Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අන්ද්‍රා දේශයේ ‍ෙබෟද්ධ උරැමය අමරාවතී ස්ථූපය


අමරාවතියේ මුල් ස්වරූපය චිත්‍ර ශිල්පියෙක් මෙසේ නිරූපනය කර ඇත.

දඹදිව වන්දනාවේ යන වන්දනාකරුවන්, අන්ද්‍රා ප්‍රදේශය හරහා ගමන් කරන නමුත්, එහි ඇති බෞද්ධ සිද්ධස්ථාන දැක බලා ගැනීමට යන්නේ කලාතුරකිනි. ආන්ද්‍රා දේශයේ නාගර්ජුනකොණ්ඩ, අමරාවතී, භට්ටිප්‍රෝලු, ඝන්ඨශාල, ගුමදිදිරු ආදී ස්ථානවල පැරණි බෞද්ධ උරුමයේ නෂ්ඨාවශේෂ දක්නට ලැබේ. මේ අතරින් අමරාවතිය දැක බලාගැනීමේ වාසනාව පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර් දඹදිව ගමනේ දී අපට උදාවිය. චෙන්නායි සිට උතුරට දිවෙන නැෂනල් හයිවේ නමින් හඳුන්වන ද්විත්ව මාර්ගයේ කි.මී. 400 ක් ගමන් කළවිට ගුන්තූර් නමැති නගරය හමුවේ. එය ගුන්තූර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයද වේ. මෙහි සිට තාර දමා සකස්කර ඇති අතුරු මහා මාර්ගයේ කි.මී. 40 ක් පමණ වයඹ දෙසට ගමන් කළවිට අමරාවතී නමැති කුඩා නගරය හමුවේ.

ක්‍රිෂ්ණා නදියේ දකුණු ඉවුරේ, ගංමෝයේ සිට සැතපුම් හැටක් රට ඇතුළට වන්ට පිහිටි අමරාවතිය, හුදකලා කඩපලක් ලෙස පෙනේ. එහෙත් තැපැල් කාර්යාලයක්, දුම්රිය නැවතුම් පලක්, කෞතුකාගාරයක්, සහ හින්දු කෝවිල් කිහිපයක් තිබෙන හෙයින් එය සෑහෙන ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් ලෙස සැලකිය හැකි ය. මෙහි වෙසෙන ජනයාගේ ආගම හින්දු ය. භාෂාව අන්ඩර දෙමළ හෙවත් තෙලිඟු ය. තෙලිඟු අකුරු සිංහල මෙන් වටකුරු හෙයින්, බසයේ ගමන් කරන විට, ඈත දකින දැන්වීම් පුවරුවක් සිංහල අකුරින් ලියා ඇතැයි අප මුලාවට පත්වේ. අප රටේ වෙසෙන අහිකුන්ටිකයන්ද ‘තෙලිඟු ජනතාව‘ නමින් හඳුන්වන්නේ ඔවුන් ඈත අතීතයේ ආන්ද්‍රා ප්‍රදේශයේ සිට ලංකාවට සංක්‍රමණය වූවන් නිසා විය හැකි ය. ‘ආඬි හත් දෙනාගේ කැඳ හැලිය’ යන ප්‍රස්ථාව පිරුලට මුල්වන්නට ඇත්තේ ද, ‘සොකරි නාඩගම’ ට වස්තු විෂය වන්නට ඇත්තේ ද ලංකාවේ පදිංචිව සිටි ආන්ද්‍රා වැසියන්ගේ ජීවන ප්‍රවෘත්තියයි. සීතාවක රාජසිංහ රජු බුදු දහම හැර දමා, හිංදු ආගම වැළඳ ගත්තේ අරිටකීවෙන්ඩු පෙරුමාල් නමැති ආඬිගුරුගේ උපදෙස් මතය. පත්තිනි, හූනියම් දෙවි, කඩවර ආදී දෙවි දේවතාවුන් සමූහයක් ද අප අතරට පැමිණ සිටින්නේ ආන්ද්‍රා දේශයේ සිට ය.

අමරාවතී පුරාවිද්‍යා භූමියේ දොරටුව අසල පිහිටි කවුළුවෙන්, ටිකට් ලබාගත් අපි එහි ඇති තාර දැමූ අභ්‍යන්තර මාර්ගය ඔස්සේ අඩි එකසිය පණහක් පමණ දුරක් ඇවිදගෙන ගියෙමු. මාර්ගය කෙළවරේ, අඩි 160 ක පමණ විශ්කම්භයෙන් යුත් චෛත්‍යයක,ගර්භයෙන් පහත කොටසේ නෂ්ඨාවශේෂ සංරක්‍ෂණය කර තිබෙන අයුරු අපි දුටුවෙමු.ගඩොලින් නිමකර ඇති, කවාකාර හැඩයෙන් යුතු එම චෛත්‍ය නෂ්ඨාවශේෂය අඩි පහලවක් පමණ උසය. එය වටා අඩි හයක් පමණ උස, අඩි දහයක් පමණ පළල වේදිකාවක් තිබෙන අතර, වේදිකාවේ සතර දිශාවේ, අඩි දහයක් පමණ ඉදිරියට නෙරාගිය ආයක සතරක් ඇත. චෛත්‍යය වටා වූ මෙම වේදිකාව සහ ආයක සතර අලංකාර කැටයමින් යුත් ගරාදි වැටකින් ආවරණය කර තිබුණ නමුත්, අද ඒ කිසිවක් ඉතිරිව නැත. මෙම එක් එක් ආයකයක් මත, අටපට්ටම් හැඩයේ ස්තම්භ පහ බැගින් සිටුවා තිබුණ බවත්, එය ලංකාවේ පැරණි ස්ථූපවල තිබෙන වාහල්කඩට සමාන බවත්, පුරා විද්‍යඥයින්ගේ මතය වේ. මෙම වේදිකාවට පිටතින් පොළොව මට්ටමේ, අඩි විස්සක් පමණ පුළුල් තවත් ප්‍රදක්‍ෂිණා පථයක් ද, එය වටා අලංකාර කැටයමින් යුත් ගරාදි වැටක් සහ එහි සතර දිශාවේ වාහල්කඩ සතරක් ද පැවති බව කියනු ලැබේ. එයින් ශේෂ වූ කැටයම් කල කිරිගරුඬ පුවරු කැබලි චෛත්‍ය වටා තැන්පත්කර තිබෙනු දැකිය හැකි ය.

ස්ථූප ගර්භය වටා ද, වේදිකාවේ සිට අඩි දහයක් පමණ උසට තීරුවක් ලෙස කැටයම් සහිත කිරිගරුඬ පුවරු අල්ලා අලංකාර කර තිබූ බවට සාක්‍ෂි ඇත. බුද්ධ රූප, බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සහ ජාතක කතා නිරූපණය කෙරුණු එම කිරිගරුඬ පුවරුවලින් ස්වල්පයක්, අමරාවතී කෞතුකාගාරයේ දී අපි දුටුවෙමු. අනෙක් පුවරු මදුරාසි කෞතුකාගාරයේ සහ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බව දැනගන්නට ලැබුණි. අමරාවතී ස්ථූප ගර්භයේ ඉහළ කොටස ද පුන්කලස්, මල්කම් හා ලියකම් වලින් දැකුම්කළු ලෙස සරසා තිබිණි. එය මස්ථකයේ සාංචි චෛත්‍යයේ මෙන් ගල් ගරාදි වැටකින් සෑදුනු සතරැස් කොටුව විය. කොටුව තුළ අටපට්ටම් ආයක බම්භයක් සහ ඡත්‍ර දැරූ යෂ්ටිද සිටුවා තිබිණ.

අමරාවතී පුරාවිද්‍යා භූමියේ, ස්ථූපය අවටින් ගොඩනැගිලි රාශියක අත්තිවාරම් පාදා තහවුරුකර තිබේ. මේවා අමරාවතී විහාරස්ථානයේ සංඝාවාස, පිරිවෙන්, ධර්ම ශාලා, දාන ශාලා, බෝධිඝර ආදියේ නශ්ඨාවශේෂයන් ය. ක්‍රි.පූ. 200 දී පමණ වෙංගි නම් වූ බෞද්ධ රාජ්‍යයේ රජවරුන් විසින් තම අගනුවර වූ (අද අමරාවතී නමින් හඳුන්වන) ධරණිකොට්හි මෙම විහාරස්ථානය ඉදිකරවන ලදී. ක්‍රි.ව. දෙවන සියවසේ දී ආන්ද්‍රා දේශයේ මහා යාන බුදු දහමේ පුරෝගාමියා වූ ආචාර්ය නාගර්ජුන හිමියෝ මෙම විහාරස්ථානය වැඩි දියුණු කරවූහ. ස්ථූපය විශාල කොට කිරිගරුඬ පුවරු අල්ලා අලංකාර කරවන ලද්දේ උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ය. පසුකාලීන ප්‍රතිසංස්කරණ වලදී ස්ථූපයට ප්‍රදක්‍ෂිණ පථ ආයක, ගල් ගරාදි වැට ආදී අංග එකතු කිරීමද, අලුතින් විහාරාංග ගොඩනැගීමද සිදුවිය.

ගඩලාදෙණි විහාරය කරවූ ධර්මකීර්ති හිමියන් විසින්, අමරාවතියේ දෙමහල් ගල් විහාරය ප්‍රතිසංස්කරණය කරවූ බව ගඩලාදෙණි සන්නසේ සඳහන් වේ. මේ අනුව ඛ්2.ව. 14වන සියවසේදීත් අමරාවතිය හා ලංකාව අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා පැවති බව හෙළිවේ. ක්‍රි.පූ. දෙවන සියවසේ සිට සියවස් පහළවක් පමණ කාලයක් බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවති, මෙහි බලපෑම ලංකාවට මෙන්ම වියට්නාමය, කාම්බෝජය, ලාඕසය ආදී ඈත පෙරදිග රටවලට ද පැතිර ගියේ ය. අමරාවතී සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා මෙම රටවල විහාරයන්හි තිබූ බවට පුරාවිද්‍යා සාක්‍ෂි ලැබී තිබේ. මහඉලුප්පල්ලම හිටි පිළිමය, අවුකන පිළිමය, රුවන්වැලි සෑයේ පිළිම ගෙයි තිබෙන කිරිගරුඬ හිටි පිළිම ආදිය අමරාවතී සම්ප්‍රදායට අනුව නිර්මාණය කර තිබෙන බව උගතුන්ගේ මතය වේ.අමරාවතී කෞතුකාගාරයද සංචාරකයින් විසින් නැරඹිය යුතු තැනකි. පුරාවිද්‍යා භූමියේ සිට පයින් යා හැකි තරම් දුරකින් පිහිටි එය මනාව නඩත්තු කරන බව පෙනේ. ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ඉන්දියාවට විදේශිකයන් වන හෙයින් අපට ද යුරෝපීයන්ට මෙන් වැඩි මුදලක් ගෙවා ටිකට් ලබාගන්නට සිදු වී තිබේ. අමරාවතී ස්ථූපයෙන් හමුවූ කිරිගරුඬ පුවරු, බුද්ධ ප්‍රතිමා, බෝසත් පිළිම, විවිධ කලා කෘති ආදිය මෙහි දී දැක බලාගත හැකි ය. එලිමන් භූමියේ අමරාවතී ස්ථූපයේ ආකෘතියක් ඉදිකර තිබේ. ස්ථූප ගොඩැල්ල විනාශවීමට පෙර එය දුටු පුරාවිද්‍යාඥයින්ගේ වාර්තා ද, ඉන්දියාවේ පැරණි බෞද්ධ විහාරස්ථාන වලින් හමු වී ඇති කැටයම් වල නිරූපනය වන පැරණි ස්ථූපයන්හි චිත්‍ර සහ විශේෂයෙන්ම පර්සි බ්‍රවුන්ගේ Indian Architecture ග්‍රන්ථයේ පලවී තිබෙන, අමරාවතී ස්ථූපයේ මුල් ස්වරූපය දැක්වෙන චිත්‍රය ද මෙම ආකෘතිය සඳහා මූලාශ්‍ර වශයෙන් යොදාගෙන ඇත.

ක්‍රිෂ්ණා නදිය අමරාවතියට සම්පතක් වන අතර, අලංකාරයක් ද ගෙන දෙයි. අප සංචාරය කළ කාලයේ ආන්ද්‍රා ප්‍රදේශයට වර්ෂාව පැවති හෙයින් නදිය ජලයෙන් පිරී පැවතින. එගොඩ ඉවුර නොපෙනෙන තරම් ගඟ පුළුල් ය.

ගඟ තරණය කිරීමට ඔරු පාරු, බෝට්ටු ආදිය යොදාගැනේ. ගං ඉවුරේ විශාල හින්දු කෝවිල් පිහිටා තිබේ. එගොඩ ඉවුරේ විශාල බුද්ධ ප්‍රතිමාවක් ඉදිකරමින් තිබෙනු මගේ කැමරා නෙතට හසුවිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.