Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - හීන, ග්‍රාම්‍ය, පෘථග්ජන, අනාර්ය, අනර්ථ සංහිත නිසා කාමසුඛල්ලිකානු යෝගයත්, දුක්ඛ, අනාර්ය, අනර්ථ සංහිත නිසා අත්තකිලමථානුයෝගයත් නොසෙවිය යුතු අන්ත දෙකක් ලෙසින් බැහැරකර “ධම්ම චක්කප්පවත්තන සූත්‍රය” සෙවිය යුතු නිවැරැදි මඟ ලෙස “මජ්ඣිම පටිපදා” නමින් හඳුන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කරයි. මේ ප්‍රතික්ෂිප්ත අන්තද්වයෙහි ම පොදු ලක්‍ෂණ දෙකක් වූ අනාර්ය බවත් අනර්ථ සංහිත බවත් ඉක්මවා සිටීම එම අන්තවාදයන්ගෙන් මජ්ඣිමා පටිපදා නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය විශේෂයෙන් වෙන් කොට දක්වන හේතුව වන නිසා ආර්ය හා අර්ථ සංහිත බව එහි විශිෂ්ට ලක්‍ෂණ දෙක වන්නේ ය. පැහැදිලි කරන්න.

පිළිතුර- ධම්මචක්කප්පවත්ත සූත්‍රයේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගය, “මජ්ඣිම පටිපදා” නමින් හඳුන්වයි. එය මධ්‍යම මාර්ගයක් වන්නේ අන්තද්වයක් බැහැරලා අන්තයන් සියල්ල ඉක්මවා සිටින බැවිනි.මෙසේ අන්ත දුරලීම ආර්ය මාර්ගයෙහි සෑම අංගයක් කෙරෙහි ම දක්නට ලැබෙන ලක්‍ෂණයෙකි. ශීල සමාධි ප්‍රඥා ස්කන්ධත්‍රයෙහිම අන්ත බැහැරලීම අනිවාර්යයෙන් ම සිදු කළ යුත්තකි. බුදු සමය හඳුන්වා දෙන මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය මාර්ගය පුද්ගලයා ගේ ලෞකික ජීවිතය ද සැපවත් කරන අතර පරමාර්ථ වශයෙන් සදාතනික සැනසීමට ද මඟ පෙන්වයි.

ප්‍රශ්නය - බොදුනුවකු තුළ තිබිය යුතු, ඇති කර ගත යුතු ගති ලක්‍ෂණ බුදුහු මෙසේ වදාළහ.

අක්කොසං වධ බන්ධංච අදුට්ඨො යො තිතික්කති ඛන්ති ඛලං ඛලානිකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණ

මෙහි සරල අදහස පැහැදිලි කොට මෙම බුද්ධ දේශනාව පැවැත්වීමට හේතුපාදක වූ කරුණ පැහැදිලි කරන්න.

පිළිතුර - යම් පුද්ගලයෙක් ගැරහීම, අවමානය, වද වේදනා දීම, හිංසනයට පත් කිරීම ආදී සියල්ල අභියෝගාත්මක ව ඉවසීමෙන් ජයග්‍රහණය කරන්නේ ද, ඔහු මහණ බමුණකු වශයෙන් මම සලකමි. යනු එම ගාථා පාඨයේ අදහසයි.

හේතුපාදකය (නිදාන කථාව)

අක්කොසක භාරද්වාජ බමුණාගේ සහෝදර භාරද්වාජ බුදුරජාණන් වහන්සේ හමුව විවාදයකින් අනතුරුව පැවිදි විය. මෙයට උරණ වූ අක්කෝසක බුදුරදුන් වෙත ගොස් පරුෂ වදනින් පරිභව කළේ ය.

බුදුරජාණන් වහන්සේ අක්කොසක බමුණා ගේ පරිභවය නොසලකා ආහාර පාන දීමෙන් ආගන්තුක සත්කාර කොට තමා වෙත ප්‍රසන්න සිත් ඇත්තකු බවට පත් කර ගත්හ. මේ හේතුවෙන් සුන්දකෙ භාරද්වාජ විලිංගික භාරද්වාජ යන ඛාල සහෝදර දෙපළ ද පැවිදි ව රහත් බවට පත්වූහ.

මේ අතර දිනක දම්සභා මණ්ඩපයෙහි භික්‍ෂූන් අතර ඇවැත්නි “බුදු ගුණ මහත් අසිරි ය. සහෝදරයින් සිව් දෙනෙක් ඉදිරියට අවුත් ඇනුම් බැණුම් අපහාස නින්දා පරිභව කරද්දී ඔවුනට පිළිතුරු වශයෙන් පෙරළා නොබැන, ආහාරපාන ද ලබා දී සසර විමුක්තිය උදෙසා පිහිට වීමෙන් අනුග්‍රහ දැක්වී යැ” යි කථාබහක් ඇති විය. බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු වශයෙන් ඉහත සඳහන් ගාථා ධර්ම දේශනා කළ සේක.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම දූත ව්‍යාපාරයේ උසස් ප්‍රතිඵල ලැබූ ශාක්‍ය ජනපදය බුදුරදුන්ගේ ජන්මභූමිය ද විය. මෙම ශ්‍රේෂ්ඨ ශාක්‍ය ජනපදයෙන් බුදු සසුනට එකතු වූ විශේෂිත පුද්ගල නාමයන් කිහිපයක් සටහන් කරන්න.

පිළිතුර - මහා ප්‍රජාපතී ගෝතමී, යශෝධරා, රාහුල, නන්ද, අනුරුද්ධ, නාගකිම්බිල යන අය ය.

ප්‍රශ්නය - එතෙ ඛො සංගහා ලොකෙ රථස්සාම තීව යායතො එතෙ ඛො සංගහා නස්සු න මාතා පුත්ත කාරණා ලංහථ මානං පූජං වා පිතාවා පුත්ත කාරණා

සිංහල අදහස පැහැදිලි කොට සතර සංග්‍රහ වස්තු හඳුන්වන්න.

පිළිතුර - මේ සතර සංග්‍රහ වස්තු වනාහි ජංගම රථයකට උපකාරවන කඩඇණය මෙන් ලෝකයාගේ පැවැත්මට මහත් සේ උපාකාරී වෙති.

මේ සංග්‍රහ වස්තූන්ගේ පැවැත්ම විනාශ වී ගියේ නම් (නොසලකා සිටීමෙන්) දෙමව්පිය දූදරු සබඳතාවය නොපවතින්නේ ය.

සතර සංග්‍රහ වස්තු - දාන, පි‍්‍රයවචන, අර්ථ චර්යා, සමානාත්මතා.

ප්‍රශ්නය - ෂට් ශාස්තෘවරුන් අතරෙන් “චතුයාම සංවර සීලය” ඉදිරිපත් කළ ශාස්තෘවරයා කවුද?

පිළිතුර - නිගණ්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීර

ප්‍රශ්නය - සතිපට්ඨාන යනු අප කරන ක්‍රියා විෂයෙහි අඛණ්ඩ අවධානය යොමු කිරීමයි. ඒ අනුව භාවනාව ජීවිතය ක්‍රියා විරහිත කිරීමක් නොව අලස උදාසීනකම් නැති කොට අඛණ්ඩ අවදිබවක් ලබා දී තියුණු සංවේදී තත්ත්වයකට ඉන්ද්‍රියයන් පුහුණු කරවන ව්‍යායාමක් වෙයි. බෞද්ධ භාවනාව පිළිබඳ ව මෙරට ධර්මධර විද්වතෙකුගේ මතයකි මේ. ඔබ ද මෙයට යම්කිසි විවරණයකින් මේ අදහස තහවුරු කරන්න.

පිළිතුර - සාමාන්‍ය මිනිස් ස්වභාවය වන්නේ අතටපත් වර්තමාන මොහොතේ ම ජීවත්වීම නොවේ. මිනිසා හැමවිටම විටෙක ඊට පෙර අවස්ථාව ගැන සිතමින් කරදර වෙයි. ශෝක වෙයි. යළි ආශ්වාදයක් විඳියි. පසුතැවිලි වෙයි. නැතහොත් ඉන්පසු එන මොහොත ගැන සිතා සිහින මවයි. ප්‍රාර්ථනා කරයි. සැළසුම් හදයි. ඒ අතර වර්තමාන මොහොතේ කෙරෙන ක්‍රියාවන් ද නිසි අවධානයකින් තොර ව කෙරී ගෙන යයි. එහි පූර්ණ අවබෝධයකින්, කැපවීමකින් යෙදීමට පුද්ගලයා ඉඩක් නොලබයි. හරි හැටි කියතොත් ඔහු වර්තමාන මොහොතේ ජීවත් නොවෙයි. අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙයි. නිසි සතුටක් දරා ගැනීමට හෝ සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීමට ඔහු අපොහොසත් වෙයි. බොහෝ විට බරපතළ කරදරයකට ඇද වැටෙයි. නිදසුනක් වශයෙන් වාහනයක් පදවන රියදුරෙකු ගැන සිතා බැලිය හැකි ය. ඔහු කරන ක්‍රියාවෙහි සිහිය ක්‍රියාව හා රැඳී නොපවත්නේ නම් ඒ හැම භයානක තත්ත්වයකට මුහුණ දීමේ අවදානම හැම මොහොතක ම තිබේ. ඒ නිසාම සිහිය ඇතිව ඕනෑම වැඩක නිරතවීම ප්‍රයෝජනවත් බව කවරෙකුට වූවද එක් අවස්ථාවකදී හෝ අත්දැකීමෙන් තේරුම් ගන්නට හැකියාව ලැබී ඇත. මිනිසා සිහියෙන් යුතුව කටයුතු කරන්නේ නම් අමතක වීම්, වැඩ පැහැර හැරීම්, හෙටට කල්තැබීම නැතිව කරන වැඩෙහි පූර්ණ අවධානය යොමු කරනු ඇත. ක්‍රමානුකූලව වැඩ සංවිධානය වේ. ප්‍රතිඵලයේ ප්‍රතිශතය වැඩි වේ. ක්‍රියාශීලී බව ප්‍රකට වේ. මෙසේ භාවනාව හේතුවෙන් ඉතාමත් කර්මණ්‍ය පුද්ගලයෙකු සමාජයට බිහි වේ.

ප්‍රශ්නය - ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි අත්ත වග්ගයේ එන ගාථාවකි. මේ.

අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ අථඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පණ්ඩිතො

මෙම ගාථා ධර්මයෙහි අන්තර්ගත බෞද්ධ ඉගැන්වීම පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව මාධ්‍ය කොට ගෙන කෙරෙන අනුශාසනය පිළිබඳව සටහනක් කරන්න.

පිළිතුර - පළමු කොට තමා සුදුසු ගුණයෙහි පිහිටා අනතුරුව ඒ පිළිබඳව අනුනට අනුශාසනා කළ යුතු ය. එසේ කරන නුවණැති පඬිවරයා නොකෙළෙසෙයි. අනුනට අනුශාසනා කිරීමට පළමුව තමා අගයන අනුන්ගෙන් බලාපොරොත්තු වන එම ගුණය තමා තුළ ස්ථිරවම තිබිය යුතු ය. එසේ නොමැති තැන අනුශාසනා ලබන්නො එය නොපිළිගන්නට හැකිවාක් මෙන්ම අනුශාසක වන තමා ප්‍රසිද්ධ අපහාසයට නින්දාවට පත්වන්නට ඉඩ ඇත. එසේ නැතත් තමා ප්‍රසිද්ධියේ අගය ගැන අප්‍රසිද්ධියේ කඩකරන්නෙකු විය හැකි ය. බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මයෙන් කෙරෙන අනුශාසනය ස්වාර්ථය හා පරාර්ථය අතර තිබිය යුතු අනුපිළිවෙළත් ඊට හේතුවත් ඉදිරිපත් කර ඇත. මේ අදහස බුදුරජාණන් වහන්සේ සල්ලෙඛ සූත්‍රයෙහි දී උපමාවකින් ද පැහැදිලි කර ඇත. එය මෙසේ ය. තමා මඩේ ගිලී සිටිය දී මඩේ සිටින අනෙකකු මඩෙන් ගොඩ ගත නොහැක. තමා මඩේ ගිලී නොසිටිය දී මඩේ ගිලී සිටින අනෙකකු ගොඩගත හැකි ය. සමාජ සේවය කරන්නා තමා පළමුව අචල පෞරුෂයක් ගොඩ නඟා සිටිය යුත්තේ මේ නිසා ය. සො වත වුන්ද, අත්තනා පලි පලිපන්නො පරං පලිපපලිපන්නං ළධරිස්සතිති නෙතං ඨානං විජ්ජති, සො වත චුන්ද අත්තානං අපලිපන්තො පරං පිලිපන්නං උද්ධරිස්ස තීති ඨානං එතං විජ්ජති (ම.නි.සල්ලෙඛ සූත්‍රය)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.