Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය: බුදු රජාණන් වහන්සේ විසින් ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි දී බෞද්ධ ජීවන මාර්ගයට සුදුසු වෘත්තීන් කිහිපයක් ඉදිරිපත් කළහ. ඒ මොනවාද?

පිළිතුර -

1. කෘෂිකර්මය – කසියා

2. වෙළඳාම – වණිජ්ජා

3. ගව පාලනය - ගෝරෙක්‍ඛන

4. දුනු ශිල්පය ආරක්‍ෂක ඉස්සත්‍ථන

5. රාජ්‍ය සේවය – රාජපොරිසෙන

6. වෙනත් කිසියම් ශිල්පයක්

සිරිපඤ්ඤතරෙන

ප්‍රශ්නය: බුදුන් වහන්සේ වෙළඳාම පිළිබඳව බෞද්ධ පිළිවෙත හා සීමාවන් පෙළපොත්වල හඳුන්වා දෙයි. ඒ මොනවාද?

පිළිතුර: (අංනි – වණිජ්ජා සූත්‍ර) පඤ්චිමා භික්ඛවෙ වණිජ්ජා උපාසෙකෙන අකරණියා කතමා පඤ්ඤ සත්ථ වණිජ්ජා සත්ත වණිජ්ජා - මංස වණිජ්ජා මජ්ජ වණිජ්ජා විස වණිජ්ජා ඉමා ඛොභික්ඛවේ පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණියා මේ අනුව බෞද්ධ උපාසක විසින් නොකළ යුතු වෙළඳාම් පහකි.

සත්ථ වණිජ්ජා - අවි වෙළඳාම

සත්ත වණිජ්ජා - සතුන් හෝ

මිනිසුන් වෙළඳාම

මංස වණිජ්ජා - මස් හෝ මස් පිණිස

සතුන් වෙළඳාම

මජ්ජ වණිජ්ජා - මත්පැන් හෝ මත් ද්‍රව්‍ය වෙළඳාම

විස වණිජ්ජා - විස වෙළඳාම

අහිංසාව හා මෛත්‍රීය යන සංකල්පය විසින් වෙළෙඳාමෙහි පැනවෙන සීමා මේ සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත.

ප්‍රශ්නය: බෞද්ධ පිළිවෙතට අනුව ධනය ධාර්මික වන්නේ කුමන පදනමක් මත එය රැස් කළ විට ද?

පිළිතුර:  (අංනි – අනණ සූත්‍ර) කතමඤ්ච ගහපති අත්ථිසුඛං ඉධ ගහපති කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨාන විරියාධිගතා බාහා බල පරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්ම ලද්දා.

1. උට්ඨාන වීර්යයෙන් ලැබීම

2. දෑතේ මහන්සියෙන් රැස් කිරීම

3. දහඩිය මහන්සියෙන් ඉපයීම

පළමු වචන තුනකින් විස්තර වනුයේ ශ්‍රමයේ අවශ්‍යතාවයයි. ධනෝපාර්ජනයේහිදී කළ යුතු උත්සාහයත් අනතුරුව ඒ උත්සාහය මෙහෙය විය යුතු කායික ස්වරූපයත් කිය වේ. “ධම්මිකා ධම්ම ලද්ධා” යන දෙවදන අර්ථවත් වන්නේ පළමු සඳහන් යෙදුම් තුනට අනුකූලව භෝග රැස් වී ඇත්නම් පමණි.

ප්‍රශ්නය: සමාජ සංස්කෘතිය කෙරෙහි “විවාහ ජීවිතය” සෘජු බලපෑමක් කරන බව බුදුසමය පිළිගනී. විවාහය දෙස සමාජ විද්‍යාත්මක ව බැලීමෙහි දී වැදගත් වන කරුණකි සමාජ අනුමැතිය. බුදු සමයට අනුව පස්කම් සැප අනුභව කරන මල් ගඳ විලවුන් ඈ දරන ගිහි කාමභෝගී අයට පංචකාම විෂය, සමාජ සංයුතිය (පැවැත්ම) සඳහා අනුමතය එහෙත් කාමයෙහි වරදවා හැසිරීමට සංයුතිය උල්ලංඝනය කිරීමට අනුමැතියක් දී නැත. මිථ්‍යාචාරයෙන් වෙන්ව සම්මාචාරය පිළිගත් බුදුසමය විවාහය පිළිබඳව නිවැරදි පිළිවෙත මනාව හෙළි කරයි. නිදසුනක් මඟින් අනාවරණය කරන්න.

පිළිතුර: සමාජයන්හි ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ කවුරුන් අතර ද යන්න බුදුසමය පැහැදිලිවම “කාමෙසු සම්මා ආචාරය” විවරණය කරමින් අනුමත කරයි. ඒක පුරුෂ, බුහු භාර්යා සේවනයත්, බහු පුරුෂ ඒක භාර්යා සේවනයත් සමාජ සංයුතිය ඉක්මවා යන දුරාචාරයකි. ඒක පුරුෂ ඒක භාර්යා සේවනය අනුමත කරමින් එයට සමාජ විද්‍යාත්මක පදනමක් ද බුදුසමය නිර්මාණය කරයි. සමාජ සම්මතය පිළිගත් ලිංගික සබඳතා ගොඩ නැගෙනුයේ විවාහය මඟින් ය.

උපත ලබන දරුවන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා පිළිගැනීම සඳහා ද උපකාර වනුයේ විවාහයයි. “සිය දරුවන් නීත්‍යානුකූල වන පරිදි කාන්තාවක හා පිරිමියෙකු අතර හට ගන්නා සම්බන්ධය විවාහයයි.”

අඹු සැමි දෙදෙනකු දරුවන් ලද විට එම යුවළ වෙත කාර්ය භාරයක් ද පැවරෙයි. ඒ මව්පිය යුතුකම් හා වගකීම් සිඟාලෝවාද සූත්‍රයෙහි නැගෙනහිර දිසාව යටතෙහි අවධාරණය කරයි. එයට සමාන්තර ව දූ දරු යුතුකම් හා වගකීම් ද සඳහන් කරන එම සූත්‍රය පවුල් ඒකකයේ චිර ජීවනය සඳහා දෙපාර්ශවයේ වගකීම් යුතුකම, දෑතක එකඟාතවය මෙන් සන්ධානගත වියයුතු බවද අවධාරණය කරයි.

ප්‍රථමයෙන් දූ දරු වගකීම් පැහැදිලි කරමින් “භතො නෙසං හරිස්සාමි” වියපත් ආබාධිත මව්පියන් හට උපස්ථාන කළ යුතු ය. එසේම දෙගුරුන්ගේ කුදුමහත් කටයුතු ඉටු කරදීම ද දරුවන් ගේ වගකීමක් බව පැහැදිලි කරයි. “කිච්චං නෙසං කරිස්සාමි” කුල පරම්පරානුගත සිරිත් විරිත් ද ආරක්‍ෂා කළ යුතු වන්නේ ය. “කුල වංසව ඨපෙස්සාමි” මව්පිය පරිත්‍යාගය අල්ප වුව ද අනල්ප වුවද ඒ හැම මැනවින් රැක්ක යුතු වේ. “ දායජ්ජං පට්පජ්ජාමි” මේ හැම කරුණු මව්පිය දූ දරු සම්බන්ධය සඳහා අත්‍යන්ත උපකාරී ය. මව්පියන් මියගිය කල දක්ෂිණා පිරිනැමීම ආදියෙන් ඔවුන් වරින් වර සිහිපත් කිරීම ද දරුවන්ගේ යුතුකමකි. “පෙතානං කාලකතානං දක්ෂිණා අනූප දස්සාමි” සූත්‍රාගත දේශනාවලට අනුව දරුවන් කෙරෙහි පැවැත්විය යුතුකම් ද මෙසේ අවධාරණය කොට ඇත.

ප්‍රශ්නය: අඹු සැමි සබඳතාව “උතුම් ගිහිගෙය” යන අරුතින් “සදාර බ්‍රහ්මචරිය” යනුවෙන් ප්‍රකට වූ අතර ගිහි සැපය සදාර සන්තුට්ඨිය යන ලෙසින් නම් කෙරිණ. මෙම ප්‍රස්තුතයෙන් කියවෙන්නේ බෞද්ධ ගෘහස්ථයාට ගැළපෙන ලෙස බුදුන් වහන්සේ දේශනා කළ ගිහි වතය. අගැයීමක් කරන්න.

පිළිතුර: දීඝජානු කෝලිය සිටුපුත් බුදුන් වහන්සේ වෙත එළඹ මෙසේ අයැද සිටී. “මයං භන්තෙ ගිහි කාමභෝගී පුත්ත සම්බාධ සයනං අජඣාවසාම කාසි වන්දනං පච්චනුහොම මාලා ගන්ධ විලේපන ධාරායාම ජාතරූප රජතං සාදියාම, කෙස නොභන්තෙ භගවා තථා ධම්මං දෙසෙතු - යෙ අම්හා - කං අස්සු ධම්මා - දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය සම්පරාය හිතාය සම්පරාය සුඛායති”

අනුවාදය

භාග්‍යවතුන් වහන්ස, ගිහි කාම භෝගීන් වන අපි අඹු දරුවන් සමඟ කම්සුව විඳින්නෙමු. කසී සළු හා සුවඳ මල් ගඳ ඈ දරන්නෙමු. රන්රිදී පරිහරණය කරම්හ. ඒ අප මෙලොව පරලොව යහපත පිණිස දහමක් ඇත්නම් දේශනා කොට වදාළ මැනව. මෙබඳු දහමක් අයැද සිටි සිටු පුත්‍රයාට මෙන්ම “උජ්ජය” බමුණුට ද බුදුරජාණන් වහන්සේ විසින් මෙලොව පරලොව හිත සුව පිණිස වන්නා වූ දහමක් සසුනෙහි ඇති බව දේශනා කොට වදාළහ. අඹු දරුවන් දැහැමින් පෝෂණය කරමින් පින් කරන සිල්වත් ගෘහපතියන්ට තමන් වඳින බව දෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් ප්‍රකාශ කළ බව “සක්ක නමස්සන” සූත්‍රය කියයි.

“දේවතාවෙක් දේවතාවියක සමඟ ජීවත්වීම” මෙයින් සුන්දර අඹුසැමි දෙදෙනකු ගැන කිය වේ. දෙවි දේවතාවන් වැනි එම අඹු සැමියෝ උත්තම ගණයේ පති පතිනියන් ලෙස සලකනු ලැබේ. එකිනෙකාගේ ජීවත්වීමේ අයිතිය බුහුමනින් පිළිගන්නා “මුසා, පිසුණු, හිස් වදන් තෙපලීමෙන් මිදුණු අභිධ්‍යාවෙන් නොවැඩුණු පරහිතයෙහි නිරත සම්‍යග් දර්ශී උදාර චරිතවත් සැමියා යුග දිවියෙහි දෙවියෙකු ලෙස දක්වා ඇත. ඒ හා සමඟ ගුණෝපශෝභනී ධම්මපත්ති භාර්යාව යුග දිවියෙහි දේවතාවියකට උපමා කොට තිබේ. මෙබඳු දේශනා මඟින් තහවුරුවන්නේ යුගදිවිය දිව්‍යමය තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය කරුණු බුදු දහමෙහි පැහැදිලි කොට ඇති බවයි.

ජීවිකා වෘත්තිය වශයෙන් ඉතා සුළු වැඩපළ කරමින් දුක සේ ජීවිකාව ගෙවන දිළින්දකු අඹු දරුවන් පෝෂණය කරමින් දහමෙහි හැසිරෙමින් කෙරෙන අල්පමාත්‍ර වූ පරිත්‍යාගය පවා මහා යාගයකටත් වඩා සිය ගුණයක් අගනේ යැයි බුදුහිමියන් විසින් මෙසේ පෙන්වා දී ඇත. (ස.නි. මච්චරිය සූත්‍ර) ‘ධම්මන්චරෙ යොපි සමුක්ජතා චරං දාරං ච පොසං දද මප්පකස්මිං සතං සහස්සානං සහස්සයා හිතං කලම්පි නග්ඝන්ති තථා විධස්සතෙ’ පවුල් ජීවිතයක් සාමාජික යුතුකම් ඉටු කිරීම වැඳීමක් (නමස්සෙය්‍ය) ලෙසින් හැඳින්වීම ඉතා වැදගත් වෙයි. මේ සියලු කරුණින් පැහැදිලි වන්නේ බුදුසසුන තුළ පවුල් දිවිය ස්ථාවර සංස්ථාවක් ලෙසින් පිළිගැනුණු බවත් දැහැමි පවුල් දිවිය බුදු දහමෙහි ප්‍රකාශිත බවත් ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.