Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ණය ගැති බව ගැන බෞද්ධ ආකල්පය

මම ණයත් නෑ බයත් නෑ’ යනාදී වූ කියමනක් අප සමාජය තුළින් ද ඉඳහිට අසන්නට ලැබේ. එදා සමාජයේ ජීවත් වූ ගැමියා තුළ ණය වීම කෙරෙහි පැවතියේ කිසිසේත් සුබවාදී ආකල්පයක් නම් නොවේ. ඔවුන් යමකුගෙන් ණයක් වූවා නම් වූයේ ඒ කර කියා ගත නොහැකිව වූ තත්ත්වයකදී පමණකි. ඇතැම් විට සමාජයද ඔවුන් දෙස බැලුවේ වපරැසිනි. නමුත් කාලය වෙනස් වී ඇත. වර්තමානයේ ණය වීම සමාජයේ පිළිගැනීමට කරුණක් බවට පත් වෙමින් පවතී. අප එසේ පවසනුයේ ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) භාවිතය ඉතා ජනපි‍්‍රය වී ඇති හෙයිනි. මෙය ද එක්තරා ආකාරයක ණය වීමකි. දියුණු වන සමාජයක මෙවැනි දෑ පැවතිය යුතු බවට මනා බුද්ධියක් පැවතිය යුතු ය. එසේ නොවුවහොත් තමාගේ එදිනෙදා අවශ්‍යතා හඳුනා නොගෙන අනවශ්‍ය දෑ මිලදී ගෙන, එම පුද්ගලයා විශාල අපහසුතාවයකට පත්වනු නියත ය.

වර්තමාන ලෝකයේ ක්‍රියාකාරීත්වය මත සෑම පුද්ගලයකුටම ණය නොවී සිටීමට ද නොහැකි ය. තම එදිනෙදා අත්‍යවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා මේ තත්ත්වය තුළ දිළිඳු පුද්ගලයාට ද ණය ගැනීමට සිදුව ඇත. එමෙන්ම තම ව්‍යාපාරික කටයුතු තව තවත් දියුණු කර ගැනීමේ අපේක්‍ෂාවෙන් ද ඇතැම්හු ණය ගැනීමට පෙළඹෙති. මේ අනුව ණය ලබා ගැනීමේ ප්‍රධාන හේතු දෙකක් විද්‍යාමාන වෙයි.

1. පරිභෝජනය සඳහා ණය වීම

2. ආයෝජනය සඳහා ණය වීම

යනු, ඒ දෙකයි. ණය ගැනීම තුළින් මිනිසා වඩ වඩාත් දුෂ්කරතාවයනට පාත්‍ර වන්නේ පරිභෝජනය සඳහා ණය ගැනීම නිසා ය. එනම් ණය වී ආහාර පාන, ඇඳුම් පැළඳුම් යනාදිය ගෙන ඒවා පරිභෝජනය කළ පසු ඒවා ගෙවා ගැනීමට ක්‍රමයක් නැති වීම නිසා ය. නමුත් ආයෝජනය සඳහා ණය ගැනීමේ දී ව්‍යාපාරික කටයුතු තව තවත් දියුණු වන හෙයින් ඔහුට ණය ගෙවා දැමීමට හැකියාව පවතී. “පින්වත් මහණෙනි, කම්සැප විඳිමින් සිටින ගිහි පුද්ගලයකුට එදා වේල සොයා ගන්නට බැරිව, ඇඳුමක් පැළඳුමක් නැතිව, අතේ මිටේ කිසිඳු මුදලක් නොමැතිව දුප්පත් ව සිටීමට සිදුවුවහොත් එය දුකක් නොවන්නේ ද? “ “එසේ ය, භාග්‍යවතුන් වහන්ස ගිහි පුද්ගලයකුට අතේ මිටේ කිසිඳු මුදලක් නොමැතිව ජීවත් වීමට සිදු වීම දුකකි”

“පින්වත් මහණෙනි, ඒ පිහිටක් නැති දිළිඳු කෙනාට ජීවත් වීම පිණිස ණයක් ගැනීමට සිදු වුවහොත් එය දුකක් නේද?” ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එයද දුකකි. ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයකුට දිළින්දකු ලෙස ජීවත්වීමට සිදුවීම දුකකි. ඒ මදිවට ඔහු ණයකුත් ගනී. ණය ගැනීම ගැන ඔහු කිසිවිටෙක සතුටට පත් නොවේ. පී‍්‍රතියට පත් නොවේ. ඔහු පත්වන්නේ දුකටය. ‘අනේ මටත් ණය කාරයකු වීමට සිදු වුණා නේදැයි සිතමින් ඔහු දුකට පත්වේ’

“පින්වත් මහණෙනි, ණය ගත් දුප්පත් පුද්ගලයකුගේ එම ණයට පොලියද එකතු වීම ඔහුට දුකක් නේද?” “එසේ ය, භාග්‍යවතුන් වහන්ස, පොලිය වැඩීම නිසා එම තැනැත්තාගේ දුකට, තවත් දුකක් එකතු වේ”

“ පින්වත් මහණෙනි, මෙම දුප්පත් ණය කරුවාගේ පොලිය වැඩෙනවා.

මොහුට පොලිය ගෙවා ගන්නත් බෑ, ණය ගෙවා ගන්නත් බෑ. මොකද වෙන්නේ, ණය දීපු අය චෝදනා පත්‍රයක් එවනවා. එය එවා ගත්තු ණය මතක් කර කර, පොලිය මතක් කර කර චෝදනා කරනවා. උඹ මෙච්චර ණය ගත්තා. දැන් උඔට පොලී මෙච්චර තියෙනවා. දැන් මේක ගෙවන්නේ නැද්ද කියලා. මේ දිළිඳු පුද්ගලයාට මෙයත් දුකක් නේ ද?”

“පින්වත් මහණෙනි, දැන් ඒ විදිහට මතක් කර කර චෝදනා කරන විට මොහු කරන්නට දෙයක් නොමැතිව හැංගෙනවා. එසේ හැගෙනකොට ඔහුට ණය දුන් අය ඔහුව පන්න පන්නා හොයනවා. මහණෙනි, ණය දුන් අය එසේ මොහුගේ පස්සෙන් පැන්නවීම දුකක් නොවේ ද? “

“එසේය, භාග්‍යවතුන් වහන්ස, එයත් දුකකි”

“පින්වත් මහණෙනි, ණය ගෙවා ගැනීමට නොහැකිව මොහු සැඟ වී සිටින විට, ණය දුන් අය පැමිණ මොහු අල්ලා ගනී. එසේ අල්ලා නීති මාර්ගයට ඉදිරිපත් කොට මොහුව හිරේ විලංගුවේ දායි. මහණෙනි, දුප්පත් මනුස්සයකු එසේ හිරේ විලංගුවේ වැටීම දුකක් නොවේද?” භාග්‍යවතුන් වහන්ස, එයත් දුකකි.

“ පින්වත් මහණෙනි, මේ ලෙස කම්සැප විඳිමින් අඹු දරුවන් ආරක්‍ෂා කරමින්, නඩත්තු කරමින් එහි ජීවිතය ගත කරන්නට කැමැති වී සිටින කෙනකුට මේ ලෝකයේ දිළින්දකු ලෙස ඉන්නට සිදුවුවහොත් එය ද දුකකි. මේ ලෝකේ කම්සැප විඳින කෙනෙක් ඒ වගේ ණයක් අරගෙන ඒ ණයට පොලිය වැඩෙනවා යන්නද දුකකි. එම පොලිය වැඩීම නිසා ණය දුන් අය මොහුට ණය මතක් කරමින් බනියි. පොලිය ඉල්ලමින් බනියි. එයද මොහුට දුකකි. ණය නොගෙවපු හෙයින් ණය දුන් අය පස්සෙන් පන්නාගෙන ඒම ද දුකකි. ඔහු මොහු අල්ලාගෙන හිරේ විලංගුවේ දමයි. එයද දුකකි”

පරිභෝජනය සඳහා ණය ගැනීම ප්‍රතික්ෂේප නොකරයි. එය ගිහි පුද්ගලයකුට පමණක් නොව යම් ආයතනයකට මෙන්ම රාජ්‍ය පාලන තන්ත්‍රයකටද ඉතා වැදගත් වූ ප්‍රතිපත්තියකි. පරිභෝජන කටයුතු සඳහා ණය ගැනීම් තුළින් නැවත ලාභ උත්පාදනයක් නොමැති බැවින් වන්නේ, එකී පුද්ගලයා, ආයතනය හෝ රාජ්‍ය තන්ත්‍රය තව තවත් ප්‍රපාතයට යෑම බැව් තවදුරටත් කිව යුතු නොවේ. ආයෝජනය සඳහා වුව එසේ ගත් ණය හැකි ඉක්මනින් ආයෝජනය කොට, ඒ තුළින් ලාභ ලබා ණය ද පොලිය ද ඉක්මනින් ගෙවා දමා ඉන් නිදහස් වීමට බුදුදහම උපදෙස් දෙයි. “මහණෙනි, යම් සේ පුරුෂයෙක් පොලියට ණය මුදලක් ගෙන කර්මාන්ත කරන්නේ ද ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධි වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම් ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත්නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේද, එසේ වූ ඔහුට මම පළමුව ණය මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මාගේ කර්මාන්ත සමෘද්ධ විය. එසේ මම යම් පැරැණි ණය මුදල් වී නම් ඒ සියල්ලත් ගෙවා අවසන් කළෙමි. අඹුදරුවන් රැකීමට වැඩිපුර ඉතිරි වූ මුදලක් ද මට ඇතැයි සිතන්නේ ද හේ එම ණය නැති බව හේතු කොටගෙන, සතුටට සොම්නසට පත්වෙයි.”පරිභෝජනය සඳහා හෝ ආයෝජනය සඳහා ඇතැම් ණය ගත්තු ඒ සියල්ලම ගෙවා දැමිය යුතුම ය. වර්තමානයේ ඇතැම් අය විශාල ලෙස බැංකු වලින් ණය මුදල් ගෙන ඒවා නොගෙවා ඒවාට වංචා කරන අයුරු කෙතෙකුත් දක්නට හැකි වෙයි. එමෙන්ම ඇතැම් පුද්ගලයන් තවත් අයකුගෙන් ණය මුදල් ගෙන, පසුව තමා එසේ ණය නොගත්තේ යැයි කියමින් පලා යන අවස්ථා ද දැකිය හැකි ය. එවැනි පුද්ගලයින් වසලයන් බැව් තථාගතයන් වහන්සේ වසල සූත්‍රයේ දේශනා කළහ. (යො භවේ මාදාය, චුජ්ජමානෝ පලායති නහි තේ ඉණමත්ථිති, තං පඤ්ඤ වසලෝ ඉති – වසල සූත්‍රය)

යම් පුද්ගලයෙක් ණයක් ගෙන එම ණය ඉතා ඉක්මණින් ගෙවා නිදහස් වේ නම්, ඔහුගේ සිතට එය මහත් සැනසිල්ලකි. එමෙන්ම කිසිවකුට කිසිසේත්ම ණය නොවූ පුද්ගලයකු තමා ණය නොවූවකු හෙයින් සතුටු වීම, ‘අනණ සුඛ’ යැයි තථාගතයන් වහන්සේ දේශනා කළහ. ඒ බැව් අංගුත්තර නිකායේ අනණ සූත්‍රය තුළ අන්තර්ගතව පවතී.

‘ගැහැවිය, අනණ සුඛය කවරේද යත් – ගැහැවිය, මෙලොව කුල පුත්‍රයෙක් කිසිවකුට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිඳු ණයක් නොමැති වීමේ සුඛය විඳියි. සොම්නස විඳියි. ගැහැවිය මේ අනණ සුඛ යැයි කියනු ලැබේ”.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.