ආගම යනු කුමක්ද?
නාරාවිල පැට්රික්
ආගම යන්නට වර්තමාන ශබ්ද කෝෂයන්හි විවිධ අර්ථ දී ඇත. සැබවින්ම එකී අර්ථ
දී ඇත්තේ කෙනකුගේ හිතූ මතයට නොවේ. ව්‍යවහාරයෙහි ඒ ඒ අර්ථයේ වලංගුතාවය
සලකා ය. එවැනි අර්ථ කීපයක් මෙසේ දැක්විය හැකි ය.
එනම් ඇදහීම, ලබ්ධිය, අවබෝධය, ශාස්ත්‍රය, පාරම්පරික ධර්මය, බුද්ධ වචනය,
පෙළ දහම, තන්ත්‍රය, තාන්ත්‍රික කෘතිය, පැමිණීම, සම්ප්‍රාප්තිය, වචනයකට
අමුතුවෙන් වර්ණයක් පැමිණීම, එසේ පැමිණි වර්ණය, කතෝලිකත්වය,
ක්‍රිස්තියානිය යනුයි.
මේවායින් ඉතාම වැදගත්, අර්ථාන්විත වචනය ලෙස ඇදහීම ගැනීම මෙතැනදී සාධාරණ
වනු ඇතැයි සිතේ. එයට හේතුව ඇදහීම හෙවත් ආගමික විශ්වාසය මිනිසාගේ ලෞකික
හා ලෝකෝත්තර විමුක්ති මාර්ගය ලෙස භාවිතයට පත්ව ඇති බව පිළිගන්නට
සිදුවීමයි. ඉහත දක්වන ලද වචන වලින් වැඩි හරියක ඇත්තෙත් ඇදහීම හෝ ඊට
සබඳතාවක් ඇති අර්ථ නිරූපණයක් බව ද පෙනේ. මේ සටහනින් අදහස් කැරෙන්නේ ආගම
බිහිවීමට පාදක වූ මූලික සංකල්පය හෝ සංකල්ප ගැන විමසා බැලීමයි.
අප විශ්වය නමින් හඳුනා ගෙන ඇති වපසරිය තුළ අපේ උපත, පවත හා විපත
(උත්පත්ති, ඨිති, භංග) සපුරා පාලනය වන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය විසින්
බව අපට පිළිගන්නට සිදු වෙයි. අපේ පංචේන්ද්‍රියනට අරමුණු ගෝචර වන
ආකාරයත්, ඒ මඟින් මනස් ඉන්ද්‍රිය අත්දකින යථාර්ථයත් ගැන සිතා බැලුවොත්
විශ්වයෙන් අපට උරුම වී ඇති අංශුව වන අපේ සෞරග්‍රහ මණ්ඩලය පාලනය කරන
හෙවත් නිමවන, පවත්වන සහ නවත්වන මහා විශ්ව ශක්තිය සූර්යයා වන බව පෙනේ.
සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ දා පටන් ම එය සූර්යයා විසින් නිරායාසයෙන්
පාලනය කැරෙන හෝ මෙහෙයැවෙන ආකාරය අප විසින් විමසා බැලීම අපේ යුතුකමක් ද,
අයිතියක් ද වෙති යි සිතේ. සෞරග්‍රහ මණ්ඩලය මැවූ කෙනෙක් නැත. එහි
බිහිවීම ස්වභාව සංසිද්ධියකි. මෙකී ස්වභාව යන්න අපි ස්වභාව ධර්මය යයි ද
හඳුන්වමු. අප ජීවත් වන විශ්ව අංශුව තුළ අප පාලනය කරන ස්වභාව ධර්මය
නියෝජනය වන්නේ සූර්යයාගෙන් නොවේද? එබැවින් අපට අදාළ විශ්ව ශක්ති
ප්‍රභවය සූර්යයා බවට අනුමාන කරන්නට වුවමනා නැත. කෙළින්ම එය සහතික
කරන්නට වුවමනා තරම් සාධක ඇත.
සූර්යයා සිය ශක්ති මහිමයෙන් අපේ මිහිතලය පාලනය කරන ආකාරය ගැන යන්තම් හෝ
හැඟීමක් අප කාටත් තිබිය යුතු බවට තර්ක කිරීම අවශ්‍ය නොවේ. එහෙත් මානව
ඉතිහාසයේ ඈතට යත්ම විශ්ව ශක්තිය මඟින් තමන් පාලනය වන ආකාරයට මානවයාට
තේරුම් ගත හැකි වූයේ නැත. එක්තරා මොහොතක එක් දිසාවකින් හිරු උදා විය.
එය කෙමෙන් අපේ හිස් මුදුනට අවුත් බැස ගියේ ය. ඉක්බිති ගනාන්ධකාරයකි. එය
බිය දනවන්නක් විය. දැඩි හිරු රැස් මානවයා ඉමහත් පෙළීමට බඳුන් කළේ ය.
හිරු රැසින් මෙවන් ඉවරයක් නැති කරදර ඇති වූවත් එයින්, අපේ හිත සුව
පිණිස ඉටු කැරුණු සේවා ද අපමණ විය. දැඩි සීතලෙන් පීඩාවට පත් කල්හි හිරු
රැසින් සුවදායක උණුසුමක් ලැබිණ. පදමට හිරු රැස් පතිත කල්හි ගහකොළ
හැදුණේ ය. ධාන්‍යයත්, පලතුරුත් පැසුණේ ය. හිරු රැස් බලයෙන් නොයෙක්
ලෙසින් මිහිතලයෙන් ඉහළට ඇද ගත් ජල වාශ්පයෙන් වැසී ලැබිණ. එය ද ගහකොළ
දළුලා හැදෙන්නට හේතු විය.
මේ සියල්ල මහා ගුප්ත කාර්යාවලියක් ලෙස මානවයාට දැනිණ, පෙනිණ. ඔහුට මේ
සියල්ල විඳ දරා ගන්නට සිදු විය. විටෙක එය සුවයකි, විටෙක දුකකි, විටෙක
දුකහා සුව යන දෙකින්ම තොර මැදහත් බවකි. මේ කවර දෑත් කෙරෙන් විටෙක හිරු
කෙරෙහි ඇති වූයේ බියකි. විටෙක ගරු සරු බවකි. මේ අනුව මානවයා තුළ හිරු
කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියක් හට ගැනිණ. අවකාශය පුරා සූර්ය ශක්තිය
විසින් මෙහෙයැවෙන සංසිද්ධි මඟින් මානවයා දුටුවේ ඔහුට අභිරහසක් මහා
ශූඪත්වයකි. මේ ශූඪ තත්ත්වයමට්ර්‍ණච් (ගෝඩ්) නොවේදැයි වාග් විද්‍යාව
ඔස්සේ සිතන්නකුට තර්ක කළ හැකි ය. මුලින් සඳහන් කළ පරිදි ලෝකයේ පළමුවෙන්
පූජනීයත්වයට පත් වූයේ සූර්යයා බවට තර්ක කිරීම සහේතුක ය. ඒ අනුව මුල් ම
ට්ර්‍ණච් හෙවත් මහ දෙවියා හිරු ම විය හැකි ය.
“දිව්” යන නාම ප්‍රකෘතියෙහි අවකාශ, ආකාශ ආදී තේරුම් ඇත. ඒ අනුව අහසෙහි
සිටින්නෝ දිව්‍යයෝ හෙවත් දෙවියෝ ය. ඒ අර්ථයෙන් ගත් කළ අහස දෙස බැලූ විට
එහි වැජඹෙන මහ දෙවියා හිරු බවට සැකයක් නැත. එය එතැනින් නතර වූයේ නොවේ.
දේව පරම්පරාවක් ම වර්ධනය වූ බව පෙනේ. එය කොතරම් පුළුල් ලෙස ව්‍යාප්ත
වූයේ ද යත්, දෙවියන්ගේ සංඛ්‍යාව තිස්තුන් කෝටියක් තෙක් ඉහළ ගියේ ය.
අහසෙහි දකින්නට ලැබෙන අපේ හිරු ඇතුළු සියලු තරු ද, ග්‍රහයෝ ද,
චන්ද්‍රයෝ ද දේවත්වයෙන් පුදනු ලබන්නෝ ය. ඡ්‍යොතීර් විද්‍යාවේ දී මුල්
තැන ගන්නාහු සූර්යයා ප්‍රමුඛ ග්‍රහයෝත්, චන්ද්‍රයාත් ය. ඡ්‍යොතීර්
යන්නෙහි තේරුම ආලෝකය යනුයි. සූර්යයාට හැර අන් කිසිඳු ආකාශ වස්තුවකට
ස්විය ආලෝකයක් නැත. සූර්යයාගෙන් ආලෝකය ලබා ගන්නා ග්‍රහයන් අපේ ඉරණම
පාලනය කරන ආකාරය ඡ්‍යොතීර් විද්‍යාවෙන් අපට කියනු ලැබේ. මේ කවර
දෙයිනුත් පෙනෙන්නේ සූර්ය ශක්තියෙන් ප්‍රභවය ලත්, සොබාදහම් පවතින සියලු
නිර්මාණයන්ගෙන් මානවයා කෙරෙහි ඇති කැරෙන ගුප්ත බලපෑම දේවත්වයෙන්
සලකන්නට නැඹුරු වීමක් බවයි.
සෘග්වේද සුක්කයන්හි අන්තර්ගතය විමසන විට පෙනෙන්නේ සොබාදහමේ අප අත්දකින්
සියලු ශක්ති දේවත්වයට නැගී ඇති ආකාරයයි. අග්නි, සවීතෘ, මරුත්, විෂ්ණු,
ඉන්ද්‍ර, රුද්‍ර, මිත්‍ර, බෘහස්පති, උෂස්, පර්ජන්‍ය, පූෂන්, ආපස්,
වරුණ, සෝම, පිතරඞ, පුරුෂ, රාතී‍්‍ර, යම, වාත ආදී සුක්ත නාම එක එකින්
හැඳින්වෙන්නේ එක් එක් දෙවියෙකි. එහෙත් මේ සියල්ල සොබාදහමේ ක්‍රියාත්මක
වන ශක්ති විශේෂ වන බව රහසක් නොවේ. මෙසේ ඕනෑම මානව ශිෂ්ටාචාරයක්
සොබාදහමේ ක්‍රියාකාරීත්වය සංකේතවත් කරමින් සම්මත කර ගන්නා ලද දේව
පරපුරක් ඇත.
මැද පෙරදිග ආදී යුදෙවු සමාජයේ ඒකේශ්වර දෙවියා වූයේ යෙහෝවාඞ ය. මුස්ලිම්
ලෝකයේ ඔහු හැඳින්වුණේ අල්ලාඞ නමිනි. ගී‍්‍රක්, මිසර, රෝම ආදී
ශිෂ්ටාචාරයන්හි දේව පරම්පරා දක්නට ඇත. හින්දු දහමේ එකේශ්වර දෙවියා
මවන්නා, රකින්නා, නසන්නා වශයෙන් ත්‍රිමූර්තියකින් දැක්වේ. එනම්,
බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර නමිනි. යුදා දහමේ පශ්චාත් විකාශනයේ දී යොහෝවාඞ
ද පිතා, පුත්‍රයා, ශුද්ධාත්ම යනුවෙන් ත්‍රිමූර්තියක් වුණු බව පෙනේ.
දෙවියන්ගේ උපත, පවත හා විපත මෙවන් තොරතුරු දැක්වීමකින් කියා නිම කළ
හැකි නොවේ. එහෙත් දෙවියන්ගේ පරිණාමය ද, ඉතා සරල විග්‍රහයකින්
දැක්වුවහොත්, මානම සංහතියේ පරිනාමයට සමාන්තර වන්නක් බව දකින්නට ලැබේ.
එසේ වන්නේ කෙසේද? අපි මෙසේ සිතමු. දෙවියන් පිළිබඳ මේ වන තෙක් ගොඩනැඟී
ඇති සංකල්පයන්ගේ නිර්මාතෘ කවරෙක්ද? සැබවින් ම මිනිසා ය. සොබාදහමේ
ඇතුළත් විශ්ව ශක්තියේ ගුඪත්වය තේරුම් ගත නොහැකි වූ මිනිසා එයට නොයෙක්
අර්ථකථන සැපයීය. සෑම කලාවකම මෙය අපූර්වාකාරයෙන් නිරූපණය වී ඇත. දැන්
අපට මෙවන් දෙයක් දකිනු හැකි ය. සොබාදහමේ අඩංගු විශ්ව ශක්තිය ශුඪත්වය
මඟින් නියෝජනය විය. ඉක්බිති එය දේවත්වයට නැගිණ. දේවත්වය සංකේත මඟින්
මූර්තිමත් වන්නට පටන් ගැනිණ. ගූඪත්වය තේරුම් ගත නොහැකි මානවයාගේ බිය
පදනම් කර ජනිත වූ ගෞරවය හේතුවෙන් සංකේත පුදපූජාවට ලක් කැරිණ. බැතිමතා
පිහිට පතා සංකේත වලට සිය දුක් දොම්නස් කියා යදින්නට පටන් ගත්තේ ය.
අන්තිමට විමසා බැලූ විට දේවත්වය මූර්තිමත් කළ විට අපට හමු වන්නේ
කවරෙක්ද? අරුමයකි. මිනිසෙකි. ඉක්බිති අපි අපට වඩා සමෘද්ධිමත් පැවැත්මක්
සඳහා දෙවියනට වුවමනා සියල්ල සපයා දෙමු. මෙවන් පසුබිමක අදාළ චාරිත්‍ර
වාරිත්‍ර පද්ධතියක් ඔස්සේ ආගමික සංකල්පය මුහුකුරා ගොස් ඇති බව පෙනේ.
සංවිධිත ආගම් බිහි වී ඇත්තේ මේ කාර්යාවලිය ඔස්සේ යැයි සිතිය හැකි ය.
ආගමක් අදහන්නා එමඟින් මෙලෝ පරලෝ විමුක්තිය ලබා ගන්නට අදහස් කරන බවක්
පෙනේ. එහිදී අකුසලයෙන් වැළකීමත්, කුසල් කීරීමත් අවශ්‍ය බව පිළිගැනේ.
එයින් අදහස් කැරෙන්නේ දුරාචාරයෙන් තොර වූත්, සදාචාර සම්පන්න වූත්
සමාජයක් බිහි කිරීමයි. දේවවාදී ආගම් වල කළ යුතු හා නොකළ යුතු දෑ
දෙවියන් වහන්සේ විසින් නියම කරනු ලැබ ඇතැයි ඒවා අදහන්නෝ සිතති, කියති.
ඒ අනුව ක්‍රියා කිරීම දෙවියන්ගේ අණ පිළිපැදීම මඟින් උන්වහන්සේට කීකරු
වීමක් සේ සැලකේ. ආගම ලෙස හැඳින්වෙන කවර සංස්ථාවක වුවත් පැවැත්ම සාධනය
වී ඇත්තේ මෙවන් ව්‍යුහයක් තුළ බවට තර්ක කළ හැකි ය.
මානව පරිණාමයේ එක්තරා අවස්ථාවක පටන් මිනිසාට තමා කවරෙක් දැයි තේරුම්
යන්නට පටන් ගැනුණේ ය. නැතහොත් මිනිසා තමා තේරුම් ගැනීම ඇරඹීය. එසේ
තේරුම් ගන්නට උත්සාහ කරන මිනිසුනට අපි චින්තකයෝ නැත හොත් දාර්ශනිකයෝ
යැයි කියමු. මානව ඉතිහාසයේ එක්තරා අවස්ථාවකදී අපට එවන් දාර්ශනිකයන් අතර
ශ්‍රේෂ්ඨතමයා යැයි සැලකිය හැකි මිනිසෙක් හමු වෙයි. ඒ සිද්ධාර්ථ
නමැත්තෙකි. එනම් සිය අර්ථය සිද්ධ කර ගත් තැනැත්තා යනුයි. පසුව එතුමා
බුද්ධ නමින් හැඳින්වෙන්නට පටන් ගැනිණ. අද අපි ඒ ශ්‍රේෂ්ඨතමයා
බුදුරජාණන් වහන්සේ නමින් හඳුනා ගෙන සිටිමු.
මෙකී නන්විධ තත්ත්වය භව සංකල්පය සමඟ ගළපා ගත හැකි ය. භව යන්නෙහි
පාරිභාෂික අර්ථය “වීම” යනුයි. අවකාශය පුරා සූර්යයාගෙන් නිරන්තරයෙන්
ප්‍රභවය ලත් තේජෝ ධාතුවෙන් මෙහෙයැවෙන පඨවි, ආපෝ, වායෝ ධාතූන්ගේ
සමවායෙන් ගණනය කළ නොහැකි ක්ෂණ පරාසයක් පුරා ව්‍යාප්ත වෙමින් පවතින “භව
පද්ධතිය” තුළ අපි අපේ ලෝකය යන මායාවෙහි ගිලී භව සංක්‍රමණයේ යෙදී
සිටිමු.
ස්වභාවය, ස්වභාව ධර්මය, හෝ විශ්ව ශක්තිය ඉක්මවා ක්‍රියා කරන්නට
කිසිවකුට නොහැකි ය. එයට හේතුව වන්නේ වාස්තවික වශයෙන් ගෙන දැක්විය හැකි
කිසිවක් එහි නැති වීමයි. එහි ඇත්තේ නාමික ලෙස හැඳින්විය හැකි
අනාත්මතත්වය, අනිත්‍යත්වය, ශූන්‍යත්වය සමඟ බැඳුණු භව පද්ධතියක හෙවත්
සංසිද්ධි මාලාවක චක්‍රිය ගලායෑමක් පමණි. විශ්වය තුළ පවත්නා කිසිවකට ඒ
චක්‍රයෙන් පිට පනිනන්නට නොහැකි ය. බුදුවරයකුට වත් එකී ධර්මතාව ඉක්මවා
ක්‍රියා කළ නොහැකි ය.
එසේ නම් අප දන්නා බුදුන් වහන්සේ කළේ කුමක්ද? ස්වභාව ධර්මය හෙවත් විශ්ව
ශක්තියේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි. එසේ තේරුම් ගෙන විශ්ව ශක්තියේ
ප්‍රතිනිර්මාණ හෙවත් ප්‍රතිමූර්ති හෙවත් විශ්ව ශක්ති පුඤ්ජ වන මිනිසාට
තමාත් අතිමාත්‍ර අංශුවක් වන මහා ශක්තිය තුළ ස්ව ශක්තියෙන් නැගී සිටින
මග එළී පෙහෙළි කර දීමයි. ඒ බව එක් තැනක මෙසේ දක්වා ඇත.
“තුම්හේභි කිච්චං ආතප්පං - අක්ඛාතාරෝ තථාගතා”
පටිපන්නා පමොක්ඛන්ති -ඣායිනෝ මාබන්ධනා” (ධම්මපද – මග්ග වග්ග - 04 )
“ඔබ විසින් කෙලෙස් තවන වෙර වැඩිය යුතු ය. බුදුවරු එයට මග කියත්. ඒ මඟට
බැස දැහැන් වඩන්නෝ මර බැඳුමෙන් මිදෙත්” |