රාහුල කුමරු මෙන්
දරුවන් හික්මවමු
කොබ්බෑවල,
සුමනදාස වීරසිංහ
දරුවන් හදන මවුපියන්ට ගුරුවරුන්ට ගත හැකි ආදර්ශ රාශියක් ගැබ්ව ඇති
රාහුලෝවාද දේශනා ගුරු කොට ගෙන, ඒ අනුව දරුවන් හැදුවොත් මනා හික්මීමකින්
යුත් දරුවන් බවට පත්වූවට කිසිම සැකයක් නැත.
මහණෙනි, යම් මේ රාහුල නම් ස්ථවිර නමක් වේ ද, ශික්ෂාකාමී වූ මාගේ
ශ්‍රාවක භික්ෂූන් අතුරින් මෙතෙම අග්‍ර ය” යනුවෙන් බුදු හිමියන් වදාළේ,
රාහුල හිමියන් කුඩා කල සිටම බුදුපාමොක් සඟරුවනේ ඔවදන් අනුව හැදුණු
වැඩුණු නිසා ය.
රාහුල කුමරු උපන් දින සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම ගියේ අවුරුදු 29
යේ දී ය. සිදුහත් තවුස්තුමා බුද්ධත්වයට පත්වන විට වයස අවුරුදු 35 ක්
විය. බුදු වී දෙවන වසරේ දී නැවත කිඹුල්වත් පුරයට වඩින විට රාහුල
කුමරුන්ගේ වයස අවුරුදු 07 ක් විය යුතු ය. වර්තමාන කාලයට අනුව නම්, දෙක
වසරේ ඉගෙනුම ලබන දරුවෙකුගේ වයසට සමාන ය. බොහෝ දේවල් අනුකරණය කරමින්
ඉගෙන ගැනීමට බලන, හුරතල් හා සෙල්ලක්කාර වයස ය. මෙම වයසේ පිරිමි දරුවෝ
බොහෝ විට පියා අනුගමනය කරන අතර, ගැහැණු දරුවෝ මව අනුගමනය කරති. සෙල්ලම්
ගෙවල් හදන, සෙල්ලම් බත් උයන, බෝනික්කන් නලවන, වයසයි. පිරිමි දරුවන්
බොහෝ විට පියාගේ ඇඳුම්, පැළඳුම්, කථා බහ, ගමන, කරන රැකියාව අනුව යම්
යම් දේ කරනු දක්නට ලැබෙයි. පියා ගොවියෙක් නම්, පුතා ද උදලු කෙටියක්
රැගෙන පියා පසුපස යන්නට හදන වයසයි.
බුදුහිමියන් කිඹුල්වත් පුරයට වැඩම කළ හත් වන දිනයේ දී යශෝධරා දේවිය
රාහුල කුමරුන්ට බුදුරදුන් පෙන්වා, “පුත, අර වඩින්නේ ඔබගේ පියතුමා ය.”
යනුවෙන් පවසා, ඔහු වෙත ගොස් දායාද ඉල්වා ගන්නැ’යි කියා පිටත්කර හැරියා
ය. සුරතල් රාහුල කුමරු ද බුදුරදුන් ළඟට දිව ගොස් සුළැඟිල්ලේ
එල්ලෙමින් සුරතල් වදන් තෙපලමින් ගියේ ය. කුඩා දරුවන්, වැඩිහිටියන් සමග
ගමන් කරන විට දී සෙවනැල්ලට මුවාවීම, සෙවනැල්ල පෑගීම හා ඒ ගැන ප්‍රශ්න
ඇසීම බොහෝ දරුවන්ගේ සිරිතකි.
මේ පිළිබඳ පෙළ පොත්වල වැඩි විස්තර නැතත්, රාහුල කුමරුට ප්‍රථම වරට තම
පියතුමා දැක ගැනීමට ලැබීමෙන් ඇති වූ ප්‍රීතිය නිසා එම මොහොත ;කාතරම්
ආශ්වාද ජනක වන්නට ඇත්දැයි සිතාගත යුතු ය. “ඔබගේ සෙවණැල්ල පවා මට
සිසිලක් ගෙන දෙන්නේ ය” කියා පැවසීමෙන් කුමරුට පියතුමා දැකගන්නට මෙන්ම,
ළඟ ඉන්නට මොන තරම් ඕනෑකමක් - හැඟීමක් පවතින්නට ඇති ද යන්න, තේරුම් ගත
හැකි ය.
ධර්මය ගැන කිසිම හැඟීමක් නැති, ළද බොළඳ සුකුමාල රාහුල කුමාරයාට එසේ
සිතුණත්, සත්‍යාවබෝධයෙන් සියලු සංසාර බන්ධන වලින් මිදී සිටි
බුදුරජාණන් වහන්සේට රාහුල කුමරා යනු සංසාරගත දුකින් නිදහසක් නො ලද
දුක්ඛිත සත්වයකු පමණක් විය. දරු දුක යනු දරුණු දුකක්, බැඳීමක් මිස,
විමුක්තියක් නොවන නිසා කුමාරයාට දිය හැකි ඉහළම දායාදය සප්ත ආර්ය ධනය
ලෙස සලකා ඒ සඳහා කුමරුවාට අවශ්‍ය ශික්ෂණය ලබාදීමට ආචාර්යත්වයන්
සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පවරා කුමාරයා පැවිදි කරන ලෙස දැන්වී ය.
මෙසේ රාහුල කුමරු අවුරුදු හතේ දී පැවිදි වී අවුරුදු 21 දී සියලු
කෙලෙසුන් නසා රහත් වන තුරුම, බුදුරදුන් හා සැරියුත් හිමියන් උන්වහන්සේට
දුන් අවවාද අනුශාසනා රාහුලෝවාද දේශනාවන් වන අතර, එම දේශනා රාහුල
කුමරුන්ට පමණක් නොව සියලු කුමර කුමරියන්ට මවුපියන් ගුරුවරුන්
වැඩිහිටියන් කියා දෙනවා නම් හැම දරුවකු තුළම හොඳ හික්මීමක් ඇතිකරලීමට
හැකිවනු ඇත. එහෙත් ඒ අවවාද පිළිබඳ අද වැඩිහිටියන් පවා නොදැනීම හා දන්නා
අය වුවත් ඒවා කෙරෙහි විමසා නොබැලීම නිසා, අවිචාරවත් නොහික්මුණු ගති
පැවතුම දිනෙන් දින වර්ධනය වෙමින් පවතී
මෙම සූත්‍රය මගින් බුදුරජාණන් වහන්සේ කුඩා රාහුල සාමණේරයන් වහන්සේට
බොරු කීමෙහි ඇති නොවටිනාකම, පහත් බව, අවැඩදායක බව, ඔහුගේ ළපටි සිතට
ක්‍රියා රූපක ඇසුරින් කියා දී ඇත. මෙය වර්තමානයේ කුඩා දරුවන්ට
ද්‍රව්‍ය, රූප, භාණ්ඩ ආශ්‍රය කරගෙන ඉගැන්වීමේ ක්‍රමයයි. වෙනසකට ඇත්තේ
වර්තමානයේ සාරධර්ම කුඩා හිත්වලට කාවැද්දීමට වඩා වෙනත් බාහිර ශිල්ප
ශාස්ත්‍ර කියාදීමට ක්‍රියාකාරකම් යොදා ගැනීම ය.
මෙම සූත්‍රය දේශනා කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප
නම් වූ වේලුවනාරාමයේ වැඩ වාසය කරද්දී ය. දිනක් භාග්‍යවතුන් වහන්සේ
සවස් වේලෙහි ඵල සමාපත්තියෙන් නැගී සිට අම්බලට්ඨිකායෙහි වැඩ සිටි රාහුල
හිමියන් ළඟට වැඩම කළහ. එම වේලේ දුරින් බුදු හිමියන් වඩිනු දුටු රාහුල
හිමියෝ වහා අසුන් පනවා පා සේදීම පිණිස දිය ද රැගෙන විත් බුදුන් වහන්සේ
තමන් සමීපයට වඩින තෙක් සතුටින් බලා සිටියහ. බුදුරදුන්ගේ සිරිපා
ගෞරවයෙන් දෝවනය කළ පසු තථාගතයන් වහන්සේ භාජනයේ ඉතිරි වූ දිය බිඳ
පෙන්වා, “රාහුලයෙනි, තෙපි බඳුනෙහි ඉතිරි වූ දිය ටික දැක්කාදැ”යි ඇසූහ.
රාහුල හිමියෝ, “එසේ”යැ යි පිළිතුරු දුන්හ. එවිට බුදුහිමියෝ,
“රාහුලයෙනි, මේ භාජනයේ ඉතිරි වූ දිය බිඳ දුටුවා සේ යම් කෙනකුන් දැන දැන
ම බොරු කීමේ ලැජ්ජාවක් නොදැනේ නම් ඔහුගේ ශ්‍රමණ ධර්මය අල්ප වෙයි. මෙසේ
කියමින් භාජනයේ ඉතිරි දිය ටික ද ඉවත් කර, “රාහුලයනි, බැහැර කළ අල්ප වූ
දිය ටික දැක්කේ දැ”යි ඇසූහ. “එසේ ය, වහන්ස” යැයි රාහුල සාමණේරයන්
වහන්සේ පිළිතුරු දුන්හ. “එසේ නම් රාහුල, යම් කෙනෙකුන්ට දැන දැන
බොරුකීමහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණ ධර්මය ද මෙසේ ඉවත දමන්නකි.” ඉන්
පසු ඒ දිය බඳුන යටිකුරු කොට තබා රාහුල හිමියන් අමතා,”රාහුලයෙනි, තෙපි
යටිකුරු කළ මේ දිය බඳුන දැක්කාදැ”යි ඇසූහ. “එසේ යැ” යි කී පසු,”රාහුලය,
එමෙන්ම යම් කෙනෙක් දැන දැන බොරු කීමෙහි ලජ්ජා නැද්ද, ඔහුගේ මහණ ධර්මය ද
යටිකුරු කරන ලද්දක් වෙයි.” ඉක්බිති ඒ දිය බඳුනම උඩුකුරු කොට තබා,
“රාහුලයෙනි, තෙපි මේ හිස් වූ දිය බඳුන දකී” දැයි ඇසූහ. “එසේය වහන්ස”
යැයි රාහුල හිමියන් කී පසු, රාහුලයෙනි, යම් කෙනෙකුට දැන දැන බොරු
කීමෙහි ලජ්ජා නැද්ද, ඔහුගේ මහණ ධර්මය ද මේ හිස් වූ බඳුන මෙන් හිස් යැයි
වදාළහ.
මිනිස්සු විවිධ ක්‍රම වලින් බොරු කියති. ඒ කෙසේ කීවත් බොරුව බොරුවම ය.
අවසානයේ බොරුකීමට පිළිපන් තැනැත්තාට අත්වන ඉරණම කිසිම වටිනාකමක් නැති,
කවුරුත් විශ්වාස නොකරන හිස් පුද්ගලයෙකු බවට පත්වීම ය. යමකු බොරුවෙන්
මුළා කර සතුටු වුවත්, ඔහුගේ අධ්‍යාත්මය තමන් දැන දැනම කී බව දන්නා නිසා
ඒ පීඩනයෙන් මිදීමට නොහැකි ය. කාට බොරු කළත් තමාට බොරු කර ගැනීමට නොහැකි
ය.
මෙවැනි ක්‍රියාකාරකම් කුඩා දරුවන්ගේ හැසිරීම් තුළ ද නොයෙකුත් අවස්ථාවල
දී දකින්නට ලැබෙයි. අසනීපයක් නැතිව සිටියදීම බඩේ කැක්කුමක් ඇති බවට
බොරු කියා පාසල් යාමට බැහැ යැයි කීම එවැනි
බුදුහිමියන් මෙම සූත්‍රයෙන් බොරු කීමෙන් ශ්‍රමණ ජිවිතයට සිදුවන හානිය
රාහුල පොඩි හාමුදුරුවන්ට විවිධාකාරයෙන් ඒත්තු ගන්වා ඇත. මෙම සූත්‍රය
ගිහි පැවිදි කුඩා දරුවන්ට කියා දී එවැනි බොරු කීමෙන් සහ කිරීමෙන්
ඔවුන්ට සිදුවන හානිය, අයහපත සිතට කා වදින ලෙස කියා දුනහොත් ඒ දරුවන්
කිසිම දිනක බොරු කියන්නේ නැත. අද සෑම පාසලකම පාහේ උදේට “මුසාවාදා
වේරමණී සික්ඛා පදං සමාදියාමි” (මම බොරු කීමෙන් වැළකෙමි) යන වාක්‍යය
කියවනවා විනා පාසල් කාලය තුළදීම බොහෝ දරුවෝ විහිලුවට බොහෝ විට බොරු
කියති. එසේම පාසල් වැඩ හා පාසලට නොපැමිණීමට හේතු ලෙස ද බොරු කීම
පුරුද්දක් බවට පත්කර ගෙන ඇත.
බුදුහිමියෝ කැඩපතක් උපමාවට රැගෙන සිත, කය, වචනය යන තුන්දොර හික්මවා ගෙන
ඒ ගැන නිරතුරුවම පරීක්ෂාවෙන් සිටිය යුතු බවට රාහුල හිමියන්ට අවවාද කළහ.
බුදු හිමි - රාහුලය, කැඩපත කුමක් සඳහා ද?
රාහුල හිමි - බුදු හිමියනි, එය පිරික්සා බැලීම සඳහා ය.
බුදු හිමි - රාහුල කැඩපතකින් තමා පිරික්සා බලන්නාක් මෙන්ම කයින්
වචනයෙන් සිතින් කරන කටයුතුවල දී ද ඒ ගැන පරීක්ෂාවෙන් බැලිය යුතු ය.
මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට කය, වචනය හා සිත
තිදොරින් සිදුවන හා සිදු කරන සෑම ක්‍රියාවක් ම හොඳින් පිරික්සා බලමින්
යම් ක්‍රියාවක්, වචනයක්, සිතිවිල්ලක් තුළින් තමන්ට මෙන් ම අන් අයට ද
දුකක් පිණිස හේතු නොවන පරිදි ක්‍රියා කළ යුතු බව හා එවැනි දෑ නොකළ යුතු
බවට ඔවදන් දී ඇත. මෙහි දී බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව කුඩා රාහුල
හිමියන්ගේ මනස සතර සතිපට්ඨානය හා සම්මා සතිය තුළ පිහිටුවා ඇත. කුඩා කල
සිට ම දරුවන්ට මෙසේ හොඳ නරක තේරුම් ගැනීමට ඉවහල් වන පරිදි අවවාද ලබා
දුනහොත් ඔහුට කලක් ගතවන විට සිත, කය, වචනය හික්මවා ගත් හික්මුණු
නුවණැත්තකු බවට නිරායාසයෙන් ම පත් වෙයි. එසේම තමා තුළින් අන් අයගේ දුක
සැප ආදී වේදනා, හැඟිම් තේරුම් ගැනීමට සමත් අයකු බවට පත්වෙයි. එවැනි
දරුවන් සිටින මවුවරුන්ට, පියවරුන්ට දරුවන් නිසා ඇතිවන සහනය අපමණ ය.
වර්තමානයේ බොහෝ දරුවන්ගේ මනස එකක් පරයා එකකු ඉස්මතු කරවන තරඟකාරී
අධ්‍යාපන හා සමාජ ආර්ථික ගමනකට යොමු කර ඇත. මේ නිසා දරුවන්ගේ මෙන්ම
වැඩිහිටියන්ගේ ද සිත් තුළ අසහනය, අතෘප්තිය, ඊර්ෂ්‍ය්‍යාව වැනි අසහනකාරී
හැඟිම් වැඩි වී ඇත. එයින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ද දුකට හේතුවන ක්‍රියා,
වචන හා සිතිවිලි පහළ වන බව නොරහසකි. එයට හේතුව තම තමන් විසින් තමන්ගේ
ක්‍රියා, වචන, සිතිවිලි පිරික්සා බලන්නේ නැතිව කටයුතු කිරීම ය.
මෙසේ අම්බලට්ඨක රාහුලෝවාද සූත්‍රය , රාහුලෝවාද සූත්‍රය, චූල රාහුලෝවාද
සූත්‍රය, මහා රාහුලෝවාස සූත්‍රය ආදී සෑම සූත්‍රයක්ම විමසා බැලීම තුළින්
එම සූත්‍රවල කුඩා දරුවන්ට කියා දිය යුතු බොරු කීමෙන් හා කිරීමෙන්
සිදුවන හානිය ළපටි සිත් තුළට කිඳා බැස්ස වුවහොත් එම දේශනා නිසා රාහුල
හිමියන්ට පමණක් නොව මුලු මහත් සමාජයටම ශාන්තියක් උදාවනු ඇත. මෙම
සූත්‍රවල අන්තර්ගත ධර්ම කරුණු පිළිපැදීම තුළින් මනා හික්මීමක් ඇති විනය
ගරුක පැවිදි සංඝ සමාජයක් සේම විනය ගරුක දූ දරුවන්ගෙන් හා
වැඩිහිටියන්ගෙන් සමන්විත සමාජ සංස්කෘතියක් බිහිවනු ඇත.
චූල රාහුලෝවාද සූත්‍ර දේශනාව දේශනා කොට ඇත්තේ රාහුල හිමියන්ට වයස
අවුරුදු 21 දීය. එම දේශනාව අසා රාහුල හිමියෝ සියලු ක්ලේශ ප්‍රහීන කොට
උතුම් වූ අර්හත් ඵලයට පත් වූහ. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර
ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ අන්ධ වනයේ දී එම සූත්‍රය දේශනා කළහ.
වයස අවුරුදු 7 දී පැවිදි වී අවුරුදු 21 දී රහත් ඵලයට පත්වන විට
උන්වහන්සේ පැවිදිව වසර 14 ක් ගත වී තිබිණි. එම අවුරුදු 14 තුළ
උන්වහන්සේගේ ධර්ම ඤාණය කෙමෙන් මුහුකුරා ගොස් ඇති බව දැනගත් බුදුන්
වහන්සේ ආශ්‍රව ක්ෂය කිරිමට සුදුසු කාලය එළැඹි විට මෙම සූත්‍රය දේශනා
කළහ.
ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාන්‍ය, කණ ශබ්දය හා ශ්‍රෝත විඤ්ඤාණය, නාසය ගන්ධ
හා ඝ්‍රාණ විඤ්ඤාණය, දිව රසය හා ජිව්හා විඤ්ඤාණය, කය, ස්පර්ෂය හා
පොට්ඨබ්භ, මනස, ධම්ම හා මනෝ විඤ්ඤාණය ආදී සලායතන ද, ඒ නිසා ඇතිවන රූප,
වේදනා, සඤ්ඤා, සංස්කාර විඤ්ඤාණ යන පංච උපාදනස්කන්ධයන්ගේ අනිත්‍ය භාවය ද
ප්‍රත්‍යක්ෂව අවබෝධ කර ගත් රාහුල හිමියන් රහත් ඵලයට පත් වූ අතර,
බුදුපියාණන් වහන්සේ රාහුල එතදග්ග සූත්‍රය තුළින්, මහණෙනි යම් රාහුල නම්
ස්ථවිර නමක් වේද, ශික්ෂාකාමී වූ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතුරින් මෙතෙම
අග්‍ර යැයි වදාළේ කුඩා කල සිට ම බුදු පාමොක් මහ සව්වන්ගේ අවවාද අනුව
උන්වහන්සේගේ ජීවිතය හික්මවා ගැනීමට සමත් වූ නිසා ය.
ඤාතිත්වයෙන් බුදුන් වහන්සේගේ පුත්‍රයාව ඉපදී අවුරුදු 7 දී මහණ වී
අවුරුදු 18 දී උපසම්පදා වී අවුරුදු 21 දී සියලු කෙලෙසුන් නසා රහත් වුහ.
ධර්මය අවබෝධ කර ගන්නට අවුරුදු 14 ක් ම ගත විය. මෙයින් පැහැදිලි වන්නේ සංසාර චක්‍රයෙන් ගැලවී විමුක්තිය ලබා ගැනීමට බෝධිසත්ව වරයකුගේ පුතෙකු
වී ඉපදුණත් බුදුන් දැක්කත් පහසු නොවන බවයි. ඒ සඳහා ධර්ම ඤාණයම මුහුකුරා
යා යුතුය. එබැවින් නුවණැත්තන් විසින් කළ යුත්තේ බුදුන් දැක නිවන්
දැකීමට ප්‍රාර්ථනා කිරීම නොව ධර්මය අවබෝධ කර ගැනීමට වීර්ය කිරිමය. |