ඔක්තෝම්බර් 06 දිනට යෙදෙන
ලෝක ගුරු දිනය නිමිත්තෙනි
උතුම් ලොවක් තනන
ගුරු ගෝග
යහපත් සබඳතා
බෙලඅත්ත නිහිළුව ශ්‍රී ධම්මානන්ද පිරිවෙන්පති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමිතා
ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා
සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා
වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව
ලබන්නේ, ගුරුවරයා පමණකි.
අතිවිශාල ශිෂ්‍ය සංඛ්‍යාවකගේ අවංක ආදරය, ගෞරවය හා භක්තිය දිනාගත් ලොව
පහළවූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා නම්, ගෞතම බුදුරජාණන් වහන්සේ ය. එතුමෝ
“තිලෝගුරු” වෙති. දෙවි මිනිසුන්ගේ අසහාය ශාස්තෘවරයා වෙති. අධ්‍යාපන
විද්‍යාවෙහිත්, අධ්‍යාපන මනෝවිද්‍යාවෙහිත් මූලාරම්භකයාණෝ වෙති.
ගුරුපදේශ රහිතව සත්‍යාවබෝධය ලබාගත් උන්වහන්සේ, සිසුන් සොයා ගොස් තම
දැනුම ඒ සැමට බෙදා දුන්හ. එනිසා පස් දෙනකුගෙන් ඇරැඹි උන්වහන්සේගේ
ශිෂ්‍ය ප්‍රජාව, අවසානයේ සංඛ්‍යා සීමා දැක්විය නොහැකි මඟ පිරිසක් වූහ.
ලොවට ගුරුවරයාගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වා දුන් අප තථාගතයන් වහන්සේ, තමන්
වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ගුරු තනතුරෙහි තබාගත් සේක. තමා
විසින් ගෞරව කළ යුත්තකු නොමැතිව විසුම, සත්පුරුෂයෝ අගය නොකරති. ලොව
සැමටම ගුරුවරයකු සිටිය යුතු බව යථාවාදී තථාකාරී ගුණයෙන් සමන්විත වූ අප
තථාගතයන් වහන්සේ ද ආදර්ශයෙන්ම පෙන්වූ සේක. දෙව්මිනිසුන්ගේ ගුරුවරයා වූ
(සත්ථා දේවමනුස්සානං) බුදුපියාණන් වහන්සේගේ ගුරුවරයා වූයේ, ශ්‍රී
සද්ධර්මයයි.
ගුරු ඇසුර නැති විට
ගුරුවරයකුගේ, ගරු කටයුත්තකුගේ ඇසුර නොමැතිව විසීම, නිරර්ථකය වරක් නාරද
නම් දාහතර දහසක් ශිෂ්‍යයන්ට ගුරු වූ තාපස කෙනෙක් හුදෙකලා වී මෙසේ
සිතූ®හ.
සියලු ජනයා මා හට පූජා කරයි. නමුත් මම කිසිවකු නො පුදමි. (සබ්බො ජනා මං
පූජෙති – නාහං පූජේමි කිංචනං) මට අවවාද දෙන්නෙක්, යහමග පෙන්වන්නෙක්
නැත. කරුණු නොකරුණු කියන්නෙක්, කළ යුතු නොකළ යුතු දෑ පෙන්වන්නෙක් මා හට
නැත. (න මෙ ඔවාදකො අත්ථි) ආචාර්ය උපාධ්‍යායවරුන්ගෙන් තොරව මම වන වාසයට
පැමිණියෙමි. යමකු කෙරෙහි උපාසතා(ඇසුරු) කළ යුතු ද, ගුරු සිත උපද විය
යුතු ද, එබඳු උතුමකු මා හට නොමැත. මෙසේ ගුරුවර ආශ්‍රයෙන් තොරව වනයේ
විසුම නිරර්ථක ය. (සො මෙ ආචරියො නත්ථි වනවාසො නිරත්ථකො) එනිසා මවිසින්
පූජ්‍ය වූ එසේම ගරුභාවනීය වූ උතුමකු සොයන්නෙමි. එබඳු උතුමකු ඇසුරු
කරන්නකුව වසමි. එවිට කිසිවෙක් මට නො ගරහන්නේ ය. (න කොචි ගරහිස්සතී)
(අපදාන පාලි ධ්ධ්භාගය – පි.230)
මේ සිතිවිල්ල අනුව ගුරුවරයකු නොමැතිව විසීම නිරර්ථක වූවකි, එමෙන්ම
අනුන්ගෙන් ගැරහුම් ලැබීමකි. එනිසා ගුරුවර ඇසුර අත්‍යවශ්‍යයෙන්ම ශිෂ්ඨ
වූ සෑමදෙනම විසින් පැතිය යුත්තේ ය. යහපත් වූ ගුරු ඇසුර සදා සිසු සිතේ
තැන්පත් වෙයි. සිසුවෝ කොතරම් උසස් තනතුරු ලැබුව ද තම යහපත් ගුරුවරයා
කිසිදිනෙක අමතක නොකරති. කයින් සම්මුඛ නොවුන ද එබඳු යහපත් උදාර ගුරුවරු,
සැමදා සිසුන්ගේ හදවත්හි වෙසෙති.
තරුව හා හිරු
සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා
සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින්
පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.
එක් ශිෂ්‍යයකුට ගුරුවරු රැසක් සිටිය හැකි ය. එනමුත් ඒ සිසුවාගේ ගෞරවය
ලබන්නේ, තමාට යහමඟ පෙන්වාදුන් ගුරුවරු පමණකි. මීට ඉතා උචිත නිදසුනක්,
ආර්ය චරිත ඇසුරින් දැක්විය හැකි ය.
ගෞතම බුදු සසුනේ ඤාණවන්තයන් අතරින් අග්‍රස්ථානය ලබමින් ප්‍රථම
ශ්‍රාවකයා ලෙස අගතනතුරු ලද සැරියුත් මහ රහතන් වහන්සේ, බුද්ධ
ශ්‍රාවකයකුට ලද හැකි ඉහළම තනතුර ලැබූහ. බුදුපියාණන් වහන්සේට පමණක්
දෙවැනි වූ උන්වහන්සේ, භික්‍ෂූන් වහන්සේගේ මෑණියෝ වෙති. “සෙය්‍යථාපි
භික්ඛවෙ ජනෙත්තී.එවං සාරිපුත්තෝ” යනුවෙන් මහණෙනි නුඹලාගේ මව වනුයේ,
සැරියුත් තෙරණුවෝ යැයි සච්ච විභංග සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ වදාළ
සේක. මෙබඳු ඉහළම තනතුරු හා ඇගැයුම් ලද ප්‍රශස්තතම බුද්ධ ශ්‍රාවකයා වූ
සැරියුත් මහරහතන් වහන්සේගේ සදානුස්මරණීය ගුරුවරයා වූයේ අස්සජී මහරහතන්
වහන්සේ ය.
අස්සජී හිමියෝ ගෞතම බුදු සසුන ආරම්භයේදීම සඳහන් වන, සැඟවුණ චරිතයකි.
උන්වහන්සේ පිළිබඳ තොරතුරු පාලි සාහිත්‍යයේ දක්නට ලැබෙනුයේ, ඉතා අල්ප
වශයෙනි. අසූ මහා ශ්‍රාවකයන් අතරට අයත් උන්වහන්සේගේ අගතනතුරක් හෝ ලබා ගත
නොහැකි විය. නමුත් උන්වහන්සේගේ ධර්මාවවාදයෙන් සිය ජීවිතය සාර්ථක කරගත්
සැරියුත් මහතෙරණුවෝ ගෞතම බුදු සසුනේ ඉහළම තනතුරට පත් වූහ. උන්වහන්සේ
පිළිබඳ පාලි සාහිත්‍යයේ දැක්වෙන තොරතුරු ඉතා විශාල ය. ග්‍රන්ථ
ගණනාවකින්වත් සැරියුත් හිමියන් පිළිබඳ ලියා නිම කළ නොහැකි තොරතුරු හා
ගුණවර්ණනා පාලි සාහිත්‍යයේ විසිර පවතී.
මෙම ගුරු ගෝල දෙනමගේ චරිත තුළින්, උක්ත තරුව හා සූර්යයා සංකල්පය
ප්‍රායෝගිකත්වයට පැමිණ ඇති බව වටහා ගත හැකි ය. අස්සජි මහා රහතන් වහන්සේ
තරුවකි. ඒ තරුවේ ආලෝකය ලද අවවාද ලද සැරියුත් මහ රහතන් වහන්සේ, සූර්යයකු
බවට පත් වූහ. සූර්යයා මෙන් ලෝකයටම, සමස්ත ගෞතම බුද්ධ ශාසනයටම උන්වහන්සේ
ආලෝකයක් වූහ.
පිදුම් නොලබන ගුරවරු
ලොව ගුරු පූජාව, ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. ඒ
1. සුදුසු ගුරුවරු හා
2. නුසුදුසු ගුරුවරු යනුවෙනි.
සුදුසු ගුරුවරයා, වැටුප, මිල මුදල් ආදිය මත සිය වෘත්තිය පාවා
නොදෙන්නෙකි. ඔහු, නියමිත වේලාවට කලින් පාසලට යයි. නියමිත වේලාව පසු වූ
පසු සිසුන්ගේ නිසි රැකවරණ සලසා ගෙදර යයි. සිසුන්ට නිතරම ආදර්ශවත්ව
හැසිරෙයි. ඔහු නිතර පොත පත කියවන,නව දැනුමින් පිරිපුන් බහුශ්‍රැතයෙකි.
නව දැනුම සමඟ ඔහු පෙරට යෑමට ද දක්‍ෂය ය. කලට වේලාවට වැඩ කරන, පැවරෙන
ඕනෑම කාර්යයක් සැලසුම් සහගතව ඉටුකිරීමෙහි දක්‍ෂය.සිසු යහපත වෙනුවෙන්,
මුදල් නොබලා තම දැනුම අමතර කාලයන්හි ද ලබා දෙයි. තමා චරිතවත්ව,
ආදර්ශවත්ව සිසු ප්‍රජාවට පියකු මෙන් මවක මෙන් යහමඟ පෙන්වයි. ඔහු ඕනෑම
තැනක බබළන චරිතයකි. ඔහු සෑම තැනම ප්‍රජාවට අගැයුමට සුදුසු ශ්‍රේෂ්ඨ
ගුරුවරයෙකි. ගුරු දිනයේ දී අගයෙනුයේ, එබඳු උතුම් ගුරු පියවරු ය.
ගුරුමව්වරු ය.
නුසුදුසු ගුරුවරයා පාසල පටන්ගත් පසු පාසලට දිව එයි. පාසල නිමවීමට පෙර,
එයින් බැහැර වෙයි. මහජන මුදලින් ගන්නා වැටුපට ගැලපෙන දැනුම නිසි ලෙස
ලබා නොදෙන ඔහු අමතර (ටියුෂන්) පන්ති සාර්ථකව පවත්වයි.තම දැනුම මුදලටම
පමණක් ලබාදීමට උත්සාහ කරයි. අල්ප ශ්‍රැතයෙකි. නව දැනුම නොලබන්නෙකි.
පැරැණි සටහන් මතම යැපෙන්නෙකි. යල්පැනගිය අධ්‍යාපන ක්‍රමවේද භාවිත
කරන්නෙකි. දුරාචාරවත් ය. සිසු දරුවෝ, තම දරුවන් සේ නොදකින එබඳු
ගුරුවරයා සිසුන් අපචාරී ක්‍රියාවලට යොදා ගනියි. පාසලේ නිකරුණේ සිටීමට
කැමැත්ත ඇති කෙනෙකි. පන්තියට යන්නේ නියමිත වේලාවට පසුව ය. සෙසු ගුරුවර
ගුරුවරියන් හා නිතරම ඕපාදූප කථාවට ප්‍රධානත්වය දෙයි. සිසුන්ට ආදර්ශවත්
වනු තබා, තම ජීවිතයවත් සාර්ථක කර නොගත් අයෙකි. සිසුන්ට තාඩන පීඩන කරයි,
දඬවම් පමුණුවයි. මෙසේ, වෘත්තියට නිගා දෙන අසත් පුරුෂ, අශිෂ්ට ගුරුවරු,
නුසුදුසු ගුරුවරු වෙති. ඔවුහු කිසිදිනෙක සිසුන්ගේ ගෞරවාදරයට ලක්
නොවෙති. ගැරැහුමටම බඳුන් වෙති.
ගුරු ගුණ දත් සිසුවා
ගිහි කාලයේ ‘උපතිස්ස’ නම් වූ සාරි බැමිණියගේ පුත්‍රයා මුලදී සඤ්ජය’
නම් පිරිවැජියාගේ සිසුවකු විය. ‘සඤ්ජය’ නම් වේදපාරගත බ්‍රාහ්මණයා
(බ්‍රාහ්මණෝ සඤ්ජයො තාම තස්ස මූලේ වසාමහං) ළඟ බොහෝ කලක් හික්මුණු
උපතිස්ස බමුණු සිසුවා ඔහු හැර තම යහලුවා සමඟ යහමඟ සොයමින් ගියේ ය. එවිට
ඔහුට අස්සජි මහරහතන් වහන්සේ හමුවිය. අස්සජි හිමියෝ ඔහුට නියම ධර්ම
මාර්ගය පෙන්වූහ. එමෙන්ම උන්වහන්සේ ආදර්ශවත් චරිතයක් වූහ. තම දැනුම වහා
ලබා දුන්හ. සිසුවාට නියම මඟ පෙන්වීම සිදු කළහ. ඒ මඟ ගමන් ගත් උපතිස්ස
බමුණු තරුණයා, ගෞතම
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධර්ම ශ්‍රවණයෙන් රහත් බව ලැබ සසුනේ අග
තනතුරු ලැබීය. බුදු සසුනේ ‘පළමු ශ්‍රාවකයා’ දක්වාම ඉහළට ගමන් කළ ඒ
සැරියුත් මහ රහතන් වහන්සේ ගිහිව සිටිය දී තමාට මඟ පෙන්වූ ගුරුවරු
දෙදෙනාගෙන් වන්දනීයත්වයට, පූජනීයත්වයට තෝරාගත්තේ එක් ගුරුවරයකු පමණකි.
“යමහං පඨමං දිස්වා
විරජො විමලො අහුං
සො මෙ ආචරියො ධීරො
අස්සජී නාම සාවකො”
මම යම් කෙනකු මුලින්ම දැකීම නිසා, යහමඟ පෙන්වීම නිසා කෙලෙස් දූවිලි පිස
දැමූ නිර්මල ශ්‍රාවකයකු වූයේම් ද ඒ ධෛර්යවත් වූ ආදර්ශවත් වූ මාගේ
ගුරුවරයාණෝ නම් අස්සජී මහ රහතන් වහන්සේ ය.
“ තස්සාහං වාහසා අජ්ජං
ධම්ම සේනාපතී අහු
සම්බත්ථ පාරමිං පත්වා
විහරාමි අනාසවො”
උන්වහන්සේගේ බලයෙන්, මඟපෙන්වීමෙන් මම අද ධර්ම සේනාපති වෙමි. සියලු
ගුණයන්හි මෙන්ම සියලු ශ්‍රාවකයන් අතර ප්‍රධානත්වයට ද පරතෙරටද
පැමිණියෙමි. අනාශ්‍රවව වෙසෙමි. අද මා විඳින සියලු වරප්‍රසාදයන්හි
උරුමකරුවා නම් මාගේ ගුරුදේවයාණෝ ය. ගෞතම බුදුසසුනේ උසස් තනතුරු ලැබුණේ
උන්වහන්සේ නිසා ය.
“යො මෙ ආචරියො ආසි
අස්සජි නාම සාවකො
යස්සං දිසායං වසති
උස්සීසම්හි කරොමහං”
මගේ ආචාර්ය වූ අස්සජී නම් ශ්‍රාවකයන් වහන්සේ වෙසෙන දිසාවට හිස හරවා මම
සැමදා නිදන්නෙමි. එසේ මම සැමදිනම ගුරුන් පුදන්නෙමි. උදේ හවා උන්වහන්සේ
සිටින දෙසට මම ඇඳිලි බැඳ වඳින්නෙමි.
අපදාන පාළියේ එන සාරිපුත්‍රාවදානයේ, මෙසේ ප්‍රශස්ත වූ ගුරු පූජාවක්
පිළිබඳ ප්‍රශස්ත සිසුවකුගේ උදාර වූ ප්‍රකාශයක් දක්නට ලැබේ. ජනපද
චාරිකාවේ දී සැරියුත් මහ තෙරණුවෝ ප්‍රථමව අස්සජී මහ රහතුන්ට සෙනසුනක්
ලැබී දැයි සොයා බලා, පසුව තම සෙනසුනට යෑම සිරිතක් කරගත්හ.
මෙසේ සිය පිරිනිවන දක්වාම ඒ උතුම් සිසුවාණෝ, ඒ උතුම් ගුරුවරයාණන්ට ගුරු
පූජාව පැවැත්වූහ. මුල්ම ගුරුවරයා වූ සඤ්ජය පරිබ්‍රාජකයාට මේ ගෞරවය
නොදැක්වූයේ ඇයි යන්න, සිතා බැලිය යුතු කරුණකි. සිසුන්ගේ යාවජීව අගැයුමට
ලක්වන ගුරුවරයකු වීමට නම් ගුරු චර්යාව කෙසේ හසුරුවා ගත යුතු ද? කාරණයට
මේ සිදුවීම අගනා පිළිතුරකි.
මෙසේ සිය ප්‍රගතිය සඳහා මඟ පෙන්වූ ප්‍රශස්ත ගුරුවරයාට යාවජීව ගුරු
පූජාව සිදුකළ සැරියුත් මහ තෙරණුවෝ, අද පවා දෙවි මිනිසුන්ගේ පූජාවන්ට
ලක්වන ශ්‍රේෂ්ඨ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ය. සුදුසු ගුරුවරු නිසි ලෙස
පුදන සිසුවෝ ද සමාජයේ අගැයුමට, පූජාවට, ප්‍රශංසාවට ලක් වෙති.
මේ අනුව ලෝක ගුරු දිනය සමරන්නට සැරසෙන මේ මොහොතේ හැම ගුරුවරයෙක්ම තමන්
ශ්‍රේෂ්ඨ ගුරුවරයකු වීමෙන් පූජා ලැබීමට සුදුසු තත්ත්වයට පත්වීමටත්, හැම
සිසුවෙක්ම උතුම් ගුරුවරුන්ට නිසි පුද සැලකිලි කිරීමෙන් එබඳුම පුද
සැලකිලි වලට සුදුසු උතුම් සිසුන් බවට පත්වීමටත් සිතට ගත යුතු යි.
“සබෙබ භද්‍රානි පස්සනතු”
සැම දෙන යහපතම දකිත්වා! |