Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

නොපසන් මනසින් කළ-කී දෑ පසු පස එන සැටි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛ මන්වේති
චක්කංච වහතෝ පද

පින්වත්නි!

ජීවිතයේ කරන කියන හැම දෙයකටම මුල් වන්නේ මනසයි. ශ්‍රේෂ්ඨ වන්නේත් මනසයි. හට ගන්නේත් මනසින්මයි. ඉතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියායි ද එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසු පස්සේ දුක ලුහුබඳියි. කුමක් මෙන්ද යත් ගැල අදනා ගොනු පසුපස නොනැවතී යන ගැල්සක මෙනි.

පින්වතුනි! අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ යුගයේ, සැවැත් නුවර මහාසුවණ්ණ නමැති ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. එක්තරා දිනක දිය නා ආපසු පැමිණෙද්දී සුවිසල් නුග රුකක් ඔහු හට දක්නට ලැබිණි. ඒ දුටු මහා සුවණ්ණට මෙසේ සිතිණි. “මේ නුගරුකෙහි මහේශාක්‍ය දෙවිරු අරක්ගෙන සිටින හැඩයි.” සිතා ඔහු රුක් සෙවන ශුද්ධ පවිත්‍ර කළා. අවසානයේ ඔහු එම නුග රුකට වන්දනාමාන කරගෙන “අනේ දෙවියනි! මට දූ දරුවන් නොමැති හෙයින්, මට දුවෙක් හෝ පුතෙක් ලැබුණොත් මම ඔබ වහන්සේට මහත් පූජාවක් කරනවා යැයි ප්‍රාර්ථනා කරන්නට විය.

කාලය කෙමින් ගෙවී යද්දී මහාසුවණ්ණගේ බිරිඳගේ කුසින් පුත් රුවනක් බිහි විය. මහා සුවණ්ණට ඇති වූ පී‍්‍රතිය අසීමිත විය. නුගරුකෙහි වැඩ සිටිය දෙවියා දරුවෙක් දුන්නැයි කියා, ඔහු හට “පාල” කියා නම තැබුවේය. ටික දවසකින් තවත් පුතෙක් බිහි විය. එවිට වැඩිමහල් පුත්‍රයාට “මහාපාල” කියාත්, අලුත උපන් ප්‍රත්‍රයාට “චූලපාල” කියාත් නම් තැබීය.

කාලයාගේ ඇවෑමෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන නිසි වයස එළඹි කල විවාහ දිවියටද ඇතුළත් විය. දිනක් උපාසක උපාසිකාවෝ පිරිසක් සුදුවතින් සැරසී, බුදු මුවින් පිට වන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට දෙව්රම් වෙහෙරට පිය නගන අන්දම මහාපාලට දැක ගන්ට ලැබිණි. මහාපාල හටද සද්ධර්මය ශ්‍රවණය කරන්නට ආශාව ඇති වූ හෙයින් උපාසක උපාසිකාවන් සමඟ දෙව්රම් වෙහෙරට ගොස් කෙලවරකට වී බුදු මුවින් ගලා එන ඒ උතුම් ධර්ම දේශනයකට සවන්දුන්හ. අර්ථ මෙනෙහි කිරීමෙන් ටිකෙන් ටික ඔහුට ශ්‍රී සද්ධර්මය තේරුම් ගැනීමට හැකියාව ලැබිණි. තෙරුවන්සරණ ගිය මහාපාල උපාසක තුමා, අවසානයේ පැවිදිවීමට තීරණය කළේ ය. “මහාපාල” උපාසක තුමා, ගෙදර ගොස් පවුලේ සියලු දෙනා කැඳවා තමන්ගේ අදහස ඔවුන් වෙත දන්වන ලදී. එවිට “චූලපාල” මෙසේ කියන්නට විය. මගේ ආදරණීය අයියේ, ඔබ පැවිදි වන්න එපා. මවුපියන් නැති වූ දවසේ පටන්, ඔබ තමයි මගේ මවුපියන් වශයෙන් හිටියේ. අයියාට ගිහිගෙයිම ඉඳගෙන පින් කරන්න පුළුවන්නේ. ඇයි? ඔබ පැවිදි වෙන්නේ? එවිට උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණ මහාපාල උපාසක විසින් කියා දෙන්නට විය. පවුලේ සියලු දෙනාගේ අවසරයෙන් ඔවුන් හඬා වැලපෙද්දී ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය.

පස් අවුරුද්දක් මුළුල්ලේ තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට අවනත වී ධර්ම විනය ඉගෙන ගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගියහ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් අසුන් ගත් මහාපාල තෙරණුවෝ මෙසේ ප්‍රකාශ කරන්නට විය. “ස්වාමීනී! භාග්‍යවතුන් වහන්ස මා දැන් ධර්ම විනය පස් අවුරුද්දක් මුළුල්ලේ ඉගෙන ගත්තා. මම කැමතියි ධ්‍යාන වඩලා කෙලෙස් දුරු කර ගන්න. මා කෙරෙහි අනුකම්පා කොට මට උපදෙස් දෙන සේක්වා” මහාකාරුණික බුදුරජාණන් වහන්සේ “මහාපාල” තෙරුන් හට උපදෙස් ලබා දුන්නේ ය. උපදෙස් ලබාගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ හැට නමක් සමඟ චාරිකාවේ වැඩම කළහ. සැවැත් නුවර සිට යොදුන් ගණනක් ඈතට වැඩියහ.

සන්සුන් ඉරියව් ඇති ස්වාමීන් වහන්සේ දුටු ජනයා වස් තුන්මාසය එම ජනපදයේ වැඩ සිටින ලෙස ආරාධනය කළහ. මහාපාල තෙරුන් ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේ එම ආරාධනාව පිළිගත් හෙයින් ඉමහත් පී‍්‍රතියට පත් ජනයා ඉක්මණින් කුටි, සක්මන් මළු, භාවනා ශාලා ඉදි කරන්නට විය. ගමේ සිටි දක්‍ෂ වෙද මහත්මයකු ස්වාමීන් වහන්සේ අමතා මෙසේ පවසන්නට විය. මේ වස් තුන්මාසයේ ඔබ වහන්සේලාට සෑදෙන ඕනෑම රෝගයකට මම බෙහෙත් කරන්නම් මාහට දන්වන්න.

වස් විසීමේ නියමිත දවස උදා විය. මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේ අමතා අහනවා “පින්වත් ස්වාමීන් වහන්ස මේ වස් තුන්මාසය ඉරියව් කීයකින් ගත කරන්නද බලාපොරොත්තු වන්නේ” “මහාපාල ස්වාමීන් වහන්ස! අප ඉරියව් හතරින්ම කල් ගෙවන්නයි හිතාගෙන ඉන්නේ යනුවෙන් අනික් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්හ” එවිට මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා අමතා මෙසේ ප්‍රකාශ කරනවා.

දැන් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණා. උතුම් පැවිදි උපසම්පදා බවට පත්වුණා. ප්‍රමාද වීම අනතුරුදායකයි. ඉතින් මම තීරණය කළා සැතපෙන ඉරියව්වෙන් තොරව ඉරියව් තුනකින් කල් ගෙවන්න අනෙකුත් ස්වාමීන් වහන්සේලා එම ක්‍රියාව බොහෝ අගය කොට සැලකූහ.

පින්වතුනි! මේ මහාපාල ස්වාමීන් වහන්සේ පළමු මාසයේ හොඳට භාවනා කළහ. දෙවැනි මාසයේ මුල් සතියේ රාත්‍රියක මහාපාල ස්වාමීන් වහන්සේට අක්‍ෂි රෝගයක් හැදුනා. පසුදා උදෑසන පිඬු සිඟා වඩින්ට සූදානම් වන විට අනෙක් ස්වාමීන් වහන්සේලා දුටුවා මහාපාල ස්වාමීන් වහන්සේගේ දෙනතින් කඳුලු ගලන ආකාරය. ස්වාමීන් වහන්සේලාට මතක් වෙනවා, වස් වසන අවස්ථාවේ වෙදකම් කරන්න පොරොන්දු වූ වෙද මහත්තයා පිළිබඳව. ඒ වෙදමහත්මයාට කරුණු දැක් වූ පසු ඔහු විසින් මහාපාල ස්වාමීන් වහන්සේට වටිනා තෛලයක් පූජා කළා. ස්වාමීන් වහන්ස! මේ තෙල් බින්දු ගෑමෙන් රෝදුක දුරුවී යාවි යැයි වෙද මහත්මයා උපදෙස් දුන්නා.

මහාපාල ස්වාමීන් වහන්සේ ඇස්වල තෙල් දැම්මේ වාඩි වෙලා. හාන්සි වෙලා නොවේ. හාන්සි වෙලා බෙහෙත් දැම්මෙ නොමැති නිසා එන්න එන්නම රෝගය උග්‍ර වනවා මිසක සුවවීමක් පෙන්නුම් කළේ නැහැ. නමුත් මහාපාල ස්වාමීන් වහන්සේ තම අධිෂ්ඨානය අතහැරියේ නැහැ. නිතර නිතරම කල්පනා කළේ මම කොහොමත් මැරෙන කෙනෙක්නේ. තවත් ප්‍රමාද නොවී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට උත්සාහ ගන්න ඕනෑ. එසේ සිතා උන්වහන්සේ දිගටම භාවනා කළා.

වස් කාලය අවසන් වන දවසේ රාත්‍රියේම මහාපාල තෙරුන්ගේ ඇස් දෙක සදහටම නොපෙනී ගියේ ය. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණේ ද එම අවස්ථාවේදීමය. පසුදා උදෑසන මහාපාල තෙරුන් පිණ්ඩපාතයේ නොවැඩි නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ බලන්ට ගිය අවස්ථාවේ ඇස් අන්ධ වූ කථාව ඇසූ උන්වහන්සේලා මහාපාල රහතන් වහන්සේට උපස්ථාන කළහ. දෑසම අහිමි වූ නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ “චක්ඛුපාල රහතන් වහන්සේ ලෙසයි” වීර්ය වන්ත චක්ඛුපාල මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වීමට වාසනාව ලැබුණි.

චක්ඛුපාල මහරහතන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින විට මහා වැස්සක් ඇද හැලිනි. පසුදා හිමිදිරි පාන්දර, සක්මන් භාවනාව කරමින් සිටියදී, චක්ඛුපාල මහරහතන් වහන්සේගේ දෙපා වලට පෑගි මඩියෝ මිය ගියහ. මේ දුටු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැන්වූහ. “පින්වත් මහණෙනි, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ ස්වාමීන් වහන්සේට මරණ චේතනාව ඇති නොවන්නේ ය. කියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. සංසාර චක්‍රය නවතාලීමට පෙර පින් තිබූ චක්ඛුපාල රහතන් වහන්සේගේ ඇස් අන්ධ වීමට හේතුව කුමක්දැයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ.

පින්වත් මහණෙනි! අතීතයේ බරණැස් නුවර කසී කියලා රජකෙනෙක් රජකම් කරන යුගයේ ප්‍රසිද්ධ ඇස් වෙද මහත්මයෙකු වාසය කළහ. දිනක් කාන්තාවක් ඇසක් දුර්වල නිසා, මෙම වෙද මහතා ළඟට පැමිණ, සුව කර දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඇස හොඳ වුවොත් දූ දරුවන් සමඟ පැමිණ වෙද මහතා ළඟ බැල මෙහෙවරකම් කරන බවට ප්‍රතිඥාවක් වූවාය. වෙද මහත්තයා ඒ ගැන සතුටු වී එක බෙහෙතකින් ඇස සුවපත් කළහ. ඇස හොඳ වූ පසු ඒ මහලු කාන්තාව ඇස හොඳ වුවහොත්, දූ දරුවන් සමඟ බැලමෙහෙකාරකම් කරන්න එන බවට වෙද මහත්මයාට පොරොන්දු වුණා. එය කිසිසේත් කළ හැකි දෙයක් නොවේ.

එම නිසා ඇස සනීප නැති බව පවසන්නට ඕනෑ යැයි සිතා වෙද මහතා ඉදිරියේ බොරු ලෙඩක් මවා පෑවා. තවමත් මගේ ඇස් රෝගය තියෙනවා. තවමත් අමාරුයි. කියා මහලු ස්ත්‍රිය කියූ විට, ඇය පවසන්නේ අසත්‍යයක් බවත්, මැය කපටි මැහැල්ලක බව තේරුම් ගත් වෙද මහතා ඒ ගැන කීපී නැවතත් ඇයට ඇස් අන්ධ වීමට බෙහෙත් දුන්නේ ය. බෙහෙත් යෙදූ ස්ත්‍රියගේ දෑසම නොපෙනී ගියේ ය. ඒ වෙද මහතා මේ චක්ඛුපාල රහතන් වහන්සේ ය. පෙර කළ ඒ කර්මය නිවන් දකින අවස්ථාවේ දී විපාක දුන්නේ ය. චක්ඛුපාල මහරහතන් වහන්සේගේ එම කථා පුවතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියයිද, එහි අකුසලය විපාකය විඳීමට සිදුවන බව මනාව පැහැදිලි වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.