Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිවිධ ශික්ෂාවේ ප්‍රඥා ශික්ෂණය

අරි අටගි මගෙහි ශික්‍ෂණ ප්‍රතිපදාව කොටස් තුනකට බෙදා තිබේ. සම්මා දිට්ඨි , සම්මා සංකප්ප ප්‍රඥා වශයෙන් ද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ශීලය වශයෙන් ද සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සමාධි වශයෙන් ද යනුවෙනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනු පිළිවෙලින් මෙසේම ය.

පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යනු පිළිවෙලින් දහම් වැටහීම ශීලාදී ගුණධර්ම හා භාවනාමය ක්‍රියා මාර්ගයයි. මෙම ක්‍රියා මාර්ගයද ආර්ය අෂ්ටාංගික මාර්ගයටම අයත් පිළිවෙල වේ. මහා චත්තාරීසක සූත්‍රය අනුව ආර්ය මාර්ගය ගැන විමර්ශනාත්මක ලිපියක් වශයෙන් මෙය ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න.

බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි - සම්මා සංකප්ප යන අංගද්වය ආර්ය මාර්ගයේ මුලට යොදා ඇත්තේ පළමු කොට ශ්‍රාවකයාට අවශ්‍ය ප්‍රඥාව ලබා දීමට ය. පර්යාප්තිය නැතහොත් දහම් වැටහීම යනුවෙන් අදහස් කරන්නේද මෙම නිවැරැදි දැකීමට ය. නිවැරැදි දැකීමක් පෙරටුකර ඇත්තේ සත්වයා පුද්ගලයා පිළිබඳ යථා භූත තත්ත්වය අවබෝධ කරවීමට යි. හුදෙක් ශ්‍රාවකයා ආත්ම දෘෂ්ටියෙන් මුදවා ගැනීම පිණිස ය. මම වෙමි, මගේ වෙමි යන වැරැදි සංකල්පයෙන් මුදවා ගැනීමට පංචස්කන්ධයේ ස්වභාවය හඳුන්වා දී මම යන්නෙහි ඇති හිස් බව අවබෝධ කරවීමෙන් නිවැරදි දැකීමක් ඇති කරවීම ආර්ය මාර්ගයේ ආරම්භයයි.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ඇතුළත් ප්‍රඥා ශික්‍ෂණය ඉඳුරන් මගින් ලබන දැනුම සම්බන්ධයෙන් වූවකි. මෙම ලෞකික ප්‍රඥාව නොමැතිව ශීලය හා සමාධිය ඇතිකර ගත නොහැකිය. සමාධියේ දී සියලු දෘෂ්ටි ප්‍රහීණ වූ පසු ඇති වන අතීන්ද්‍රිය ඥානයත් ඉන්ද්‍රිය අනුසාරයෙන් අරමුණු වලින් දෘෂ්ටි වශයෙන් ඇති වන ලෞකික “ ප්‍රඥාවත්” වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන මුල අග තෝරා ගත යුතුය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර බමුණූ යතිවරයන් විසින් අනුගමනය කරන ලද ප්‍රතිපදාව නිර්වාණ ගාමී ප්‍රතිපදා මාර්ගයක් නොවේ. එය ශීලයෙන් ආරම්භ වන්නේ ඒ නිසාය. ආර්ය න්‍යාය ඔස්සේ කරුණු විමසන විට සම්මුති සමාරෝපණයෙන් දේශනා කර ඇති ධර්මය අවබෝධ කරගන්නේ දෘෂ්ටි වශයෙන් නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන අංගද්වය ප්‍රඥා ශික්ෂණය වශයෙන් පෙරටු කර ඇත්තේ මෙය පූර්වාංගම නොවී ශීලය හා සමාධිය වැඩිය නොහැකි හෙයිනි.

ශාස්වත හා උච්චේද වශයෙන් තිබූ දෘෂ්ටි හැට දෙකක් වැලඳ ගැනීමෙන් මිථ්‍යා දෘෂ්ටි ජාලයක වෙලී සිටි මිනිසුන් ඉන් මුදාගෙන ඔවුන්ට නිවැරැදි දැකීමක් ලබා දීමට පංචස්කන්ධයේ ස්වභාවය හඳුන්වා දීම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පළමු පාඩම විය.

ඉඳුරන් පිනවමින් කය සන්තර්පනය කරමින්, රූපයට මුළා වී සිටින වත්මන් නොවියත් බෞද්ධ ජනතාවටද, පංචස්කන්ධයේ ස්වභාවය හඳුන්වා දීම කාලෝචිත ය. ඉඳුරන් පිනවීම මායාවක් බව වැටහෙන්නේ නිවැරැදි දැකීමක් ඇති වූ පසුවය. නිවැරැදි දැකීම පූර්වාංගම වීමෙන් ඇතිවන නිවැරැදි සංකප්පය ප්‍රඥා ශික්‍ෂණය වශයෙන් හැඳින්වේ.

බොහෝ බෞද්ධයෝ බුද්ධාගම ගැන යමක් දැන ගැනීමට ලෝකය පුරා ඇවිදිති. ඒ සඳහා ධනයත් , ශ්‍රමයත් කාලයත් වැය කරති. වැඩි කාලයක් බුද්ධාගම ගැන දැන ගැනීමට වැය කරන විට, තමන් ගැන දැන ගැනීමට මේ කිසිවකුටත් වෙලාවක් නැත.

බුද්ධාගම තිබෙන්නේ තමන් තුළ යැයි පැවසූ විට එය පිළිගැනීමට ද කිසිවකු කැමැති නැත. ඒ නිසා ප‍්‍රථම කොට තමන් කව්දැ යි හඳුනා ගැනීම මැනවි. ඊට හේතුව බෞද්ධකම තිබෙන්නේ තමන් තුළ හෙයිනි.

පංචස්කන්ධය හා උපාදානස්කන්ධ පංචකය පිළිබඳ යථා භූත අවබෝධයක් ඇතිකර ගැනීම තමා හඳුනා ගැනීමට ඇති එකම ක්‍රමයයි. අද බොහෝ බෞද්ධයින් පංචස්කන්ධයවත් නොහඳුනන නිසා පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කිරීම බොහෝ දෙනකුගේ ප්‍රයෝජනය සඳහා හේතුවනවා ඇත.

පංචස්කන්ධය යනු : 1.රූප 2. වේදනා 3. සංඥා 4. සංස්කාර 5. වේදනා යන ස්කන්ධ (ගොඩවල්) පහයි.

පඨවි , ආපෝ, තේජෝ, වායෝ, යන මහා භූත කොටස් හතර ද එයට ම අදාළව ඇති උපාදාය රූප ද රූපස්කන්ධයට ඇතුළත් ය.

පඨවි ධාතුව යනු තද සහ මොලොක් දේවල්ය. කෙස්, දත්, නිය, මස් ඇට ආදිය මෙයට ඇතුළත්ය. ආපෝ ධාතුව බැඳෙන වැගිරෙන ගතිය ඇති කෙළ, සොටු , ලේ, සැරව ආදි දේවල්ය. තේජෝ ධාතුව උණුසුම හා සිසිල ය මෙය නිරන්තරයෙන්ම ශරීරය තුළ පවතී. වායෝ ධාතුව (සෙලවෙන) ආශ්වාසය හා ප්‍රශ්වාසය ආදී ශරීරය තුළ ක්‍රියාකාරි වන වායු විශේෂයන්ය.

රූපස් කන්ධයට අයත් උපාදාය රූප : ඇස, කන, දිවන, නහය, උෂ්ණය හා සීතල දැනෙන්නේ ස්පර්ශය දැනෙන්නේත් කයටය. බාහිර ලෝකයේ තිබෙන සියලු දේ, රූප, ශබ්ද, ගන්ධ , රස ස්පර්ශ වීමෙන් ඇතිවන අරමුණූ අනුව අදහස් හා සිතිවිලි වශයෙන් මේවා අභ්‍යන්තරික හා බාහිර වශයෙන් වන රූප සියල්ල රූපස්කන්ධයට ඇතුළත් වේ.

වේදනා ස්කන්ධය, සුඛ වේදනා, දුඞඛ වේදනා, අදුක්ඛ - අසුඛ වේදනා යනුවෙන් වේදනාව තුන් ආකාර වේ. බාහිර ලෝකය සමග කායික හා මානසික ඉන්ද්‍රියන් ගැටීම නිසා ඇතිවන වේදනාව සවැදෑරුම් ය.

ඇස රූපය සමගත්, නාසය ගඳ සුවඳ සමගත් කය ස්පර්ශය සමගත් සවැනි ඉන්ද්‍රිය වන මනස (මනින්ද්‍රිය) සිතිවිලි සමගත් ස්පර්ශ වීමෙන් ඇති වන වේදනා සය ආකාර වේ. මේ සියලු කායික හා මානසික වේදනා, වේදනා ස්කන්ධවලට ඇතුළත්ය.

සංඥා ස්කන්ධය, සංඥා යනු අප විසින් කලින් අසා දැනගනු ලැබූ බොහෝ දේ මනසෙහි තැන්පත් කර ගනු ලැබූ සටහන් යන මේවා ඉන්ද්‍රිය සයට ගෝචර වන අරමුණු සය අනුව සවැදෑරුම් ආකාරයට ක්‍රියාත්මක වීමෙන් සංඥා ඇතිවේ. සංඥා හටගනු ලබන්නේ බාහිර වශයෙන් පමණි. අරමුණු හඳුනාගනු ලබන්නේ ප්‍රධාන කොට සංඥාව ඉවහල් වීමෙනි.

සය ආකාරයක බාහිර හා අභ්‍යන්තර වශයෙන් ඇතිවන සංඥා බොහෝ කොට ඇති හෙයින් , මෙයට සංඥා ස්කන්ධයැයි කියනු ලැබේ.

සංස්කාර ස්කන්ධය නම්, වචී සංඛාර කාය සංඛාර , මනෝ සංඛාර වශයෙන් ත්‍රිවිධාකාර සංස්කාර කුසල හා අකුසල ක්‍රියා වශයෙන් දැක්වේ.

බුදුරජාණන් වහන්සේ කර්මය විස්තර කළේ “ මහණෙනි” , මම චේතනාව කර්මය යැයි කියමි” චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යනුවෙනි. මේ අනුව චේතනාව නම් සිතින් නිපදවීමයි. ක්‍රියාව සිදුකිරීමට ප්‍රථම මනසින් සිතිය යුතුය. එම සිතිවිල්ලම කුසල හෝ අකුසල ගණයට වැටේ.

වේදනා සංඥා දෙක මෙන් චේතනාව ද අභ්‍යන්තර හා බාහිර ලෝකයේ පවත්නා ඊට ගැලපෙන කායික මානසික අරමුණු සය අනුව සවැදෑරුම්ව ක්‍රියාත්මක වෙයි.

වේදනාව හා සංඥාව සංචේතන ක්‍රියාවක් නොවන බැවින්, එයින් කර්ම විපාක ඇති වනු නොලැබේ. රාග, මාන , දිට්ඨි, අවිද්‍යා, උපධි, ශ්‍රද්ධා, සමාධි , ප්‍රඥා ආදි සචේතන ක්‍රියා වලින් පමණක් කර්ම විපාක ඇති වන්නේය.

සන්තානය තුළ හට ගන්නා චිත්ත චෛතසික ධර්මතාවන් රාශියකින් සමන්විත වන හෙයින් සංස්කාර ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ.

විඥාන ස්කන්ධය, ඇස , කන, දිව , නහය, කය, මනස යන ඉන්ද්‍රිය හයට ස්පර්ශ වීමෙන් (ගැටීමෙන්) රූප , ශබ්ද, රස, ඝන්ධ, ස්පර්ශ, ධර්ම යන අරමුණු තිබෙන බව පෙන්වනු ලැබේ.

පෙනීම ඇස ඇසුර කොට චක්ඛු විඥානය හට ගනී. මෙතනදී ඇසත් රූපයත් ගැටීම නිසා, ඇතිවන විඥානයට චක්ඛු විඥානයයි කියනු ලැබේ. මේ ආකාරයට දිව, කන, නාසය, කය යන ඉන්ද්‍රියන් ශබ්දය සමග, රස සමග ඝන්ධය සමග සීතල හා ඌෂ්ණය සමග ගැටීමෙන් ඒ ඒ අනුව විඥාන හට ගනී. මනෝ විඥානය මනස ආශ්‍රය කොට ගෙන පහළ වෙයි. මේ අනුව විඥානය ඉන්ද්‍රියන් සමග බැඳී පවත්නා බව පෙනේ.

විඥානයෙන් කෙරෙන්නේ අරමුණක් තිබෙන බව පෙන්වීම පමණි. විඥානය අරමුණ හඳුනා නොගන්නා බව දැන ගත යුතුය. අරමුණ හඳුනා ගනු ලබන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, යන ස්කන්ධ ක්‍රියාත්මක වීමෙන් පමණි. මෙයට පටිච්චසමුත්පන්න විඥානයැයි කියනු ලැබේ. විඥාන ස්කන්ධය මෙසේ හඳුනා ගැනීම මැනවි.

පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයක් නොමැතිව ධර්ම මාර්ගයේ ඉදිරියට යා නොහැකිය. මේ අවබෝධය මනා සේ ඇති වූ විට දුක හට ගැනීමට හේතු කවරේදැයි යන කාරණාව වැටහෙනවා ඇත. ඒ අවබෝධය තුළින් නිත්‍ය වූ යමක් මේ ලෝකය තුළ නොමැති බව වැටහේ.

අප ලියන හා කථා කරන වචන වලින් ධර්මයේ ස්වභාවය දැකීමට නොහැකිය. වචන වලින් කිසිවක් වටහා ගැනීමට නො හැකි බව වැටහෙන්නේ යමකට ප්‍රායෝගිකව මුහුණ දුන් විටය. “ තරහ” යන වචනය පොතකින් අපට දැකිය හැකිය. නමුත් තරහ දැකිය නොහැකිය. තරහ තමුන්ට දැකිය හැක්කේ තමුන්ටත් තරහ ගිය වෙලාවක පමණි. පොතේ ලියා තිබූ තරහ වචනයේ හා ප්‍රායෝගිකව තමුන්ට තරහ ආ වෙලාවේ තමන් අත්වින්ද තරහවේත් වෙනස කොපමණ දැයි වටහා ගැනීමත් ලබා ගත් අත් දැකීම අනුව අප ධර්මයේ ස්වභාවය දැකීමට සෑම විටම වීර්ය කළ යුතුය.

පංචඋපාදානස්කන්ධයේ ස්වභාවය ද හඳුනාගත යුත්තේ පොත්වල තිබෙන වචන වලින් නොව ප්‍රායෝගිකවය. මල් පූජා කරන ගාථාවෙන් පවා බෞද්ධයාට උගන්වන්නේ අනිත්‍ය ස්වභාවය දැකීමට ය. පංච උපාදානස්කන්ධයන්ගේ ස්වභාවය හඳුන්වා දීමට ගංගා නදියේ පෙණ පිඩු සමූහය උපමාවට ගෙන අපූරු ධර්මතාවයක් සංයුක්ත නිකායේ පෙණ පිණ්ඩූපම සූත්‍රයේ දේශනා කොට ඇත.

“ මෙම පෙණ පිඩු සමූහය නුවණින් දකින්නේ නම්, නුවණින් පරීක්‍ෂා කරන්නේ නම්, ඔහුට එය හිස් වූවක් බොල් වූවක්, හරයක් නැති දෙයක් ලෙස වැටහෙන්නේය”

රූපය පෙණ පිඩක් වැන්න, වේදනාව දිය බුඹුලක් වැන්න, සංඥාව මිරිඟුවක් වැන්න, සංස්කාර කෙසෙල් කඳේ අරටුව සෙවීමක් වැන්න, විඥානය මායාවක් වැන්න යැයි බුදුන් වහන්සේ වදාළ සේක.

මෙම ධර්මතාව අනුව වෙනස් නොවන සුළු දෙයක් නැත “ නිත්‍ය” , “ආත්මය” , “සත්වයා”, “ මම” යැයි කිව හැකි කිසිවක් එයට ඇතුළත් නොවේ. රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංස්කාර හෝ විඥානය හෝ “මම”යැයි හැඳින්විය නොහැකි බව පැහැදිලිය. එකි නෙකට සාපේක්ෂව පවත්නා මේ පංචස්කන්ධය කායික මානසික යන්ත්‍රයක් මෙන් ක්‍රියාත්මක වන කල “ මම” යන හැඟීම පහළ වෙයි. මෙයත් සංස්කාරයන් ගෙන් එකක් වන “ සක්කාය දිට්ඨිය” නමැති හිස් සිතිවිල්ල ය. මේ හැර පංචස්කන්ධය තුළ රැදී දුක් අනුභව කරන සත්වයෙක් හෝ මම යනුවෙන් කෙනෙක් නැත.

මේ අනුව මම කියා සිතන්නේ පංචේන්ද්‍රියන්ට බාහිර ලෝකයේ රූප ශබ්ද ඝන්ධ, රස ආදිය ගැටෙන විට උපදින සිතිවිලි වලටය. එසේම මගේ යැයි සිතා සිටින්නේ මනසේ නාම - රූප වශයෙන් සටහන් වී ඇති මතක සටහන් සමූහයටය.

ජීවිතය ජීවත්වෙනවා කියන්නේ මනසේ මේ නාම- රූපයන් නිසා අඛණ්ඩව ගලා බස්නා සිතිවිලි ප්‍රවාහයටය. ණුවනින් මෙනෙහි කර බැලීමේදී තමාටම මෙම සත්‍ය අවබෝධ වනු ඇත. මේ අනුව සිතා බලන විට “ මම” යනුවෙන් ගොඩනගාගෙන ඇති “ සක්කාය දිට්ඨිය” නිසා මගේ දේපළ මගේ ජීවිතය , මගේ අඹුදරුවන් ඥාතීන් යන මේ සියලු දේ අල්ලා ගෙන සිටිනු ලබන්නේ මෙම ඉන්ද්‍රිය ගෝචර අවස්ථා අනුව සිත තුළ උපදින පංච උපාදානස්කන්ධමය චිත්ත සංස්කාරයන් බව දැන් වැටහෙනවා ඇත. “ මම” කියා සිතා සිටින්නේ මෙම ස්කන්ධ සමූහයටම බවත්, සම්මුති වශයෙන් අප ව්‍යවහාර කරන “ මම” “මගේ” “සත්වයා” “පුද්ගලයා” යන හැඳින්වීම ධර්මානුකූලව විමසා බැලීමේදී මිථ්‍යාවක් බවත්, දැන් පැහැදිලි වනවා ඇත. “ නිවැරැදි දැකීම” (සම්මා දිට්ඨිය) යනු මේ මිථ්‍යාවෙන් මිදීමයි.

මම මගේ යන මිථ්‍යාවෙන් මිදීම හේතුකොට ගෙන ඉඳුරන් පිනවමින් කයට සැපදීමේ ආදීනවය කුමක්දැයි වටහා ගත් පසු ඇතිවන කල්පනාව හේතුකොට ගෙන කම්සැප අතහැර දැමීම ව්‍යාපාදයෙන් තොර වීම හා හිංසනික ක්‍රියාවලින් වැළැකීම යන “ නිවැරැදි සංකප්පය” නිවැරැදි දැකීම පිරිවර වීමෙන් ඇතිවේ.

කාමයන්ගේ ආශ්වාදයත්, කාමයන්ගේ ආදිනවයත් කාමයන්ගේ නිස්සරණයත් පිළිබඳව හොඳ වැටහීමක් ඇති කර ගැනීම “ නිවැරැදි සංකප්පය”” සඳහා ඉතා අගනේය. මේ සඳහා මජ්ඣිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය පරිශීලනය කිරීම ආර්ය මාර්ගයේ ඉදිරි ගමනට මහත් ප්‍රයෝජනයක් වනු ඇත.

නිවැරැදි දැකීම පූර්වාංගම වීමෙන් නිවැරැදි සංකප්පයන්, නිවැරැදි දැකීම හා නිවැරැදි සංකප්පය පිරිවර වීමෙන් නිවැරැදි වචනය නිවැරැදි ක්‍රියාව , නිවැරැදි ආජීවය ඇතුළත් සීල “ශික්ෂණය” වැඩීමට “ප්‍රඥා” ශික්ෂණය පිරිවර වේ.

ත්‍රිවිධ ශික්‍ෂණය ප්‍රතිපදා මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා ද - ප්‍රඥා සීල සමාධි ද යනුවෙන් තොරා බේරා ගැනීම ගැටලුවක් වී තිබේ. සූත්‍ර පිටකයේම ඇතැම් සූත්‍ර වල සීලය පෙරටු කර තිබේ.

මජ්ඣිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ සේඛ සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ඇතිව ආනන්ද හිමියන් විසින් දේශනා කරන ලද්දකි. එම සූත්‍රයේ ද සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දැක්වේ’ තවත් බොහෝ සූත්‍ර වලද එසේම තිබේ.

මෙම ගැටලුව ලෙහා ගැනීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය හා දශාංග මාර්ගය ගැන විමසා බැලීම වටී. කෙලෙස් සහිත පුද්ගලයන් ගේ් පුහුණුව සඳහා (ශෛක්‍ෂය වංශයෙන්) අංග අටකින් සමන්විත අෂ්ඨාංගික මාර්ගය ද කෙලෙස් රහිත (අශෛක්‍ෂය වශයෙන්) පුද්ගලයින් සඳහා දසාංග මාර්ගයක් ද දේශනා කර ඇත. අර්හත් තත්ත්වයට පත්වීමට අංග අටෙන් නොපුළුවන. ඒ සඳහා අංග දහයම සම්පූර්ණ විය යුතුය. “ දස හඬගෙහි සමන්නාගතො අරහාති” යන පාඨයෙන් ඒ බව සනාථ කර තිබේ.

මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ මහා චත්තාරීසක ධර්ම පර්යාය ක්‍රමය අනුව නිර්වාණ ගාමී ප්‍රතිපදා මාර්ගයේ ආරම්භයට සම්මා දිට්ඨි - සම්මා සංකප්ප යන අංගද්වය මුලට යොදා ඇත්තේ පුද්ගලයා “ මම වෙමි” යන සක්කාය දිට්ඨියේ සිටින තාක් කල් විරාගය අව්‍යපාදය , මෛත්‍රිය , කරුණාව දෙසට ඔහු යොමු කරවීමට නො හැකි බැවිනි.

මිනිසුන් දුසිරිතෙහි යෙදෙන්නෙත් අකුසල් රැස් කරන්නේත් අනුවණකම නිසාය. අනුවණ කම අනවබෝධය අවිද්‍යාව මිනිසුන් තුළ තිබෙන තාක් කල් කවදාවත් සිල්වතුන් කළ නොහැකිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරැදි දැකීම, නිවැරැදි කල්පනාව නමැති අංගද්වයෙන් යුත් “ ප්‍රඥාව“ මුල් කර ඇත්තේ බුද්ධ ධර්මයේ එකම පරමාර්ථය ප්‍රථමයෙන් මිනිසාට නුවණ ලබා දීමේ අවශ්‍යතාව නිසාය. ආගන්තුකව බලහත්කාරයෙන් මිනිසුන්ට කිසිදිනෙක සීලයක් ආරෝපණය කළ නොහැකි කම ඊට එකම හේතුවයි. පර්යාප්තිය නොමැතිව කිසිදිනෙක ප්‍රතිපත්තියට හා නොහැනි බව මෙයින් තේරුම් ගත යුතුය.

“ සීලෙ පතිඨාය නරොසපඤ්ඤ චිත්තං පඤ්ඤච භාවයං “ යන මේ උදාහරණය ගැන අප තේරුම් ගත යුත්තේ සමාධියේ දී සියලු දෘෂ්ටි ප්‍රහීණ වීමෙන් ලැබෙන අතීන්ද්‍රිය ඥානය නොහොත් “ සම්මා ඥාන “ නමැති ලෝකෝත්තර ඥානයට බවය. දසාංග මාර්ගයේ නව වැනි අංගයද “ සම්භා ඥානය “ යයි සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව ලැබෙනුයේ දසාංග මාර්ගය සම්පූර්ණ වීමේදීය.

මහා චත්තාරීසක ධර්ම පර්යාය අනුව සම්මා දිට්ඨිය පූර්වාංගම වීමෙන් සම්මා සංකප්ප ද සම්මා දිට්ඨිය හා සම්මා සංකප්පය (ප්‍රඥා) පිරිවෙර වීමෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත , හා සම්මා ආජීවය (සීල ශික්‍ෂණය ) ද සම්මා දිට්ඨි සම්මා සංකප්ප නමැති “ ප්‍රඥා” ව පිරිවෙර වීමෙන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි (සමාධි ශික්‍ෂාව) සම්පූර්ණ කර ගත හැකි වන්නේය.

ත්‍රිවිධ ශික්‍ෂණ ප්‍රතිපදා මාර්ගය සීලයෙන් ආරම්භ කිරීම ගැන සඳහන් කළ හැක්කේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුපිළිවෙල නොසලකා හැරීමක් වශයෙනි. පසුගිය බිනර මස පසළොස්වන පෝදා “ බුදුසරණ “ පුවත් පතට ලියා තිබූ ලිපියකද දක්නට තිබුණේ ’ “කොතනින් ඇරැඹුවත් නිවනට ගෙන යන ආර්ය ප්‍රතිපදාව “ යනුවෙන් අලුත් ක්‍රම වේදයක් හඳුන්වා දී තිබූ බවය. බුදුරජාණන් වහන්සේ හෙළි පෙහෙළි කර දුන් නිර්වාණ ගාමී අනූපූර්ව ශික්‍ෂණ ප්‍රතිපදා මාර්ගය අනුපිළිවෙළට යා යුතු ගමනකි. එම ගමන අගසිට මුලට හෝ මැද සිට අගට හෝ අපිළිවෙළට යා යුතු ගමනක් නොවේ. ලෞකික අධ්‍යාපන ක්‍රම වේදය ද පිළියෙළ කර ඇත්තේ මුල සිට අග දක්වාය. මැද සිට අගට හෝ අග සිට මුලට උගන්වන ක්‍රමයක් ලෝකයේ කිසි තැනක නොමැත.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන ද අනුපිළිවෙළට ආරම්භ නොකළ හේතුවෙන් අද අප රටේ බොහෝ බෞද්ධයින්ට සම්මා දිට්ඨිය ගැන අල්පමාත්‍ර හෝ වැටහීමක් නොමැත. යටත් පිරිසෙයින් බෞද්ධ ජනතාවට නිවැරැදි දැකීම පිළිබඳව අවබෝධයක් ලබා දී තිබුණා නම් ඇතිවන තත්ත්වය මීට වඩා සතුටු දායක වනු ඇත.

අන්‍යාගමිකයින් අපේ බෞද්ධයින් රවටා ගැනීම කෙසේ වෙතත් අපේ අය ඔවුන් බෞද්ධයින් කර ගන්නවා නිසැකය. එසේ හෙයින් ප්‍රඥා ශික්‍ෂණය ආර්ය මාර්ගයේ මුලට ගෙන කටයුතු කරන්නේ නම්, සැබෑ බෞද්ධ සමාජයක් අප රටේ බිහිවනවා දකින්නට පුළුවන.

මෙය මාගේ පෞද්ගලික අදහසක් නොවන බව සියලු දෙනා වෙතම ඉතා කරුණාවෙන් දන්වමි. මෙහි අන්තර් ගත කරුණු මහා චත්තාරීසක ධර්ම පර්යාය අනුව ඉදිරිපත් කර ඇත. මේ ගැන විමසා බලා නිගමනයකට එළැඹීමේ වගකීම පාඨකයා වෙත භාර කරමු. ධර්මය තම තමුන්ගේ නුවණින් වටහා ගත යුත්තකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.