Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - පහත සඳහන් පුවත කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

“එක්තරා පරිබ්‍රාජකයෙක්; එසේ නම් ගෘහපතිය, බුදුරදුන් කථා කරන්නේ කා සමඟ ද? සාකච්ඡා කරන්නේ කා සමඟ ද? විසඳන්නේ් කාගේ ප්‍රශ්න ද? බුදුරදුන් ගේ නුවණ පාලු ගෙවල්වලට ම විනාශ වී යනවා නේ ද? පිරිස්වල නොහැසිරෙන ශ්‍රමණ ගෞතමයන් සල්ලාපයට ගැළපෙන්නේ කොහොම ද? අපේ පිරිසට ආවොත් නම් එක එක ප්‍රශ්නයකින්ම එතුමන් හිස් කළයක් බව පෙන්නා දෙමු යි” උපහාසයට ලක් කළේය.

මෙම ප්‍රකාශය කවුරුන් විසින් කාහට කුමන අවස්ථාවක කියන ලද්දක් ද? මෙයින් මතුවන බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්ෂණ වර්තමාන ඇතැම් සමයාන්තර ගැටලුවලට තීරණාත්මක විසඳුමක් බව ද පැහැදිලි කරන්න.

පිළිතුර - මේ පුවත දි. නි. උදුම්බර සීහනාද සූත්‍රයෙහි එන පාලි පාඨයක අනුවාදයකි. මෙය බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම ප්‍රචාරයෙහි ශ්‍රේෂ්ඨ අරමුණ පහදා දුන් අවස්ථාවකි. උන්වහන්සේ දහම් දෙසන්නේ පිරිස් වර්ධනයට හෝ ජන ප්‍රසාදය සඳහා හෝ නොව පිරිස යහමඟ පෙන්වීමට පමණක් බව අවධාරණය කරයි. තමා විවේකයට බෙහෙවින් කැමති වන අතර උස් හඬින් ඝෝෂාකාරී වදන්වලින් නිසරු කතා බහ කරන තැන්වලට අකමැති බවත් “සන්ධාන” ගෘහපතියාගෙන් දැනගත් නිග්‍රෝධ පිරිවැජියා කළ ප්‍රකාශයකි මේ. මේ ප්‍රකාශය බුදුරජාණන් වහන්සේට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ඉතා සාරවත් දේශනයක් කළ පසුව තම වරද පිළිගෙන බුදුරදුන් වෙතින් සමාව ඉල්ලීය. එයට පිළිතුරු දුන් බුදුන් වහන්සේ,

“ඔබ වැනි අකපට ඍජු බුද්ධිමතුන්ට මගේ සස්නේ බ්‍රශ්මචර්ය ඉතා ඉක්මණින් ඵලදායී වෙයි. එහෙත් නිග්‍රෝධ වරදවා තේරුම් නොගන්න. මා දහම් දෙසුවේ ඔබ මගේ අන්තේවාසිකයකු කර ගන්නට නොවේ. ඔබේ ගුරුතුමා තව දුරටත් ඔබේ ගුරුතුමා වේවා. කුසලාකුසලය යන දේ විෂයෙහි ඔබේ දේ විවේචනය කරන්නට හෝ අපගේ දේ විෂයෙහි ඔබ පිහිටුවා ගන්නට මට අවශ්‍ය නැත.

මෙබඳු අභීත සීහනාද බුද්ධ චරිතයේ කොතෙක් දක්නට ලැබෙන අතර වර්තමාන සමයාන්තර මිත්‍රශීලී ආගමික සහනශීලීත්වය සඳහා මෙබඳු අදහස්වලට සෑම ආගමිකයෙක්ම සමීප විය යුතුය. විවේකී අවස්ථාවල අන්‍ය ආගමිකයන්ගේ ආරාමවලට ගොස් සමයාන්තර ඉගැන්වීම් පිළිබඳව විවෘත සාකච්ඡා පැවැත්වීම ගෞතම බුදුන් වහන්සේගේ සිරිතක් විය. බුදුන් වහන්සේ මහ මග වඩින විට උන්වහන්සේ කැඳවා ගැනීම සඳහා තම පිරිස නිශ්ශබ්ද කර උන්වහන්සේ නිහඬ ශිෂ්‍ය පිරිස දැක වැඩියොත් ඉතා හොඳ යයි මග බලා සිටි ගුරුවරු ද වූහ.

“චූලසකුලුදායි” වරක් එසේ පිරිස නිහඬ කොට බුදුන් වහන්සේ එහි පිවිසි විට, “ඔබ වහන්සේ වඩින විට මමත් මගේ ගෝල පිරිසත් බුදුන් වහන්සේ අපට යම් දෙයක් වදාරනවා නම් එයට හොඳින් සවන් දෙමුයි. ඉතා ආශාවෙන් බලා සිටිමු’යි පැවසීය.

වච්චගොත්ත පරිබ්‍රාජකයා මහ මග වඩින ගෞතම බුදුන් වහන්සේ පිළිගත්තේ - එන්න ස්වාමීනි වැඩම කරන්න. ඔබ වහන්සේ අද පැමිණෙන්නේ බොහෝ කලකට පසුවයි. ආසනය පනවා ඇත. වැඩහිඳිනු මැනවයි පවසමිනි. ආගමික නායකයකු වශයෙන් මේ ආදරණීය උණුසුම් පිළිගැනීම බුදුන් වහන්සේට තිබුණේ මගේ කීම පමණයි ඇත්ත. අනිත් සේරම බොරුයි කියමින් එකිනෙකා කුළල්කා ගත් ආගමික පිරිසක් විසූ පරිසරයකය.

ප්‍රශ්නය - බුදුසමයට පසුබිම් වූ භාරතීය ශිෂ්ටාචාරයෙහි ශ්‍රමණ චින්තන පරපුරට විශේෂ ස්ථානයක් හිමි වී තිබුණි. ශ්‍රමණ සංස්කෘතියට අදාළ විශේෂිත ආගමික අදහස් බ්‍රාහ්මණ බලය පිරිහී යත්ම නව ප්‍රබෝධයක් ලබමින් පැවතිණි. මේ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - ශ්‍රමණ සම්ප්‍රදායට අයත් පිරිසට බමුණන්ට මෙන් ආගමික විෂයෙහි පාරම්පරික උරුමයක් නොතිබුණි. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වූවේ සමාජයේ සෑම ස්තරයකින් ම මතු වූ අය වූහ. මෙම ව්‍යාපාරයට රුචි වූ සමහර බ්‍රාහ්මණයෝ ද බ්‍රාහ්මණික සබඳතා ඉවත දමා ශ්‍රමණ සංස්කෘතියට එක් වූහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් පිරිස බමුණන් මෙන් ලෞකික පූජකයෝ නොවූහ. ඔවුනගේ එම අරමුණ ලෞකිකත්වය ඉක්මවා යන සත්‍ය හා සැපත සොයා යාමයි. අනගාරික වූ ඔවුහු තාපස චර්යාව කෙරෙහි නැඹුරු වූ මනසකින් යෝග භාවනාව කෙරෙහි නිරත වූහ. මේ අය අතර නිරතුරුව සත්‍ය ගවේෂීව සංචාරය කරමින් එක් ආචාර්යවරයකු වෙත ටික කලක් ගත කොට තව අයකු වෙත යමින් කල් ගත කළ පරිබ්‍රාජක නම් පිරිසක් ද වූහ.

මෙම පරිබ්‍රාජක සමයප්ප වෙදන ශාලා, සන්ථාගාර සාලා අවස්ථාඝාර වැනි ප්‍රසිද්ධ ස්ථානවල සාකච්ඡා පවත්වමින් විවිධ ශාස්තෘන් කරන දේශනාවලට සවන් දෙමින් සංචාරය කළහ. සියලු ශ්‍රමණ සම්ප්‍රදායිකයෝ වේදය ප්‍රතික්ෂේප කළහ. වේදයේ ගුරුත්වය නොපිළිගෙන ස්වාධීන සත්‍ය ගවේෂීව යෝග භාවනාහෝ තර්ක මාර්ගය හෝ අනුගමනය කරමින් කල් ගත කළහ.

ප්‍රශ්නය - ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ක්ෂත්‍රිය වංශයට අයත් සුවිශේෂ ශාස්තෘවරයෙකි. ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථපුත්ත. මෙතුමා ගේ චරිතාපදානය මෙන්ම ආගමික චින්තනයන් ද බුදු සමයට සමගාමී ව විස්තර වන නිසා හැකිතාක් බෞද්ධ මූලාශ්‍ර භාවිතා කරමින් ජෛනමහාවීර හෙවත් නිගණ්ඨනාථපුත්ත ශාස්තෘවරයා පිළිබඳව තොරතුරු පැහැදිලි කරන්න.

ජෛන මහාවීරතුමා

පිළිතුර - ජෛන ධර්මයෙහි සම්භාවනාවලත් තීර්ථකයන් 24 දෙනාගේ අවසාන තැනැත්තා ජෛන මහාවීර තුමාය. මොහුගේ පියා විශාලාවේ කොණ්ඩඤ්ඤපුත්ත නමැත්තා වන අතර, මව ත්‍රිශාල දේවියයි. බුද්ධිමත් දරුවකු වූ මහාවීර කුමරා අධ්‍යාපනයෙන් අනතුරුව 30 වන වියෙහි දී අභිනිෂ්ක්‍රමණය කළේය.

පිළිවෙළින් දොළොස් වර්ෂයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව යෝගී ව්‍රත සමාදන්වීමෙන් සියලු කෙළෙස් දුරුකොට ‘ජින’ තත්ත්වය ලබා ගත්තේය. අර්ධ මාගධී භාෂාවෙන් ස්වකීය ධර්ම දේශනා කළ ජෛන මහාවීරතුමා පරම අහිංසාවාදියකු වූ අතර, ඔහු අවබෝධ කොට ගත් ඤාණයෙන් - මති ශ්‍රැති අවධිමනඞපර්යාය නම් විය.

ජෛන මහාවීරතුමා තිස් වසක් පුරා ධර්මචාරිකාවක යෙදෙමින් ලෝකය පිළිබඳ තත්ත්ව 07 ක් ඉදිරිපත් කළේය. එහි පළමුවැන්න “ජීව“ යන්න ය. දෙවැන්න අජීවයයි. ලොව සියල්ල මෙම ප්‍රභේදය කිරීමට ඇතුළත් වන බව ඔහු කියයි. තෙවැන්න ‘ආශ්‍රව‘ නම් වේ. පදාර්ථ දෙක්හි සංයෝගය දක්වයි. සිව්වැන්න ආශ්‍රව සංයෝගය නිසා හට ගන්නා වූ ‘බන්ධනයි’. පස් වැන්න එම හමුවීම නැත්නම් බන්ධනය නැවැත්මයි. එම බලවේග නැති කිරීම සය වැන්නය. නිර්ජරා නමින් දක්වන අතර අවසාන මෝක්ෂය නම් වූ බලවේග සියල්ල දැවීමෙන් ලැබිය හැකි බව උගන්වයි.

අනේකාන්ත වාදය හෙවත් ස්‍යාද්වාදය නමින් හැඳින්වෙන ජෛන තර්ක ශාස්ත්‍රය ද සිත් ගන්නා සුළුය. එක් පුස්තකයක් දෙස විවිධ පැතිකඩ වලින් බලා පිළිතුරු දිය හැකි වන අතර ඒ පිළිතුරු සියල්ල සත්‍ය බව ඔවුහු කියති.

මහාවීරතුමා බුද්ධකාලීන යුගයේ සුවිශේෂ ශාස්තෘවරයෙකු වන්නේ කාර්ය පිළිබඳ ඉදිරිපත් කළ අදහස්ය. දැඩි අවධාරණයකින් යුතුව කර්මය පිළිබඳව මතවාදයන් ඉදිරිපත් කොට ඇත. ඔහුගේ අදහසට අනුව කර්මය ඇති වන්නේ ජීව හා අජීව ගැටුම නිසාය. එය ආශ්‍රව නම් වෙයි. මෙය නවත්වන තෙක්ම සත්වයාට විමුක්තියක් නැත. ඒ සඳහා තපස් චර්යාව අවධාරණය කරමින් ආශ්‍රව දවාලීමෙන් විමුක්තිය ලබා ගත හැක. බෞද්ධ කර්ම වාද හාත්පසින්ම වෙනස් මඟක් ගනිමින් මනස් කර්මවලට නොව කාය කර්මවලට මූලික අදහස් ඉදිරිපත් කර ඇත. “කාය දණ්ඩං මහා සාවජ්ජතරං පඤ්ඤපෙමි” යනුවෙන් කර්ම යන්නට දණ්ඩ යන පර්යාය වචනයක් සඳහන් කොට කාය දණ්ඩ නමින් ව්‍යවහාර කොට ඇත.

මහාවීර සීලය ද බෞද්ධ සීලයට වෙනස් ව යයි. සීලය ව්‍රතයක් වශයෙන් සැලකූ® ඔහු ප්‍රාණඝාත විරති, අදින්නාදාන විරති, අබ්‍රහ්මචරියා විරති, මුසාවාදා විරති හා සර්ව විරති යි විරති 05 ක් දක්වා ඇත. මෙයින් අබ්‍රහ්මචර්යා විරතිය පසුව ගිහියන් වෙනුවෙන් ලිහිල් කරනුු ලැබීය. ශ්වෙතම්බර දිගම්බර යනුවෙන් කොටස් දෙකක් වශයෙන් පසු කාලයේ බෙදී ගිය ශ්‍රාවක පිරිස නිර්වස්ත්‍රධාරී ශ්‍රමණ කණ්ඩායමක් වශයෙන් අද ද මධ්‍යම ඉන්දියාවෙහි දී දක්නට පුළුවන.

ප්‍රශ්නය - ඍග් වේදයේ 10 මණ්ඩලයේ 90 වන සුක්තයේ පහත සඳහන් ශ්ලෝකය වෛදික බ්‍රාහ්මණ සම්ප්‍රදායේ මූලික අදහසක් පැහැදිලි කරයි. එය කුමක්ද?

ශ්ලෝක -

බ්‍රාහ්මණස්ස මුඛමාසිද්
බාහු රාජන්‍යඞකෘතඞ
ඌරු තදස්‍ය යද් වෛශ්‍යඞ
පාදභ්‍යාම් ශුදො අජායත

සිංහල අදහස - බ්‍රාහ්මණයා බ්‍රහ්මගේ මුඛයෙන් බිහි විය. බාහු යුග්මය මගින් ක්ෂක්‍රියයා ජනිත විය. ඔහුගේ (බ්‍රහ්ම) කලවා වලින් වෛශ්‍ය නිම වූයේය. පාදයන්ගෙන් ශුද්‍රයා උපන්නේය.

පිළිතුර - මෙම වේද ගීතාවෙන් අරමුණු කිහිපයක්ම බමුණන් විසින් සනාථ කර ගෙන තිබේ. ප්‍රජා නිර්මාණයට මෙන්ම වර්ණ භේදයට ආගමික පදනමක් ආරෝපිත කිරීමෙන් පවතින සමාජ ප්‍රභේදයන්ට (කොටස්වලට) ශුද්ධ භාවයක් හා දෙව නිර්මිතයක් එකතු කිරීමෙන් ආගමික සාධාරණීකරණයක් ලබා දී තිබේ. ඒ අනුව ප්‍රජාවට වර්ණ භේදය වූ කලී අනුලංඝනීය - අභියෝග නොකළ යුතු ඊශ්වර නිර්මිත සනාතන ප්‍රභේදයක් බව ඒත්තු ගැන්විණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.