Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රුදුරු හඬට තැති ගත් රජ...

ඒ රෑ තුන් යාමය බරණැස් රජුට නිදි නොමැති රාත්‍රියක් වූයේ ය. නොනිදා රැය පහන් කළ රජු සිතට නිරතුරුවම වද දුන්නේ රෑ මධ්‍ය යාමයේ සවනට වන් ශබ්ද අට කවරේද ? එයින් තමන් හටත්, රාජ්‍යයටත්, වැසියාටත් වන විපත් කවරේද යන්නය.
පළමු ශබ්දය රජ දෙසවන් වැටුණේ රජ උයන අසළ දිය සිඳුණ පොකුණ සමීපයෙනි. ඒ කොකෙකුගේ ඇඬීමය. ගත හී ගඩු නොනැගුණ ද කොකා ගේ ඇඬීම රජ සිත විපිළිසර කරවීය. දෙවනුව ඇසුණු ශබ්දය ඇත්හල තොරණ අසළ රැඳී හුන් කැවිඩි ධේනුවගේ හැඬීමය. රජ සිත සැනසුම තෙවන වරටත් බිඳ ඇඩූයේ රජ ගෙයි කැණිමඬලේ කඳ පණුවෙකි.
එපමණකින් නොනැවතුණි. කඳ පණුවා ගේ හඬ යටපත් වන්නාහාම රජ ගෙයි කූඩුවක ලගින කොවුලකු ගේ හැඬුම ඇසිණි. කොවුලා හඬා අවසන්වනවාත් සමගම පස්වෙනි වරටත් රජ සිත සසල කරමින් රජ ගෙයිම ඇති දැඩි වන මුවෙක් හඬාලීය..එමතුද ...? සයවෙනි වරට රජ ගෙයිම මැදිරියක ලගින වඳුරෙකු ගේ හඬද .. සත් වෙනුව කින්නරයකු ගේ හැඬුමද.. අට වෙනුව උදාන ගාථා සමූහයක හඬද සවනට වැටුණෙන් රෑ තුන්යම නොනිදා රැය පහන් කරන්නට රජුට සිදුවිය.
රැය පහන් වී ඉර නැගෙන්නාහාම රාජ සේවයට පැමිණි බරණැස පුරෝහිත බමුණු තෙමේ.. රජ ගෙදරට විත් රජු බැහැදැක සුවදුක් විචාරන්නේය..
‘කිමද.. දේවයන් වහන්ස... රාත්‍රිය සැපසේ ගෙවුණේද ...?’
‘එම්බා පුරෝහිතය.. සැපයක් නම් කොයින්ද ?.. රෑ සවනට වන් ශබ්ද අටක් නිසා භයින් මුසපත්ව නිදි නොලද්දෙමි..’
‘කවර... කවර නම් ශබ්ද ඇසුණේද දේවයිනි...’
පුරෝහිත බසට රජු තමහට ඇසුණු ශබ්ද මේ... මේ යැයි කියා පෑමෙන් පසු, පුරෝහිතයා මෙසේ කියන්නේය.
‘දේවයන් වහන්ස.. මේ භයංකර ශබ්ද අටකි..ඔබ වහන්සේටත්..රාජ්‍යයටත් මහත්ම නපුරකි...මෙයින් මිදීමට සර්‍වචතුෂ්ක නම් යාගය කරවිය යුතුය...’
පුරෝහිත බමුණා ගේ වදන් පිළිගත් රජ තෙම යාගයට වුවමනා නොයෙක් සත්ව, පක්‍ෂි හා මිනිස් සමූහයා එකතු කොට යාගය සූදානම් කරන්නට ... වූහ.. පුරෝහිත බමුණා ගේ අතවැසි ශිෂ්‍යයෙක් මේ කරන්නට යන්නා වූ ප්‍රාණඝාතය නොරිස්සයි.. ඔහු පුරෝහිතයාට මෙසේ කියයි..
‘ආචාරිනී...අප උගන්නා වේද ශාස්ත්‍රයෙහි මෙබඳු වූ ප්‍රාණඝාතයක් ගැන කී යාග කර්මයක් නැත..මේ ප්‍රාණඝාතයට හවුල් නොවන්නෙමි...’ යි එතැනින් පලා යන්නේ මෙසේ සිතන්නේය...
‘මෙබඳු වූ මහා පාප කර්මයකින් මේ රජුත් පුරෝහිතයාත් මුදවාලන්ට සමර්ථ වූවෝ කවරහුද..පරීක්ෂා කොට බලමි..’
එසමයෙහි පුරන්නා වූ බෝධි සම්භාර ඇති අප මහා බෝසතාණෝ.. ගිහි ගෙය අතැර හිමාල වනයට ගොස් තවුස් දම් පුරන්නේ.. බරණැස් නුවරට පැමිණි ගමනක රජු ගේ මඟුල් උයනේ වසන්නේය..පුරෝහිත අතවැසි තෙම ඒ බව දනී...පුරෝහිත බමුණා හා රජු එක්ව කරන්නට යන මහත් වූ ප්‍රාණඝාතා දී අකුසලය දුටු හේ එය වළක්වාලන අදහසින් බෝසත් තවුසාණන් වෙත ගියේය. ‘තාපසයාණන් වහන්ස.. පෙරදා රැයේ ඇති වූ ශබ්ද අටක් නිසා අප ගේ රජ්ජුරුවන් වහන්සේ බොහෝ සේ බිය වී හිඳිති..ශබ්ද අර්ථය විසඳූ පුරෝහිත බමුණා, ඒ ශබ්ද වල විපාකයෙන් මිදෙන්නට සව¢චතුෂ්ක නම් යාගයක් කරණු පිණිස බොහෝ සත්ව ජාතී ප්‍රාණ වධයට කැප කරන්නට සූදානම් වන්නේය..නුඹ වහන්සේ රජු හික්මවා ප්‍රාණඝාත අකුසලයෙන් රජු මුදවා ගත මැනැවැයි’ කීය.
තාපසයන් වහන්සේද ‘යහපති’ යි පිළිතුරු දුන් විට පුරෝහිත අතවැසි තෙමේ රජ්ජුරුවන් සමීපයට ගොස් කියන්නේ...
‘ස්වාමීනී.. නුඹ වහන්සේට ඇසුණු ශබ්ද අටේ අර්ථ විචාරන්නට සමර්ථ වූ කෙනෙකුන් මගුල් උයනේ වැඩ වෙසෙති.. එතැනට ගොස් අර්ථ විචාල මැනවි..’
රජ්ජුරුවෝද එබස් පිළිගෙන තාපසයාණන් හමුවට ගොස් පෙරදා තමනට නින්ද නැති කළ ඒ ශබ්ද අට කියන්නේ, මෙසේ තාපසයාණන් අර්ථ විග්‍රහ කරති..
‘රජ්ජුරුවෙනි දිය සිඳුණු පොකුණේ හුන් කොකා’ පළමුව මේ පොකුණේ සිටි මත්ස්‍යයින් බඩ පුරා කා බී සැනසුණෙමි..දැන් දිය සිඳී ගිය කල මැඩියන් කන්නට සිදු වී යැයි දුකින් හඬාලීය.. පොකුණේ දිය පුරවාලුවහොත් යළි එම ශබ්දය නොනැගෙනු ඇත..නුඹ වහන්සේට ඉන් වන අයහපතෙක් නැත..’
ඇත් හල තොරණේ වෙසෙන කැවිඩිය ගේ දරුවන් ඇතුන් විසින් පාගා මරාලූ හෙයින් පුත්‍ර ස්නේහයෙන් ඇය හැඬුවා මිස එයින් වන අනර්ථයෙක් නැත.. තුන් වනුව හැඬූ කඳ පණුවා රජ ගෙයි කැණිමඬලේ වසන්නේය.. යන එන තැනක් නැති හෙයින් මම මින්කවදා ගැලවෙම්ද .. කවදා බඩ පුරා ගොදුරු ලබම් දැයි’ දුකසේ හැඬුවේය.. කැණි මඬල බිඳ කඳ පණුවා රැගෙන දමාපිය මැනවි..’
සිව්වනුව කොවුලා හැඬූයේ ‘මා හට මේ සිර කූඩුවෙන් මිදී පලායන්නට ඇත්නම් රිසි සේ ගස් උඩ හිඳ පලා පල අනුභව කොට සැප සේ හිඳින්නට තිබුණා වනැයි සිතාය. ඉන් තොපට වන අයහපතක් නැත.. පස්වැනිව මුවා හැඬූයේ ‘වැද්දකුට හසුව මෙවන් බන්ධනයකට හසු නොවූයේ නම් වනයේ සැපසේ වාසය කරන්නෙම් වේදැයි කියාය.. සයවෙනුව වඳුරා හැඬූයේ වැඳිරියක නිසා කාමයෙන් මත්ව අවුත් බන්ධනයකට හසු නොවූයේ නම් වනයේ රිසි සේ ඇවිදිනෙම් වේදැයි කියාය...
සත්වන ශබ්දය නම්.. කින්නරා හඬන්නේ... තම ප්‍රිය වූ කින්නරාවිය හැර බන්ධනයකට වැටුණේය..මින් මිදෙන්නට ඇත්නම් මා පි‍්‍රයාවිය හා වනයේ සැපසේ වාසය කළ හැකි වේයැයි’ සිතාය. එයින්ද නුඹ වහන්සේට වන අයහපතක් නැත...
අටවෙනි ශබ්දය නම්... එක් පසේ බුදු කෙනෙකුන් වහන්සේ නමක් හිමාල වනයේ සිට පිරිනිවීම පිණිස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් ගේ උයනට යන්නෙමැයි සිතා වඩින්නේ...ආකාශයට නැගී ‘මා හට නැවත උත්පත්තියක් නොවන්නේය.. මින් චුතව නිර්වාණ පුරයට පැමිණ නිවන් සුව අනුභව කරන්නෙමි..’ යි යනාදී උදන් ඇනූ හඬය.. මේ කිසි හඬකින් තොපට හෝ රාජ්‍යයට අනර්ථයක් නැත්තේය..’ යැයි අෂ්ට ශබ්දයන් ගේම අර්ථ විසඳා වදාළ සේක..
ශබ්ද අර්ථ විග්‍රහයෙන් රජුු තාපසයන් කෙරේ සිත් පහදවා යාගය සඳහා බන්ධන ගත කොට තිබූ සතුන් මුදා හැර දමා පසේ බුදුවරයාණන් වහන්සේ ගේ සිරුර ද ආදාහනය කරවූහ.
අනුපමේය වූ කරුණා නිධාන වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ඉකුත්වත් වදාරා අවසන් වන්නාත් සමඟම කොසොල් රජු ට මහත් සැනසීමක් ඇති විය. කොසොල් රජුට ද පෙරදා රැයේ නින්ද නොමැති වුයේ.. රෑ පුරා ඇසුණු භයානක ශබ්ද පෙළක් නිසාය.. එයින් කැළඹුණු කොසොල් රජු උදාසනම ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේට මේ බව සැල කළෙන්..
‘මහරජ බිය නොවව..මෙයින් තොපට කිසිදු අන්තරායක් නැත්තේය.. මෙබඳු ශබ්ද ඇසුවෝ තොප පමණක් නොවේ... පෙරත් රජ දරුවෝ.. මෙබඳු ශබ්ද අසා අනුවණයින්ගෙන් උපදෙස් ගෙන ප්‍රාණඝාත අකුසලය කිරීමට සූදානම් වුවද නුවණැත්තන් ගේ පිහිට ලැබ ඒ ප්‍රාණඝාත අකුසලයෙන් මිදී සුවපත් වූයේ යැයි ඉකුත් වත් වදාරා රජු සනසාලු සේක..
‘මහරජ .. ශබ්ද නම් නොයෙක් හේතු නිසා හට ගනී. ඒවායින් තොපට හෝ රාජ්‍යයට කිසි අනර්ථයෙක් නැත. ප්‍රාණඝාතාදියෙන් මිදී කුසලධර්මයන්හි ඇලී සිටින්නේ නම් එවන් ශබ්දවලින් තොපට ඇති වන කාරියක් නැතැයි වදාරා..එසමයෙහි බරණැස් රජු නම් මෙසමයෙහි ආනන්ද ස්ථවිරයෝය. පුරෝහිත අතවැස්සා නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය.. තාපසව උපන්නේ බුදු වූ මම්ම වේදැයි.. දක්වා අෂ්ට ශබ්ද ජාතකය දේශනා කළ සේක.
(අෂ්ට ශබ්ද ජාතකය ඇසුරිනි)
 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.