්ටම පෙනෙන අයුරින් සස පණ්ඩිත රූපය චන්ද්‍ර මණ්ඩලය මත
සිතුවම් කළ සක් දෙවිඳු යළි සිය වාසභවනටයම ගියේය. එදා සිට අද දක්වාත් මේ
මහා භද්‍ර කල්පය මුළුල්ලේත්, චන්ද්‍ර මණ්ඩලය ආකාශයෙහි නැගී දිදුලන
තාක්කල් දානයේ ආනිශංස සිහිකොට දෙමින්, සස පණ්ඩිතයෝ චන්ද්‍ර මණ්ඩලයේ සිට
අප දෙස බලා සිටිති. පෙර නුවණැත්තන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් දන්
දුන්නේ මේ ලෙස යැයි පවසති. සත් දිනක් තිස්සේ සියලු පරිස්කාර සහිතව
බුදුරදුන් ප්‍රධාන කොටගත් පන්සියයක් රහතුන් වහන්සේලාට මහ දන් පිරිනැමූ
සැවැත්නුවර සිටු පුත්‍රයා සොම්නසින් සොම්නසට පත් විය. සිටු මැදුරෙහිම
මාහැඟි මඩුවක් තනවා බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේ පන්සියයක් වැඩම
කොට ඔහු දැන් සතියක් මුළුල්ලේ මහ දන් දුන්නේය. දන් වළදා අවසානයේ
අනුමෝදනා බණ වදාරණ බුදුරජාණන් වහන්සේ.
පුරාතණයේ පඬිවරුන් ඇඟ මස් දන් දී දානයේ අනුහස පෙන්වා , මේ මහා භද්‍ර
කල්පය පුරා නොමැකෙන ලෙස සටහන් තැබුවේ එසේ යැයි සස පණ්ඩිතයාණන්ගේ පුවත
වදාරා එසමයෙහි මස්කාවා නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. සිවලා නම් මොග්ගල්ලාන
ස්ථවිරයෝය. වඳුරා නම් සාරිපුත්‍ර ස්ථවිරයෝය . මහ දන් දුන් කුසලයෙන් සඳ
මඬලෙහි රුව ඇඳි සස පණ්ඩිතයෝ නම් බුදුවූ මම්ම වේදැයි, සස ජාතක දේශනාව
අවසන මහ දන් දුන් සිටු පුත්‍රයා උතුම් වූ සෝවාන් පලයෙහි පිහිටියේ ය.
(සස ජාතකය ඇසුරිනි) |