Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන්ට කර්ම විපාක පල දුන් බව කීම නිවැරැදියි

මෙම ලිපිය ලිවීමට සිත් වූයේ 2006.11.05 වන දින බුදුසරණ පුවත්පතෙහි බුදුරදුන්ට කර්ම විපාක පල දුන් බව කීම, හරි ද? යනුවෙන් බෝකුන්දර කුසලධම්ම හිමියන් විසින් ලියා තිබූ ලිපිය කියැවීම නිසා ය. උන්වහන්සේ එම ලිපිය ලියා තිබුණේ 2006.10.06 දින බුදුසරණෙහි පළ වූ ලිපියක වැරැදි පෙන්වාදීමක් ලෙස ය.

බුදු දහමෙහි සියල්ල පෙර කර්මයෙන් සිදුවනවාය යන කාරණය ප්‍රතික්ෂේප කර ඇත. උත්සාහය හා අධිෂ්ඨානය මත කර්මය පවා වෙනස් කළ හැකි බව උන්වහන්සේගේ ඉගැන්වීමයි.කර්මය ක්‍ෂය කිරීමෙන් විමුක්තිය ලබන බව (කම්මක්ඛයා නිබ්බානං) සත්‍යයකි. එහෙත් විමුක්තිය සම්පූර්ණ වනුයේ සෝපාදිසේස නිර්වාණයෙන් නොව ආනුපාදිසේස නිර්වාණයෙනි. මෙහි ‘උපදි, යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පහට ය. ‘සේස’ යනු, ඉතිරිව පැවතීමයි. සෝපාදිසේස නිර්වාණයේ දී ඉහත ස්කන්ධ පහ ඉතිරිව පවතියි. එනිසා පෙර කළ කර්මයන්ගේ කුසලාකුසල විපාක විඳීමට සිදුවෙයි. මෙහිදී සිදුවනුයේ නැවත භවයක් සකස් වීමට හේතු වන කර්ම ක්‍ෂය වීම පමණකි.

අර්හත් මාර්ගය ඤාණයට කර්මක්‍ෂයකර ඤාණය යැයිද කියනු ලැබේ. අරහත් ඵලයට පැමිණීමත් සමඟ තෘෂ්ණාව නිරවශේෂව ප්‍රහාණය වේ. එයින් එම අරහත් උතුමන්ගේ සිතෙහි සියලු කුසලාකුසල කර්මයන්ගේ නැවත ප්‍රතිසන්ධියක් ඇති කිරීමේ ශක්තිය නැති වේ.

බුදුපියාණන් වහන්සේට අනාගත භවයක් නොමැත. එනිසා කලින් සිදු කළ පුණ්‍ය පාප ක්‍රියාවන්ගේ විපාක ඉදිරි භවයක විපාක දීමට අවස්ථාවක් නොමැත. එහෙත් අනුපාදිසේස නිර්වාණයෙන් නිවන් දකින තුරු, නො එසේ නම්, පිරිනිවන් පාන තුරු, බුදු වූ භවයේ දී ද අතීත භාවයන්හි කළ කර්මවල විපාක විඳීමට සිදුවේ.

අරහත්වයට හෝ බුද්ධත්වයට පත්වනුයේ මාංශ කාය නොව විඤ්ඤාණයයි. එනිසා කුමන කුසලාකුසල කර්මයක් පටිසන් දුන්නද, නික්ලේෂී උතුමෝ එම විපාක සිතින් විඳීමක් නොකොට මනා කොට නිදහස් වූ සිතකින් (සුවිමුක්ත චිත්තෝ භගවා) වැඩ වාසය කරති. විපාක පිණිස සකස් වූ පෙර කළ කර්මයන්ට අනුව ඇති වූ කයට පමණක් එහි බලපෑම ඇති වෙයි.

විශේෂයෙන් මෙම කාරණය පැහැදිලි කිරීමට උත්සාහ කිරීමේ දී පාප කර්ම පලදීම පිළිබඳ පමණක් විග්‍රහ කරන්නට යෑම දක්නට ලැබෙයි. මෙහිදී පුණ්‍ය කර්ම විපාක දුන්නා ය යන කාරණය පිළිගනු ලැබේ. එනමුදු, යථාර්ථය නම්, ෂපාක විඳිනවා නම් විඳගනුයේ පුණ්‍ය හා පාප කර්ම යන දෙකම බවත්, විපාක නොවිඳිනවා නම් නොවිඳින්නේ ද පුණ්‍ය හා පාප කර්ම දෙකම බව ය.

ලොවුතුරා බුදුවරයන් වහන්සේ ප්‍රහාණය කර ඇත්තේ අකුසල් පමණක් නොව, කුසලාකුසල දෙපක්‍ෂයමය. මේ බව සුත්ත නිපාතයේ සභිය සූත්‍රයේ දැක්වෙනුයේ මෙසේ ය.

“සමිතා වී පහාය පුඤ්ඤ පාපං
විරජො ඤත්වා ඉමං පරඤ්ච ලෝකං
ජාති මරණං උපාති වත්තෝ සමණෝ
තාදි පවුච්චති තථන්තා”

සංයුක්ත නිකායේ භික්ඛුණී සංයුක්තයේ “කම්මක්ඛයං පත්තෝ” ලෙස දක්වමින් බුදුපියාණන් වහන්සේ කුසලාකුසල සියලු කර්මයන්ම ක්‍ෂය කර සිටින බව පෙන්වාදීමෙන් ද පැහැදිලි වනුයේ පාප කර්මය පමණක් නොව පුණ්‍ය කර්මද ක්‍ෂය කර ඇති බවයි. ඒ අනුව යම් හෙයකින් අකුසල විපාක නොලබනවා නම් කුසල විපාක ද විඳීමට, කිසිදු අවස්ථාවක් නැත.

බෝසතාණන් වහන්සේ නියත විවරණ ලද දා පටන් කිසිම භවයක බොරු නොකීමේ පිනෙන් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මහනෙල් මල් සුවඳ විසිදුවන බවත් වාගීෂ්වර වූ බවත් සඳහන් වේ. එසේම බුදුපියාණන් වහන්සේ යමා මහ පෙළහර පෑ අවස්ථාවක එවැනි බලයක් ලැබුණේ කුමන කුසලයකින්දැයි සැරියුත් මහ රහතන් වහන්සේ විමසූ අවස්ථාවේ දී පෙන්වා වදාළේ තමන් වහන්සේ දීපංකර බුදුපියාණන් වහන්සේගේ ශාසනය පවත්නා සමයේ සිට පුරන ලද බුදුකරුදම් බලයෙන් මෙවැනි බලයක් ලද බවයි.

තවද තථාගතයන් වහන්සේ විසාලා මහනුවරට වැඩම කළ අවස්ථාවේ දී ලද පූජා සත්කාර පෙර කළ කුසල කර්මවල බලයෙන් ලැබුණු බව බුදුරජාණන් වහන්සේම පෙන්වා වදාළ අවස්ථා රතන සූත්‍ර අටුවාවේ හා දම්පියා අටුවාවේ සඳහන් වෙයි.

කෙසේ වූවද බුදුපියාණන් වහන්සේට අකුසල කර්ම විපාක පල දීම පිළිබඳ සඳහනක් අපදාන පාලියෙහි පුබ්බකම්ම පිලෝතිකාපදානයෙහි සඳහන් වෙයි. එහි බුදුපියාණන් වහන්සේට පූර්ව ආත්මභාවයන්හිදී සිදු කළ පාප කර්මයන්ගේ විපාක වශයෙන් සෑදුණු රෝග පීඩා දොළසක් පිළිබඳ සඳහන් වෙයි. ලේ අතීසාරය, කශේරුවේ ආබාධ, හිසේ ආබාධය ආදිය ඉන් සමහරකි. මීට අමතරව පාප කර්ම වශයෙන් පල දුන් යව සහල් වළඳන්නට සිදුවීම, චිංචිමානවිකාව, සුන්දරී පරිබ්‍රාජිකාව ආදීන් නිසා අපහාස විඳින්නට සිදුවීම, වසර 6 ක් (හයක්) දුෂ්කර ක්‍රියා කරන්නට සිදු වීම ආදී කාරණා පිළිබඳව ද සඳහන් වෙයි.

“සුනාථ භික්ඛවො මය්හං
යං කම්මං පකත මයා
පිලෝතිකස්ස කම්මස්ස
බුද්ධත්තෙපි විපච්චතී” (බුද්ධාපදානය)

රහතන් වහන්සේට කුසල කර්ම මෙන්ම අකුසල කර්මද විපාක දුන් බව බොහෝ ආචාර්යවරු පිළිගනිති. සීවලී මහරහතන් වහන්සේට අවශ්‍ය සෑම විටම ප්‍රණීත භෝජන වළඳන්නට අවස්ථාව සැලසුණේ ද ලෝසකතිස්ස මහරහතන් වහන්සේට පිරිනිවන්පාන මොහොත දක්වාම කුස පිරෙන්නට දානයක් නොලැබුණේ ද මුගලන් මහරහතන් වහන්සේට සොරුන්ගෙන් බැට කා පිරිනිවන් පාන්නට සිදු වූයේ ද පූර්ව කර්ම විපාකයන්ගේ බලපෑම, නිසා ය. බුදුපියාණන් වහන්සේ ද රහතන් වහන්සේ නමකි. ‘අරහං’ යන පදය උන්වහන්සේ උදෙසාද භාවිතා වනුයේ එනිසා ය.

ලෝක ධර්මතාව සෙස්සන්ට පමණක් සාධාරණ වූවක් නොවේ. එය බුදුවරයන් වහන්සේට ද පොදු ය. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් ආදී අටලෝදහම තථාගතයන් වහන්සේට ද සාධාරණ වූවක් බව උන්වහන්සේම පෙන්වා දී තිබේ. එසේම මජ්ඣිම නිකායේ කම්ම විභංග සූත්‍රයට අනුව සියලු සත්වයන් කර්මය ස්වකීය කොට, මුල් හේතුව කොට, නෑදෑයා කොට ගෙන සිටින බව පෙන්වා දෙයි.

බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේට නැවත ප්‍රතිසන්ධි ලැබීමක් නොමැත. උන්වහන්සේ පවට හේතු වන සියලු කෙලෙසුන් ප්‍රහාණය කර ඇති නිසා උන්වහන්සේ අතින් පව්කම් සිදු නොවේ. එසේම බුදුරජාණන් වහන්සේ දාන, ශීල, භාවනා ආදී පින්කම් සිදු කළාට එයින් භවයක් සකස් නොවේ. (විපාක පිණිස කර්ම සකස් නොවේ) මෙසේ නික්ලේෂී උතුමන් පුණ්‍යක්‍රියා කිරීමේ දී ඇතිවන සිත් අභිධර්මයේ දී හඳුන්වනුයේ කුසල සිත් ලෙස නොව ක්‍රියා සිත් ලෙස ය.

කාරණා කෙසේ වූවද බුදුපියාණන් වහන්සේගේ දේශනා නම් කර්ම විෂය අචින්ත්‍ය බවයි.එනිසා මෙවැනි දේ පිළිබඳ විග්‍රහ කිරීමේ දී එකිනෙකාගේ අදහස්, ආකල්ප ඉදිරිපත් වීම ඇතැම් අයගේ ධර්මාවබෝධයට හානිකර වීමට ඉඩ ඇත. චිත්තෝපත්ලේශ, වඤ්චක ධර්ම අන්තාවද දෘෂ්ටි ආදිය ඉදිරිපත් වීමෙන් තමන් අවංකව ඉදිරිපත් කළත්, එසේ ඉදිරිපත් කරන ධර්ම කරුණු නිවැරදි නොවන්නට ඉඩ ඇත. මා ලියන ලද ලිපියට ද නික්ලේශී නොවන්නන් සඳහා පොදු වූ ඉහත කාරණා සාධාරණ නිසා මේ පිළිබඳ නුවණැත්තෝ විමසා බලත්වා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.