සඟ සතු දාන හා පෞද්ගලික දාන
දයා අංහෙට්ටිගම
දන් දීම බුදුසසුනෙහි ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ශ්‍රේෂ්ඨ කුසල කර්මයකි.
පුණ්‍ය ක්‍රියා තුනෙකි. එනම් දාන - ශීල - භාවනා යනුවෙනි. එහි පළමු
වැන්න දානය යි. දශ පුණ්‍ය ක්‍රියාවන්හි ප්‍රමුඛ ස්ථානය හිමි වී ඇත්තේද
දානයට යි. දශ රාජධර්මයන්හි ද මුලට ම ගැනෙනුයේ දානයයි. සතර සංග්‍රහ
වස්තුවල ද දානය මුලින්ම සඳහන් වේ. එදා සුමේධ තාපසතුමා දීපංකර සම්බුදු
පියාණන් වහන්සේගේ පාද මූලයේ දී නියත විවරණ ලබාගෙන පිදුම් ලද මල්ගොඩ මත
හිඳගෙන බුදුවීමට කුමක් කළ යුතු දැයි කල්පනා කරන විට පෙනී ගියේ පළමුව
දාන පාරමිතාව සම්පූර්ණ කළ යුතු බවයි. “ දානපාරමිතං ගච්ඡ යදි බෝධිං
පත්තුමිච්ජසි”
සම්බුද්ධත්වය ලබාගැනීමට කැමති නම් පළමුව දාන පාරමිතාව සම්පූර්ණ කරන්න
යනු එහි අදහස යි. දානය පාරමිතාවක් වශයෙන් පුරණ විට තණ්හා මාන
දිට්ඨිවලින් විනිර්මුක්ත ව ප්‍රතිග්‍රාහකයන් ගැන නො සලකා දිය කළයක්
මුනින් නැමුවාක් මෙන් දීමනාව සිදුකෙරෙයි.
පූජා බුද්ධියෙන් දීමෙහි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ පරාමර්ෂණය කරගෙන සාංඝික
වශයෙන් දීම මහත් ඵල මහානිශංස ලැබෙන ක්‍රමයයි. ගෝතමිය තමන් අතින්ම නූල්
කැට තමන් විසින් ම වියන ලද වස්ත්‍රය බුදුරදුන්ට පූජා කළ විට උන් වහන්සේ
එය පිළිගැනීම ප්‍රතික්ෂේප කොට සංඝයාට දෙන්නැයි නියම කළේ ඇයගේ වස්ත්‍ර
දානය ඵල මහානිශංස කිරීම සඳහාය. මහාසංඝ රත්නය ලොවට උතුම් පින් කෙතති.
(අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස )
බුද්ද ශාසනයෙහි සාංඝික දාන හතක් දක්වා ඇත.
1. එක් පසෙක භික්‍ෂූන් වහන්සේ ද අනෙක් පස භික්ෂුණීන් වහන්සේ ද මැද
බුදුපියාණන් වහන්සේ ද වඩාහිඳුවා දෙන සාංඝික දානය
2. බුදුරදුන් පිරිනිවි කල්හි එක් පසෙක භික්‍ෂූන් වහන්සේ ද අනෙක් පස
භික්ෂුණීන් වහන්සේ ද මැද සධාතුක කරඬුව ද තැන්පත් කොට දෙන සාංඝික දානය
3. සධාතුක කරඬුව හා භික්ෂූන් වහන්සේ පමණක් වඩා හිඳුවා දෙන සාංඝික දානය
4. සධාතුක කරඬුව හා භික්ෂුණීන් වහන්සේ පමණක් වඩා හිඳුවා දෙන සාංඝික
දානය
5. භික්ෂූන් වහන්සේ ද භික්ෂුණීන් වහන්සේ ද සඟින් ලබාදෙන සාංඝික දානය
6. සඟින් භික්ෂුන් වහන්සේ ලබාගෙන දෙන සාංඝික දානය
7. සඟින් භික්ෂුණීන් වහන්සේ ලබාගෙන දෙන සාංඝික දානය
එසේම පෞද්ගලික වශයෙන් දෙන දාන ඇත. මෙහි ආනිශංස පක්ෂය ගැන කිසිම
විවාදයක් නැත.
සාංඝික දානයෝ ම ශ්‍රේෂ්ඨතර වන්නාහ . පෞද්ගලික දාන ද තුදුසෙකි. එනම්
1. බුදුකෙනෙකුන් වහන්සේට දන් දීම
2. පසේ බුදු කෙනෙකුන් වහන්සේට දන් දීම
3. රහතුන් වහන්සේ නමකට දන් දීම
4. අනාගාමී ව රහත් වීමට පිළිවෙත් පුරණ කෙනෙකුට දන් දීම
5. අනාගාමී කෙනෙකුට දන්දීම
6. අනාගාමී වීමට පිළිවෙත් පුරණ කෙනෙකුට දන් දීම
7. සකෘදාගාමී කෙනෙකුට දන් දීම
8. සකෘදාගාමී වීමට පිළිවෙත් පුරණ කෙනකුට දන් දීම
9. සෝවාන් කෙනකුට දන්දීම
10. සෝවාන් වීමට පිළිවෙත් පුරණ කෙනකුට දන් දීම
11. ධ්‍යනලාභී කෙනකුට දන්දීම
12. පංච ශීල අෂ්ටාංග ශීලාදිය සමාදන් වූ කෙනෙකුට දන්දීම
13. දුස්සීල කෙනකුට දන්දීම
14. තිරිසන් සතකුට දන්දීම
තිරිසන් සතකුට දීමෙන් ජාති සියයක ආනිශංස ලැබෙයි. දුෂ්ශීල මනුෂ්‍යයකුට
දීමෙන් ජාති දහසක ආනිශංස ලැබෙයි. සිල්වත් මනුෂ්‍යයකුට දීමෙන් ජාති
ලක්ෂයක ආනිශංස ලැබෙයි. ධ්‍යාන ලාභියකුට දීමෙන් ජාති අසංඛ්‍යයක් ආනිශංස
ලැබෙයි. සරණාගතව සිල් රකින්නකුට දීමෙන් ඊට වඩා ආනිශංස ලැබෙයි.
පූජා බුද්ධියෙන් දන් දීමේ දී ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අරමුණු කරගෙන
සාංඝික වශයෙන් දන් දීම, මහත් ඵල මහානිශංස ලබන ක්‍රමයයි.
කල්ප ලක්ෂයක් ගියත් සාංඝික වශයෙන් දුන් දනෙහි විපාකය ගෙවි අවසන් නො වේ.
(කප්පානි සතසහස්සානි සංඝේ දින්නං න නස්සති)
සාංඝික වශයෙන් දානයක් පිළිගැන්වීම සඳහා භික්ෂූන් කී නමක් අවශ්‍ය ද ?
යන්න විවාදාපන්න කරුණක් වී ඇත. මහාචාර්ය රේරුකානේ චන්දවිමල
මහනාහිමිපාණෝ ද සාංඝික දානයක් දීමට සිව් නමක් ම අවශ්‍ය නො වන බව පවසති.
(ධර්ම විනිශ්චය) හේතුව ? සාංඝික දානය විනය කර්මයක් නො වන ඬසාය. එහෙත්
මෙම කරුණ තව දුරටත් විමසා බැලීම කලෝචිත ය.
විනය පිටකයෙහි පුග්ගල නාමයෙන් ගැනෙනුයේ එක නමකි. ගණ නාමයෙන් තුන් නමක්
ගැනේ. සංඝ නාමයෙන් ගැනෙනුයේ සිව් නමකි. නැතිනම් සිව් නමට වැඩි පිරිසකි.
සංඝ ශබ්දයට “ ඉත” ප්‍රත්‍යයක් එකතු කිරීමෙන් සාංඝික යන වචනය සැදී ඇත.
එහි තේරුම් සංඝයාට අයිති යන්නයි. සංඝ නාමයෙන් හැඳින්වෙනුයේද උපසපන්
භික්ෂූන් වහන්සේ ය. සංඝ යන්නෙන් සිව් නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගණන්
ගැනේ නම් සංඝ අවශ්‍ය නො වන්නේ ද? වචනාර්ථය සලකා බැලීමේ දී සාංඝික
දානයක් දීමට යටත් පිරිසෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක් අවශ්‍ය බව පෙනේ.
සංඝ නාමයෙන් උපසපන් භික්ෂූන් වහන්සේ හැඳින්වෙන හෙයින් සාංඝික දානයට කාය
සාක්ෂි වශයෙන් පෙනී සිටින සිව් නම උපසම්පන්න ද විය යුතුය.
ඉහත සඳහන් කළ සාංඝික දාන ක්‍රම හතෙහි සඟින් සංඝයා ලබාගෙන දෙන සාංඝික
ක්‍රමයක් ද ඇත. එම ක්‍රමය නම් උපසපන් භික්ෂූන් සතර නමක් හෝ ඊට වැඩි
ගණනක් රැස් වී සිටින අවස්ථාවක උන් වහන්සේ කරා යන දායක මහතා “ ස්වාමීනි
අපේ නිවසෙහි දානය සඳහා සඟින් සංඝයා ලබා දෙන්න “ යි ඉල්ලා සිටියි. එම
ආරාධනාව පිළිගත් සංඝයා නිවසට වැඩම කරති. එක නමක් වැඩිය ද දානය සාංඝික ව
පිදිය හැක. මෙහි දී ප්‍රශ්නය වනුයේ සාංඝික දානයක් දීමට සතර නමක්ම
අවශ්‍ය නැත්නම් සඟින් සංඝයා ලබාගෙන දෙන සාංඝික දාන ක්‍රමය කුමකට ද?
යන්නයි.
“ සපරික්ඛාරං ඉමං භික්ඛං බුද්ධපමුඛස්ස භික්ඛු සංඝස්ස දේම” යන සාංඝික
වාක්‍යය කිය යුත්තේ දායකයා විසිනි. එහෙත් දායකයා නො දන්නා නිසා
භික්ෂූන් වහන්සේ නමක් දායකයා නො දන්නා නිසා භික්ෂූන් වහන්සේ නමක්
දායකයා ලවා කියවයි. එසේ වාක්‍යයක් කීවත් නො කීවත් සංඝයාට පිඳීමේ
අදහසින් දානය පිළිවෙල කරන විට එම දානය සාංඝික වී අවසානය.
සෑම විනය කර්මයකටම සතර නමකට වඩා සිටිය යුතු යැයි නියමයක් නැත.
ප්‍රත්‍යන්ත දේශයක උපසම්පදා විනය කර්මයක් කිරීමට ද සිව් නමක්
ප්‍රමාණවත්ය. අබ්බහාන විනය කර්මයකට නම් විසිනමකට වඩා සිටිය යුතුය.
පුග්ගල උපෝසථ , ගණ උපෝසථ - සංඝ උපෝසථ යැයි උපෝසථ, කර්ම එක නම තුන්නම
හතර නම ආදී වශයෙන් සිදු කෙරේ.
සාංඝිකව දන් දීම විනය කර්මයක් නො වූවක් වචනාර්ථය අනුව සිව් නමක් හෝ ඊට
වැඩියෙන් සිටිය යුතුය.
සඟින් සංඝයා ලබා නො ගෙන එක නමකට දෙන්නේ නම්, එය පුද්ගලික දානයකි. තුන්
නමකට දෙන්නේ නම් එය ගණික දානයකි. සිව් නමක් නම් එය සාංඝික දානයකි.
සාංඝික දානයක් පිදීමට සිව් නමක් අවශ්‍ය නැත්නම් පුද්ගලික දාන , සාංඝික
දාන යයි ප්‍රභේද ගත කිරීම ද අවශ්‍ය නො වේ. |