පින සහ කුසලය
			එකක් ද? දෙකක් ද?
			
			 
			අධිනීතිඥ 
			එච්.ජී.පී. මාතුරත්න 
			 
			ගෝනගල්දෙණිය වහරක අරිය චිත්තාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ
			වහරක අභයරතනාලංකාර හිමියන් සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි.
			
			 
			පින සහ කුසලය පිළිබඳ ගැටලුව ධර්මානුකූලව සියුම් නුවණින් විසඳාගත යුතුය. 
			දොඩම් ගෙඩියක් පෙන්වා ලෙල්ල සහ මදය එකක්ද ? දෙකක්ද ? ඇසූ විට දිය යුතු 
			පිළිතුර වන්නේ, කැටිකර ගත්විට එකකි. වෙන්කර බැලුවොත් දෙකකි ‘ යන්නය. 
			පින සහ කුසලයද මෙසේ තේරුම් ගත යුතුය 
			‘පින’ හෙවත් ‘පුණ්‍ය’ යනු සිත කය වචනය තුළින් කැරෙන යහපත් ක්‍රියාය. 
			කැටිකර පවසන විට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ලෙස ද, විස්තර කර කියන විට දස 
			පුණ්‍ය ක්‍රියා ලෙසද බුදු දහමේ පෙන්වා ඇත. ඛුද්දක නිකායේ ඉති වුත්තක 
			පාලියේ දෙවැනි වර්ගයේ පුණ්‍යක්‍රියා වස්තු සූත්‍රයේ මෙසේ පෙන්වා ඇත. 
			“තීණිමානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්ථූනි, කතමානි තීණි දානමයං පුඤ්ඤ 
			කිරිය වත්ථු සීලමයං පුඤ්ඤකිරිය වත්ථු භාවනාමයං පුඤ්ඤකිරිය වත්ථු ඉමානි 
			ඛො භික්ඛවෙ තීණි පුඤ්ඤතිරිය වත්ථුනිති” 
			‘මහණෙනි, මේ පුණ්‍ය ක්‍රියා වස්තූහු තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක්ද යත් 
			දාන, සීල, භාවනාය. මහණෙනි, මේ පුණ්‍ය ක්‍රියා වස්තූහු තිදෙනයහ’ යනු එහි 
			අරුතයි. 
			විග්‍රහ සහිතව පවසන විට දාන, සීල භාවනා පින්දීම පින් අනුමෝදනාව, බණ 
			ඇසීම, බණ දෙසිම, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, දෘෂ්ටිය සෘජුකරන 
			කටයුතු ලෙස දසයකට බෙදේ. මේ දස පුණ්‍ය ක්‍රියාවෝය. 
			එසේම ඛුද්දක නිකායට අයත් මහා නිද්දේස පාලියේ සුද්දට්ඨක සූත්‍ර 
			නිද්දේසයේ ( 124 පිටුව ) මෙසේ පෙන්වා ඇත. 
			“ පුඤ්ඤං වුච්චති යංකිඤ්චි තේ ධාතූනං කුසලාභි සංඛාරාං අපුඤ්ඤං වුච්චති 
			සබ්බං අකුසලං “ 
			යම්කිසි තෛ‍්‍රධාතුක කුසලාභි සංකාරයක් වේද පුණ්‍ය යැයි කියනු ලැබේ. 
			සියලු අපුණ්‍ය අකුසලයයි කියනු ලැබේ. 
			තුන් ලෝකයෙහි යහපත් පැවැත්මක් ගොඩනගන හිතකය වචනයේ ක්‍රියාකලාප 
			‘පුඤ්ඤාභි සංඛාර ‘ වෙයි ‘ පින’ යනු යහපත් පැවැත්මක් ගොඩනගන මූලික 
			ආධාරකයයි. මේ පින පිළිබ¼ඳ වැරැදි වැටහීමෙන් සමහරු පින සසර දුකට හේතුවේ 
			යැයි බියක් ඇති කර ගනී. එසේ ප්‍රකාශ කිරීමෙන් ලෝකයා මුලාවටද පත්කරයි. 
			අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මා පුඤ්ඤභාසී සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. 
			“ මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ත සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤාති “ 
			මහණෙනි, පිනට බිය නොවන්න . පින යනු සුඛයට කියන තවත් නමකි. අංගුත්තර 
			නිකාය තුන්වෙනි භාගය පළමු සන්තාසකයේ සුමණා වර්ගයේ සුමණා සූත්‍රයෙන්, ඒ 
			ගැන තවත් බුදු වදනක් පහත දක්වමි. 
			 
			පින උපකාරයකි
			
			සුමනා සිටුදුව බුදුපියාණන් වහන්සේගෙන් දාන ආනිශංස අසා දෙව්, මිනිස්, 
			ශ්‍රමණ, සැමටම පින් උපකාර වන බව පැවසූ විට එය අනුමත කරමින් මෙසේ දේශනා 
			කර ඇත. 
			“ එව මෙතං සුමනෙ ඒව මේතං සුමනෙ අලංහි සුමතෙ දුනානි දුතුං අලං පුඤ්ඤානි 
			කාතුං දෙව භූ®තස්සපි උපකාරාහි පුඤ්ඤානි පබ්බජිතස්සජි උපකාරාහි 
			පුඤ්ඤනීති” 
			සුමනාවතී තෙල එසේ මැයි සුමනාවතී තෙල එසේ එසේමැයි සුමනාවතී දන්දිය 
			යුතුමය. සුමනාවතී පින් කළ යුතුමය. දෙවි වුවහුටද පින් උපකාර වෙයි 
			මනුෂ්‍ය වූ වහුටද පින් උපකාර වෙයි. පැවිදි වූවහුට ද පින් උපකාර වෙයි. 
			මෙසේ හිත කය වචනය පුණ්‍ය කටයුතු වල ක්‍රියාත්මක වීමෙන් කුසලයට අභිසංඛාර 
			හෙවත් විශේෂ කර්මකාරක ආධාරය ලබා දෙයි. කුසලයක් ගොඩ නැගෙන්නේ පිනක 
			උපකාරයෙනි. 
			පින පිළිබඳ තවදුරටත් විමසීමේදී අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන පිනක් ඇත. 
			කුසල මූල ප්‍රත්‍යයෙන් වන පිනක් ඇත. සංඛාර යම් සේද විඤ්ඤණ එසේය. 
			(සං.නි. 2 අභිසමය සංයුත්තය පරිවිමංසන සූත්‍රය) 
			“අවිජ්ජාගතො යං භික්ඛවේ පුරිස පුග්ගලො පුඤ්ඤංව සංඛාරං අභිසංකරොති , 
			පුඤ්ඤපගං හොති විඤ්ඤාණං අපුඤ්ඤං වෙ සංඛාරං අභිසංකරොති අපුඤ්ඤා පගං හොති 
			විඤ්ඤාණං ආනෙඤ්ජං වෙ සංඛාරාං අභිසංකරොති ආනෙඤ්ජුපගං හොති විඤ්ඤාණං “ 
			මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත වූ මේ පුද්ගල තෙමේ ඉදින් පුණ්‍ය සංඛාර රැස් 
			කෙරේ නම් විඤ්ඤාණය පුණ්‍ය වේ. අපුණ්‍යාභි සංඛාර රැස් කෙරේ නම් විඤ්ඤාණය 
			අපුණ්‍ය වෙයි. ආනෙන්ජාභීසංඛාර රැස් කෙරේ නම් විඤ්ඤාණය ආනෙන්ජාභි වේ. 
			මේ පුද්ගලයෙක් ලෝකයේ කෙබඳු හෝ පැවැත්මක් සාර ලෙස සිතීම අවිද්‍යාවයි. 
			එබඳු සුගති පැවැත්මක් බලාපොරොත්තුව සිතින් කයෙන් වචනයෙන් කරන කටයුතු 
			අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන පුඤ්ඤාභිසංඛාරයි. 
			කුසල මූල පච්චයා සංඛාරා යනු තවත් පට්ච්ච සමුප්පාද ක්‍රමයකින් සසර සුගති 
			පැවැත්මක් බලාපොරොත්තු නොවී අලෝභය නිසාම දන්දීම ආදී කටයුතු කරයි. 
			අද්වේෂය නිසාම සමගියට සමාදානයට කටයුතු කරයි. දස වස්තුක සම්මා දිට්ඨිය 
			නිසාම අමෝහ කටයුතු කරයි. හේතුවට අනුව ඵලය ලැබෙන නිසාම මේ වාද ලෞකික 
			ප්‍රතිඵල ලබාදීමට හේතු වෙයි. 
			මේ දෙයාකාරයෙන්ම කරන පින්, ලෞකික වූ සුගතියට හේතු වෙයි. නිවන් මඟ 
			අනිකකි. නිවනට උපතිශ්‍රය වන පුණ්‍ය කර්මයක් ඇත. 
			 
			අසාර වූ 
			ලොවෙන් මිදීම
			
			සියලු ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් මනා නුවණින් සිහි කරන විට අසාර 
			වූ ලෝකයෙන් මිදීම හැර අන් සුවයක් නැතැයි දකින ප්‍රඥාව පහළ වෙයි. ඒ සඳහා 
			ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතු ය. සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම 
			වැඩීමෙන්ම ඒ උතුම් නිවන ලැබෙන බව, ඒ නැණවත්හු අවබෝධ කර ගනිති. 
			ලෝකෝත්තරත්වයට, නිවනට බර වූ අවිද්‍යා තෘෂ්ණා නොවන ජීවන පැවැත්මක් 
			තුළිනි. මේ මඟ වැඩිය යුතු වන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාන නුවණ 
			යන පසලැබීම, මාර්ගය වැඩීමට සැමට අත්‍යවශ්‍ය වෙයි. මේවා ලැබෙන්නේ කරන ලද 
			පින් වලිනි. යමකුගේ බලාපොරොත්තුව ලෝක සම්පත් ලබා ඒවායේ ඇලී ගැලී සිටීමට 
			නොවේ නම්, ආර්ය මාර්ගයට ආධාර පිණිස බව වටහාගෙන නම් ඒ පින ද අලෝභ, අදෝෂ, 
			අමෝහ සහගත ය. 
			ලෞකික වූ පුණ්‍ය සංඛාරවලින් ගොඩනැගෙන පටිච්ච සමුප්පාද චක්‍රය අවසන් 
			වන්නේ “එව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති” යනුවෙනි. ආර්ය 
			මාර්ගය වැඩීමට ආධාර වන පිනක් වේ නම් ඒ සංඛාරවලින් හටගන්නා පටිච්ච 
			සමුප්පාද චක්‍රය අවසන් වන්නේ. “ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති” 
			යනුවෙනි. 
			මේ පිළිබඳ සම්පූර්ණ විස්තර, විභංග ප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ 
			පෙන්වා ඇත. 
			මී ළඟට දැනගත යුත්තේ කුසල යනු කුමක් ද? පිනට වඩා එහි වෙනසක් තිබේ ද? 
			යන්නයි. 
			පින යනු, සිත කය වචනය තුළින් යහපත් දෙයක් කරන විට ඒ ක්‍රියාවෙන් 
			ගොඩනැගෙන ඵලයක් බව ඉහත කළ විස්තරයෙන් පෙනී යනු ඇත. කුසල් යනු යම් පාප 
			ක්‍රියාවක් සිදු නොවන ස්වභාවයේ පිරිසුදු මනසක් සකස් වීමයි. 
			කුණු සහිත රෙද්දක් සේදීමේ ක්‍රියාවලිය, එකකි. එවිට එම රෙද්ද පිරිසුදු 
			බවට පත් වී ඒ ඒ මට්ටමින් පිරිසුදු බව පෙනෙන්නට වීම අනිකකි. 
			රෙද්ද පිරිසුදු වී යැයි කීවේ එහි තිබූ කුණක් ඉවත්වීම මිස අමුතු යමක් 
			සකස්වීමක් නොවේ. පාප ධර්මයන්ගේ තුච්ඡ බව, නින්දිත බව වැටහෙන නුවණින් 
			මනස පාප දහම් ප්‍රතික්‍ෂේප කරගෙන යන විට මනසේ පවිත්‍ර බව පෙනෙන්නට 
			වෙයි. මේ කුසලයයි. මෙය ද ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් දෙයාකාරයකි. ලෞකික 
			වූ නුවණ මෙහෙයවා පාපයන්හි තුච්ඡ නින්දිත බව සිහි කරන විට තදංග, 
			විෂ්කම්භන යන දෙයාකාරයෙන් පාප දහම් (මනසේ නැඟී ඒම) යටපත් වී, පිරිසුදු 
			මනසක් ඔප්නැංවෙයි. එහෙත් ලෞකික නුවණකින් පාප ‘අනුසය’ දුරු නොවෙයි. 
			එබැවින් මතු කලෙක පාප කිළිටි ඇති වී දූෂ්‍ය මනසක් සැකසීමට පුළුවන. මේ 
			ආකාර වන්නේ ලෞකික කුසලයයි. 
			මනස අලෝහ ස්වභාවයට, අදෝෂ ස්වභාවයට, අමෝහ, ස්වභාවයට පත්වීම, කුසලයයි. 
			දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන විට නිතර යෙදෙන විට මේ කුසල ස්වභාව මතු 
			වන්නට වෙයි. පින සෑම විටම ක්‍රියාත්මක වන්නේ අලෝහ, අදෝෂ, සමඟ හෝ 
			නුවණින් දැන කරන විට අලෝභ, අදෝෂ, අමෝහ සමගයි. අලෝහ, අද්වේෂ චෛතසික දෙක 
			සමග ගොඩනැඟුණු පින, ද්වි හේතුක ය. අමෝහය සමඟ අලෝභ, අද්වේෂ චෛතසික සමඟ 
			යෙදුණු පින, ත්‍රි හේතුකය. 
			නිතර මේ පුණ්‍ය ක්‍රියාවල යෙදෙන විට කුසල් සිතක ස්වභාවය ඒ පින්වතුන්ට 
			නිතර අත් දකින්නට ලැබෙනු ඇත. එහි ශාන්ත ප්‍රණීත, පිබිදුණු ස්වභාවය දකින 
			විට, පාප කිළිටි සිතක හීන වූ, නින්දිත වූ දැවෙන ස්වභාවය වැටහී යනු ඇත. 
			එවිට පාපය අයහපත් බව අත්දකිනු ඇත. පාපයෙහි පෙර තිබූ පි‍්‍රය බව දැන් 
			පිළිකුල් ලෙස වැටහී, පාප විරති ස්වභාවයෙහි පිහිටනු ඇත. මෙසේ පින කුසලයට 
			ආධාර වෙයි. 
			කුසලය පිළිබඳ බුද්ධ දේශනාවක් ම.නි. 2 මහා වච්ඡ ගොත්ත සූත්‍රයෙහි දක්නට 
			ලැබෙයි. 
			සාධු මේ භවං ගෝතමෝ සංඛිත්තේන කුසලා කුසලං දෙසේතූති, සංඛිත්තෙන පි ඛො තෙ 
			අහං වච්ඡ කුසලාකුසලං දෙසෙය්‍යං විත්‍ථාරෙනපි ඛො තෙ අහං වච්ඡා කුසලා 
			කුසලං දෙසෙය්‍යං අපිච තෙ අහං වච්ඡ සංඛිත්තෙන කුසලා කුසලං දෙසිස්සාමි. 
			තං සුණාහි සාධුතං මනසි කරොති භාසිස්සාමීති 
			ඒවං හෝති ඛෝ වච්ඡ ගොත්තො පරිබ්බාජතො භගවතො පච්ච භෙසාසි භගවා එතදවොච 
			ලොභො ඛො වච්ඡ අකුසලං, අලොභො කුසලං, දොසො ඛො වච්ඡ අකුසලං, අදොසො කුසලං 
			මොහො ඛො වච්ඡ අකුසලං, අමොහො කුසලං. 
			මෙ ඛො වච්ඡ ඉමෙ තයො ධම්මා අකුසලා, තගො ධම්මා කුසලා පාණාතිපාතො ඛො වච්ඡ 
			අකුසලං, පාණාතිපාතො වේරමණී කුසලං, අදින්නාදානා ඛො වච්ඡ අකුසලං 
			අදින්නාදානා වේරමණී කුසලං කාමේසුමිච්ඡාචාරො ඛො වච්ඡ අකුසලං 
			කාමෙසුමිච්චාරා වේරමණී කුසලං, මුසාවාදො ඛො වච්ඡා අකුසලං, මුසාවාදා 
			වේරමණී කුසලං, පිසුණාවාචා ඛො වච්ඡා අකුසලං, පිසුණාවාචා වේරමණී කුසලං, 
			පරුෂාවාචා ඛො වච්ඡා අකුසලං, පරුෂා වාචා වේරමණී කුසලං සම්ඵප්පලාපා ඛො 
			වච්ඡා අකුසලං සම්ඵප්පලාපා වේරමණී කුසලං, අභිජ්ඣා ඛො වෙච්ඡ අකුසලං, 
			අභෙිඣා කුසලං, ව්‍යාපාරදා ඛො වච්ඡ අකුසලං, අන්‍යපාදො කුසලං මිච්ඡා 
			දිට්ඨි ඛො වච්ඡ අකුසලං, සම්මා දිට්ඨි කුසලං, ඉති ඛො පවච්ඡ ඉමෙ දස ධම්ම 
			අකුසලං, දස ධම්මා කුසලා. 
			මෙසේ කුසලය කැටි කර කොටස් තුනකින් ද, සවිස්තරව කොටස් දහයකින් ද විස්තර 
			කර ඇත. පාපයෙන් වෙන් වීමම කුසල් කියන බව, මෙසේ දැන ගත යුතු ය. 
			තදංග විෂ්කම්භන වශයෙන් පාපයෙන් වෙන් වන ලෞකික කුසලය අවිද්‍යා අනුසය 
			සහිත ය. සාමුච්ඡේද වශයෙන් අවිද්‍යා අනුසය බිඳ හරින ලෝකෝත්තර කුසලය 
			නිර්වාණගාමී ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් ලැබෙයි. ඒ කුසලය හඳුන්වන 
			බුදු වදනක් මෙසේ ය. (ඛු.නි. සුත්ත නිපාතයේ සභිය සූත්‍රය – 528 ගාථාව ) 
			කොසානි විචේය්‍ය කෙවලානි දිබ්බං මානුසතඤච බ්‍රහ්ම කොසං සබ්බ තොස මූල 
			බන්ධා පමු තෙතා කුසලො මාදි පවුච්චතෙ තථතනා. 
			දිව්‍ය කෝෂ, මානුෂික කෝෂ බ්‍රහ්ම ආදී වූ සකල කර්ම කෝෂ (අනිච්චාදී 
			විසින්) පිරසිඳ දැන, සර්ව කරම් කෝෂයතට මූල බන්ධන සංඛ්‍යාත අවිද්‍යා භව 
			තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූයේ තථාත්ම වාදී පුද්ගල ‘කුසල’ යැයි කියනු 
			ලැබේ. 
			එනම් අවිද්‍යා තෘෂ්ණා සහමුලින් උපුටා දැමූ සියලු පව් බැහැර කිරීමෙන් 
			කුසලය සම්පූර්ණ කළ අරිහතුන් වහන්සේ ය.. 
			මෙසේ ලෞකික කුසලය හා ලෝකෝත්තර කුසලය ද පටලවා නොගෙන දැනගත යුතු ය. 
			එසේම අභිධර්ම පිටකයෙහි කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්‍යකතා ධම්මා 
			යනුවෙන් පෙන්වා තිබීමත් පුණ්‍ය යන වචනය භාවිතා නොකිරීමටත් හේතුව දැන ගත 
			යුතු ය. එකම දානයකට සිය දෙනෙක් සහභාගි වූවත් සිය දෙනා එම කටයුතු කරන්නේ 
			සිය ආකාරයකට ය. එහෙත් එතැන සිදු වූ ක්‍රියා පද්ධති සියය, සිත් සියයක් 
			නොවේ. 
			පුණ්‍ය ක්‍රියාවන්ගේ සිය ආකාරයකි. කුසලා ධම්මා ආදී මූල මාතෘකා තුන 
			විස්තර කරන විට චිත්ත චෛතසික, රූප නිබ්බාණ යන මේ හතරකට බෙදා සිතකට 
			ආවේණික වූ ප්‍රභේද අසූනවයකින් ද ඒ සිත් තුළ ක්‍රියාත්මක වන චෛතසික පනස් 
			දෙකකින් ද සිත විස්තර කර ඇත. 
			ලෝභ, ද්වේෂ, මෝහ සහ අලෝභ, අදෝෂ, අමෝහ යන මූල හේතු හයකිනි. සිත් ප්‍රභේද 
			හට ගන්නේ පුණ්‍ය ක්‍රියා සිය දෙනකුට සිය ආකාර වූවත්, ඒ සමඟ යෙදුණු 
			අලෝභ, අදෝෂ, අමෝහ, චෛතසිකයෝ ක්‍රියාත්මක වන්නේ අට ආකාරයකිනි. එබැවින් ඒ 
			සෑම දෙනාටම පහළ වී ඇත්තේ මහා කුසල් සිත් අටෙන් එක බැගිනි. ලෝභ, දෝෂ, 
			මෝහ ප්‍රහාණයට අනුකූලව සිත් අට සැකසෙන බැවිනි. ඒවාට කුසල සිත් කියන්නේ 
			ය. පුණ්‍ය ක්‍රියාවේ ආකාරයට සිත් පැනවීමට ගියහොත් සිත් වර්ග කෝටි 
			ගණනකින්ද කියා නිම කළ නොහැකිවනු ඇත. එසේම එය අර්ථවත් ද නොවනු ඇත. 
			 
			චේතනාවට රන් විමනක්
			
			අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය සාදා පූජා කිරීමේ දී ක්‍රියාවෙන් ප්‍රථමයා 
			ය. කිසිම මිලක් හෝ ශ්‍රමයක් නොයෙදූ දුගියෙක් ඒ දැක අධික ප්‍රසාදයෙන් 
			සාධුකාර දුන්නේ ය. ක්‍රියාවෙන් ඔහු සිටියේ ඉතා පහත් තැනක ය. නමුත් 
			දුගියාට තව්තිසා දෙව්ලොව රන් විමනක්ද අනේපිඬු සිටුතුමාට ඊට පහළින් රිදී 
			විමනක් ද පහළ වූ බව ධර්මයෙහි පෙන්වා ඇත. 
			අලෝභ, අදෝෂ, අමෝහ, කුසල ගණයේ ක්‍රියාවට ප්‍රධාන වී ඇති බවට, මෙය 
			සාධකයකි. 
			ක්‍රියාව කර්ම යැයි නොකියමි. චේතනාවම කර්ම යැයි කියමි යනුවෙන් 
			බුදුපියාණන් දේශනා කළේ මේ නිසා ය. ක්‍රියාවට සහ කතාවට ප්‍රධාන වන්නේ 
			‘කාය විඤ්ඤත්ති’ හා ‘වචී විඤ්ඤති’ යන චෛතසික දෙකයි. කුසලයට මුල් වන්නේ 
			චේතනා චෛතසිකය සමඟ යෙදෙන අලෝභ, අදෝෂ, අමෝහ චෛතසිකයි. කෝටි ප්‍රකෝටි 
			ගණනකින් පුණ්‍ය හෝ පාප ක්‍රියා සිත් ගණනය කරන මිම්මක් නොවේ. සිත ගණනය 
			කරන මිම්ම වන්නේ අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල හා ලෝභ, ද්වේෂ, මෝහ යන 
			අකුසලය. මෙසේ පුණ්‍ය යන වචනය අභිධර්ම විග්‍රහයේ දී නොයෙදෙන්නට හේතුව 
			තේරුම් ගත යුතු ය. 
			සත්‍යවබෝධයෙන් සැමට නිවන් මඟ වැටහේවා!  |