Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බණට රජුන් බිහි කළ ධම්මපදය

ධම්මපදය, ඛුද්දක නිකායේ පොත් පසළොසෙහි ගැනෙන බව බෞද්ධයනට අමුතුවෙන් කිය යුත්තක් නොවේ. ඒ අතර ඛුද්දක නිකායේ වැටෙන පොත් පසළොසින් වඩාත්ම ප්‍රචලිත වූත්, ගෞරවාදරයට සහ ජනාදරයට පත් වූත් ග්‍රන්ථය ලෙස එය හැඳින්විය හැකි ය. බුදුන් වහන්සේ විසින් නොයෙක් තන්හි දෙසන ලද ගාථා සූත්‍ර පිටකයෙන් උපුටා ගෙන මෙහි බහාලන ලදැයි කියනු ලැබේ.

එවන් ගාථා 423 ක් ධම්මපදයෙහි ඇතුළත් වන අතර ඒවා වර්ග 26 කට ගොනු කර තිබේ. මේ මූලික සැකැස්ම පළමු වන ධර්ම සංගීතියේ දී ම සිදු කැරිණි යි සැලකේ. එහිලා මහාචාර්ය සිරි සීවලී හිමියෝ සිය ධම්මපදය සංස්කරණයෙහි මෙසේ සඳහන් කරති.

“ ඒ සියල්ල (ධම්මපදය ගාථා) බුද්ධ කාලය හා ත්‍රිපිටකය ලියූ කාලයත් අතර රචනා කරන ලදැ යි සිතිය හැකි ය. ධම්මපදය පිළියෙල වන තෙක් එහි ගාථා භාවිතා කරන ලද්දේ මුඛ පරම්පරා ගතවය. එසේ භාවිත කරද්දී, විශේෂයෙන් දේශනාවට හුරු පුරුදු, පුහුණු භික්ෂූන්ට, මේ ගාථාවල ප්‍රයෝජනය හා අගයත් වැඩි වැඩියෙන් වැටහෙන්නට වුණාට සැක නැත. ධම්මපදය පොතක් වශයෙන් පිළියෙල වූයේ ඒ ප්‍රයෝජනය හා අගය නිසා යැයි කිව යුතුය “

ධම්මපදය සැදැහැතියන්ගේ සිත් ඇද බැඳ ගන්නට සමත් වූයේ එහි ගාථාවල අන්තර්ගතයෙහි වූ නැණ ගුණ වඩන ඥාන සම්භාරය නිසා යැයි කියතොත් අසාධාරණ නොවේ. සැබවින්ම ධම්මපදය ප්‍රගුණ කළ පමණට එහි අගය වැඩි වැඩියෙන් නැගී සිටී. මේ සිඟිති ග්‍රන්ථය කේන්ද්‍ර කොට බිහි වූ පරිවාර ග්‍රන්ථ පෙළින් ම එය මැනවින් ප්‍රකට වනු නියතය.

ධම්මපදය, ධර්ම භාණ්ඩාගාරයකි යි කිවහැකි තරමට සාකච්ඡා කළ හැකි දහම් කොටස් ඇතුළත් කෘතියකි. යමෙක් තමා බෞද්ධයෙකි යි කියන්නේ නම්, ඔහුට ධම්මපදයෙන් ගාථා තුන හතරක් වත් මතකයෙන් කියන්නට නොහැකි වෙතොත් එය ඔහුගේ බෞද්ධකමට නොසෑහෙන්නක් වෙති යි කිව යුතු තරමට එය බෞද්ධයා සමග බැඳී සිටී. එය බොදුනු පිළිවෙත් අනුව දිවි ගෙවන්නකුට දෛනික අත් පොතක් වැනි ය.

මේ හේතුව නිසා ම ධර්ම සාහිත්‍ය ඉතිහාසය පුරා දිගින් දිගට ම ධම්මපදය විෂයයෙහි ලියවී ඇති විවරණ, වර්ණනා , අර්ථකථා , සන්න , ගැටපද ආදිය සම්භාව්‍ය ග්‍රන්ථ බවට පත්ව ඇත. පරිවර්තන එපමණක් නොව එය ජාත්‍යන්තර භාෂා රැසකටත් පෙරළා ඇත. ඒ අනුව සලකතොත් ධම්මපදය බුද්ධ දේශනාවේ ඇතුළත් ශ්‍රේෂ්ඨ දහම් කොටස් ඉදිරිපත් කැරෙන කෘතියක් වනු පමණක් නොව, සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය ග්‍රන්ථ මාලාවේ ලා ගිණිය හැකි වන්නක් බව ද සඳහන් කළ යුතුය. චිරන්තන සම්ප්‍රදාය අනුව බලතොත් ධම්මපදය අමිල බණ පොතකි. එහි අගය වෙසෙසින් දන්නාහු අපේ භික්ෂූන් වහන්සේ අතරින් බණට රුසියෝය. උන් වහන්සේලාගේ බොහෝ බණ දෙසුම් වලදී හෝ අනුශාසනා වලදි මාතෘකා පාඨය වී ඇත්තේ ධම්මපදයේ ගාථාවකි. එය මහාචාර්ය සිරි සීවලී හිමියෝ සිය ආචාර්ය පාදයන්ගේ බසින් මෙසේ සඳහන් කරති.

“ ඔය ධම්මපදයේ තමයි බුදු බණ පිඩ ! ඔය පොත පාඩම් කියනවා නම් වෙන මොකවත් ඕනෑ නෑ. තමුසෙ දැනමුතු වුණාම ඔය පොතෙන් තමයි බණට රජෙක් වෙන්නෙ.” අපේ ආදී මුතුන් මිත්තන් ආධ්‍යාපනික වශයෙන් දැනුමක් ලබා ගත්තේ බණ ඇසීමෙනි. ඒ අතර යථා කාලයේදී බණ පොත් කියවීමෙනි. බණට මාතෘකා සැපයුණු එක් කෘතියක් වූයේ ධම්මපදයයි . ධම්මපදයෙන් ගාථාවක් උපුටා ගන්නා ධර්ම දේශකයන් වහන්සේ එයට අර්ථකථනයක් කරති. ඒ අර්ථකථනය සඳහා උන්වහන්සේට බුදු හිමියන් වදාළ තත්කාලීන නිදාන කතාවක් තිබිණ. සැබවින්ම ඒ දේශනාව පසුව ධම්මපද අට්ඨකථාවක් විය. ධම්මපදය ඇසුරින් පාලි ධම්මපදට්ඨකථාව බිහි වූයේ එලෙසිනි. පාලි ධම්මපදට්ඨකථා අනුව සිතන විටත්, වෙනත් සාධක අනුවත් පාලියෙන් දෙසුණු බණක් වුව තේරුම් ගැනීමට හැකි තරමින් තත්කාලීන බස පිළිබඳ වැටහීමක් අපේ පැරණියනට තිබිණි යි සිතීම මුග්ධ කල්පනාවකි යි නොසිතේ. මිහින්තලේ දීර්ඝ පුවරු ලිපියේ බස් වහර එය තහවුරු කරනු ඇතැ යි සිතමි. ඒ කෙසේ වෙතත් ධම්මපද ගාථා 423 ක් මාතෘකා කොට දෙසන ලද බණ , පාලි ධම්මපදට්ඨකථා නමින් අද මිනුමින් ගතහොත් රෝයල් පිටු 693 කින් යුත් විශාල ග්‍රන්ථ රත්නයක් (1919 හේවාවිතාරණ මුද්‍රණය) අපට දායාදව ඇත. පාලි ධම්මපදය ඇසුරින් ධම්මපදට්ඨකථා නම් පාලි බණ පොත් වහන්සේ අපට උරුම වූ පුවත එබන්දකි. කාලයාගේ ඇවෑමෙන්, ධම්මපදට්ඨකතා ඇසුරින් තවත් ග්‍රන්ථ රත්නයක් බිහිවීමට අවශ්‍යතාවක් උද්ගත වුණු බව පෙනේ. භාෂාව ද අඛණ්ඩ පරිණාමයට ගොදුරු වන්නකි. ඒ හේතුවෙන් කල් යෑමේදී එක් සමයක යොදන ලද ඇතැම් වචන පශ්චාත් ජනතාවට තේරුම් ගත නොහැකි වනු සාමාන්‍ය තත්ත්වයකි. එසේ තේරුම් ගත නොහැකි පද හැඳින්විය යුත්තේ ගැටපද වශයෙනි. ධම්මපදට්ඨකථාවේ ගැටපද හෙවත් ගැටලු පද පෙළ ගස්වා ඒවාට තත්කාලීන බසින් අරුත් දක්වා එළි දැක්වුණු ග්‍රන්ථයක් අපේ සාහිත්‍ය වංශයට හිමිව ඇත. එනම් අබාසලමෙවන් කසුබ් රජගේ දම්පියා අටුවා ගැටපදයයි. දම්පියා අටුවා ගැටපදයෙහි, ගැටලු පදයනට අරුත් දක්වා ඇත්තේ එහි කතුවරයාට හුරු වූ ආවේණික ක්‍රමයකිනි. එහි ක්‍රමයන් වශයෙන්ම පාලි හා සිංහල දෙබසින්ම අරුත් පැහැදිලි කර ඇති බව දකින්නට ලැබෙයි. එහිලා සාමාන්‍ය වැටහීමක් ලබා ගනු වස් උදාහරණ කීපයක් දක්වනු මැනව යි සිතමි.

01. බලවපච්චුස සමයේ = බිලිපසොස් සල් සිමිවහී . පච්ඡි ම යාමාවසානං’ පච්චුසෝ , සෝ ඒව නාති ඕසානත්තා බලවපච්චූසෝ, තස්මිං බලව පච්චුස සංඛාතේ සමයේ,

02 සුත්තප්පබුද්ධෝ විය = නිඳා පුබුද්දාක්හු සෙයින්, පඨමං සුත්තෝ විය පච්ඡා පබුද්ධෝ විය = සියු බෙණෙහි නිදා පිළිසිඳ බෙණෙහි පුබුද්දාක් වැනි ය යූ සේ යි.

මේ අරුත් දක්වා ඇති හැටියෙන් අදට කෙසේ වෙතත් එදා වුවත් ගැටපද වලට දැක්වුණූ අර්ථ පැහැදිලි කර ගන්නට සිංහල හා පාලි දෙබස ම විෂයයෙහි මනා වැටහීමක් තිබිය යුතු වූ සෙයක් පෙනේ.

තවත් කලක් ගත වන විට පාලි ධම්මපදට්ඨකථා වලින් හෝ ඒවාට ගැටපද අරුත් දැක්වුණු දම්පියා අටුවා ගැටපද ඇසුරින් හෝ ධම්මපද බණ තේරුම් ගන්නට නොහැකි, නැතහොත් ඊට වඩා විස්තර වශයෙන් හෝ පැහැදිලිව සිංහල බසින්ම බණ තේරුම් ගන්නට වුවමනා සැදැහැවත් සමාජයක් ඇති වුණා විය හැකි ය. එහි ප්‍රතිඵලය වූයේ සද්ධර්මරත්නාවලිය බිහිවීමයි. එය කෙළින්ම ධම්මපදට්ඨකථා පොත ළග තබාගෙන ඒ ඇසුරින් ලියවුණු සම්භාව්‍ය කෘතියක් වන අතර අගනා බණ පොතක් ද වන බවට සැකයක් නැත. එයට ඇති තරම් සාධක ධම්මපදට්ඨකථා සහ සද්ධර්මරත්නාවලිය සැසඳීමෙන් ලද හැකිය. ධම්මපදට්ඨකථාවේ මට්ටකුණ්ඩලී වස්තුව රචනා වී ඇත්තේ වචන 1500 ක් තරම් ගණනකිනි. එහෙත් සද්ධර්මරත්නාවලියේ මට්ටකුණ්ඩලී වස්තුව වචන 3000 ඉක්මවා සිටී. දේවදත්ත වස්තුවේ ඒ දෙක වචන 2400 ක් හා 5300 ක් තරමින් රචිතය. මේ ග්‍රන්ථ දෙකෙහි වර්ණනා ක්‍රමයේ පරාසය මෙයින් වැටහෙනු ඇත.

ධර්මසේන හිමියන් විසින් “ අප කළා වූ ප්‍රබන්ධය “ නමින් හැඳින්වෙන සද්ධර්මරත්නාවලිය රචනයේදී අනුගමික ක්‍රමෝපාය කුමක් ද යනු උන්වහන්සේගේ ම බසින් දැක්වෙයි. දිගින් දිගට කැරෙන විස්තරයෙන් ද පෙනෙන්නේ සද්ධර්මරත්නාවලිය හුදෙක් ධම්මපදට්ඨකථා පරිවර්තනයකට වඩා එයින් වස්තු විෂයය උපුටා ගෙන කරන ලද ප්‍රතිනිර්මාණයක් බව යි. ධම්මපද ගාථා 423 ක් ඇත. එහෙත් ඒ එකකට එකක් වශයෙන් කථා 423 ක් ධම්මපදට්ඨකථාවේ නැත. එහි ඇත්තේ කථා 306 කි. ඇතැම් විට එක ම කථාවේ වස්තුවට ගාථා කීපයකට අදාළ එක කථා වස්තුවක් වෙයි. සද්ධර්මරත්නාවලියේ ඇත්තේ ද කථා හෙවත් වස්තු 300 කි. ඒ අතර නාගසේන වස්තුව, කෘෂ්ඨවාහන රජුගේ කථාව, සාතාගිරි - හේමවත උත්පත්ති කථාව , සූවිසි විවරණ කථා, බුද්ධචරිත කථා හා මංගල ආදී සූත්‍ර අටුවා කථා කීපයක් ද බැහැරින් ගත් ඒවා වෙයි. ධර්මසේන හිමියන් අනුගමනය කරන ලද ක්‍රමෝපාය හේතුවෙන් බිහි වූ සද්ධර්මරත්නාවලිය හදාරන විට අපට වැටහෙන්නේ උන්වහන්සේ දුලබ ගණයේ ප්‍රතිභාපූර්ණ ලේඛකයකු නිර්මාණකරුවකු සහ රසඥයකු වන බවයි.

ධම්මපදය , පරිවාර ග්‍රන්ථ පිරිවර කොට ගෙන සද්ධර්මරත්නාවලිය තෙක් පැමිණි පිය සටහන් මග සිත් ගන්නා පුවතකි.ධම්මපද ගාථා කටින් කට ගෙන එවුණේ ධම්මපද භාණකයන් විසිනි. බුදු පිරිනිවන් වසර 235 ක් ගෙවෙද්දී ඉන්දියානු භික්ෂූන් අතර දම්පියාව (ධම්මපදය) සහ දම්පියා අටුවාව (ධම්මපදට්ඨකථා) මැනවින් ප්‍රචලිතව තිබිණ. ඒවා මෙහි ගෙන එවුණේ මිහිඳු මා හිමියන් විසිනි. ඉක්බිති ඒවා කෙමෙන් සිංහලට පෙරළිණ. ඒ අතර විස්තර ද වැඩි වූයේය. කට වහරින් ගෙනෙන ලද එකී ධම්මපද සහ අටුවා ද වළගම්බා රජු කල 12 වස් දුර්භික්ෂයේදී ලියා තැබීමේ වැදගත්කම ඉස්මතු විය.

මිහිඳු මා හිමි කල සිට, පස් වැනි සියවස දක්වා හෙළටුවා වර්ධනය වී ඇත. ඒ වන විට බුදු දහම ඉන්දියාව පුරා පුනරුදයක් ලබා තිබිණ. ඉන්දියාවට ත්‍රිපිටක පෙළ පොත් තිබුණත් අටුවා පොත් තිබුණේ නැත. බුදුගොස් හිමියන් ආවේ හෙළටුවා පාලියට පෙරළා ගෙන යන්නටයි . එසේ වුවත් හෙළ දම්පියා අටුවාව පාලියට පෙරළුණේ 05 - 10 සියවස් අතර යි. එයින් හෙළ දම්පියා අටුවාව අපට අහිමි විය. පාලි ධම්මපදට්ඨකථාව හිමි විය. සද්ධර්මරත්නාවලියක් බිහි වූයේ එයිනි. ඒ 13 වැනි සියවසේදීයි.

මෙතෙක් කරුණු ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ දම්පියාව (දම්මපදය ) හෙළ දම්පියා අටුවාව (සිහල ධම්මපදට්ඨකථා) දම්පියා අටුවාව (පාලි ධම්මපදට්ඨකථාව) දම්පියා අටුවා ගැටපදය හා සද්ධර්මරත්නාවලිය අතර පවත්නා සහසම්බන්ධතාව ඒවායින් කවරක් හෝ කියවන්නකුට වඩාත් පුළුල් අයුරින් සිතා බලන්නට දිරි ගැන්වීමයි. ඒ අතර ශ්‍රේෂ්ඨ ධර්ම ග්‍රන්ථ වශයෙන් පමණක් නොව සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ වශයෙන් ද ඒවායේ අමිල ගුණය කෙරෙහි වත්මන් පාඨක ජනතාවගේ සියුම් අවධානය යොමු කරවීමයි. සාහිත්‍ය නිර්මාණකරණයේදී පැරණි සාහිත්‍යකරුවා වෙසෙසින් කල්පනාකාරී වූ බවක් පෙනේ. අපට මහා සාම්ප්‍රදායිකව සාහිත්‍යයක් උරුමවීමේදී එයට බුදුදහම බලපෑ ආකාරය පැහැදිලි ය. ඒ සාහිත්‍යයේ මූලික ලක්ෂණය වූයේ උපදේශනයයි.

“ කිව් බැව් කිවි දුමේ - කුසුම් සැපතෙහි විපුල් පෙලෙ
බොසත් සර වැනුම් - වියතෙ මුව පත් වේවා “

වැනි සංකල්පයක් තහවුරු වූයේත් ඒ නිසා යැ යි හැඟේ. ඒහෙයින් අපේ නිර්මාණකරුවන් කුසල පාක්ෂික සත්ගුණ වර්ධනයට පාඨක සිත් සතන් යොමු කරවීමෙහිලා වෙසෙසි අවධානයක් යොමු කළ බව පෙනේ. අනෙක් අතට නිරතුරු අසත් ගුණ ම ඉස්මතුව කෙරෙහි සිත යොමු වීමේදී එය කොතෙක් දුරට ගොරෝසු වේ ද යන්නත්, සත් ගුණ කෙරෙහි සිත් යොමු වන අනුපාතය අනුව කොතෙක් දුරට පහන් සිත් වැඩේ ද යන්නත් ගැන සලකා බලනු යෙහේ.පාසල් අධ්‍යාපනය ලබන ළමා සහ යොවුන් පරපුර මෙහිලා වෙසෙසි අවධානයට ලක් විය යුතු යැයි හඟිමි.

ධර්මසේන හිමියන් පහත දැක්වෙන ඡේද දෙකින්, සද්ධර්මරත්නාවලී කෘතියෙහි විවරණය කරන්නේත් මේ දෙපැත්තැ යි සිතමි.

“ අකුසලින් දුරුව වසන්නවුන් කවරක් අකුසලව පෙරදැරිව, සිටිනා සිත තණබිම් තිබියදි විෂමස්ථානයට ගොසින් නස්නා ගෙරි සරක් තණබිමට නමා රක්නා සේ තමාගේ සිතට අනික් ඉසුරු කෙනකුන් නැති හෙයින් අකුසලින් වෙන් කොට කුසල්හි පිහිටුවන්නාම ප්‍රාණවධාදී ඒ ඒ අකුසලින් වෙන්ව දුරු වන්නට කරන ව්‍යායාම නැති හෙයින් තම තමා සිත් සතන් ම හික්මවීම යහපත”

“ වදන දරුවන්ගේ මූණ දකුම්හ යන මෙවිතර ආස්වාදයකින් කවර වූත් ප්‍රසව වේදනා ඉවසන ස්ත්‍රීන් පරිද්දෙන් ලබන නිවන් රස සලකා ඇස පහරනා රුජාවෙන් වන දුක් නොසැලකූ® චක්ඛුපාල මහ තෙරුන් වහන්සේගේ වස්තුවෙහි පටන් නිවන් මහත්ව සිටිනා තුන්සියයක් වත් නමැති ම¼ඟුල් සැරහීමෙන් නිවන්පුර වදනවුන් අතර, සැතපෙන්නට සද්ධර්මරත්නාවලි නමැති ශාලාව සරහමු “


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.