ධර්ම දේශනාව:
ඇසුරට සුදුස්සා
මොරටුව,
ලුනාව උයන පාරේ
බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
අගලකඩ
සිරිසුමන හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අසත්පුරිසො භික්ඛවෙ අසද්ධම්ම සමන්නාගතො හොති, අසත්පුරිස භන්තී හොති,
අසත්පුරිස චින්තී හොති. අසත්පුරිස මන්තී හොතී, අසත්පුරිස වාචො හොතී,
අසත් පුරිස කම්මන්තො හොති, අසත්පුරිස දිට්ඨී හොති, අසත්පුරිස දානං
දෙති.
- චූලපුණ්ණම සූත්‍රය
පින්වත්නි,
පුද්ගලයෙකුගේ අභිවෘද්ධිය පිණිස කවර කාලයක වුවත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය
අවශ්‍ය වනවා. පුද්ගලයා නිවනට යොමු කරවන්නේ ද සත්පුරුෂයා විසින්.
අසත්පුරුෂයා හැම කල්හිම දුසිරිතම, පාපයට ම පුද්ගලයා රැගෙන යනවා. ඒ නිසා
ආශ්‍රය සඳහා සත්පුරුෂයන් ම තෝරා ගත යුතු වනවා. අපි ඕනම පුණ්‍ය කර්මයක්
අවසානයේ සත්පුරුෂ ආශ්‍රය පතමින්, අසත්පුරුෂයන් ප්‍රතික්‍ෂේප කරන්නට
‘ඉමිනා පුඤ්ඤකම්මේන’ යන ගාථාව කියනවා. සත්පුරුෂයා සහ සත්පුරුෂතරයා
යනුවෙන් දෙදෙනෙක් බුදුහාමුදුරුවො අපට උගන්වනවා. පංච දුශ්චරිතයෙන් වැලකී
තම ජීවිතය පුණ්‍යවන්ත කර ගත් පුද්ගලයා සත් පුරුෂයායි. එවැනි කෙනෙක්
අන්‍යයන් ද පංච දුශ්චරිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරනවා නම්, වෙහෙස වනවා
නම් ඒ පුද්ගලයා සත්පුරුෂතරයා බවට පත් වෙනවා.
පින්වත්නි,
සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නට වටිනා කරුණු කීපයක් චූල පුණ්ණම
සූත්‍රයෙහි බුදුහිමියන් වදාළා. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර
පූර්වාරාමයේ වැඩවසන සමයෙහි පුන් පොහෝ දිනයෙක සන්ධ්‍යාවේ තමන්
පිරිවරාගත් භික්‍ෂු සමූහයා වෙත සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නා
ආකාරය පිළිබඳ කළ දේශනාව මේ සූත්‍රයට ඇතුළත් වී තිබෙනවා. එයට අනුව
අසත්පුරුෂයා හඳුනා ගන්නා ලක්‍ෂණ අටක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.
මහණෙනි! අසත්පුරුෂයා පාප ධර්මයෙන් යුක්ත වෙනවා. (අසද්ධම්ම සමන්නා ගතො
හොති) අසත්පුරුෂයා අසත්පුරුෂයන්ව ආශ්‍රය කරනවා. (අසත්පුරිස හත්තො හොති)
අසත්පුරුෂයා අසත්පුරුෂ සිතිවිලි වලින් යුක්ත වනවා. (අසත්පුරිස චින්තී
හොති) අසත්පුරුෂයා අසත්පුරුෂ ලෙසට කථාවෙන් යුක්ත වනවා (අසත්පුරිස මන්තී
හොති) අස්තපුරුෂයා අසත්පුරිස වචනවලින් යුක්ත වනවා. (අසත්පුරිස වාචො
හොති) අසත් පුරුෂයා අසත්පුරිස ක්‍රියාවලින් යුක්ත වනවා. (අසත්පුරිසා
කම්මන්තො හොතී) අසත්පුරුෂයා අසත් පුරිස දෘෂ්ටි ඇත්තෙක් වනවා.(අසත්පුරිස
දිට්ඨි හොති) අසත්පුරුෂයා අසත්පුරිස දානයන් දෙනවා.(අසත්පුරිස දානං
දෙති)
මේ ආකාරයෙන් බුදුපියාණෝ අසත්පුරිස ගති පෙන්වා මෙම සූත්‍රයේදී ඊළඟට ඒ
එක් එක් කාරණාව විවරණය කර තිබෙනවා. ඒ අනුව අසත්පුරුෂයා තෙරුවන් කෙරෙහි
කිසිදු පැහැදීමක් නැති ධර්මය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති කම්මැලි
කුසීත සිහි මුළා වූ අඥානයකු බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කළා.
එමෙන්ම අසත් පුරුෂයා නිතරම ශ්‍රද්ධාව නැති, විලිබිය නැති අල්පශ්‍රැත
කම්මැලි, සිහිය මුළා වූ අඥානයන්ම ආශ්‍රයට එකතු කර ගන්නවා. අසත්පුරුෂයා
තමන්ට ද අනුන්ට ද අහිත පිණිසම සිතනවා. තමන්ටත් අන්‍යයින්ටත් නපුරු ලෙසට
සිතිවිලි ගොඩ නඟා ගන්නවා.
ඊළඟට අසත්පුරුෂයා හැම විටකම අසත්පුරුෂ කථාවෙන් යුතු වනවා කියන්නේ කරන
කථාව තමන්ටත් පීඩා ඇති කරනවා. අන්‍යයන්ටත් පීඩා පිණිස ම පවත්වනවා.
තමන්ටත් අනුන්ටත් අනර්ථය පිණිස ම හේතුවන කථා කරන්නේ අසත්පුරුෂයායි.
එමෙන්ම අසත්පුරුෂයා බොරු, කේලාම්, පරුෂ වචන සහ සම්ප්‍රලාප නිතර නිතරම
කියනවා. අනුන්ගේ වතගොත සොයමින් ඒවායේ වැරැදි අඩුපාඩු තවත් කෙනෙක් සමඟ
කියනවා. අන්‍යයන්ගේ කීර්තිය නැති වන විදියට විවිධ බොරු ප්‍රවාද හදනවා.
ඊළඟට අසත්පුරුෂයා පරපණ නසමින් සොරකමින් ම ජීවත් වන්න උත්සාහ කරනවා.
දුෂ්ට වෙළඳාම් ආදියෙහි නිතරම නිරත වනවා. මිනිසුන්ගේ ජීවිත විනාශ වන
ආකාරයෙන් මිනිසුන්ට වස විෂ විකුණනවා. ඒ වගේම තමයි කාමයෙහි වරදවා
හැසිරෙමින් ජීවිත තිරිසනකුගේ තත්ත්වයට පත් කර ගන්නේ ද අසත්පුරුෂයෙක්,
තිරිසනා හැසිරෙන්නේ තමන්ට සහජයෙන් ලැබුන චර්යාවන්ට අනුවය.
එහෙත් මිනිසුනට එහෙම නොවෙයි. මනසක් ලැබී තිබෙන්නේ සිතට එන විදියටම වැඩ
කරන්න නොවෙයි. ඒ නිසා තම හැඟීම්වලට වහල් වෙලා රාගයෙන් මුලා වෙලා සමාජයේ
සල්ලාලයන් සේ ක්‍රියා කරන්නේ අසත්පුරුෂයායි.
ඒ වගේම අසත්පුරුෂයා හොඳ නරක මෙලොව පරලොව, කර්මය හා කර්මඵලය පිළිබඳ
අවබෝධයක් ඇත්තේ නැහැ. ඒවා පිළිගන්නේ නැහැ. මෙලොවක් පරලොවක් හෝ කුසල
අකුසල පිළිබඳ විශ්වාසයෙන් තොර මනුෂ්‍යයා තම ජීවිතයේ දී මොන තරම් පාප
ක්‍රියා සිදු කර ගන්නවා ද? කුසලය හා අකුසලය පිළිබඳ විශ්වාසය නැතහොත්
කර්මය පිළිබඳ විශ්වාසය පුද්ගලයකු සදාචාරාත්මක දිවි පෙවෙතකට යොමු
කරවනවා. වැරැද්දෙන් මිදී ජීවත් වීමට උත්සාහ කරනවා. ඒත් අසත්පුරුෂයාගේ
හැටි බලන්න. ඔහු මේ කිසිවක් පිළි නොගෙන පව් කර ගන්නවා.
එමෙන්ම අසත්පුරුෂයා යමක් දෙන විට පරිත්‍යාග කරන විට තමන්ගේම ඡ\න්ම එය
කරන්නේ නැහැ. දෙන දෙය කෙරෙහිත් ප්‍රතිග්‍රාහකයා කෙරෙහිත් කිසිම ගෞරවයක්
ඇත්තේ නැහැ. තමන්ට ප්‍රයෝජනයට ගත නොහැකි දේවල් ම සොයා දන් දෙනවා.
විපාකය පිළිබඳවත් විශ්වාසයක් නෑ. සමාජයෙන් කීර්තියක් ලබා ගැනීම සඳහා
දන් දෙන අය මේ සමාජයේ ඉන්නවා.
මේ අනුව බලන්න, මෙම සූත්‍රයේ දී අසත්පුරුෂයා පාප ධර්මයෙන් යුතු බවත්
අසත්පුරුෂයන්ව ආශ්‍රය කරන බවත් සිතන සිතිවිලි අසත්පුරුෂ බවත්, කථාව වචන
අසත්පුරුෂ බවත් ක්‍රියාව හා දෘෂ්ටි අසත්පුරුෂ බවත් දන්දෙන්නේ ද
අසත්පුරුෂ ස්වභාවයකින් බවත් බුදුපියාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී වදාළා.
මේ අසත්පුරුෂයා මරණින් මතු නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලබන
බව ද බුදුපියාණන් වහන්සේ වදාළා.
එබැවින් පින්වතුනි, ඔබ හැම විටකම මේ අසත්පුරුෂ ගතිවලින් දුරුවීමට
උත්සාහ කළ යුතු සේම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අසත්පුරුෂයන් සේවනය
නොකළ යුතු බවයි ‘අසේවනාච බාලානංච නභජේ පාපකේ මිත්තේ’ යන දේශනාවන් විමසා
බලන විටත් විවිධ සූත්‍ර දේශනා විමසන විටත් මේ අසත්පුැරෂයන් ගැන බුද්ධ
දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා.
එබැවින්ම ජීවිතය ශක්තිමත් කර ගැනීම සඳහාත් මෙලොව අභිවෘද්ධිය සඳහාත්,
දුගතියෙන් බේරීම සඳහාත් නිවනට මඟ සාදා ගැනීම සඳහාත් සත්පුරුෂයන්ගේ
ආශ්‍රය සසර පුරා ලබන්නට ප්‍රාර්ථනා කළ යුතු වනවා. මේ දේශනාව කියවූ ඔබට
අසත්පුරුෂයා තේරුම් ගෙන ඔවුන්ගෙන් මිදෙන්නට හා සත්පුරුෂයා දැන හැඳීන
කටයුතු කරන්නට ඔබට ශක්තිය සැලසේවා. |