Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අවාරයේ සිරිපා කරුණාව

වේලාව මධ්‍යහ්න 12 පසු වී විනාඩි 10 ක් ගෙවී පැවතියද තවම නල්ලතන්නියට හොඳින් සූර්යාලෝකය වැටී නැත. මඳක් විවේක ගෙන සිරිපා කරුණා කිරීම ආරම්භ කරන ලදී. එම ගමන සඳහා මා සමඟ එක්වූයේ දාහතර වතාවක් සිරිපා කරුණා කිරීමේ අත්දැකීම් ඇති සුරංග ලියනාරච්චි නමැති මහතා ය.

අප සිරිපා මළුවේ දින හතරක් නැවතීමේ අටියෙන් පැමිණි අතර ඒ සඳහා අවශ්‍ය වූ කිලෝ 30 ක පමණ ආහාර මල්ල අප දෙදෙනාගේ ගමනේ වේගය සෑහෙන දුරකට පමා කරන්නක් විය. නල්ලතන්නියේ හෝටලයක් අසල සිට තවත් සගයකු අපේ ගමනට එක් විය. ඔහුගේ නම හරි හැටි නොදනිතත් විස්කෝතු වලට ඇති කෑදරකම නිසාම නඟුට වනමින් අප හා මළුව තෙක්ම පැමිණි එම සගයාගේ එක් කකුළක ආබාධයක් ඇති අතර කොර ගසමින්ම අප හා කරුණා කළේ ය.

ශ්‍රී පාදස්ථානය පාමුල පිහිටි තේ වතු වල වැඩ කරන වතු කම්කරුවන් යුහුසුළුවෙන් වැඩ කරන්නේ වර්ෂාවක් අත ළඟ දැන් දැන් එයි දෝයි සිතමින් යැයි අපට සිතුනි. තේ වතු පසු කර ටික ටික ඉහළට යත්ම දර්ශනීය වූ දිය ඇළි කීපයක්ම හාත්පසින්ම මනරම් ලෙස ගලා හැලෙන ආකාරය නෙත ගැටුණි. නමුත් ඒ දියඇලි වල එතරම් ලාලිත්‍යයක් නම් අප මීට පෙර දැක නොතිබුණි. ඊට හේතුව මේ කාලයේ හොඳින් වර්ෂාව ලැබීම විය යුතුය.

සිහින් පොදයකින් ආරම්භ වූ විශාල වර්ෂාවක් ඇද හැලෙන්නට වූ හෙයින් වැසි කබා ඇඟලා අප දෙදෙනා ඒ අසල තිබූ පඬුරු බඳින පුරාණ ගල්ලෙන් විහාරය යැයි සඳහන් කර තිබූ ස්ථානයකට ගොඩ විය. එවිට කූඩ රැගත් සිව්දෙනකු සිරිපා මළුව වෙත යනු අප නෙත ගැටුණි. ඔවුන් ගම්වැසියන් බවත් සතියකට වරක් එසේ යන බවත් ඔවුන් සමඟ කළ කෙටි සංවාදයෙන් අපි දැන ගතිමු.

වැස්ස මඳක් අඩු වූ විට නැවත පිටත් වූ අප සිද්ධාලේප හලේ සිට දිවා ආහාරය ගත්තෙමු. එම ස්ථානය අවට කඳු පන්තීන් ඉතා චමත්කාර ලෙස දර්ශනය වේ. එහි ඇති ගහ කොළ, දිය ඇලි යනාදිය දකින විට සොබාදහම අප මව්භූමිය කොතරම් සුන්දර දසුන් උරුම කර දී ඇත්දැයි කල්පනාවට නැගේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සීත ගඟුල තම සීතල උතුරා යවමින් නිසොල්මනේ ගලා යන්නේ සිහින් හඬින් ගීයක් ද මුමුනන්නාක් මෙනි. අපි දෙදෙනා ද එම සිහින් හඬද අසමින් ස්නානය කළෙමු.

ස්නානයෙන් පිරිසුදු ව අසළ ඇති බුදුමැදුර හා සමන් දේව ප්‍රතිමාව වෙත ගොස් පහන් දැල්වීමට සූදානම් වීමු. නමුත් පොල්තෙල් බෝතලය සම්පූර්ණයෙන්ම ඝණ වී ඇත. එය යථාතත්ත්වයට පත් කිරීම සඳහා අලුත් ගිනි පෙට්ටියේ ගිනි කූරු දෙක තුනක් හැර අන් සියල්ලම යෙදීමට සිදුවුණි. පහන් දල්වා අනතුරුව තුන් සූත්‍රය සජ්ඣායනා කළ අප සමන් දෙවියන්ට ද පින් දී නැවත කරුණා කිරීම ආරම්භ කළෙමු. ඒ සමඟම ඊට පැය දෙකකට මත්තෙන් හමු වූ සිවුදෙනා සිරිපා කරුණා කර නැවත එනු අප දුටුවේ ය. ඔවුන් සිව්දෙනා හොඳටම තෙත බරිතව සිටියේ ය. අප ඔවුන් සමඟ මඳක් කථා බහ කළ අතර විස්කෝතු වලින් ද ඔවුනට සංග්‍රහ කළෙමු. අපේ අලුත් සඟයා නොනවත්වා නඟුට වනන්නේ විස්කෝතු එකක් ලබා ගැනීමේ අටියෙන් විය යුතු ය. එය තේරුම්ගත් සුරංග විස්කෝතු හතරක් පහක්ම එම සගයා අසළට දැම්මේ ය.

අවට දෙපැත්තේම පඳුරු වල ඇති විවිධ වර්ණයෙන් යුත් මල් සුළඟට ඒ මේ අත වැනෙන අතර වරෙක සියල්ල මීදුමෙන් වැසී යයි. ස්වභාදහමේ මේ සෑම නිර්මාණයක්ම අවාරයේ රූපවත් වී ඇති ආකාරයක් දර්ශනය වේ. දුරුතු මාසයේ අප සිරිපා කරුණා කරන විට දක්නට තිබූ තාවකාලික කඩවල අද ඇත්තේ නෂ්ටාවශේෂයන් පමණි. මුළු පරිසරයම එකම නිහඬ ගීයක් ගයයි. එය මඳක් බිඳින්නේ කුරුල්ලෙකු පමණි. නමුත් මේ චමත්කාර ජනක දෑ, අතුරින් ඉතා අවාසනාවන්තදෑද අප නෙත ගැටුණි. එනම් අවට දෙපැත්තේ ප්ලාස්ටික් බීම බෝතල් හා වතුර බෝතල් විශාල ප්‍රමාණයක් තැනින් තැන දක්නට තිබීමයි. එසේම බිස්කට් කවර, ටොෆි කොළ හා වෙනත් නොදිරන දෑ ද දෙපැත්තේ ඇති පඳුරු මත හෙළා ඇත. එම පඳුරු තාලයට සෙලවී මුමුණන්නේ තමන් මත ඒ නොදිරන දෑ හෙලූ ඒ මිනිසුන් පිළිබඳව දෝයි අපට සිතුනි. දැන් දැන් මුළු ප්‍රදේශයම මීදුමෙන් වැසී පවතියි. සුළඟත් සීතලත් පරයමින් සිහින් පොදක් වැටෙන අතර එයත් පරදවමින් අඳුර රජකරන්නට මාන බලමින් සිටියි.

අහස් ගව්ව තරණය කිරීම අපට මඳක් අපහසු වූවේ අප සතු වූ ගමන් මළු කිහිපය නිසාම පමණක් නොව දෙපැත්තේ ඇති ගස් හා පඳුරු ටිකෙන් ටික යන මාවත ආක්‍රමණය කර තිබූ බැවිනි. අහස් ගව්වේ සිට බලන විට ඉහළත් පහළත් වටේටමත් ඇති කිසිවක් නොපෙනේ. පෙන්නේනේ අප සිටින ස්ථානය පමණි. මීදුම අඳුර එකිනෙකා පරයා දසත පැතිරෙමින් පවතියි. සුළඟේ වේගය අප වුවත් ගසාගෙන යාමට සමත්යැයි කියන්නාක් මෙන් හඹා යයි.

පළාතම වසාගත් අඳුර අතරින් විශාල ගොඩනැඟිල්ලක සේයාවක් යන්තමින් නෙත ගැටුනි. ඒ විගසම සිතට දැනුනේ මහත් සැනසිල්ලකි. ගොඩනැඟිල්ලේ පහළ කාමරයකින් නිකුත් වූ විදුලි ආලෝකය වසා ඇති දොර පරයවමින් පිටතට වැටී ඇති බැව් පෙනුණි. එම දොරට සුරංග තට්ටු කරත්ම සිනහවකින් මුව සරසා ගත් අවාරයේ මුරකරු වයි.යූ. ඉන්දික සිසිල් කුමාර මහතා හා ඔහුගේ සහායක එච්.විමලරත්න මහතා අපව පිළිගත්තේ ය.

වෙහෙස මහන්සිය නිසාම එදින කල් ඇතිව නින්දට ගිය මා එකවර අවදි වූයේ යම් පුද්ගලයකුගේ උස්කට හඬකටය. එවිට වේලාව හිමිදිරි 4.30 පමණ වන්නට ඇත. ඒ විදේශකයිනට මාර්ගෝපදේශනය සපයන්නෙකුගේ බැව් මම පසුව දැන ගතිමි. විදේශීය යුවලක් සමඟ ඔහු පැමිණ සිටියේ ඔවුනට ඉර සේවය පෙන්වීමටය. මම ද ටික වේලාවකින් පසු කැමරාව ගෙන උඩමළුව දෙසට පිය මනින්නට වූයේ ඉර සේවයේ ඡායාරූපයක් ගැනීමේ අටියෙනි. එවිට අඳුර මඳක් පැවැති අතර කුඩා ළමයෙකු වුවත් ගසාගෙන යාමට සමත් ලෙස සුළඟ ප්‍රබල වී පැවතියේ ය. මීදුමත් සීතලත් ඊට දෙවැනි නොවුණි. උදෑසන 8 ට පමණ අප දෙදෙනා සිරිපා උඩමළුව වටා හඳුන්කූරු දල්වා දුම් අල්ලන්නට විය. නමුත් දැඩි සුළඟ නිසා එම හඳුන්කූරු වැඩි වේලා දැල්වී නොපැවතියේ ය. අප දෙදෙනා ඉන්පසු ශ්‍රී පා පද්මය අසළ තුන් සූත්‍රය සජ්ඣායනා කළේ දැඩි සීතලේ හා සුළඟේ ද ඉතා අපහසුවෙනි. මේ පරිද්දෙන් අප දෙදෙනා පිටත්වන දිනය තෙක් වරු හතක් පමණ තුන් සූත්‍රය සිරිපා පද්මය අසළ සජ්ඣායනා කිරීමට තරම් වාසනාවන්තයෝවීමු. අප සිටි දින හතර තුළ අපට දේශීය වන්දනා කරුවන් කිහිපදෙනෙකු ද විදේශිකයින් දහ අට දෙනකු ද සංචාරක මාර්ගෝපදේශකයින් තුන් දෙනෙකු ද හමුවිය. ඔවුන් සමඟ අප ඉතා කෙටි කලක් තුළ සුහද විය.

මේ ආකාරයට අවාරයේ වන්දනාවේ පැමිණෙන කාහට වූවද තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට ඉන්දික හා ඔහුගේ සහායක කිසිසේත් අමතක කරනු නොලබයි. සීතලේ තෙමී පැමිණෙන්නට එය අමෘතය පරදවන්නකි. සැබවින්ම මේ අවාරයේ මුරකරුවන් විවිධ පාරිසරික හා වෙනත් දුෂ්කරතා මධ්‍යයේ තම රාජකාරියට අමතරව සිදුකරනු ලබන සේවාවන් කිසිසේත් මිල කළ නොහැකි අගනා කටයුතු වේ. අප සිරිපා මළුවේ ගත කළ තෙවැනි දවස තුළ සුපුරුදු පරිදි බුදුන් වැඳ උඩමළුවේ පිහිටි කළුගලේ කොටා ඇති සෙල්ලිපි පිළිබඳව යම් සොයා බැලීමක් කිරීමට කාලය වෙන් කෙරුවෙමු. එදින සවස අප දෙදෙනා රත්නපුර පාරෙන් බැස ඇහැල කණුව ඇති ස්ථානයට ගියෙමු.

එහි මාර්ගයේ වූ එදා භාවිතා කළ යකඩ දම්වැල් එහිදී ඉන්දික අපට පෙන්වා දුන්නේ ය. එසේම අප නැවත හැටන් මාර්ගයෙන් මඳක් පහළට ගොස් ‘භගවා’ ලෙනට පිවිසියෙමු. එහි නිශ්ශංකමල්ල රජුගේ යැයි සැලකෙන රුවක් ගලේ කොටා ඇති අතර ඒ අසළම සෙල්ලිපි කිහිපයක්ද දක්නට තිබුණි.

ඉන් පසු එම ස්ථානයෙන් ටික දුරක් පහළට ගොස් මඳක් කැලයේ පැත්තට වන්නට ඇති ළිඳක් වෙත ඉන්දික අපව ගෙන ගියේ ය. එය වටා කළු ගලක් පිහිටා ඇත.අඩි 2 1/2 ක වට ප්‍රමාණයක් ඇති එහි ගැඹුර ද අඩි 2 බැව් අප ඉන්දිකගෙන් දැන ගතිමු. කොතරම් පෑයුවත් එහි වතුර එකම මට්ටමේ ඇතිබවත් රජ කාලයේ සිට සිරිපා මළුවට පැන් ගෙන ඇත්තේ එම ළිඳෙන් බවත් මළුවේ පවත්වන පිරිත් සජ්ඣායන වලදී දැනුදු පැන් ගන්නේ එයින් බවත් ඉන්දික අපට පැහැදිලි කර දෙන ලදී. සිරිපා කරුණා කිරීම සඳහා අවාරයේ විදේශීය කාන්තාවන් පවා පැමිණෙන්නේ මෙහි ඇති සෞන්දර්යයද දැක බලා ගැනීමට ය. එසේම ගමනේ ඇති කටුක බව හා වෙහෙස ඔවුන් ලබන සතුට වේ. එසේ පැමිණෙන විදේශිකයනට මාර්ගෝපදේශනය සැපයීම ප්‍රදේශයේ සිටින ඇතැම් පුද්ගලයින්ගේ අමතර ආදායම් මාර්ගයක් වී ඇත. එය එක් පැත්තකින් යහපත් තත්ත්වයකි. නමුත් ඔවුන් සිය කාර්ය නිසි පරිදි ඉටු කරනවාද යන්න සැක සහිතය. මන්ද ඔවුන් එම විදේශිකයිනට උඩමළුවේ හැසිරිය යුතු ආකාරය හෝ කියා දෙන්නේ නැත. මේ නිසා ඇතැම් විදේශිකයින් උඩමළුවේ බිම වාඩි වී දුම්පානය කරන අවස්ථා අප නෙත ගැටුනි. එසේම මුරකරුවන්ගේ කීම පවා නොපිළිගෙන ඇතැම් මාර්ගෝපෙදේශකයින්, සිරිපා පද්මය අසළට පවා යන්නේ පාවහන් පැළඳ අද ඉතා සීතල යැයි පවසමිනි.

ඇතැම් මාර්ගෝපදේශකයින් විදේශිකයිනට ලබා දෙන්නා වූ දැනුම පිළිබඳව ද මෙහිදී අපට සතුටු විය නොහැකි ය. මා වරක් සංචාරක මාර්ගෝපදේශකයකුට උඩමළුවේ ඇති සෙල්ලිපියක් පෙන්නූ විට ඔහු එය විදේශිකයාට පැවසුවේ ඊඩඪඵ ඪඵ ච තධපඤ ඕභඤඤඩච එපධබඥ ච පධඬ තඥබබඥප යනුවෙනි. ඉන්පසු සිනහමුවින්ම මම විදේශිකයාට එය නිවැරදි කර දුන්නෙමි. මෙම ප්‍රදේශයේ අනුමැතිය ලත් මාර්ගෝපදේශකයින් සිටිනුයේ එක් අයෙකු බවත් අපට දැන ගන්නට ලැබුණි. මේ නිසා එම පිරිසට වගකිවයුත්තන්ගේ මැදිහත්වීමකින් යම් දැනුමක් අවබෝධයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ. මන්ද මේ තත්ත්වය තුළ ඉතා වැරදි අදහස් විදේශිකයින් තුළට කාන්දුවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි හෙයිනි. එහෙත් මෙම සැබෑ තතු අප හෙළි කරන ලද්දේ මේ අහිංසකයින්ගේ බඩ ගෝස්තරයට ගැසීමේ අදහසින් නොව ඔවුන් තවත් ශක්තිමත් කිරීමේ අටියෙන් බවද සිහිපත් කළ යුතු ය. අවාරයේ වුව සෑම දිනකම පාහේ විදේශීය සංචාරකයින් දෙතුන් දෙනෙකු හෝ පැමිණෙන නිසාවෙන් ශ්‍රී පාදස්ථානයේ ඓතිහාසික වටිනාකම පිළිබඳ වූ කිසිඳු සටහනක් උඩමළුවේ ප්‍රදර්ශනය කර නොතිබීමද යම් අඩුපාඩුවකි. එවැන්නක් ඉංගී‍්‍රසි භාෂාවෙන් සකසා ශ්‍රීපාමළුව ආසන්නයේ තැබීමද ඉතා කාලෝචිතවනු නියතය.

එදින රාත්‍රී ආහාරය ගෙන අප සිව්දෙනා පැය ගණනක සතුටු සාමිචියේ නිරත විය. එහිදී කතාබහට ලක්වූයේ ශ්‍රී පාදස්ථානය කේන්ද්‍රව සිදු වූ අත්භූත සිදුවීම් පිළිබඳවය. එහිදී මීට පෙර මෙහි වසර ගණනාවක් මුර කළ ෂමලරත්නගේ ඥාතීයකු එවැනි සිදුවීම් ගණනාවකට භාජනය වූ බැවි අප ඔවුන්ගෙන් අසා දැන ගනිමු. එසේම මෙම සමන්තකූට පර්වතය කේන්ද්‍ර කොට ගෙන මෙහි වනාන්තරයේ රහතන් වහන්සේලා පවා වැඩ සිටින බවට ඔවුන් විශ්වාස කරයි. අවස්ථා කිහිපයකම භික්‍ෂූවක් පැමිණ මොහොතින් අතුරුදහන් වීමක් පිළිබඳ පුවතක් ද ඉන්දික අපට පැවසුවේ ය. එසේම ඉන්දික හා විමලරත්න පැවසූ ආකාරයට ශ්‍රී පාද පද්මය ආශි‍්‍රතවද විවිධාකාර අද්භූත සිද්ධීන් සිදුවේ.

සෑම පෝය දිනකම පාහේ එහි ඝාණ්ඨාරය නොනවත්වා නාදවන බව ඔවුන් පැවසුවේ ය. එසේම එම ඝාණ්ඨාරයේ ස්වරූපය අනුව එය සුළඟට නාදවීමට ඉඩක් නොමැති බැව් උදයේ ඒ වෙත ගිය අපට අවබෝධ විය. එසේම රාත්‍රීයට නොයෙක් අවස්ථා වලදී පද්මය අසළින් සමන්පිච්ච මල් වල සුවඳට සමාන සුවඳක් එන බවත්, ඇතැම් අවස්ථාවල රාත්‍රීයට පිරිත් සජ්ඣායනා කරන ශබ්ද හේවිසි ශබ්ද සාධුකාර නාද ඇසෙනවා මෙන්ම විවිධාකාර එළි පවා දැක ඇති බවත් ඔවුන් දෙදෙනා කියා සිටියේ ය.

ශ්‍රී පාදස්ථානය සැබවින්ම සොබා දහමේ මහඟු දායාදයක් පමණක් නොව ගුප්ත සිද්ධීන්ගෙන් ද සැදුම්ලත් පුණ්‍ය භූමියකි. එහි නිරන්තරයෙන් පුදුමාකාර ගුප්ත දේ සිදුවේ. නමුත් එවැනි ගුප්ත දේ විද්‍යාවන් තුළින් සනාථ කිරීමට අපහසු ය. නමුත් එවැනි දෑ විද්‍යාවන් තුළින් සනාථ නොවනු නිසාම එවැනි දෑ සිදු නොවේ යැයි කීමට තරම් අපි මුග්ධ නොවෙමු. අප දෙදෙනාටද ජීවිතයේ සුවිශේෂි වූත් පුදුමාකාර වූත් අත් දැකීමක් ශ්‍රී පා උඩ මළුව තුළදීම ලැබීමට හැකි විය. එම සිද්ධීන් විද්‍යාවට ගෝචර නොවුණද තාර්කික මනසකින් විමසූ විට ඒවායේ යම් සත්‍යතාවයක් දැකිය හැකි වේ.

විශේෂයෙන් අවාරයේ දී ශ්‍රී පාදස්ථානය තුළ ඇති සුන්දරත්වය නොයෙක් ගුප්ත සිදිධීන් හා බද්ධ වී ඇති ආකාරයක් අපට යාන්තමින් මෙන් වැටහේ. බුදු පහස ලද මේ පුණ්‍ය භූමිය අපගේ මතු පරපුරට මෙලෙසින් රැක දිය යුතු සේම එහි අගය හා වටිනාකම ඔවුනට කියාදිය යුතුය. එහිදී ශ්‍රී පාදස්ථානය රැක ගැනීමේ සුවිශාල වූ කාර්යභාර්යක් මේ ලක්දෙරණ මත ජනිත වූ සෑම අයකු වෙත ම පවතී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.