Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත නිවන ආනාපාන සති ධ්‍යානය

සම්බුද්ධ දේශනයෙහි මූලික පරමාර්ථය වූයේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට සිතේ නිවීම ඇති කර ගන්නේ කෙසේ ද යන්න ලෝ වැසි ජනයාට පෙන්වා දීමය. සිතේ නිවීම ගැන සලකා බලන කල ඒ සිත නිවන මාර්ගය නම් බෞද්ධ භාවනා පිළිවෙත ලෙස දත යුතුය. එසේම බුදු දහමේ හදවත ද භාවනාවය. එහෙයින් කාමාදී අරමුණු බැහැර කොට සිතේ නිවීම සනසාලන ආනාපානසති භාවනාව තුළින් ධ්‍යාන සිත් උපදවාලන්නේ කෙසේදැයි සලකා බැලීම වැදගත් කරුණකි.

ඔබ මේ ලෝකයට උපන් මොහොතේ සිට මරණය දක්වා නොකඩවා සිදු කරන විශේෂ කාර්යයකි හුස්ම ගැනීම සහ හෙළීම. එය අප විසින් නිරායාසයෙන් සිදු කරනු ලබන කාර්යයකි. එහෙත් එම ක්‍රියාවලියට කිසිදු වටිනාකමක් මීට පෙර අප ලබා නුදුන්නා විය හැකිය. ආනාපානසති භාවනාවේ දී සිදු කරනු ලබන්නේ මෙතෙක් නුදුන් එම වටිනාකම එම ක්‍රියාවලියට ලබා දීම ය. එනම් ස්වාභාවිකව නාසයෙන් ඇතුළුවන පිටවන හුස්ම රැල්ල කෙරෙහි සිහිය උපදවා ඒ කෙරෙහි අවධානයෙන් සිටීම ආනාපානසති භාවනාව නම් වෙයි.

ආනාපානසති භාවනාව තුළින් ධ්‍යාන සම්පත්ති ඉපදවීමට බලාපොරොත්තු වන යෝගාවචරයන් විසින් ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා ගත යුතුය. එනම් බාහිර ශබ්ද වලින් තොර ස්ථානයක් ම මේ සඳහා තෝර ගත යුතුය. මේ සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ ආරණ්‍ය සේනාසන හෝ තම විහාරස්ථානයේ වැඩිපුර ජනයා නොගැවසෙන ස්ථානයක්ය. අනාපානාසතිය ආරම්භ කිරීමට ප්‍රථම තමා හොඳ සීලයක පිහිටා තෙරුවනට මල් පහන් පුදා දෙවියන්ට හා මළගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව පිළිවෙළින් බුද්ධානුස්සති, මෛත්‍රී භාවනාව, අසුභානුස්සති හා මරණානුස්සති ආදී සතර කමටහන් සුළු වේලාවක් ප්‍රගුණ කළ යුතුය. අනතුරුව, ‘එම්බල පමාවන පුරුෂය, තට වැඩ පිණිස, ජරා මරණ පැමිණීමට මත්තෙන් වහා භාවනා කරව‘ යනාදී වශයෙන් තමාටම අවවාද කොට, බුද්ධ පර්යංකයෙන් වාඩි වී, ශරීරය ඍජුව තබාගෙන කර්මස්ථානයට සිත යොමු කළ යුතුය. මෙහි දී හුස්ම රැල්ල නාසිකා අග්‍රයෙහි ගැටෙන ස්ථානයෙහි සිත පිහිටුවා ගෙන සිහියෙන් යුතුව හුස්ම දෙස අවධානයෙන් සිටීම කළ යුතුය. මෙහි දී ඔබ උවමනාවෙන් හුස්ම ගැනීම හෝ හෙළීම නොකළ යුතුය. එය ස්වාභාවිකවම සිදුවීමට ඉඩ හැරිය යුතුය. මෙසේ නාසිකා අග්‍රයෙහි ගැටෙමින් ඇතුළුවන හුස්ම රැල්ල, වැඩි වේලාවක් ඇතුළුවෙමින් පිටවන බව මුලින් ප්‍රකට වන්නට ඉඩ ඇත. එහෙත් ටික වේලාවක් භාවනා කරන විට දීර්ඝ වශයෙන් ප්‍රකට වූ හුස්ම කෙටි වශයෙන් ප්‍රකටවීමක් දැකිය හැකිය. එයට හේතුව නම් ඔබ භාවනා කෘත්‍ය සඳහා අසුන් ගැනීමට මත්තෙන් ක්‍රියාකාරීව පැවැති සිරුර සඳහා වැඩි වශයෙන් අම්ලකර වායු ප්‍රමාණයක් (ඔක්සිජන්) රුධිරයට අවශ්‍ය වූ නිසා බවත්, පසුව සිරුරේ ඇති වූ සන්සුන් බව නිසා අවම අම්ලකර වායු ප්‍රමාණයක් රුධිරය සඳහා අවශ්‍ය වූ නිසාත්ය. මෙසේ දීර්ඝ හුස්ම කෙටි හුස්මක් බවට පත් වූ බව දත යුතුය. කෙසේ නමුත් නාසිකා අග්‍රයෙහි හුස්ම රැල්ලක් ගැටෙමින් ඇතුළුවන විට ඔබ ඒ කෙරෙහි සිහිය ඉපදවිය යුත්තේ ‘ඇතුළු වනවා, ඇතුළු වනවා’ යැයි මෙනෙහි කිරීමෙනි. හුස්ම පිට වන විට ‘පිටවනවා, පිටවනවා’ ආදී වශයෙනි. තම නාසිකා අග්‍රය තුළින් වැඩි වේලාවක් හුස්ම ඇතුළු වන විට වැඩි වේලාක් හුස්ම ඇතුළු වනවා යැයි අවබෝධයෙන් දැන සිටීම ඇති විය යුතු ය. හුස්ම පිටවන විට ද වැඩි වේලාවක් නාසයේ ගැටෙමින් පිටවන බව දැනගත යුතුය. මෙසේ වැඩි වේලාවක් හුස්ම රැල්ලට සිහිය පිහිටුවා සිටින විට ආශ්වාස වායුව හා ප්‍රාශ්වාස වායුව කෙටි වශයෙන් (ස්වල්ප වේලාවක් තුළ) ඇතුළුවන බවත් පිටවන බවත් දැනෙන්නට වෙයි. ඔබ කළ යුත්තේ ඒ දැනෙන ආකාරයට සිහිය පැවැත්වීමය. මේ ආකාරයෙන් ආශ්වාස ප්‍රාශ්වාස වායුවට සිහිය පිහිටුවා සිටින විට භාවනාව ආරම්භ කරන අවස්ථාවට වඩා වැඩි කැමැත්තක් (භාවනාව අත් නොහැර දිගින් දිගටම ප්‍රගුණ කිරීමට ඇති කැමැත්ත) ඇතිවී ඉතා සියුම් ලෙස හුස්ම රැල්ල ප්‍රකට වන්නට වෙයි. මෙසේ අතිශයෙන් සියුම් වන හුස්ම රැල්ලත් සමගම මුළු සිරුරම පිනායමින් ඇතිවන ප්‍රමෝදය උපදින්නට වෙයි. මේ තරුණ ප්‍රිතිය නම් යැයි දත යුතුය. මෙහිදි පිනා යන ගතියෙන් යුතුව ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රකට වීම ඇතිවන්නේ ය. මේ අවස්ථාව වන විට කිසි සේත්ම මෙම කර්මස්ථානය අත් හැරීමට සිතක් පහළ නොවන්නේය. එය නිරාමිස ප්‍රීතිය උපදවන අවස්ථාවකි. ඒ සමගම ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳීගොස් නොදැනෙන තරමට එය සියුම් භාවයට පත්වන්නේය.

ආශ්වාස ප්‍රාශ්වාස වායුව මෙසේ සියුම් වී නොදැනී යෑමත් සමගම මීට පෙර නොදැනුණු ආකාරයකට නැවත හුස්ම රැල්ල ප්‍රකට වන්නේය. මෙසේ වෙනස් ආකාරයකට ප්‍රකට වූ හුස්ම රැල්ල කෙරෙහි සිහිය පැවැත්විය යුත්තේ මුල, මැද, අග, යන තුන් ස්ථාන ප්‍රකට වන සේ සිහිය පැවැත්වීමෙනි. හුස්ම රැල්ලේ මුල නම් ආශ්වාසය නාසිකා අග්‍රයෙහි ගැටෙමින් ඇතුළුවීමට පටන් ගැනීමය, මැද නම් පටන් ගැනීමටත් අවසන් වීමට අතර තුර ඇතුළුවෙමින් පවතින අවස්ථාවය, අග නම් හුස්ම ඇතුළුවී අවසන්වීමය. මෙසේ ප්‍රාශ්වාස වායුව පිළිබඳව ද එසේම දත යුතුය. එමෙන්ම මතක තබාගත යුතු කරුණක් නම් තුන්තැන ප්‍රකට කරගැනීම යැයි සිතා හුස්ම රැල්ල පසුපස සිත රැගෙන යාම නොකළ යුතු බවය. එසේ කිරිමෙන් පපුවේ තද ගතිය, හිසේ තදවීම් ද ඇතිවිය හැකිය. එසේම මේ හුස්ම රැල්ල අනුව සිහිය පැවැත්වීමේදී වායුව ඇතුළුවන විට ඇතුළු වනවා ඇතුළු වෙනවා ආදී වශයෙන් ඇතුළුවී අවසන් වන තුරුම ද පිටවන විට පිටවනවා පිටවනවා යැයි පිටවී අවසන් වන තුරුද මෙනෙහි කිරීම කළ යුතුය. මෙහිදී සමහර යෝගීනට හුස්ම රැල්ලේ මුල කොටසද අයකුට මැද කොටසද සමහරෙකුට අග කොටසද හොඳින් ප්‍රකටව දැනෙන්නේය. කෙසේ වෙතත් මෙකී තුන් ස්ථානයම මනාව පුරුදු පුහුණු නොකර ඉදිරියට යා නොහැකි බව දත යුතුය. මෙසේ කර්මස්ථානයට සිත යොමු කරන යෝගියාගේ සිතට මහත් සොම්නසක් සමගම හුස්ම සංසිඳීයන්නාක් මෙන් දැනෙන්නට වෙයි. කයෙහි යම් ;වහෙසක් තිබුණි නම් ඒ සියල්ල සන්සිඳී ගොස් ශාන්ත සුවයක් දැනෙන්නට වෙයි. පසුව සම්පූර්ණ වශයෙන්ම හුස්ම රැල්ල නොදැනී ගියේ යැයි යෝගියාට දැනෙනු ඇත. මේ ආනාපාන සතියේ ස්වභාවයයි. සමහර යෝගීන්ට තමාගේ හුස්ම නැවතිනිදැයි මේ අවස්ථාවේදී බියක් ඇති වෙයි. බිය නොවී සිහියෙන් සිටිනු මැන. විනාඩි 1 හෝ 2 ක් වැනි ස්වල්ප කාලයකින් නැවත හුස්ම රැල්ල ප්‍රකට වීම ආරම්භ වෙයි. මින්පසු ආනාපාන සතියේ නිමිති පහළවීම ආරම්භ වෙයි. මෙහිදි නිමිත්ත ලෙස තමාට ප්‍රකට වන්නේ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලම බව දත යුතුය. සමහර යෝගීනට තමා වලාකුළක් බඳු ස්ථානයක හැපෙන ලෙසද පුළුන් ගොඩක හැපෙන ලෙසද මෙම නිමිත්ත දැනීමට ඉඩ ඇත. අයකුට මෙම නිමිත්ත ප්‍රකට වන්නේ සූර්යයා හෝ චන්ද්‍රයා තමා ඉදිරියේ පවතින්නා සේය. මෙම අවස්ථාවේ භාවනා වේ අත්දැකීම් ඇති ගුරුවරයකුගේ උපදේශ ලබා ගැනීම ඉතා වැදගත්ය. යෝගියා භාවනාවේ හසල අත්දැකීම් සහිත අයෙකු නම් පහසුවෙන් මෙම නිමිත්ත තෝරා ගත හැකි වන්නේය. මෙය ආනාපාන සතියේ උද්ග්‍රහ නිමිත්ත පහළ වීම යැයි යෝගියා තේරුම් ගත යුතුය. ඉහතින් දක්වන ලද පරිදි මෙම නිමිත්ත නම් තම හුස්ම රැල්ලම බව දත යුතුය. මෙසේ නිමිත්තට සිත යොමුකරන යෝගියාට මෙම උද්ග්‍රහ නිමිත්ත තුළින්ම ප්‍රතිභාග නිමිත්ත පහළ වන්නේය. එය මෙම උග්ග්‍රහ නිමිත්ත තුළින්ම පැනනගින නිමිත්තකි. උදාහරණයකට කියතහොත් පොහෝ දින අකාශයෙහි පායා ඇති චන්ද්‍රයා වළාගැබකින් ආවරණය වී ඇති විට කිසියම් ආලෝකයක් ආකාසේ ඇත. එහෙත් හදිසියේම ආවරණය වී පැවැති වලා ගැබ විවර කරගෙන චන්ද්‍රයා ආකාශයෙහි ප්‍රකට වූවා සේ මෙකී උද්ග්‍රහ නිමිත්ත තුළින් ඊට වඩා සිය දහස් ගුණයකින් යුත් ප්‍රභාස්වර ගතියක් ඇති කරමින් මෙම ප්‍රතිභාග නිමිත්ත ප්‍රකට වන්නේය. මෙහිදී පහළ වූ නිමිත්ත වර්ණ වශයෙන් ආලෝක වශයෙන් මෙනෙහි නොකළ යුතුය. නිමිත්තටම සිත යොමු කළ යුතුය.

මෙහිදී ආශ්වාසයට යොමු වූ සිත එකක්, ප්‍රාශ්වාසයට යොමු වූ සිත අනෙකක් හා නිමිත්තට යොමු වූ සිත අනෙකක් යැයි යෝගියාට ප්‍රකට විය යුතුය. මෙම අවස්ථාව ඔබගේ ජීවිතයේ මීට පෙර අත් නොවිඳින ලද වටිනා මොහොතකි. ඒ තුළින් තමාට දැනෙන සුවය වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරම්ය. සිතේ තිබූ කාමච්ඡන්දාදි නීවරණයෝ දැන් සිඳී ගොස්ය. මීළඟට ඔබේ කර්මස්ථානය අර්පණාවට (ප්‍රථම ධ්‍යානයට) යොමු කිරීමට නම් භාවනාවට අසප්පාය කරුණු වන (භාවනාවට ඇති පළිබෝධ) දෙතිස් කථා වල නිරත වීම, ස්ත්‍රී පුරුෂ දර්ශනය, පිරිස් සහිත ස්ථාන වල වාස ආදිය අනිවාර්යයෙන්ම දුරු කළ යුතුය. මෙම කරුණු දුරු නොකළේ ද අර්පණාව (ධ්‍යාන) ඉපදවීමට නොහැකි වනු ඇත.

ඉහත කී ආකාරයට ප්‍රකට වූ ප්‍රතිභාග නිමිත්ත සක්විති දරු ගැබක් සුරකින රාජ බිසවක මෙන් යෝගියා විසින් සුරැකිය යුතුය. මීළඟට ඔබ කළ යුත්තේ පහළ වූ ප්‍රතිභාග නිමිත්ත තමාට හොඳින් කීකරු කර ගැනීමය. එනම් නිමිත්තේ යම් ආකාරයේ නිශ්චල භාවයක් නොමැති යැයි ඔබට හැඟේ නම් එය නිශ්චල වනවා යැයි සිතින් අධිෂ්ඨාන කළ යුතුය. එවිට නිමිත්ත නිශ්චල වෙයි. අනතුරුව නිමිත්ත දෙසටම සිත යොමු කරන්න. ප්‍රතිභාග නිමිත්ත ඉදිරියට හා පසුපසට රැගෙන යෑමට හොඳ පුරුද්දක් ඇති කරගන්න. එය අධිෂ්ඨාන කිරීමෙන්ම හුරු කරගත යුතුය.

මෙසේ තමාගේ සිතට අවශ්‍ය ආකාරයට කීකරු වූ නිමිත්ත අවසානයේ තමා ඉදිරියට නිරායාසයෙන් පැමිණෙන්නේ යැයි දර්ශනය වන්නේය. මෙහිදි නිමිත්ත තුළින් සිත ඉවතට නොගැනීමට වග බලා ගත යුතුය. අනතුරුව ඉදිරියට පැමිණි නිමිත්ත තුළ තමා කිඳා බැස්සා සේ මීට පෙර නොලද අත්දැකීමක් ඔබට දැනෙනු ඇත. දැන් ඔබේ සිත හා මෙම ප්‍රතිභාග නිමිත්ත යන මෙම ධර්ම දෙක, දෙකක් නොව එකක් ම බව ඔබට වැටහෙනු ඇත. මෙය ආනාපාන සති භාවනාවේ රූපාවචර ප්‍රථම ධ්‍යානයට ඔබ පිවිසුණු අවස්ථාව ලෙස දත යුතුය.

මෙම අවස්ථාවේදී ඔබට දැනෙන සුවය වචනයෙන් කියා නිම කළ නොහැකිය. ඔබ මෙතෙක් කාලයක් කාම ලෝකයේ සිට කාමයන්ට මුල්තැන දෙමින් වාසය කළ අයකු නම් ඒ කාමයන්ගේ ඇති අතිරේක බව (නිරර්ථක බව) මෙම අවස්ථාවේදී මනාව ඔබට වැටහෙනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.