අවුල් නොවන පවුල්
යටිගල ඥානසිරි හිමි
පවුල ජීවිතය යනු ගෞරවනීය පැවැත්ම සංකේතවත් කරන්නකි. එය කිසිසේත් කායික
සැපය කේන්ද්‍ර කොට ගත්තක් නොවේ. එය පස්කම් සැපතෙහි ඇලීමක් ලෙසද හඳුන්වා
නැත. පවුල තුළට කාවද්දන ලද අදහස නම් පොදු සමාජය තුළ මිනිස් පවුල ප්‍රබල
ආයතනයක් බවය. මෙම ප්‍රබල ආයතනය නොබිදිය හැකි හවුලකි. එහෙත් මේ හවුල
සිඳී බිඳී පවුල ලිහී යන අවස්ථාද අපි දකිමු. මෙම විරසකය හුදෙක් එක්
අයෙකු නිසාම වන්නක් නොවන බව සිහි කළ යුතු ය. බැම්මක් ශක්තිමත් වන්නේ
එහි ස්ථීර සාර ගුණය නිසා ය. පවුල නමැති බැම්ම ශක්තිමත් වන්නේ, ස්ත්‍රී,
පුරුෂ දෙදෙනාගේම අන්‍යෝන්‍ය බැඳීම හා විශ්වාසනීයත්වය නිසා ය.
පවුලේ ශක්තිය තිබෙන්නේ සාමාජිකයන් අතර පවත්නා සම්බන්ධතා මතය. බිරිය හා
ස්වාමිපුරුෂයා අතර ඇති සම්බන්ධතාව ජීවමාන කරන්නට බුදුරජාණන් වහන්සේ
සූත්‍ර ධර්ම ගණනාවක්ම දේශනා කොට ඇත. ඒ අතර සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ
විග්‍රහයක් පෙනේ. එනම් ස්වාමිපුරුෂයා තම භාර්යාව කෙරෙහි කරුණු පහක්
පිළිපැදිය යුතු ය. යන්නයි. අවමන් නොකිරීම, පර ස්ත්‍රීන් ඇසුරු නොකිරීම,
සම්පත් ලබා දීම, අලංකාර වස්ත්‍ර ආදී ආභරණ ගෙනැවිත් දීම යන මේ කරුණු පහ
දිහා බලන විට ස්ත්‍රිය පුරුෂාධිපත්‍යට යටත් වීමක් බුදු දහමේ නැති බව
පෙනෙයි. ඇයට ගරු කිරීම, පුරුෂයා කරන අතර, කුමන ආකාරයකින් වත් අවමානයක්
ඇයට නොකරයි. ස්ත්‍රියක ආශා කරන රන් රිදී ආභරණ ආදිය ගෙනැවිත් දීමේ සිට
නිවෙසේ පාලනය ඇයට පවාර දීම තුළ ගොඩනැගෙන පවුල් ජීවිතයේ නිවැරැදි සබඳතාව
බුදුරජාණන් වහන්සේගේ දේශනා වල සඳහන්ව ඇත.
මහාචාර්ය වල්පොළ රාහුල හිමිපාණන් පෙන්වාදී ඇති අයුරු, බුදුරදුන්
සිඟාලකට අවවාද කර ඇත්තේ සදිසා නමස්කාර කරන ලෙසට ය. මෙහි නමස්කාර කිරීම
(නමස්සෙය්‍ය) යන වචනය ඉතා වැදගත් ය.
නමස්කාර කරන්නේ, ගෞරවයට සුදුසු පූජාර්ග ශුද්ධ වස්තු වලටය භාර්යාවද එසේ
ස්වාමියාගේ නමස්කාරයට භාජනය විය යුතු යයි සඳහන් කිරීම, කාන්තාවගේ
සම්භාවනීය තත්ත්වය පිළිගැනීමකි.
සිඟාලෝවාද සූත්‍රයේ වචන ව්‍යවහාරයේ ඇතුළත් උපස්ථානය හා අනුකම්පාව යන
වචන දෙක යෙදී ඇති ආකාරය කොස්වත්තේ අරියවිමල හිමිපාණෝ මෙසේ දක්වති.
අඹු - සැමි සම්බන්ධතාවේ දී උපස්ථාන කරන්නේ කවුද? අනුකම්පාව ලබන්නේ
කවුද? මෙහිදී සෑම කෙනෙකුම සිතනුයේ ස්වාමියා බිරියගේ උපස්ථානය ලබන බවත්
බරිය ස්වාමියාගේ අනුකම්පාව ලබන බවත් විය හැකි ය. මෙම ඇතැම් අවස්ථාවල මේ
දෙදෙනාගේ උපස්ථාන කරන්නාත් අනුකම්පාව දක්වන්නාත් කවුරුන්දැයි
අන්‍යයන්ගෙන් විමසා ඇත්තෙමි. ඒ හැම අවස්ථාවකම පිළිතුරු ලැබුණේ ඉහත කී
ලෙසයි. එය වැරැදිය. සිඟාලක සූත්‍රය කොතරම් සුප්‍රකට වූවත්, අද ඒ
ඉගැන්වීම් විශේෂතා කෙරෙහි සැලකිලිමත් වී ඇති බවත් නොපෙනේ. සිඟාලක
සූත්‍රය දක්වන්නේ ස්වාමියා බිරියට උපස්ථාන කළ යුතු බවත්, ඒ උපස්ථාන ලබන
බිරිය පෙරළා සැමියාට අනුකම්පාව දක්වන බවත් ය.
බිරිය ස්වාමියාට අනුකම්පා කළ යුතු කරුණු පහක් වෙයි. ඇය ගේ දොර කටයුතු
මැනවින් කළ යුතුය. ඇය, ඒ අනුව ගෙදර සියල්ලන්ට මැනවින් සංග්‍රහ කළ යුතු
ය. මෙහිදී ද දරුවන් පමණක් නොව ස්ථිරව ගෙදර හා ඒ ආශි‍්‍රතව ජීවත් වන අය
මෙන්ම තාවකාලික අමුත්තන්, සේවකයන් ඇතුළු සියල්ලම ඊට ඇතුළත් ය. එමෙන්ම
පරපුරුෂ සේවනය නොකළ යුතු ය. ඇය ස්වාමියා උපයන ධනය ආරක්‍ෂා කරන
තැනැත්තියක් විය යුතු ය.
අලස නොවී පි‍්‍රයජනක ලෙස නිවසේ සියලු කටයුතු සිදුකිරීම ඇයගෙන්
අපේක්‍ෂිතය. අලසකමින් තොර වූ ඇගේ හැසිරීම් රටාව තම ස්වාමියා කෙරෙහි
ආදරය මුල් කොට පවතියි. ඇය ස්වාමියාට ප්‍රථමයෙන් නැගී සිටියි. පසුව
නිදයි. කුමක් කරන්නට ඇත්දැයි නිතර සොයා බලයි. පි‍්‍රය වචනයෙන් කතා
කරයි. සෙනෙහස උපදින ආකාරයෙන් හැසිරීම බිරිය විසින් කළ යුතු ය.
බුදුරජාණන් වහන්සේ නකුල සූත්‍රයෙහි මේ සදාචාරාත්මක ගුණය විග්‍රහ කොට
තිබේ. නකුල මාතා හා නකුල පිතා යන දෙදෙනාගේ සුවදුක් විචාරීමට ගිය
බුදුරදුන් සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් මෙම දෙදෙනා කතා කර ඇත. නකුල සිටු
කුමරුගේ මවුපියන් මූ මොවුහු ඉතා වයෝවෘද්ධ වූහ. බුදුරජාණන් වහන්සේ නකුල
සිටුගෙන් සුවදුක් විමසූ කළ මෙසේ කීවේ ය. ස්වාමීනී, මා මේ නකුල මාතාව
කැඳවාගෙන ආවේ දහසය හැවිරිදි වියෙහිදී ය. දැන් අපි අසූ හැවිරිදි
වන්නෙමු. එහෙත් මේ තාක් කාලයක් කිසි දිනෙක සිතිවිලි මාත්‍රයකින්වත් මා
නකුල මාතාව ඉක්මවා යෑමක් සිදු වී නැත. මගේ කයින් හෝ වචනයෙන් එවැන්නක්
සිදුවේද?
අනතුරුව නකුල මාතාව ද සිය ස්වාමියා පිළිබඳ එපරිදිම පිළිතුරු දී තිබේ.
ඉන් පසු ඔවුහු මෙසේ විමසූහ. ස්වාමීනී, නිවන් දක්නා ජාති දක්වාත් අපට
මෙසේ ස්වාමි භාර්යා ලෙස ජීවත් වන්ට හැකිනම් මොනතරම් සතුටක්ද?. එවිට
බුදුන් වහන්සේගේ පිළිතුර මෙසේ විය.
ආකංඛෙය්‍යුං චෙ ගහපතියෝ
උභෝ ජානපතයො දිට්ඨෙව
ධමෙම අඤ්ඤමඤ්ඤං පස්සිතුං
අභිසම්පරායංච අඤ්ඤමඤ්ඤං
පස්සිතුං උභෝපි අස්සු සමසද්ධා
සමසීලා සමචාගා සමපඤ්ඤා
ගෘහපතිනියනි, දැනගනු මැනවි, යුවතිපති දෙදෙනා මේ භවයේදීත් ඔවුනොවුන්
සුහදව වාසය කොට මිය පරලොව ගිය කල්හිද යළිත් ඔවුනොවුන්ගේ එක්වීමට අවශ්‍ය
වන්නේ නම්, සම වූ ශ්‍රද්ධාවෙන් ද සම සීලයෙන් ද සම චාගයෙන් හා සම
ප්‍රඥාවෙන් ද දෙදෙනාම සම විය යුතු වෙති.
සීලය යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ හික්මුණු කයින් හා වචනයෙන් යුක්ත
වීමයි. ස්වාමියා භාර්යාව කෙරෙහි හික්මවන ලද වචන සහිත විය යුතු අතරම
බිරිය කෙරෙහි සංයම වචන යොදා ගත යුතු ය.
ඔවුනොවුන් පෙළන හිංසාකාරී ක්‍රියා හෝ පීඩාකාරී වචන භාවිත නොකළ යුතු ය.
තම ස්වාමියාගේ හෝ බිරියගේ අඩුපාඩු, දුර්වලකම් පිටස්තරයන් සමඟ පැවසීම
නොකළ යුතු අතර දෙදෙනාගේ දක්‍ෂතා හැකියා අගය කිරීම පවුල් සංස්ථාවේ යහපතම
සලසයි.
පූජ්‍ය ගංගොඩවිල සෝමහිමිපාණෝ මෙබඳු අදහසක් දක්වති. පුහුදුන් කා තුළත්
කෝපය වෛරය මතුවනවා, එබඳු විටෙකදී කළ යුත්තේ ඉවසීම ය. එක් අයෙක් දුර්වල
වූ විට අනෙකා ඉවසා සිටිය යුතු ය. එසේ නැතිව කෙකි වගේ ඇමිනීමකට නොයා
යුතු ය.
පවුල් සංස්ථාවේ පැවැත්මට අදාළ ප්‍රධාන ගුණය නම් සම ශ්‍රද්ධාව ය.
ශ්‍රද්ධාව යනු තෙරුවන් පිළිබඳ ප්‍රසාදය ගෞරවය වූවත් මෙහි අදහස එය නොවේ.
යමකු හෝ යමකු කෙරෙහි ඇති කර ගන්නා විශ්වාසය, මේ ශ්‍රද්ධාවයි. ස්වාමියා
බිරියටත් බිරිය ස්වාමියාටත් තිබෙන ඇල්ම නිසා දෙදෙනාගේම යම් යම් ක්‍රියා
මාර්ග හා ඉදිරි සැලසුම් කතිකා කොට තීන්දු තීරණ ගැනීම වැදගත් ය.
1.පවුලේ අය එකට ආහාර ගැනීම
2.එක වේලාවකට උදේ සවස සාමූහිකව ආගමික වතාවත් කිරීම
3. කවුරුත් ජාතක පොත් වහන්සේ වැනි ග්‍රන්ථයක් එකට කීම.
4. අම්මා සහ දුවලා, තාත්තා සහ පුත්තු වෙනම වෙනම මෙන්ම සහමුලින්ම එකතුව
යම් යම් කටයුතුවල යෙදීම හා සාකච්ඡා කිරීමෙන් තීරණ ගැනීම.
5. චිරාගත චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම (මහාචාර්ය නන්දසේන රත්නපාල)
අතීතයේ ප්‍රධාන ආහාර වේල් තුනම ගැනීමට පවුල් සාමාජිකයෝ එකට වාඩි වූහ.
ආහාර වේලක් එකට ගැනීම සිදු කරන්නේ එය කවුරුත් වෙහෙස මහන්සි වී පිළියෙල
කරගත්තාට පසුය. ආහාර වුවත් උපයාගෙන වෙහෙස වී ලබා බෙදා හදා ගෙන කෑම මින්
අපේක්‍ෂිතය. බිරිය හා සැමියාගේ ජීවිතයේ එකට ආහාර ගැනීම තරම් වැදගත්
අවස්ථාවක් තවත් නැත. ආහාර ගන්නේ බොහෝ විට ආදරයෙන්, සෙනෙහසින් කතා බහේ
යෙදෙමිනි. පවුලක හැම දෙනාම එකවේලක්වත් එකට ආහාර ගැනීම කෙතරම්
වැදගත්දැයි මින් පැහැදිලි වෙයි.
උදේ හවස එකට ආගමික වතාවත් කිරීම, එකිනෙකා අතර සම්බන්ධය වඩාත් තහවුරු
කරන්නේ ය.
මේ චාරිත්‍රය ඉටු කිරීමෙන් පවුලේ සාමාජිකයන්ගේ ළඟ සම්බන්ධය තහවුරු කර
ගැනීම මෙන්ම දූ දරුවන්ට අවවාද අනුශාසනා කිරීමට පවා එය සුදුසු අවස්ථාවක්
වන්නේ ය.
අඹු, සැමි සබඳතාව තවත් ආකාරයකට දේශනා කරන සූත්‍ර දෙකක් සංවාස සූත්‍ර
නමින් අංගුත්තර නිකායේ ඇතුළත් වේ. මෙහි දැක්වෙන සතරාකාර සම්බන්ධය
සැමියා හා බිරිය දෙවියකුට හා දෙවඟනකට හෝ මළමිනී දෙකකට උපමා කර
දැක්වීමෙන් පෙන්වා ඇත. ආදර්ශවත් අඹු, සැමි යුවළ දෙවියකු හා දෙවගනක
ලෙසින් උපමා කර තිබේ. එසේම පහත්ම අඹු, සැමි සම්බන්ධය මළමිනියක් හා
මළමිනියක එකට විසීමක් වැනි බව දක්වා ඇත.
අංගුත්තර නිකායෙ සප්ත භාර්යා සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ යහපත්
භාර්යාවන් හතර දෙනෙක් ගැන දේශනා කළහ. යහපත් භාර්යාව මවකැයි සළකා(මාතු
භරිය) ලෙසද, සහෝදරියක සේ ගෙන (භගිනි භරියා) ලෙසද, යෙහෙළියක සේ වන
හෙයින් (සඛී භරිය) ලෙසද, දාසියක මෙන් අප්‍රමාණව සේවය කරන අයුරු සළකා
(දාසි භරියා) ලෙසද හැඳින්වූ අයුරු පෙනෙයි.
පවුල් සංස්ථාව තුළ අප විසින් සඳහන් කළ මේ සාධනීය ගුණාංග පවතින්නේ
මොනතරම් අවුවෙන් ද? අද වන විට බිඳී ගිය විසිරී ගිය පවුල් බොහෝ ය.
බුදු දහම අනුව හැඩ ගැසුණු පැරැණි සිංහල පවුල් අදත් සමහර ගම්වල ඇත.
නාගරීකරණය හා වෙනත් බලපෑම් නිසා පවුල හරයන් අතින් ගරා වැටෙතත්, එහි
පවත්නා ඇතැම් ප්‍රයෝජනවත් ලක්‍ෂණ අප කෙරෙන් සදහටම වෙනස් නොවී පවතිනවා
ඇත.
මේ යහගුණ වර්ධනය කරගන්නා කිසිවකුගේ පවුල අවුල් වන්නේත් ළිහිල් වන්නේත්
නැති බව අප වටහා ගත යුතු ය. අවසාන වශයෙන් මාගේ මතකයට නැගෙන්නේ තොටගමුවේ
ශ්‍රී රාහුල හිමිපාණන්ගේ කාව්‍යශේඛර මහා කාව්‍යයේ දී ඉවසන දයාභරිත
බිරියකගේ ශ්‍රේෂ්ඨත්වය දක්වන, මේ සිවුපද වියමන යි.
ගෙහිමි අන් නිව සා
ලැග්ගයි කියන බස සා
ඉඳින ලිය ඉව සා
කවර නම් දේ නොයිද ඉව සා |