Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙනස් නොවන උතුම් ඇඳුම

ලොව ඇති සෑම දෙයක් ම ක්ෂණයක් පාසා වෙනස් වීම සනාතනික ධර්මතාවයක් ලෙස බුදුදහමෙන් ඉගැන්වෙයි. එසේනම් වෙනස් නොවන උතුම් ඇඳුම් කට්ටලයක් තිබිය හැකිද?. මෙහිදී වෙනස් නොවන යැයි අදහස් කෙරෙන්නේ අනිත්‍ය ස්වභාවයට පත් නොවීම නොව ස්වරූපය සහ හැඩතලයන් වෙනස් නොවීමයි. එසේ වෙනස් නොවන උතුම් ඇඳුම් කට්ටලය නම් අටපිරිකරයි.

සෑම බුදුවරයන් වහන්සේ නමක් මෙන්ම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් ම පරිහරණයට ගන්නේ අට පිරිකර ය. සෑම බෝසත්වරයකුට ම බුදුවන ආත්මභාවයේ දී ගිහිගෙයින් නික්ම පැවිදිවීම සඳහා අටපිරිකර පූජා කරනුයේ මහා බ්‍රහ්මයා විසිනි. ඒ ඒ කල්පවල බුදුවරයන් වහන්සේ එක නම, දෙනම, තුන්නම, හතර නම, පස් නම වශයෙන් බුද්ධත්වය ලබති. එක කල්පයක පස් නමකට වඩා බුද්ධත්වය නොලබති. පස් නමක් බුදුවන කල්පය ‘මහාභද්‍ර කල්පය’ නමින් හැඳින්වේ.සාරමණ්ඩ නමින් හැඳින්වෙන කල්පයෙහි බුදුවරු හතර නමක් පහළවෙති. ‘වර’ නම් කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. ‘මණ්ඩ’ නමින් හැඳින්වෙන කල්පයෙහි බුදුවරු දෙනමක් පහළ වෙති. ‘සාර’ නම් කල්පයෙහි බුදුවන්නේ එක නමකි.

ලෝක විනාශය වී නැවත ලොව ජලයෙන් පිරුණු විට මහා බ්‍රහ්මයා නෙළුම් ඇටයක් දමන බවත් එයින් පැළයක් හටගන ඒ කල්පයේ බුදුවරුන් ගණයට නෙළුම් මල් පිපෙන බවත් ඒ නෙළුම් මල් මත එක අටපිරිකර බැඟින් තබන බවත්, බෝසතුන් බුදුවීම සඳහා මහාභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වන අවස්ථාවේ දී එම අට පිරිකරවලින් එකක් මහා බ්‍රහ්මයා පූජා කරන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මෙහි අන්තර්ගත පිරිකර අට නම්

තීචීවරං ච පත්තෝ ච
වාසි සූචි ච බන්ධනං
පරිස්සාවේන අට්ඨේතේ
යුත්ත යෝගස්ස භික්‍ඛුනෝ

යනුවෙන් සඳහන් වේ. එනම් තුන් සිවුර, පාත්‍රය දැලි පිහිය, ඉදිකටුව, පටිය හා පෙරහන යන මේවා ය. මෙහි සඳහන් වන තුන් සිවුර නම් අඳනය, තනිපට සිවුර හා දෙපටසිවුරයි. සෑම බුදු සසුනකම මේවාහි හැඩය හා සැලැස්ම එක සමාන වූවත් ඒ ඒ කාලවල බුදුවරුන්ගේ හා ශ්‍රාවකයන්ගේ උස මහත අනුව දිග පළල වෙනස් වේ.

මිනිසා ශිෂ්ට සම්පන්න වෙත්ම ඇඳුම් භාවිතයට පුරුදු විය. එහෙත් ගිහියන්ගේ ඇඳුම් නියමිත හැඩතලයක් ප්‍රමිතියක් නැත. මෝස්තර කරුවන් නිර්මාණය කරන නොයෙක් මෝස්තර එම ඇඳුම්වල ඇත. මේ ගිහි ඇඳුම් සෑම එකක් ම පාහේ රාගාදී කෙලෙස් වර්ධනය වන අයුරු නිර්මාණය වී ඇත. බොහෝ විට ගිහියන් ඇඳුම් අඳින්නේ ශරීරය ලක්‍ෂණ කර ගැනීම සඳහා ය. ලස්සන වටිනා ඇඳුමක් ඇන්ද විට ඒ පිළිබඳව ආශාවක් ඇති වේ. තම ඇඳුම අන්‍යයන්ගේ ඇඳුම්වලට වඩා වටිනවා ය යන හැඟීම මත මානය ඇති වේ. තමාගේ ඇඳුමේ අඩු පාඩුකම් පෙන්වන විට කෝපය ඇති වේ. අන්‍යයන් ඊට වඩා හොඳ අගනා ඇඳුම් ඇඳගෙන සිටිනවා දකින විට ඊර්ෂ්‍යාව ඇති වේ.

එහෙත් චීවර පරිහරණයේ දී මෙබඳු කෙලෙස් සිතිවිලි පහළ නොවේ. කෙතරම් වටිනා රෙද්දකින් සිවුරක් මසා ගත්තත් එය විනයානුකූලව කඩ කඩ කොට කපා එකට එක්කොට මසා ඇති බැවින් වටිනාකමක් නැත. විනයානුකූල කසටක් පොවා ඇති බැවින් විශේෂිත ලක්‍ෂණයක් ද නැත. තවද බුද්ධ ශ්‍රාවකයන්ට චීවර පරිග්‍රහණයේ දී කිරීමට ප්‍රත්‍යවේක්‍ෂාවක් ද ඇත. එනම් මා මේ සිවුරු පරිභෝග කරනුයේ සීත නැතිකිරීම පිණිස ය. (සීතස්ස පටිඝාතාය) ඌෂ්ණය නැතිකර ගැනීම පිණිස ය. (උණ්හස්ස පටිඝාතාය) මැසි මදුරු, අව් වැසි, සර්ප ආදීන්ගෙන් වන කරදර නැතිකර ගැනීම පිණිස ය. (ඩංස මකස වාතාතප සිරිංසප සම්පස්සානං පටිඝාතාය) ශරීරයේ ලජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස ය. (හිරිකෝපීන පටිච්ඡාදනත්ථං) සිවුරු පරිභෝගයේ දී මෙසේ කල්පනා කරන භික්‍ෂුවට ඉහත කී ගිහි පාප චේතනා පහළ වීමට ඉඩක් නැත. තවද, භික්‍ෂුවක් සිවුරු පරිභෝග කළ යුත්තේ එහි ප්‍රයෝජනය වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් හෝ සලකාගෙන ය. පරිභෝගයේ දී කෙලෙස් නූපදී. කෙලෙස් සමනය වන බැවින් චීවරය වන්දන මානනයට සුදුසු ඇඳුමකි.

ශාසනික ප්‍රව්‍රජ්‍යාව ලබාගැනීමට නම් අටපිරිකර තිබිය යුතු ය. අධිසිල් ලබාගැනීමේ දී ද පා සිවුරු සම්පූර්ණ විය යුතු ය. අටපිරිකර පූජාවේ ඇති ආනිසංසය නම් සසර වසනතුරු මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් විෂඝෝර සර්පයන්ගෙන් චණ්ඩ මෘග යන්ගෙන් කරදරයක් නැති මනුෂ්‍ය සම්පත් ලැබීම හා දිව්‍ය සම්පත් ලැබීමයි.

එහි අවසාන ප්‍රතිඵලය නම් ‘ඒහි භික්‍ෂු ප්‍රව්‍රජ්‍යාව ලැබීමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සියතින් සිවුරු දී ගිහියන් පැවිදි නො කරති. බණ අසා පැහැදුණ ගිහියන් පැවිද්ද ඉල්ලා සිටි විට ඔවුන් සංසාරයේ දී අටපිරිකර පූජා කර ඇද්දැයි බලා පූජාකර ඇත්නම් දක්‍ෂිණ ශ්‍රී හස්තය දිගු කොට ‘මහණ, මෙහි එන්න ධර්මය මනාකොට දේශනා කොට ඇත. සසර දුක දුරු කිරීම පිණිස බඹසර හැසිරෙන්න. (ඒහි භික්‍ඛු, ස්වාක්ඛාතෝ ධම්මෝ චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය) යයි වදාරති. ඒ සමඟම එසේ ඇමතුම් ලැබූ ගිහියාගේ ගිහි වස්ත්‍රාභරණ අතුරුදහන්ව හිස ඹවුල් බෑවී, සිවුරු පෙරවී සැට වසරක් මහණදම් පුරා පළපුරුදු තෙර කෙනකුන් මෙන් බුදුරදුන් ඉදිරියෙහි පෙනී සිටියි.

භික්‍ෂූන්ට සිවුරු සාදාගැනීමට කොටු පිළි, කපු පිළි පට පිළි, කම්බිලි, හණවැහැරි පිළි, භංග පිළි හෙවත් මිශි‍්‍රත නූල්වලින් වියන ලද පිළි අනුදැන වදාරා ඇත. බුදුරජාණන් වහන්සේ දිනක් චාරිකාවෙහි වඩින විට මනාව ලියැදි බෙදා සකස්කර තිබූ මඟද ක්‍ෂේත්‍රය දැක අනද හිමියන් අමතා ආනන්දය අර පෙනෙන මගද ක්‍ෂේත්‍රය සේ සිවුර සැලසුම් කළ යුතු යයි වදාළ සේක. ඒ අනුව අනද හිමියෝ සිවුරක් සකස් කොට බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේ එය දැක මනාව සකසා ඇතැයි පසසා එම ක්‍රමයට සිවුරු මැසීමට අනුදත් සේක.

අද පවා සිවුරු මසනුයේ එම මගධ ක්‍ෂේත්‍ර ක්‍රමයට ය. එසේ මැසීමේ දී අවම වශයෙන් පස් කඩක් තිබිය යුතු ය. හත් කඩ, නව කඩ, ආදී වශයෙන් කඩ වැඩි කොට ද සිවුරු මසනු ලැබේ. එවිට වස්ත්‍රයේ වටිනාකම තව තවත් අඩුවන අතර සිවුරේ ගුණාත්මක වටිනාකම වැඩිවෙයි. වත්මන් භාවිතයට අනුව සිවුරක් මැසීමට රෙදි යාර දහයක් පමණ අවශ්‍ය වේ. මේ පිළිබඳව ‘පාරුපන වාදය’ නමින් වාදයක් ද කෙරුණි. අතිපූජණීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමිපාණෝ එම රෙදි ප්‍රමාණය අඩුවිය යුතු යැයි පවසා උන්වහන්සේ ඊට අඩු රෙදි ප්‍රමාණයකින් සිවුරු සකසා ගත්හ. ඒ අනුව පෙරවීම ද වෙනස් විය. ඒ පිළිබඳව රාජකීය පණ්ඩිත කෝදාගොඩ ඤාණාලෝක නාහිමිපාණෝ ‘පාරුපණ පාළිය’ නමින් ග්‍රන්ථයක්ද සැපයූහ.

නුවාව, මහ මැඩිලි, කුඩා මැඩිලි වස් අත්ත, ඇල අත්ත, ජඩ්ඝෙය්‍ය, ගීවෙය්‍ය ආදී නාමයන්ගෙන් හැඳින්වෙන කොටස් සිවුරක ගැබ්වී ඇත. විශේෂයෙන් කඨින චීවරයේ මේ අංග තිබිය යුතු ය. එහිදී පරණ පාවිච්චි කළ සිවුරු පච්චුද්ධරණය කිරීම අලුතින් තුන් සිවුරු ඉටා ගැනීම හා කප් බිංදු තැබීම ආදී විනය කර්ම රාශියක් කඨින චීවරය ලබන භික්‍ෂුවට කර ගැනීමට සිදුවෙයි. සංඝාටි නමින් හැඳින්වෙන දෙපට සිවුරේ ද ඉහත කී අංග තිබිය යුතු ය. මැසීමේ දී දෙපට සිවුර ගැබ ක්‍රමයට මසන අතර බෙහෙවින් තනිපට සිවුරු මසන්නේ ඉරටා මැස්මෙනි.

සිවුර කසාවත නමින් ද හැඳින්වේ. (කාසායානි වත්ථානි) මේ නිසා ඇතමෙක් කසාවත යනු කහපාට වස්ත්‍රය යැයි වරදවා ගනිති. මෙහි කසා යන වචනයෙන් ගම්‍යමාන වනුයේ කසට යන අදහසයි. විනයානුකූලව සිවුරු පඬු පෙවීමට කහට වර්ග සයක් අනුදැන වදාරා ඇත. (අනුජානාමි භික්ඛවේ ඡ රජනානි, මූල රජනං, ඛන්ධ රජනං, තච රජනං, පත්ත රජනං, පුප්ඵ රජනං, ඵල රජනං) මුල්, කඳ, පොතු, කොල, මල්, ගෙඩි, තම්බා ලබා ගන්නා කසටයි ඒ.

ඉහත සඳහන් පඬු වර්ග සයෙන් එකක් සිවුරට පොවා ගැනීමෙන් භික්‍ෂූන් වහන්සේට විශේෂ ප්‍රතිඵල ද ලැබේ. එම පාට නිසා මැසි මදුරුවන්ගෙන් වන කරදර අවම කර ගැනීමට හැකිවෙයි. එසේම අරණ්‍යවාසී භික්‍ෂූන්ට වන මාගයන්ගෙන් වන පීඩා ද අවම වෙයි. හේතුවූ එම පාට පොරවාගෙන සිටින විට වන සතුන්ට වැටහෙනුයේ වනයේම ජීවත් වන්නෙක් ලෙස ය. සිවුරු පෙරවීම පිළිබඳ මති මතාන්තර ද ඇත. එක උරයක් පමණක් වැසෙන සේ පෙරවීම, දෙ දරම වැසෙන සේ පෙරවීම ඉන් ප්‍රධාන වෙයි. “වසා තෙමඩුළු ඇඳ ඇඳනේ” යැයි සඳහන් පරිදි ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදනය වන ලෙස අඳනය ඇඳිය යුතු ය. තෙමඩුළු නම් නාභිය හා දෙ දණයි. ගොබ් ඇටය දක්වා අඳනය ඇඳිය යුතු ය. ඊට සතරඟුලක් උඩින් සිටින සේ සිවුර පෙරවිය යුතු ය. හේතුව? අඳනයට වඩා සිවුර වටිනාකමින් වැඩි නිසා ය. ජඩ්ගෙය්‍ය, ගීවෙය්‍ය යොදන්නේ සිවුරේ ආරක්‍ෂාව පිණිස ය. ජඩ්ගාවලට මැදී ගෙවී යන්නේ සිවුර නොව ජඩ්ගෙය්‍යයයි. එවිට එය ගලවා දමා නැවත ජඩ්ගෙය්‍යයක් සිවුරට අල්ලාගත හැකිය. ගීවෙය්‍ය ද එසේමය.

අට පිරිකරට අයත් වන පාත්‍රය ද භික්‍ෂු ජීවිතයට අත්‍යවශ්‍ය උපකරණයකි. ඒ පිළිබඳව ද විනය නීති රාශියක් පනවා ඇත. වාසි යනු පිහියයි. වර්තමානයේ අටපිරිකරට යොදන්නේ දැලිපිහියකි. වාසි යන්නෙන් කියැවෙන්නේ දැහැටි ආදිය කපා ගැනීමට ප්‍රයෝජනවත් වන කුඩා පිහියකි. එකල භික්‍ෂුවකට එය අතිශයින් ප්‍රයෝජනවත් විය. ඉදිකටුව ද එකල භික්‍ෂුවකට අත්‍යවශ්‍ය උපකරණයකි.

සිවුරු මැසීමට, ඉරුණු තැන් මසා ගැනුමට අලුතින් රෙදි කැබලි සිවුරට අල්ලා ගැනීමට ඉදිකටුව නැතුවම බැරිය. ඉදිකටු දමාගැනීම සඳහා සුචිඝර නමින් ඉදිකටු ගුලාවක් ද භාවිත කොට ඇත. කාය බන්ධනය හෙවත් පටිය අඳනය ඇඳ ඊමත්තෙන් බැඳගැනීම සඳහා ය. භික්‍ෂූන් වතුර පෙරාගෙනම පානය කළ යුතු හෙයින් අට පිරිකරට පෙරහනයක් ද එක් වී ඇත.

පෙර බුදුවරයන් වහන්සේගේ ශාසනවල මේ ආයුරින්ම අටපිරිකර තිබුණ බව බ්‍රහ්මයාගේ අටපිරිකර පූජාවෙන් පැහැදිලි වේ. එහි වෙනස නම් උස හා පළල ඒ ඒ කාලවල බුදුරදුන්ගේ හා ශ්‍රාවකයන්ගේ ශරීර ප්‍රමාණය අනුව වෙනස් වීමයි. බුදුවරුන්ගේ ලොව පහළ වීමද ප්‍රමාණයක් නැත. (අප්පමාණෝ බුද්ධො) එසේ නම් අටපිරිකර ද අනාදිමත් කාලයක සිට පැවතගෙන එන බව පෙනේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.