මහ සමුදුර තරණය කළ පුත් රුවන
උඩුබද්දාවේ, සෝමරත්න බන්නැහැක
එය මගී ප්‍රවාහනය සඳහා යොදාගත් රුවල් නැවකි. සිය දෙනෙක් පමණ
යාත්‍රිකයෝ එහි වූහ. ඔවුනොවුන් ඉතා සතුටින් සන්සුන්ව තම රටවල් බලා ගමන්
කරමින් සිටි එම නෞකාව ගැඹුරු මුහුද මැද දී අනපේක්‍ෂිත ලෙස හමා ආ
දැවැන්ත කුණාටුවකට හසු විය. අති බිහිසුණු හඬක් නංවමින් දිය සුළි
කරකවමින් හමා ගිය චණ්ඩ මාරුතය නැව පාලනය කළ කපිතාන්වරයාගේ ගමන් මඟට
බාධා කෙළේ ය. එහෙයින් නැව ඉදිරියට ගෙනයාමට ඔහු ගත් වෑයම නිෂ්ඵල විය.
රළ ගෙඩි මත හැපෙමින් දියෙහි ඒ මේ අත පාවෙමින් ගමන් ගත් යාත්‍රාව
බෙහෙවින් දුබල තත්ත්වයකට පත් විය. කුණාටුවට එරෙහිවැ මහ සයුර මැද මහ
සටනක් කළ නෞකාව එයින් පරාජිත වැ අවසානයේ රුවල් සහ කුඹගස් බිඳී සුණු
විසුණු වැ ගියේ එහි ගමන් ගත් මගීන් ගේ නොයෙකුත් විලාප හඬ මැද්දේ ය.
ගත වූයේ නිමේෂයකි. යාත්‍රාව තුළ ගමන් කළෝ ඇතැමෙක් දියෙහි ගිලුණෝ ය.
ඇතැමෙක් රළ පහරට යට වෙමින් යළි ඉන් මතු වෙමින් ඒ මේ අත පාවුණේ ය. ශක්ති
සම්පන්නයෝ සුන්බුන් වූ නැවේ ලී කොටන් හෝ වෙන යම් ආධාරයක පිහිටෙන්
ආරක්‍ෂාව පතා ගොඩ බිම් සොයා පිහිනීමට දැඩි වෙහෙසක් ගත්හ.
මේ අතර පන් තිස් වියේ පමණ පසු වූ පාංශු දේහධාරී එක් යෞවනයෙක් නැවෙන්
කැඩී වෙන් වී ගිය කුඹගස් කැබැල්ලක් දෑතින් බදාගෙන තම ළය මඩලට තුරුළු කර
ගනිමින් නැති වූ කිසිවක් සොයන්නාක් මෙන් සුන්බුන් වූ නැව අතර එහා මෙහා
පිහිනමින් සිටියේ ය.
තාරුණ්‍යයේ සුන්දරත්වය ඔහු කෙරෙන් පලා නොගොස් සිටි බැවින් දෝ ඔහු ඉතා
කඩිසරය. ජව සම්පන්න ය. බිහිසුණු ගැඹුරු මහා සමුද්‍රය මේ අපූර්ව තරුණයාට
ගොඩ බිමටත් වඩා හුරු පුරුදු බවක් මවා පෑවේ ය.
වරෙක හෙතෙමේ දළ රළ පෙළට හසුව ඊට යට වුණේ ය. යට වූ රළ පහරින් මතු වැ යළි
ඔහු දිය මත පාවුණේ ය. දියෙන් මතුවීමත් සමඟ ඔහුගේ මුව පුරා ඇතුළු වූ
කරදිය උගුර වහා කාරා මුවින් ඉවත ලා දැම්මේ ය.
කරවටක් මුහුදු දියෙන් වැසී ගිය ඔහුගේ සිරුරින් දර්ශනය වූයේ හිස පමණෙකි.
ඔහුගේ බාහු යුග්මය විසින් මැඩගෙන තරයේ වැළඳ ගත් කුඹගස් කැබැල්ල ඔරුවක
කොල්ලෑවක් මෙන් සමුද්‍රය තරණයට ඔහුට මහත් රුකුලක් විය.
ස්වභාව ධර්මය නිසාවෙන් සිදු වූ සියලු අතවරයන්ට නොපසුබට වීර්යයෙන් මුහුණ
දුන් තරුණයා දැඩි වෙහෙසට පත් ව සිටිය ද ඔහුගේ වටකුරු මහත් වූ දෑස්
දීප්තිමත් වැ බැබලුණේ ය. කුමක් හෝ දෙස එම දෑස් සෘජුව යොමුවන බවත්
පෙනුණේ ය.
අනතුරින් විනාශයට පත් නැවේ කුඹගසෙහි ඉතිරි වැ තිබූ බඹයක තරම් කොටසක්
දියෙන් නො වැසී ඒ මේ අත වැනෙමින් තිබුණේ ය. එහි පාමුල වටා රොක් වූ නැවේ
සුන්බුන් ය.
කුඹගස් කෑල්ලේ ආධාරයෙන් අනතුර සිදු වූ ප්‍රදේශයේ එහා මෙහා කරක් ගසමින්
සිටි මේ යෞවනයා එහි පිහිනා යමින් සිටියේ තමා යම් කිසිවක් අපේක්‍ෂා කරන
විලාසයෙනි. ඔහුට එම ඉසව්වට සමීප වීමට තිබුණේ බඹ හත අටක් තරම් කෙටි දුර
ප්‍රමාණයකි.
අවට සමුද්‍ර ජලය පෙර මෙන් බිහිසුණු නොවී ය. එහි සන්සුන් බවක් පැවැතුණේ
ය. එයින් ඔහුට ඉදිරියට පිහිනා යාමට පහසුවක් ලැබුණේ ය. අනතුරට පත්
නැවෙන් දිවි ගලවා ගත් එකද ප්‍රාණියකු හෝ ඉතිරිව ඇද්දැයි ඔහු දෙනෙත්
යොමා පිරික්සී ය. එහෙත් එවැන්නකු ඔහු ගේ නෙත ගැටෙන්නටත් පෙරැ, “පුතේ,
මගෙ පුතේ, මගෙ රත්තරං පුතේ, මා මෙහි පුතේ, මෙතෙන්ට මැදිවෙලා. ඉන්ට පුතා
ඉන්ට, කෝ මට පුතාගෙ අත දෙන්ට, හා... හා.... බලාගෙන නගින්ට මේ ලෑලි ගොඩට
මෙතන හොඳයි. ආරක්‍ෂාවයි. ඒ වුණත් හෙල්ලෙන්ටවත් බෑ පුතේ! මාව හුස්මක්
හෙලන්ට බැරි තරමට හිරවෙලා. මම දන්නවා මගෙ පුතා මා හොයාගෙන එන බව. මම
දෙයියං යැද්ද පුතේ, පුතාට අතුරු අන්තරාවක් නොවන්නට ය කියලා. දෙවියෝ මගේ
කන්නලව්වට ඇහුම්කන් දීලා පුතාව මා ළඟටම ගෙනාවා. දැන් ඉතින් මාව මළත්
කමක් නෑ පූතේ. පුතා ජීවත් වුණොත් මට හොඳටම ඇති පුතේ”
අතොරක් නෑර එසේ කියා ගෙන ගිය වදන් හඬ දුබල ය. වෙව්ලුම් සුළු ය. ඒ අන්
කිසිවෙකුගේ හඬක් නොවේ. මහ මුහුද දෙවනත් කරමින් දෙතුන් පැයකටත් වැඩි
කාලයක් ජල රකුසා සමඟ සටන් වැදෙමින් සෙවිල්ලෙන් පසු වූ ඔහුගේ දයාබර මවගේ
කට හඬ ය. ඒ දුබල හඬ ඇසීමෙන් තරුණයා සිහි එළවා ගත නොහැකි තත්ත්වයකට පත්
විය. තම මෑණියන්ම යයි සැක හැර දැනගත් මෙම පුණ්‍යවන්ත තරුණයා ඇය
කොතැනකදැයි දෑස් යොමා මහත් ඕනෑකමින් බැලුවේ ය.
මවගේ හඬින් අවදි වූ හෙතෙමේ මෙතෙක් පසුවන්නේ සිහිනයෙන් දැයි වරෙක සැක
සිතී ය. හඹා ආ විලාප හඬ දෙසට පිහිනා යාමට තරුණයාට ඉස්පාසුවක් නොවී ය.
බොහෝ සේ වෙහෙසටත් බිය හා තැති ගැන්මටත් පත්ව සිටි මෑණියන් තම ආදරණීය
පුතණුවන්ගේ ඡායා මාත්‍රයෙන් ම හඬා වැළපෙන්නට වූවා ය. ඇය වහා තම දෑත්
පුත්‍රයා වෙතැ දිගු කළා ය. විදුලි වේගයෙන් මෙන් මවගේ දෙඅත් වැළඳ ගත්
ඔහු එතෙක් තමාට පිහිට වූ පහුර (කුඹගස) අත නොහැරම, මෑණියන් සිර ගත ව
සිටි සුන්බුන් ගොඩින් මුදා ගත්තේ ය. දිවි බේරා ගැනීමට නම් මව ද කැටුව
ගොඩබිමක් සොයා යා යුතු විය.
තම වියපත් මව ආයාසයකින් තොරව තම දෙවුර මත හොවා ගත් මෙම අධිෂ්ඨානශීලී
තරුණයා ඔහුගේ වෙහෙස මහන්සිය ගැන නොතැකුවේ ය. හැම විට ම මවගේ ජීවිතය අගය
කළ ඔහු මව හමුවීමෙන් නව ජීවනයක් ලද්දාක් මෙන් සැනසුම් සුසුම් හෙලුවේ ය.
දැන් ඔවුහු ගොඩබිමක් සොයා මහා සමුද්‍රය තරණය කරති.
තරුණයාට කෙසේ වෙතත් වියපත් මෑණියන්ට සමුද්‍ර තරණය භයානක එකක් විය. තම
පුතුට උසුලා ගත නොහැකි තරම් බරක් තම සිරුරේ වෙතැයි ඇය සිතුවා ය.
සිතමින් කම්පාවට පත් වූවා ය. දෙදෙනාම මුහුදේ ගිලී ජීවිතක්‍ෂයට පත්වේයයි
ඇය සැක පහළ කළා ය. මෙම සිතුවිල්ලෙන් පසු වූ ඇය සෑහෙන තරම් දුරක් පුතුගේ
දෙවුර මතින් ගිය ඉක්බිති යළිත් හඬ අවදි කළා ය.
“අනේ! මගේ පුතේ, මේකත් උඹට කරන්ට පුළුවන් වැඩක්ද? කෙළවරක් නොපෙනෙන මහ
මුහුදේ කොයි තරම් දුරක් පුතා මාවත් කරගහගෙන පීනන්නද? දැන් හෝරා හතකටත්
වැඩියි නැව විනාශ වෙලා. එතැන් පටන් මගෙ පුතා කෙළේ අම්මව හොයා ගෙන
මුහුදේ කරක් ගහන එක නොවැ. අම්ම ගැන නොහිතුව නම් පුතාට තිබුණ මෙලහකටත්
ගොඩ බිමක් සොයා ගෙන ගොහින් යහතින් ජීවත් වෙන්ට. පුතේ, මගෙ පුතාට දැන්
හොඳටෝම වෙහෙසයි. කොයි මොහොතක, කොතැනකදී මාත් පුතත් මුහුදේ ගිලී මැරී
යාවිද දන්නේ නෑ. අනේ මගේ පුතේ! මේ මහලු අම්මට මොනව වුණත් කමක් නෑ. ඊට
වඩා මගෙ රත්තරං පුතාගෙ ජීවිතය මට වටිනවා. පුතා, පුතා ගැන හිතන්න. මා
ගැන නොවෙයි පුතේ, උඹේ අම්මා ජීවත් වුනා දැන් හොඳටෝම ඇති. තව ඉදිරියට
ඉන්ට තිබෙන කාලය ඉතා ටිකයි. එහෙම නොවෙයි. මගේ පුතේ, තව ගොඩක් කාලයක්
පුතාට ජීවත් වෙන්ට වාසනාව තියෙනවා. ඒ නිසා මම කියන්නක් අහන්න පුතේ. අද
හෙට මැරෙන්න ඉන්න මේ අම්මව මුහුදට අත හැරල දාල පුතා ජීවත් වෙන්ට කල්පනා
කරන්ට මේ මහලු අම්මට මැරෙන්ට ඉඩ දෙන්ට. පුතාට පව් නෑ මගෙ පුතේ. මගෙ
පුතාට හොඳක්ම වේවායි මව පුතුට ඇවිටිලි කර සිටියා.
දහවල් සහ රාත්‍රී දවස් කිහිපයක් එක දිගට ම තම මව දෙවුර මත හොවා ගෙන මහ
මුහුද තරණය කරන අතර හිරු උදාවන හෝරාවේ ගොඩ බිමක සේයාවක් ඔහුගේ දෙනෙතට
හසුවිය. එයින් තරුණයා ගේ සිතට දැනුණේ ඉමහත් සතුටකි. එබඳුම ධෛර්යයකි.
ඔහු තම මෑණියන් වෙනුවෙන් සතුටු කඳුළු වැගිරුවේ ය. සැනසුම් සුසුම්
හෙලුවේ ය. දින ගණනක් නිරාහාරව සහ විඩාවෙන් පීඩිතව සිටිය ද ඔහුගේ
ජයග්‍රහණය වීර්ය පාරමිතාවේ නොපසුබස්නා අධිෂ්ඨානයේ සංකේතයක් බඳු විය. මව
මෙන් තමාත් මුහුද මැද අතුරු අන්තරාවකට ගොදුරු නොවී නිරුපද්‍රිතවැ
ජනාවාසයක් සහිත ගොඩ බිමක් කරා පැමිණීම මහත් ආශ්චර්යයක් ලෙස ඔහු සැලකුවේ
ය. එය තමන්ගේ පූර්ව ආත්මයක කරන ලද කුසල කර්මයක ප්‍රතිඵලයක් යයි විශ්වාස
කෙළේ ය. කුස ගින්නෙන් හා වෙහෙසට පත් වීමෙන් ඉතා දුර්වල තත්ත්වයක පසු වූ
එම මෑණියන් සහ පුතණුවන් ළඟම ඇති නිවෙසකට කැඳවා ගෙන ගිය එම ගම්වාසීහු
ගිලනුන්ට අවශ්‍ය සත්කාරයෙන් හා උපස්ථානයෙන් තම යුතුකම් ඉටුකිරීමට
ප්‍රමාද නොවූහ. නිසි ආහාර පානද සැපයීමෙන් සංග්‍රහ කළහ. බෙහෙත් සහ
අවශ්‍ය වස්ත්‍රයෙන් අඩුවක් පාඩුවක් නොකළහ.
මෑණියෝ තම පුතු ගැන වඩ වඩාත් පැහැදුණා ය. අප්‍රමාණ වූ සතුටට පැමිණියා
ය. ඇය තම ආදරණීය පුත්‍රයා අමතමින්, “ පුත, බොහෝ වූ වීර්ය වඩා දෙවුර මත
හිඳුවා ගෙන දින ගණනක් මහ සමුද්‍රය තරණය කළ ඔබ ඔබේ මවගේ ජීවිතය බේරා
ගත්තේ ය. පුත! ඔබ වීර්යවන්ත ය. ධෛර්යවන්තය.එමෙන්ම නිර්භීත ය. නොපසුබට
උත්සාහය ඇත්තේ ය.
ඔබ ඔබේ මෑණියන් වෙනුවෙන් සිදු කළ උදාර පරිත්‍යාගය සුළුපටු එකක් නොවේ ය.
එසේ හෙයින් මගේ රත්තරං පුතා මතු යම් දිනෙක ‘ලොව්තුරා බුදුබවට’ පත්වේවා
යි ප්‍රර්ථනා කළා ය. තුන් යලක් සාදු නාදය පැවැත් වූ පුතණුවෝ ද දෑත්
එක්කර තම හිස මත තබා ගෙන අධිෂ්ඨානශීලීව ‘මම මතු බුදුවෙමියි’ ප්‍රර්ථනා
කෙළේ ය. අනතුරුව මෑණියන්ගේ දෙපතුල් මත නළල් තබා වැඳ වැටුණේ ය.”
එයින් පසු උදාර ගති ඇති මෙම උත්තම පුරුෂයා නොයෙකුත් පින්කම් කෙරෙමින්
බුදුබව ම ප්‍රාර්ථනා කෙළේ ය. කල්යාමේ දී වියපත් වැ ආයුක්ෂය වී මිය
පරලොව ගොස් කල්ප දොළොස් ලක්‍ෂයක් පුරා වරින් වර මිනිස් ලොවැ උපත ලබමින්
පින් දහම් කොටැ බොහෝ කුසල් වැඩුවේ ය.
ඉක්බිති ශාන්ති නායක වූ දශ බලධාරී භාග්‍යවන්ත ‘දීපංකර’ නම් බුදුරජාණන්
වහන්සේ ලොවැ පහළ වූ සමයෙහි ‘සුමේධ’ නමින් උපත ලද ඔහු පාරමිතා පිරීමෙහිම
නියැලුණේ ය. දිනක් දීපංකර බුදුරජාණන් වහන්සේ දනකට වඩිනා අතර මඟ ඔහු මඩ
වගුරක් ගොඩ කරමින් පාර පිළිසකර කරමින් සිටි තරුණ පිරිසකට එක්වැ එම
කටයුත්තෙහි යෙදුණේ ය.
බුදුරජාණන් වහන්සේ දනට වැඩීමට පෙරැ එම කාර්යය නිමාවක් නොවූ හෙයින්
උන්වහන්සේ වඩිනා මඟ මඩෙහි සිරිපා නොගෑවෙනු පිණිස එම ගොහොරු මඩ මත
‘සුමේධ’ තරුණයා බිම වැතිර දිගාවී ඔහුගේ සිරුර මතින් ඉදිරියට වඩින්නට
දීපංකර බුදුන් වහන්සේට මඟ සැලැස්වීය.
පසුදින දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝයා වහන්සේ තම නිවසට
වැඩමවා ප්‍රණීත ලෙස සකසන ලද මහ දන් සතක් සත් දිනක් පුරා පිළිගැන්වී ය.
සත් වැනි දිනයෙහි දන් පිළිගන්වා වැළඳීමෙන් අනතුරුව ‘දීපංකර’ බුදුරජාණන්
වහන්සේ වෙතැ එළැඹුණ ‘සුමේධ’ තෙමේ බුදුන් වහන්සේ වැඳ නමස්කාර කොටැ
එකත්පස්වැ සිටිමින්, ‘ස්වාමීනී!’ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, අදින්
සත් දිනෙක සිට ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙතැ මධුර කොටැ පිළියෙල කරන
ලද මහ දන් සතක් මවිසින් පිරිනමන්නට යෙදුණි. අද එහි අවසන් සත් වැනි
දානයයි. ස්වාමීනී, බුදුරජාණන් වහන්ස, එම දානයන්හි ප්‍රතිලාභය(අනුසස්)
වශයෙන් මම කිසි විටෙකත් දෙව් මිනිස් දෙගතියෙහි සැප සම්පත් ප්‍රාර්ථනා
නොකරන්නෙමි. එහි ආනිසංස වශයෙන් මතු යම් දවසෙක ‘සම්මා සම්බුද්ධත්වයම’
ලැබේවා යි ප්‍රාර්ථනා කරමි යි කීය.
සුමේධ උපාසකයන්ගේ ප්‍රාර්ථනය ඇසූ දීපංකර බුදුරජාණන් වහන්සේ දන් දීමේ
අනුසස් පහදා දෙමින් මොහුගේ ප්‍රාර්ථනය සමෘද්ධ වන්නේ දැයි දිවැසින් බලා
වදාරන සේක.
පින්වත් උපාසකය, මෙයින් මතු මහා භද්‍ර කල්පයෙහි සිව් වැනි වරට
බුදුවරයකු ලොවැ පහළ වීමට නියමිතව ඇත්තේ ය. ඒ සඳහා දඹදිව කිඹුල්වත් නුවර
ශාක්‍ය නම් රාජ කුලයෙහි සුද්ධෝධන නම් මහා රජුට දාව කෝලිය වංශික මහා
මායා දේවිය කුසින් ජන්ම ලාභය ලබන ඔබ නමින් ‘සිද්ධාර්ථ ගෞතම’ වන්නේ ය.
එකුමරු මහා පුණ්‍යවන්ත ය. එවකට සොළොස් සැවිරිදි වියෙහි පසුවන ‘යශෝධරා’
නම් රාජ කුමාරිය හා සරණ බන්ධනයෙන් බැඳෙන සිදුහත්ට දාව යශෝධරාව ලබන
පින්වත් දරු සම්පත ‘රාහුල’ නම් වන්නේ ය.
රාහුල පුත් කුමරු උපන් දිනම එකුන් තිස් වැනි වියට එළැඹෙන සිද්ධාර්ථ
කුමරු ගිහි ගෙයි කල කිරී එදිනම ඇසළ පුන් පොහෝ දා මැදියම් රැයෙහි
අභිනිෂ්ක්‍රමණය කරන්නේ ය. ඉක්බිති තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වැ
සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොටැ ‘චතුස්සත්‍ය’ අවබෝධ කර ගනිමින් පසුව
මැදුම් පිළිවෙත වඩා ගයා ශීර්ෂයෙහි ‘ඇසතු’ නම් බෝධි වෘක්‍ෂ මූලයෙහි පහළ
වන්නා වූ වජ්‍රාසනය මත වැඩ හිඳිමින් වෙසක් මස පුන් පොහෝ දින අලුයම්
කාලයේ දශ මරුන් පරදවා සියලු කෙළෙසුන් ප්‍රහීණ කොටැ ලබන්නා වූ සම්මා
සම්බුද්ධත්වයට පත් වන්නේ ය. පින්වත් උපාසකය ඒ ඔබම වන්නේ යයි මතු
අත්වන්නා වූ ජන්ම ලාභය පිළිබඳව සැක හැර දැන දේශනා කරමි යි වදාළ සේක.
සුමේධ උපාසක තෙමේ මහත් සේ සතුටුව බුදුරජාණන් වහන්සේ වදාරන යම් කිසිවක්
වේද එය සැක හැර ඉෂ්ඨ සිද්ධ වන්නේය යි සිතා තුන් යලක් සාධු නාදය පවත්වා
දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වැඳ නමස්කාර කොටැ මතු
සම්මා සම්බුද්ධත්වය ලබන්නට දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් එසේ නියත
විවරණ ලදහ.
ඉක්බිත්තෙන් සුමේධ උපාසක තෙමේ ගිහි ආකල්පයෙන් මිදී තාපස
ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වැ වන වැදී තවුස් දම් රැක්කා හ. මේ මහා භද්‍ර
කල්පයෙහි සිව් වැනි වරට ලොවැ පහළව වදාළ වූ අපගේ ශාස්තෘ ශාන්ති නායක වූ
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා එසේ නියත විවරණ ලද සුමේධ තවුසාණෝ
ය. |