Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දේශීය අධ්‍යාපනයට පණ දුන් තක්සලාව

පෑලියගොඩ විදුලකර පිරිවෙන

1875 නොවැම්බර් මස 01 වෙනිදා ආරම්භ කරන්නට යෙදුණු පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනට 2007 නොවැම්බර් මස 01 දිනට වසර 132 ක් සපිරේ. මෙය ඒ නිමිත්තෙනි.

රත්මලානේ
ශ්‍රී ධර්මාරාම නාහිමි
රත්මලානේ
ශ්‍රී ධර්මාලෝක නා හිමි
ලුණුපොකුණේ
ශ්‍රී ධර්මානන්ද නාහිමි
කිරිවත්තුඩුවේ
ශ්‍රී ප්‍රඥාසාර
නා හිමි
යක්කඩුවේ
ශ්‍රී ප්‍රඥාරාම නා හිමි
නාත්තන්ඩියේ
ශ්‍රී ප්‍රඥාකර නාහිමි

දේශීය අධ්‍යාපනය ආරක්‍ෂාකර ගැනීමටත්, යළි නඟා සිටුටවීමටත් ජාතියේ පිනට වැලිවිට ශ්‍රී අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමියෝ පහළ වූහ. උන්වහන්සේ අති දුෂ්කරතා මැද පිරිහෙමින් තිබූ අපේ අධ්‍යාපනය ඉගෙන එයට අනුගත වූ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් ලක්දිව පුරාම ඇති කළහ. ඒ ගෝල පරපුරෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මූලිකත්වය ගත්තේ ආසිදෙණියේ ධර්මකීර්ති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේගේ පරපුරෙන් පැවත එන ගෝල පරපුරට අයත් මහා පඬිවරයෙකි. වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, උන්වහන්සේ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කරමින් රටට හා දේශීය බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට පෙරමුණ ගත හැකි පඬිවරු ගණනාවක් බිහි කළහ. ඒ අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශේෂයෙන් සඳහන් කළ හැකි ය. සුමංගල නාහිමියෝ 1873 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනත්, ධර්මාලෝක නාහිමියෝ 1875 දී කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාවත් ආරම්භ කරමින් වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කළහ. මෙහිදී විශේෂ අවධානය යොමු වන්නේ 1875 නොවැම්බර් මස 01 වෙනිදා රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව පිළිබඳවයි. ඒ අනුව විද්‍යාලංකාර පිරිවෙනේ (ශාස්ත්‍ර ශාලාවේ) යුගයෙන් යුගය බිහි වූ පරිවේණාධිපතීන් වහන්සේලා ප්‍රථමයෙන් සඳහන් කිරීම මැනවැයි සිතමි.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමි

රත්මලානේ පුරාණ විහාරයේ වැඩවෙසෙමින් ධර්ම ශාස්ත්‍රය බෙදාදුන් ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දළුගම දායකකාරකාදීන්ගේ ආරාධනාවක් මත එහි වස් විසීමට තීරණය කළහ. වස් කාලයෙන් මසක් ගිය තැන දායක සභාවක් පිහිටවූ උන්වහන්සේ එකී දායක සභාවේ ඉල්ලීමක අනුව විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ඇරඹූහ. ඒ සඳහා තමන් වහන්සේගේ ගෝලයා වූ රත්මලානේ ධර්මාරාම හිමියන්ගේ පූර්ණ සහායද ලැබුණි. කුඩා පොල් අතු මඩුවකින් ඇරඹූ ශාස්ත්‍ර ශාලාවේ ගිහි පැවිදි බොහෝ දෙනාට ධර්ම ශාස්ත්‍රය ලබා දීමට උන්වහන්සේ බෙහෙවින් කැපවී කටයුතු කළහ. ධර්ම ශාස්ත්‍රීය සේවයත්, අධ්‍යාපනික සේවයත් මෙසේ ඉටු කරන අතර ධර්මාලෝක මාහිමියන් විසින් ‘ධර්ම ශාලාවක්’ ද තනන ලදී. ඒ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. සහජයෙන්ම උන්වහන්සේ දක්‍ෂයෙකු වූහ. ස්වකීය ගෝලයා සමඟ ඇරඹූ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව මඟින් රටට හිතැති වූද, වැඩදායක වූද, ආගම දහමට ලැදි වූ ද ගෝල පරපුරක් බිහිකළ රත්මලානේ ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1887 අගොස්තු මස 15 දින අපවත් වූහ.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමි

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1887 දී විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපතිත්වයට පත්වූහ. තම ගුරුදේවයන් වහන්සේ ඇරඹූ අධ්‍යාපනික සේවය වඩාත් තීව්‍ර කරමින් ඉදිරියට රැගෙන ගොස් ශාස්ත්‍රීය පර්යේෂණායතනයක් බවට පත්කිරීමට උන්වහන්සේ සමත්වූහ. සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් පිළිබඳ හසල දැනුමක් සහිත වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියෝ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට පමණක් දෙවෙනි වෙතැයි ඇතැම් උගත්හු විශ්වාස කරමින් ප්‍රකාශ කරති. න, ණ, ල, ළ භේදය, ජානකීහරණ සංස්කරණය, සිදත්සඟරා සන්නය ආදී ශාස්ත්‍රීය පර්යේෂණ උන්වහන්සේගේ පාණ්ඩිත්‍යයට කදිම නිදසුන් ය. උන්වහන්සේ වෙතින් සංස්කරණය වූ ද, රචනා වූ ද කෘති අති විශාල සංඛ්‍යාවක් තිබේ. ඒ අතර එදා මෙන්ම අදත් උගතුන්ගේ ප්‍රසාදයට ලක් වී ඇති කෘති කිහිපයකි.

අපේ දේශීය අධ්‍යාපනය පිරිහෙමින් කඩාහැලෙමින් පැවති අවධියක දී ඊට නැවත පණ පොවමින් නගාසිටුවීමට ඇරඹි විද්‍යොදය හා විද්‍යාලංකාර යන පිරිවෙන් දෙකින් එය මනාව ඉටුවෙමින් පවතින අතර, ඊට ශක්තිමත් අඩිතාලම වූයේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1918 මැයි මස 03 වෙනිදා අපවත් වී වදාළහ.

ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිම

තුන්වන පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර සභාව මඟින් පත් කළහ. මෙම යුගයේ දී අධ්‍යාපන අංශය පෙර අයුරින්ම දියුණු වෙමින් පැවතුණ අතර, ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ඇතුළු නේවාසිකයන්ගේ නවාතැන් සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ද ඉදිවිය. විද්‍යාලංකාර පිරිවෙනේ ගොඩනැඟිලි ඉදිවීම ආරම්භ වූයේ මේ යුගයේ දී ය.ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද විවිධ විෂයයන්ට අදාළ පොත් පත් රචනා කරමින් හා සංස්කරණය කරමින් ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරම්භ කළ ශාස්ත්‍රීය පර්යේෂණ මාලාවට නව පණක් ලබා දුන්හ. විද්‍යාලංකාර පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රී සේවය විදේශ රටවලටත් ව්‍යාප්ත කරවීමට සමත් වූ ධර්මානන්ද නාහිමියන්ගේ යුගයේ දී විවිධ දායකකාරකාදීහු ඉඩකඩම් හා ආරාම පූජා කරමින් පිරිවෙනේ සේවයට කෘතගුණ සැලකූ®හ. එසේම මෙම කාලවකවාණුව ඉතා සුවිශේෂී යුගයක් බවට පත් වන්නේ පිරිවෙනේ එකම වස්තුව වන නිර්මල සර්වඥධාතූන් වහන්සේ පිරිවෙනට වැඩම වීම නිසා ය. 1940 දී බ්‍රිතාන්‍යයේ මේයිසි පරපුරේ බරොස් මැතිනිය සහ ස්මිත් මැතිනිය විසින් ලක් රජයට පරිත්‍යාග කළ මෙම සර්වඥධාතූන් වහන්සේ සර් කනිංහැම් මහතා සමඟ ඉන්දියාවේ භිල්වා ස්තූපයෙහි කැනීම් කටයුතු සිදු කළ ජෙනරාල් මෙයිසි මහතාට 1849 වර්ෂයට පෙර හමු වී ඇත. ලක් රජයට පරිත්‍යාග කළ සර්වඥ ධාතූන් වහන්සේ පිරිවෙනේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්.ඩී.බී.ජයතිලක මැතිතුමා මඟින් විද්‍යාලංකාර පිරිවෙනට වැඩමවීම විදුලකර ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ශරීරයේම කොටස් වශයෙන් ඓතිහාසිකව ඔප්පු වී ඇති ධාතූන් වහන්සේ සියැසින් දැකගැනීමට ජීවිත වාසනාව ලත් ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1945 ජූනි මස 18 වෙනිදා අපවත් වී වදාළහ.

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි

කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියෝ විද්‍යාලංකාර පරිවේණාධිපතිත්වයට 1945 දී පත් වූහ. උන්වහන්සේගේ යුගයේ දී එතෙක් පැවති තත්ත්වය අභිබවා දේශපාලනික වශයෙන් ද විද්‍යාලංකාර පිරිවෙන රටේ ප්‍රසිද්ධ විය. ස්වකීය ආචාර්ය සම්ප්‍රදායයන් ආරක්‍ෂා කරමින් හා විද්‍යාලංකාර පිරිවෙනේ අනන්‍යතාවය සුරක්‍ෂිත කරමින් භාෂා හා ධර්ම ශාස්ත්‍රීය සේවයක් ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම විනයධර යතිවරයන් වහන්සේ නමක් මෙන්ම දයා කරුණාභරිත ගුණවතුන් වහන්සේ නමකි. අතීත පරිවේණාධිපතීන් වහන්සේලා මෙන් ම ග්‍රන්ථ සම්පාදනය කරමින් හා සංස්කරණය කරමින්, ශාස්ත්‍රීය සේවයට මහඟු මෙහෙවරක් ඉටුකළ, චාම් සරල දිවිපෙවෙතක් ගත කළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර (කැලණිය) විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයකු වශයෙන් ද සුවිශාල සේවාවක් ඉටුකළහ.

යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි

ශ්‍රී ධර්මානන්ද නාහිමි යුගයේ සිට පිරිවෙනේ අධ්‍යක්‍ෂ හැටියට ඉතා දීර්ඝ කාලයක් සුවිසල් මෙහෙවරක් ඉටුකළ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පස්වෙනි පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් පත්වූහ. 1934 වර්ෂයේ පටන් පිරිවෙනේ දියුණුවට ජීවිත පරිත්‍යාගයෙන් දිවා රෑ නොබලා ඇපකැපව ක්‍රියා කළ යක්කඩුවේ නාහිමියෝ විද්‍යාලංකාර පිරිවෙනට අනුබද්ධ ආයතන හැටියට පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන හා දෙමටගොඩ ධර්මප්‍රාසාදය අරඹා ධර්ම ශාස්ත්‍රීය සේවය ගිහි පැවිදි හැම දෙනා අතරම ව්‍යාප්ත කළහ. විද්‍යාලංකාර පිරිවෙනේ වත්මන් අභිවෘද්ධියේ නිර්මාතෘවරයාණන් වහන්සේ අප නාහිමියන් යයි පැවසීම සෙසු පරිවේණාධිපතීන් වහන්සේලාට අගෞරවයක් නොවේ යයි මම සිතමි.

පිරිවෙනේ කටයුතු නොපිරිහෙලා ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරමින්, පිරිවෙනේ නඩත්තුව සඳහා ඉඩකඩම් ලබා ගෙන, ඒවා සංවර්ධනය සඳහා උන්වහන්සේ වෙතින් සිදු වූ මහඟු මෙහෙවර හැටියට සඳහන් කරන්නේ හදපිරි භක්තියෙනි.

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ මහාචාර්ය වල්පොළ රාහුල මාහිමියන් වහන්සේ කළ යෝජනාවක් ඉලංගරත්න ඇමතිතුමාගේ පෙළඹවීමත් නිසා පිරිවෙන් අධ්‍යක්‍ෂ යක්කඩුවේ නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ඉටුකළ ත්‍රිපිටක ධර්ම සංගීතයයි. පිරිවෙනට වසර 75 ක් පිරීම නිමිත්තෙන් 1950 අගෝස්තු මස 15 වෙනි දින ඇරඹූ ත්‍රිපිටක ධර්ම සංගීතිය අවුරුදු තුනයි මාස පහයි දවස් පහළොවක් පුරා පැවැත්වීමෙන් විද්‍යාලංකාර පිරිවෙන පුණ්‍ය භූමියක් බවට පත් විය. මෙයද විද්‍යාලංකාර ගමන් මගේ සුවිශේෂී වූද, අනර්ඝ වූද කර්තව්‍යයකි. එහි පුරෝගාමියා වූයේ ද අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේමය.

වාර්ෂික දාන පිළිවෙළක් අරඹමින් පිරිවෙනේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය දානමාන නොපිරිහෙලා ලැබීමට මඟ පාදමින් කටයුතු කළ යක්කඩුවේ නාහිමියෝ සිංහල, පාලි, සංස්කෘත ඇතුළු භාෂාවන් හි විශාරදවරයෙක් ද වූහ. උන්වහන්සේ විසින් රචනා කරන ලද කෘති බොහෝ ය.

නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නා හිමි

සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාමාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1986 මාර්තු මස 01 වෙනිදා අපවත්වීමෙන් පසු එතැන් පටන් පරිවේණාධිපති තනතුර හොබවන ලද්දේ නාත්තන්ඩියේ ශ්‍රී පඤ්ඤාකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යුගයේ පටන් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යුගය දක්වා පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් අභ්‍යන්තර කටයුතුවලට වඩා බාහිර කටයුතුවලදී ඇපකැපවීමෙන් සුවිශාල මෙහෙවරක් උන්වහන්සේ ඉටු කළහ. 1986 දී පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් පත් වූ නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1990 දී අපවත් වී වදාළහ.

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නා හිමි



වැලමිටියාවේ
ශ්‍රී කුසලධම්ම නා හිමි

නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු එවකට උප පරිවේණාධිපති හා අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළ වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරයට විද්‍යාලංකාර සභාව මඟින් පත්කරන ලදී. උන්වහන්සේ එවක් පටන් අද දක්වා අතීත පරිවේණාධිපතීන් වහන්සේලා අනුගමනය කළ ආචාර්ය සම්ප්‍රදායයන් අඛණ්ඩව පවත්වා ගෙන යමින් විද්‍යාලංකාර පිරිවෙන රටේත් ලෝකයේත් ජීවමාන කරවීමට දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටිති. ලොකු පොඩි දුප්පත් පොහොසත් උගත් නූගත් ආදිය නොබලා තමන් වහන්සේගේ සේවය අවශ්‍ය වන්නේ කොතැනට ද එතැනට වැඩම කරමින් ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ඉටුකරදීමට වර්තමාන පරිවේණාධිපතීන් වහන්සේ වගබලා ගනිති.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් ද අග්ගමහා පද්ධම්මජෝතිකා ධජ යන ගෞරව නාමයෙන් ද පුදලද වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සේවය දෙස් විදෙස් පවා ඇගයීමට ලක් වී ඇත. දෙස් විදෙස් විවිධ පදවි තානාන්තරවලින් පූජාර්හ ලබන අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවිධ සුභසාධක සේවාවන් රැසක් අරඹමින් ද, අතීත පරිවේණාධිපතීන් වහන්සේලා ඇතුළු පිරිවෙන ආරම්භ කළ, ආරක්‍ෂා කළ, පෝෂණය කළ ගිහි පැවිදි උතුමන් අනුස්මරණය කරමින් කළගුණ සැලකීමට ‘විද්‍යාලංකාර දිනය’ අරඹමින් ද, අතිමහත් සේවාවන් ගණනාවක් දියත් කරති.

උන්වහන්සේ කරන සේවාවන් තව තවත් දිරිමත්ව කරගෙන යාමට විද්‍යාලංකාර පාරිවේණික ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ වන අප සැමගේ ආශිර්වාදයත්, තුනුරුවන්ගේ ආශිර්වාදයත් අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරන අතර පුරා වසර 132 ක කාල පරාසයක් ආයු ගෙවමින් මේ රටට, ජාතියට, ආගමට, භාෂා ශාස්ත්‍රාදියට අනගි මෙහෙයක් ඉටු කළ, එමෙන්ම ඉටු කරන ‘විද්‍යාලංකාරය’ මේ රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම අයත් මහා තක්‍ෂිලාවකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.