පින හා කුසලය ගැන
මැදහත්ව විමසමු
පොල්ගස්ඕවිට, දික්හේන
විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී
නවගත්තේගම සුගතවංස හිමි
“පින කුසලය ගැන තවත් ගැටලුවක් නෑ” යන මැයෙන් අපගේ පැවිදි සහෝදර
සුධීරානන්ද හිමියන් තවත් හිමිනමක් වෙත කරුණු පෙන්වා තිබෙනු ද ඒ හිමියෝ
ද ඊට පිළිතුරු සපයා තිබෙනු ද පසුගිය බුදුසරණ පත්‍ර වල දක්නට ලැබිණි. මම
නම් සිතන්නේ මේවා ගැන වාදවිවාද පටලවාගෙන එකිනෙකාගේ අඩුලුහුඬුකම් පෙන්වා
ඇඟිලි දිගු කිරීමක් වුවමනා නැති බවකි. ධර්ම කාරණා ඉදිරිපත් කළ යුත්තේ
පෙල අටුවා වලට අනුව මිස පරිබාහිර කථා වලින් අත්තනෝමතික නිගමන ස්ථිර
කරන්නට, යෑමෙන් නොවන බව සැබෑවකි. කිසිවකුගේ දෘෂ්ඨියක් ඉවත් කිරීමට අපට
පුළුවන්කමක් නැත. නුවණින් සලකා බලා සිය දෘෂ්ඨිය සෘජු කරගත යුත්තේ තම
තමන් විසින්ම ය. පෙලට අටුවාවට අනුව කරුණු උපුටා දක්වාලීමෙන් සෑහීමකට
පත් වී නිහඬවීම, අපේ කාර්ය විය යුතු ය.
එසේම අපගේ සොයුරු තෙමේත් මමත් මේ මාතෘකාව ගැන අපගේ ගුරුකුලයට අනුව දරා
සිටින්නේ එකම ආකල්පයකි. සත්‍යවාදී වූ අපි පරවාදීන් පෙල අටුවා වලටත්,
ආචාර්ය වාදයටත් ගැලපෙන පරිදි කරුණු අප වෙත ඔප්පු කර පෙන්වුවහොත් අපේ
දැක්ම වෙනස් කරමින් එය පිරිසුදු කර ගන්නා නිහතමානී අපේක්‍ෂාව අප තුළ
තිබිය යුතු ය. සිය දෘෂ්ඨියට අනුරූපව යමෙක් අන්‍යයන් විවේචනය කරනු ඇත.
ඒවා වලක්වන්නට යෑම හෝ ඊට උරණ වීම නුසුදුසු ය. සූත්‍ර, විනය මෙන්ම
විශේෂයෙන්ම අභිධර්මයට අනුව සමාජයට හරිදැක්ම දීමට ලියැවෙන සාරවත් ලිපි
මින් ඉදිරියටත් සුධීරානන්ද හිමියන්ගේ නමින් බුදුසරණට සැපයේවා යන්න අපගේ
පැතුමයි. මේ කෙටි විස්තරය මෙහි ලීවේ ඒ නිසා ය.
ධර්මය උපදින ක්‍ෂේත්‍රය වූ සිත පිළිබඳ පොත පතෙන් ගත් දැනුමෙන් පමණක්
සෑහීමකට පත් නොවී, ඒ ගැන ප්‍රායෝගික අවබෝධය ද ඇතිව ධර්ම න්‍යාය රීතීන්
පෙරමුණේ තබාගෙනම ධර්මය විග්‍රහ කළ යුතු ය. ඊට අදාළ මූලධර්ම සංග්‍රහ වී
ඇත්තේ අභිධර්මය තුළ ය. ඒ කෙරෙහි අවධානය යොමු නොකොට ධර්මය විග්‍රහ
කිරීමට යෑම නිසා බොහෝ අත්තනෝමතික නිගමන පැළ වී බුද්ධ ධර්මයට අනවශ්‍ය
මාතෘකා එකතු වෙයි. අභිධර්මය නොදැන කරන ධර්ම දේශනාව, දික්නූල පාවිච්චි
නොකොට, ලඹය පාවිච්චි නොකොට, මට්ටම් ලීය පාවිච්චි නොකොට, කෝදු ලීය
පාවිච්චි නොකොට තනන ගෘහයක් වැනිය කියා රේරුකානේ චන්දවිමල මහා නා හිමියෝ
සඳහන් කරති.
එසේම රෝග නිධාන සොයා අදාළ ලෙඩ ගැන පුළුල් පරීක්‍ෂණ සිදු කොට අදාළ ඖෂධ
නියම කළ ග්‍රන්ථයක් යම් සේද අභිධර්මය ද එවැන්නක් බව ද සූත්‍ර පිටකය
බෙහෙත් තුණ්ඩු රාශියක එකතුවක් වැනි යැයි ද උන්වහන්සේ සූත්‍ර අභිධර්මය
පිටක ;දකෙහි වෙනස දක්වා ඇත. ධර්මය පිළිබඳ මටසිළිටි විශාරද ඥානයකට පදනම
වැටෙන්නේ, අභිධර්මය ඤාණයේ දියුණුව තුළින් ය.
කුසලයට ලොවුතුරු විපාකත්, පිනට ලෞකික විපාකත් උපදවනවා නම්, කාමාවචර,
රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් කුසල් සිත් සහ කුසල විපාක සිත්,
කුසල නාමය යොදා විග්‍රහ කිරීම වැරැදි විය යුතු ය.
පිනට ලෞකික විපාක ලැබෙන කල රූපාවචර, අරූපාවචර සහ කාමාවචර සිත් වලට පින්
සිත් ක්‍රියා බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දිය යුතුව තිබිණි.
ඒවායෙන් ලැබෙන්නේ තුන් ලෝ තල (වට්ට ගාමිණී) විපාක බැවිනි. නමුත් බුදු
සමිදාණෝ ලොවුතුරු විපාක (සෝවාන් ආදී ඵල සතර) උපදින්නේ, ලොවුතුරු කුසල
සිත් නිසා බව දක්වා ඇතිවා සේම රූපාවචරාදී ලෞකික විපාක උපදවන්නේ ද කුසල
සිත් වලින් බව පෙන්වා තිබේ. ධර්මයේ ඕනෑම තැනක මේ සම්බන්ධ ගැටලුවක්
උපන්නොත් ඒවා විසඳා ගන්නට පැමිණිය යුතු මූලස්ථානය මෙතැන ය. මේ දෙස
නොබලා ඒ ඒ තැන දෙස පමණක් බලාගෙන කරුණු දක්වන්නට යෑම අවුලෙන් අවුලට යෑමට
හේතු කාරක වෙයි. පිනේ සහ කුසලයේ පැහැදිලි වෙනසක් බුදු නුවණින් දුටුවා
නම්, එය අනිවාර්යයෙන්ම මෙතැනදී විග්‍රහ වන්නේම ය. නමුත් එසේ වී නැත.
අපි බුදු සමිඳුන්ට ද ඔබ්බට යන්නේ කුමට ද? (2007 ඇසළ පුර පෝදා බුදුසරණේ
ද අපි මේ ගැන කරුණු ටිකක් දක්වා ඇත)
පවු සහ අකුසල් යනුවෙන් හඳුන්වන ධර්මතා නිසා ලෞකික දුක්ඛ විපාක උපදවන බව
කීවාට කිසිවකු විරුද්ධ වන්නේ නැ. කුසලයෙන් උපදවන්නේ ලොවුතුරු ඵල පමණක්
බව කියන විට පිනට ලැබෙන ලෞකික විපාක (කුසලයට සාපේක්‍ෂකව) අකුසලයක් විය
යුතු නොවේද? එය පින් සිතක් මිස කුසලසිතක් නොවන නිසා ය. කුසල් නොවුයේ
අකුසල් ය. අප හමුවේ පැන නගින ප්‍රශ්න වන්නේ මේවා ය. පිළිතුරු සෙවිය
යුත්තේ මේවාට විනා යම් යම් අයගේ සුළු සුළු අඩුපාඩු සිදු වී නම්, ඒවාට
නොවේ.
පුණ්‍ය, කුසල වචන දෙකම එක විට යෙදී ඇති විශේෂ සූත්‍රයකි, මජ්ඣිම
නිකායයේ ‘සුභ’ සූත්‍රය බු/ජ/මුද්‍රණය 728 පිටුවේ සඳහන් පරිදි
බුදුරජාණන් වහන්සේ පුණ්‍ය ක්‍රියාවට කුසල් වැඩීමට සුභගේ ආචාර්ය
ප්‍රාචාර්ය වරුන්ගෙන් ලැබෙන අවවාදය කුමක්දැයි විමසන සේක. ඔවුන්ගේ මතය
අනුව බුදු හිමියන්ගේ දෙසුමේ ඉතාම ප්‍රාථමික අවස්ථාවක් වශයෙන් ගත හැකි
තැනක් එදා බමුණු සමජයේ ඉතාම උසස්ම ප්‍රතිඵලය කොට සැලකූ බව පෙනෙයි.
පුඤ්ඤ, කුසල වචන දෙක එකතැන යෙදී තිබුණාට කලබල නොවී, ඒ සූත්‍රයේ ගැබ්වන
අර්ථය වටහා ගන්නට වෑයම් කළ යුතු ය. මෙහිදී පුණ්‍ය ක්‍රියාවත්, කුසල්
සම්පාදනයත් එකම ධර්මතා පහක් යටතේ එකම ක්‍රියාවකින් සම්පාදනය වන බව
ගම්‍ය වෙයි. සත්‍ය, තපස, සජ්ඣායනය( වේද), බ්‍රහ්ම චරිය යන කරුණු නිසා
බ්‍රහ්මයන් වෙත යාමට මඟ හෙළි වන බව සුභගේ පිළිගැනීම බව පෙනේ. බුදුරජුන්
පවසන්නේ මේවා බ්‍රහ්ම වසව්‍යතාවයට හෙවත් බ්‍රහ්මත්වයට පත් වීමට
පරිෂ්කාර (වුවමනා කරන ධර්ම) පමණක් බව ය. එසේම බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව
අන්‍ය ශාසන වල පැවිද්දන්ටත් කුසලූපසංහිත ප්‍රමෝදය වැඩෙන බව මෙහි
කියැවෙයි. ලෞකික විපාක ලෙස බුදු හිමියන් දැක් වූ බ්‍රහ්මත්වයට නිසි ම¼ග
ගමන් කරන සෙසු සමය වාදී ශ්‍රමණ පැවිද්දන් ද කුසලුපසංහිත විපාක ලබන බව
මින් ප්‍රකට වෙයි. මෙහිලා සුභ පෙන්වන පැවිද්දෝ බුද්ධ ශ්‍රාවක පැවිද්දෝ
පමණක් නොවේ. කුසල උපසංහිත ප්‍රමෝදය නිසා චිත්ත ඒකාග්‍රතාව ලැබෙන බව සුභ
සූත්‍රයේ අවධාරණය කරයි. එසේ නම් කුසලයට ලොවුතුරු විපාක පමණක් ලැබෙන බව
කීම නිවැරැදි ද?
සම්මා දිට්ඨිකයෝ බුද්ධ ශාසනයක පමණක් පහළ වන නිසා කුසල් වැඩිය හැක්කේ
බුද්ධ ශ්‍රාවකයන්ට පමණක් බව සඳහන් කරන්නේ නම් එය වරදකි. පුණ්‍ය මාර්ගය
පැරැණි බවත් කුසල මාර්ගය අභිනව එකක් බවත් පවසා නම් එයත් වැරැදි ය.
මජ්ඣිම නිකාය අපණ්ණක සූත්‍රයේ දී කාය, වචී, මනෝ සුචරිත වැඩෙන්නට සම්මා
දිට්ඨියත් දුෂ්චරිත වැඩීමට මිථ්‍යා දෘෂ්ඨියත් ඉවහල් වන බැව් මැනවින්
විස්තර කර ඇත. සුක්කෘත දුෂ්කෘත වලට අනුරූපව කර්ම විපාක උපදින බව
පිළිගන්නා කර්මවාදීහු කවදත් ලොව වෙසෙති. ඔවුහු (ආර්ය මාර්ගයට පිළිපන්නෝ
නොවුණත්, බුද්ධ ශ්‍රාවකයෝ නොවුණත්) සම්මා දිට්ඨිකයෝ බව පිළිගත යුතුව
ඇත. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තියේ සාවාද්‍ය බව දැක් වූවා
මිස ඔවුන් මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස දක්වා නැත. ඔවුන් මෙලොව පරලොව දෙකේම
සුඛ විපාක භජනය කරන්නට හැකි වේ.
සම්මා දිට්ඨි යනු ආර්ය මාර්ගයේ පළමු දොරටුවයි. දිට්ඨියට අනුයාතව ඊට
අනුකූලවම ඉතිරි අංග හත ක්‍රියාත්මක වෙයි. ආර්ය මාර්ගය වනාහි භාවේතව්‍ය
ය. (වැඩිය යුත්තකි) ඒ අනුව සම්මා දිට්ඨිය ද වැඩිය යුත්තකි. වැඩෙන්නේ
වැරැදි දැකීම් අත හරිමින් නිවැරැදි දැක්මට (නැවත නැවත සකස් වේවි)
එළඹීමෙනි. මෙසේ මෙය ආර්ය උතුමන්ගේ මට්ටම දක්වා කෙමෙන් කෙමෙන් වැඩිය
යුතු ය. පින් පවු නොපිළිගන්නා මිස දිටුවෝ කිසි විටෙක බුද්ධ ශ්‍රාවකයන්
වන්නේ නැත. නමුත් (ආර්ය මාර්ගයට අවතීරණ වීමට) කර්මය කර්ම ඵලය අදහන
මට්ටමේ සම්මා දිට්ඨික බවෙහි පිහිටියකුට බුද්ධ ශ්‍රාවකයකු වී ආර්ය
මාර්ගයට පිවිසීමට හැකි බව කිව යුතු ය. මිථ්‍යා දෘෂ්ඨිකයාට වැඩෙන්නේ
පාපක අකුසල දහම් ය. ලැබෙන්නේ දුක්ඛ විපාක ය. සම්‍යග් දෘෂ්ඨිකයා (බුද්ධ
ශ්‍රාවකයකු වූවත් නැතත්) ඔහුට පුණ්‍ය කුසල ධර්මයෝ වැඩෙත්, ඉන් සුඛ
විපාක අත්විඳිය හැකි ය. අපණ්ණක සූත්‍රයේ මේ කරුණු විග්‍රහ කර ඇති අයුරු
විචාර බුද්ධියෙන් හැදෑරිය යුතු ය. එවිට බුද්ධ ශාසනයෙන් පිට වූවද ඉතා ඈත
අතීතයේ වූවද පින් කුසල් වැඩීම පැවති බව, ඒත්තු යනු ඇත. පුණ්‍ය, කුසල හෝ
සම්දිටු, මිසදිටු වචන මාත්‍ර වලට නොරැවටී ශාසනික න්‍යාය ධර්ම මත පිහිටා
මේ කරුණු ගැන යුක්තිය අයුක්තිය විසඳාලනු පිණිස ඉදිරිපත් වීමට විඤ්ඤු
සත්පුරුෂයන්ට තව තවත් අපි ආරාධනා කරන්නේ, පෙල අටුවාවනට අනුවත්, පුරාණ
අපේ ථෙර පරපුරේ අදහස් වලට අනුවත් මැදහත් නිගමනයක්, මීට අවශ්‍ය වන නිසා
ය. |