වස් කාලයේ දී තහවුරු වන
ගිහි - පැවිදි සම්බන්ධය
අධ්‍යාපනපති, රාජකීය පණ්ඩිත,
සීගිරියේ ධම්මජෝති හිමි
සෑම වසරකම ඇසළ මස පුර පසළොස්වක පොහොය දින සිට ඉල් මස පුර පසළොස්වක
පොහොය දින දක්වා කාලය (ජූලි - නොවැම්බර් ) සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවට
ඉතා වැදගත් වෙයි. වස් කාලය හා සම්බන්ධ පින්කම් රාශියක් මෙම කාලයේදී
සිදුකිරීම ඊට හේතුවයි. භික්ෂූන් වහන්සේගේ වස් විසීමේ චාරිත්‍රය බුද්ධ
කාලයේ සිට පැවත එන්නකි. සංචාරක ජීවිතයක් ගත කළ භික්ෂූන් වහන්සේ වැසි
කාලයේදී එක තැනක වාසය කරමින් බණ භාවනා කිරීම මෙම කාලයේදී සිදුවිය.
බොහෝ භික්ෂූන් වහන්සේ දායක පින්වතුන්ගේ සිවුපසය ලබාගෙන ඔවුන්ට ද අවවාද
අනුශාසනා කරමින් තමන්ගේ විමුක්තිය සළසා ගැනීමට මෙම කාලය යොදාගත්හ. එක
තැනක සෑහෙන කාලයක් ගත කිරීම සහ ගිහි පින්වතුන් නිතර ඇසුරු කරන්නට ලැබීම
නිසා මෙම කාලයේ දෙපිරිස අතර සම්බන්ධය වැඩිවිය. බුද්ධ කාලයේදී ආරම්භ වූ
මෙම චාරිත්‍රය අද දක්වාම සිදුකරන අතර ගිහි පින්වතුන් වැඩිපුරම
විහාරස්ථාන වෙත ගොස් පුණ්‍ය කටයුතු වල නිරතවන්නේ මෙම වස් කාලයේදීය.නිතර
භික්ෂූන් වහන්සේ හමුවීම, දන්දීම, පුද පූජා පැවැත්වීම , වන්දනා කිරීම,
ආදිය වෙනදාට වඩා සිදුවන හෙයින් වස් කාලයේදී ගිහි - පැවිදි සම්බන්ධය
වඩාත් තහවුරු වෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂූන් වහන්සේ
අතීතයේ සිටම තම ජීවිතය පොදු ජනයාගේ යහපත වෙනුවෙන් කැපකළ පිරිසක් වූහ.
තම පෞද්ගලික ජීවිතයේ අවශ්‍යතාවන්ට වඩා සමාජ සේවයට මුල්තැන දෙමින්
කටයුතු කිරීම උන්වහන්සේ සතු වගකීමක් විය.” බොහෝ දෙනාගේ හිතසුව පිණිස
චාරිකාවේ හැසිරෙන්න “ යන බුද්ධ අවවාදය පිළිගත් භික්ෂූන් වහන්සේට ආරක්ෂා
කිරීමට ධනයක් නොවීය. වාසය කිරීමට ස්ථිර ආවාසයක් නොවීය . ගිහි ජීවිතය හා
සම්බන්ධ වගකීම් වලින් නිදහස් වූ උන්වහන්සේට පොදුජන යහපත වෙනුවෙන්
කැපවීමට කිසිදු බාධාවක් නොවීය. ගිහියාට බරක් නොවෙමින් ඔහුගේ සිවුපසය
ලබාගනිමින් ජීවත් වූ භික්ෂූන් වහන්සේ මහණදම් පුරමින් තමාගේ විමුක්තිය
සළසාගත් අතර, ගිහියාගේ් ආධ්‍යාත්මික දියුණුව ඇති කිරීමටද කටයුතු කළහ.
මෙසේ පැවිද්දා ගිහියාගේ් සිව්පසයෙන් යැපුණු අතර, ඔහුගේ ජීවිතය සාර්ථක
කර ගැනීම සඳහා අවවාද අනුශාසනා කිරීම තම යුතුකම සේ සළකා කටයුතු කළ
හෙයින් දෙපිරිස අතර සමීප සම්බන්ධයක් ඇති විය. බුදුරජාණන් වහන්සේගේ
කාලයෙන් පසුව ගිහි සමාජය වෙනුවෙන් භික්ෂුව ඉටු කළ සේවය තවදුරටත් පුළුල්
විය. වෙදකම් කිරීම, ඡ්‍යොතිෂ කටයුතු කරදීම, සෙත් ශාන්ති කරදීම ආදි
කටයුතු නිසා භික්ෂුව වෙත ගිහි ජනයාගේ පැමිණීම වෙනදාට වඩා වැඩිවිය.
අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ද පන්සල කටයුතු කළ නිසා ලාංකික සමාජයේ
මෙම ගිහි - පැවිදි බැඳීම තවත් දැඩිවිය. වර්තමානයේ වුවද ගිහි ජනයාගේ
ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගැනීමට මෙන්ම ලෞකික ජීවිතයේ සාර්ථකත්වය
ඇතිකර ගැනීමට භික්ෂු සමාජයේ ඇසුර අවශ්‍ය වෙයි. ගිහියාගේ සහ පැවිද්දාගේ
ද මෙම සියලු අරමුණු පරමාර්ථ නිසි අයුරින් ඉටුකර ගත හැකි වන්නේ
ඔවුනොවුන් අතර මහා සම්බන්ධතාවක් පැවතියහොත් පමණකි. බෞද්ධ සමාජයේ ගිහි
පැවිදි සියලු දෙනාගේම ප්‍රධානම අරමුණු වන්නේ සසර දුකින් මිදීමය. නමුත්
ඊට පළමුව මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ගිහියා උත්සාහ කළ යුතුය.
ඒ සඳහා ඔහුට අවශ්‍ය ධර්මානුකූල මගපෙන්වීම ලබාදීම පැවිද්දාගේ යුතුකම
වෙයි. පැවිද්දා විසින් ලබාදිය යුතු මෙම මග පෙන්වීම කුමක්දැයි
බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් අයුරු සිගාලෝවාද සූත්‍රයෙහි දැක්වෙයි. ඒ
අනුව ගිහි ජනයා වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුව පැවිද්දෙකු විසින් ඉටු
කරනු ලබන, ඉටුකළ යුතු, සේවා මෙසේය.
1. පවින් වැළැක්වීම
2. කුසළ කර්මයන්හි යෙදවීම
3. සෙත් පැතීම
4. නොදන්නා දෙය ඉගැන්වීම
5. දැන සිටින දෙය පුහුණුකරවීම හා
6. සුගතියට මග කියාදීම
ගිහියාට පස්පව්, දස අකුසල්, ආදියෙහි අනිසි විපාක පෙන්වා දෙමින්, ඔහු
දන්දීම , සිල් රැකීම , භාවනා කිරීම ආදී පුණ්‍ය කටයුතු වල යොදවනු ලබන්නේ
භික්ෂූන් වහන්සේය. එසේම උපතේ පටන් මරණය දක්වාම ජීවිතයේ විවිධ
අවස්ථාවන්හි තම දායකයන්ට සෙත් පැතීම උන්වහන්සේගේ සිරිතකි.
දරුවකු මව්කුසින් බිහිවීමට ආසන්න වන විට සෙත් පිරිත් කියවා ගන්නා අතර,
පසුව නම් තැබීම ඉඳුල් කටගෑම , කන්විදීම , අකුරු කියවීම, විවාහය, නව
නිවෙසකට ගෙවැදීම , රැකියා සඳහා පිටත්වීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම,,
ආදී බොහෝ වැදගත් අවස්ථාවන්හිදී ආගමික චාරිත්‍ර වලට මුල්තැන දෙමින් ඒවා
සිදුකිරීම වර්තමානයේ වුවද දැකගත හැකිය. එසේම මෙම අවස්ථාවන්හිදී
භික්ෂූන් වහන්සේගේ් ආශිර්වාදය ලබාගැනීම බොහෝ සෙයින්ම සිදුවෙයි.
උන්වහන්සේ ද එවැනි අවස්ථාවන්වලදී දායකයන්ට සෙත් පැතීම තම යුතුකමසේ
සලකති. ඈත අතීතයේ සිටම ගිහි ජනයාට ලෝකය, ජීවිතය පිළිබඳව මෙන්ම හොඳ නරක
පිළිබඳව කියාදෙනු ලැබූයේ පැවිදි උතුමන් විසිනි.
එසේම ලාංකික සමාජයේ නූතන බටහිර අධ්‍යාපන ක්‍රමය ආරම්භ වීමට පෙර
අධ්‍යාපනික මධ්‍යස්ථානය වූයේද පන්සලයි. ගුරුවරයාගේ කාර්යයද භික්ෂූන්
වහන්සේගෙන් ඉටු වූ නිසා උන්වහන්සේට ලැබුණූ සමාජ ගෞරවය තව තවත් වැඩිවිය.
මෙලොව ජීවිතය සාර්ථක කරගැනීමේ මාර්ගය මෙන්ම පරලොව ජීවිතය සාර්ථක කර
ගැනීමේ මාර්ගයද ගිහියාට කියාදීම පැවිද්දාගේ් වගකීම වෙයි.
නරක , තිරිසන්, පේර්ත ආදි දුගතිවලින් මිදී දිව්‍ය මානුෂික සැප
සම්පත් ලබා ගැනීමේ මාර්ගය පෙන්වා දෙනුයේ ද භික්ෂූන් වහන්සේ විසිනි.
මෙවැනි ප්‍රශංසනීය සේවා රාශියක් වර්තමානයේ වුවද උන් වහන්සේ වෙතින්
ඉටුවෙයි.
ඉහත දැක්වෙන අන්දමේ සේවා රාශියක් පැවිදි සමාජයෙන් ඉටුවන විට ගිහියන්
වෙතින්ද ඉටුවිය යුතු යුතුකම් පද්ධතියක් වෙයි. සිඟාලෝවාද සූත්‍ර
දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඒවා මොනවාදැ ‘යි පහදා දි ඇත. ඒ අනුව
තෙරුවන් සරණ ගිය ගිහි බෞද්ධයකු විසින් පැවිද්දන් වෙනුවෙන් ඉටුකළ යුතු
යුතුකම් මෙසේ ය.
1. භික්ෂුවගේ සැපත වෙනුවෙන් තම කය වෙහෙසා කළ යුතු වැඩ කටයුතු කරදීම
(මෙත්තා කායකම්ම )
2. පි‍්‍රයශීලිව භික්ෂූන් වහන්සේ සමඟ කථා කිරීම, (මෙත්තා වචී කම්ම)
3. භික්ෂූන් වහන්සේ පිළිබඳව හිතවත් අදහස් ඇති කර ගැනීම (මෙත්තා මනෝ
කම්ම)
4. තම නිවසට වඩින විට හිතවත්ව භික්ෂූන් වහන්සේ පිළිගැනීම (අනාවට්ට
ද්වාරතා)
5. හිතවත්ව කැප සරුප් ලෙස සිව්පසයෙන් සංග්‍රහ කිරීම ( ආමිසානුප්පදාන )
විහාරස්ථානය සහ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දායකයා තම කය වෙහෙසා කළ යුතු
වැඩ කොටසක්ද වෙයි. විහාරස්ථාන ඉදිකිරීම් , ශුද්ධ පවිත්‍ර කිරීම්, උත්සව
කටයුතු සංවිධානය කිරීම්, වාර්ෂිකව හෝ මාසිකව කරන පින්කම් සංවිධානය
කිරීම්, අලුත්වැඩියා කිරීම් ආදී කටයුතු වලදී ගිහියා විසින් තම ශ්‍රමය
කැප කළ යුතුවෙයි. එසේම අවශ්‍ය අවස්ථාවලදී වැඳුම් පිදුම් කිරීම ,
උපස්ථාන කිරීම ආදී කටයුතුවලද යෙදිය යුතුය.
මෙම සෑම කටයුත්තක්ම ශ්‍රද්ධාවෙන් යුතුව, භික්ෂූන් වහන්සේ පිළිබඳ
ගෞරවයෙන් යුතුව , සිය කැමැත්තෙන් ඉටුකර දිය යුතුය. ඒ වෙනුවෙන් කිසියම්
ලාභයක්, කීර්ති ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවිය යුතුය. අලසකමින් තොරව, ඒ
සියල්ල තම යුතුකම් සේ සළකා අමනාපයකින් තොරව සිය කායික ශ්‍රමය අවශ්‍ය
මොහොතේදි විහාරස්ථානට එය ලබාදිය යුතුය.
භික්ෂූන් වහන්සේට හිතවත්ව, පි‍්‍රයශීලී ලෙස කතා කිරීමද දායකයාගේ
යුතුකමකි. නින්දා අපහාස වන අයුරින් කතා කිරීම , සැඩ පරුෂ ලෙස කතා කිරීම
කිසිදු ප්‍රයෝජනයක් නැති වචන කතා කිරීම කිසිසේත් නොකළ යුතුය.
මෛත්‍රියෙන් යුතුවම කථාකළ යුතුය සැප සනීප විචාරීම දහම් කරුණු පිළිබඳ
විචාරීම ආදිය කළ යුතුය. අතීතයේ සිටම සිංහල බෞද්ධයන් විහාරස්ථානයේදී
කතාබහ කිරීමට යොදාගත් වචන මාලාවක් ඇත. අද වුවද පහත දැක්වෙන අයුරින් ඒවා
යොදාගැනීම සුදුසුය.
හාමුදුරුවෝ වඩිනවා - (එනවා, යනවා)
දානෙ වළඳනවා - ( කෑම කනවා)
ගිලන්පස වළඳනවා - තේ, කෝපි, වැනි දේ බොනවා )
වළඳනවද ? - (කනවද ? බොනවද? )
ධර්මය දේශනා කරනවා - ( බණ කියනවා)
පිළිගන්වනවා - (හාමුදුරුවන්ට යමක් දීම )
සැතපෙනවා - (නිදියනවා )
මෙම වචන ගෞරවයෙන් යුතුව කතා කිරීමට අවශ්‍යවන ඒවාය. විශේෂයෙන්
ආමන්ත්‍රණය කිරීමේදී ස්වාමීන් වහන්ස! අපෙ හාමුදුරුවනේ ! හාමුදුරුවන්
වහන්ස! ..යනාදී වචන කතා කිරීමට හුරුවීම ඉතා වැදගත්ය.
භික්ෂූන් වහන්සේ තම ලෞකික ජීවිතයේ අවශ්‍යතා සියල්ල අතහැර ගිහියන්ට
අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට කැප වී සිටින අයෙකි. එම ඬසා
උන්වහන්සේ පිළිබඳව මිත්‍රශීලී අදහස් ඇතිව දායකයන් කටයුතු කළ යුතුය.
වර්තමානය වන විට සඟ සසුනෙහි ද යම් යම් පරිහානිකර ලක්ෂණ මතුවී තිබීම
සත්‍යයකි. නමුත් ගිහි සමාජයේ පරිහානිය ඊට වඩා වේගයෙන් සිදුවෙයි.
බුද්ධ කාලයේ වුවද මහණකමට කිසිසේත්ම නොගැලපෙන හැසිරීම් ඇති පුද්ගලයෝ
භික්ෂූන් අතර විසූහ. නමුත් පොදුවේ සංඝ රත්නය පිළිබඳ කළකිරීමට එය සාධාරණ
හේතුවක් නොවන්නේය. ගිහි සමාජයේ සාමාජිකයන්ම පැවිදි සමාජයට එක්වන බවද
කල්පනා කළ යුතුය. එම නිසා සමාජයටද පැවිදි හේතුවක් නොවන්නේය. ගිහි
සමාජයේ සාමාජිකයන්ම පැවිදි සමාජයට එක්වන බවද කල්පනා කළ යුතුය. එම නිසා
සමාජයටද බුදුසසුනටද භික්ෂුවගෙන් ඉටු වූ එමෙන්ම ඉටුවන සේවාව අගය කළ
යුතුය. උන්වහන්සේ පිළිබඳ කාරුණික සිතිවිලි ඇතිකර ගත යුතුය. දියුණුව
ප්‍රාර්ථනා කළ යුතුය. ශ්‍රමණයන් දැකීම මංගල කාරණයක් බව ( සමණානංච
දස්සනං) පිළිගත යුතුය.
සුවදුක් බැලීමට ආගමික කටයුත්තකට හෝ කිසියම් සමාජසේවා කාර්යයකට තම නිවසට
භික්ෂූන් වහන්සේ පැමිණිය හැකිය. එවිට උන්වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම ,
ආසන පැනවීම, අවශ්‍යනම් ආහාර පානවලින් සංග්‍රහ කිරීම , බෞද්ධ පිළිවෙතයි.
එසේ උන්වහන්සේ පැමිණීම පිළිබඳ සතුටුවිය යුතුය. එසේ පැමිණීම බලාපොරොත්තු
විය යුතුය. මෙසේ පැමිණෙන අවස්ථාවන්හිදී සැඟවී සිටීම, කිසිවක් නොදී
බොරුකීම , දොස්කීම ...ආදිය ඔහුගේ පිරිහීමට හේතුවන බැව් වසල සූත්‍රයෙහි
දැක්වෙයි. භික්ෂූන් වහන්සේ වෙනුවෙන් තම නිවස විවෘතව තැබීම (අනාවට්ට
ද්වාරතා) ගිහියාගේ යුතුකමයි.
තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන භික්ෂූන් වහන්සේට සිවුපසයෙන්
උපස්ථාන කිරීමද දායකයාගේ ප්‍රධාන යුතුකමක් වෙයි. සිවුරු පිරිකර
පූජාකිරීම, ආහාර පාන පූජා කිරීම , ආවාස පහසුකම් සැලසීම, සහ බෙහෙත්
ද්‍රව්‍ය සපයාදීම මෙයින් අදහස් වෙයි. කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව මෙම
සිවුපසය ලබාදීම (ආමිසානුප්පදාන) කළ යුතුය. එසේම ධාර්මික රැකියාවල යෙදී
උපයාගත් මිල මුදල් මේ සඳහා විය පැහැදම් කළ යුතුය. භික්ෂූන් වහන්සේට
කැපසරුප් අයුරින් මේවා පිළිගැන්වීම ද කළ යුතුය. බුද්ධ නියමය අනුව
පැවිද්දා ජීවත්විය යුත්තේ මෙසේ දායකයාගෙන් ලැබෙන සිවුපසය ලබාගැනීමෙනි.
උන්වහන්සේගෙන් පෞද්ගලික වාසියක්, කීර්ති ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවී,
මෙම දන් පිරිනැමිය යුතුය.
ඉහත සඳහන් කළ ගිහියා තෙරුවන් සරණ ගිය බෞද්ධයාය. එම නිසා ඔහු පන්සිල්
රකින, තෙරුවන්ට ඉතා සමීප කෙනෙකු විය යුතුය. උපාසක යන වචනයද ඔහුටම යෙදෙන
විශේෂණ පදයකි.
බුදුරජාණන් වහන්සේ විවිධ දේශනාවලදී උපාසකයෙකු විසින් කටයුතු කළ යුතු
ආකාරය පෙන්වාදී ඇත. ගිහි බෞද්ධයකු පිරිහීමට හේතුවන කරුණු ද කීප තැනක දී
පෙන්වා දී ඇත. ඒ අනුව උපාසකයකු පිරිහීමට හේතුවන කරුණු කීපයක් මෙසේය.
1. භික්ෂූන් දක්නට නොයෑම
2. බණ ඇසීමට නොයෑම
3. සිල්වත් භික්ෂූන් පිළිබඳ පැහැදීමක් නැතිකම
4. උන් වහන්සේගේ දොස් සෙවීමේ අදහසින් බණ ඇසීම
ඉහත සඳහන් කරුණු පිළිබඳවද ගිහියාගේ අවධානය යොමුවිය යුතුය. එම දුර්වලතා
තමන් තුළද ඇත්නම් ඒවා මඟහරවා ගත යුතුය. ගිහි පැවිදි දෙපිරිසම මැනවින්
තම යුතුකම් හා වගකීම් මැනවින් අවබෝධ කරගෙන වගකීමෙන් ඒවා ඉටුකළ යුතුය.
දෙපිරිස අතර අන්‍යෝන්‍ය අවබෝධය, සුහදශීලි බව, සහයෝගය වර්ධනය කරගත
යුතුය. භික්ෂුව ගිහියාගේ ආර්ථික , සමාජයීය සහ ආධ්‍යාත්මික දියුණුව
ඇතිකිරීම සඳහා නිවැරැදිව මඟ පෙන්විය යුතුය. ගිහියා ද උන්වහන්සේ
වෙනුවෙන් තම යුතුකම් ඉටුකරමින් විහාරස්ථානයෙන් ඈත් නොවී, හැකි තරම්
දැහැමි දිවිපෙවතක් ගත කිරීමට වෙර දැරිය යුතුය. මෙසේ කටයුතු කළහොත් ගිහි
- පැවිදි සම්බන්ධතාව මැනවින් තහවුරු වී ආදර්ශවත් සදාචාරාත්මක සමාජයක්
ගොඩනැංවිය හැකිය. |