Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - තමන් නිසා බුදුරජාණන් වහන්සේට සිදු වූ අනාදරය දැක “එකතුව විසීමෙන් මෙබන්දක් වී යයි සලකා අද පටන් දිවි ඇති තෙක් මාගේ ශාසතෘන් වහන්සේ පිඬු සිඟා වඩිනා නුවරක මම පිඬු සිඟා නො හැසිරෙමි යි අවසර ගෙන එදවස්හි ම හිමාල වනයට ගොස් පර්වත ගුහාවෙක වසන සේක්. යම් දිනක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක් වී නම් මා එහි යන තුරු චිතකයෙහි ගිනි නොදැල්වේවා. මාගේ ලෙන දොර ඇති මේ වෘක්‍ෂයෙහි සියලු මල් පරවී යේවා” යි අධිෂ්ඨාන කොට එහිම වැඩ හුන්හ. මේ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද? උන් වහන්සේගේ ශාසනික මෙහෙවර හා ලැබූ තනතුරු පිළිබඳව විමසන්න.

පිළිතුර - මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධූතවාදී භික්‍ෂූන් අතරෙන් අග්‍රස්ථානය ලැබූහ. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වූ තැන ධර්ම සංගායනාවක් සංවිධානය කොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා ස්ථවිර වශයෙන් කටයුතු කළහ.

ප‍්‍රශ්නය - සැවැත් නුවර මහා ධනවත් කුලයක උපත ලද කුල පුත්‍රයෙක් දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැවිදි ව රහත් විය. පෙර භවයෙක කෝකිලයෙක් ව විපස්සී බුදුරජාණන් වහන්සේට මිහිරි අඹ ඵලයක් පිදූ පිනෙන් මිහිරි කට හඬ ඇති විය. ඒ නිසාම මෑත භාගයෙහි දී ගෞතම බුදුරදුන් වෙතින් මධුර ස්වර ඇති භික්‍ෂූන් අතරෙන් අග තනතුරු ලැබූහ. මෙම ශ්‍රාවකයාණන් වහන්සේ ගේ නම කුමක් ද?

පිළිතුර - භද්දිය මහ රහතන් වහන්සේ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කල එක්තරා සාමණේර නමක් සාර මසක් තුළ සතර පද ගාථාවක් වනපොත් කළ නොහැකි ව උපැවිදි වීමට සිතා විහාරයෙන් පිටත් ව යද්දී බුදුරජාණන් වහන්සේ හමුව සුදු රෙදි කඩක් මෙම සාමණේර නම අතට දී “රජෝහරණං රාජෝ භරණං” කියමින් භාවනා කරන ලෙස උපදෙස් ලැබ ඒ අනුව භාවනා කොට රහත් ඵලයට පත් විය. රහත් භාවය ලැබූ කල්හි උන්වහන්සේට මනෝමය කාය නිර්මාණ ශක්තිය ලැබුණේ ය. එමෙන්ම ත්‍රිපිටක ධර්මයද ෂඩ් අභිඤ්ඤාවන් ද අවබෝධ කොට ගත් සේක. මේ රහතන් වහන්සේ ගේ නාමය කුමක්ද? ලැබූ අග තනතුර කුමක්ද?

පිළිතුර - මනොමය කාය නිර්මාණය කරන්නා වූ භික්‍ෂූන් අතරෙන් අග්‍රස්ථානය හා රූපධ්‍යානලාභී භික්‍ෂූන් අතරෙන් ද අග තනතුරු ලැබූ මෙම මහ රහතන් වහන්සේ චුල්ලපන්ථක නම් විය.

ප‍්‍රශ්නය - බෝධි සත්වයන් වහන්සේ විසින් අවශ්‍යයෙන්ම බුද්ධත්වය සඳහා සම්පූර්ණ කළ යුතු ධර්ම බුද්ධ කාරක ධර්ම නමින් හැඳින්වෙයි. මේ සඳහා තවත් නමක් ධර්ම ග්‍රන්ථ වල එයි. ඒ නම කුමක්ද? බුද්ධ කාරක ධර්ම යනු මොනවාද?

පිළිතුර - දස පාරමී ධර්ම සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන සියලු ම බෝධි සත්වයන් විසින් පූරණය කළ යුතු (පාරං , එතෙර, ඊ ගමනපාරමි) පිළිවෙත් දසයක් වෙයි. එනම්, දාන, සීල නෙක්ඛම්ම, පඤ්ඤා, වීරිය ඛන්ති, සච්ච , අධිට්ඨාන, මෙත්තා, උපේක්‍ඛා

ප්‍රශ්නය - බුද්ධ ධර්මයෙහි සඳහන් වන පරිදි බෝ සත්වරු තුන් වර්ගයක් වෙති. පැහැදිලි කරන්න.

පිළිතුර - පඤ්ඤාධික, සද්ධාධික, වීර්යාධික, ප්‍රඥාව අධික බෝසත්වරුන් තුළ ශ්‍රද්ධාව අඩු ය. එහෙත් වීරිය වැඩිය. ශ්‍රද්ධාධික බෝසත්වරු ඌන වීර්යයද අධික ප්‍රඥාව ද ඇත්තෝ ය. වීර්යාධික බෝසත්වරු ප්‍රඥාව ඌනව ද ශ්‍රද්ධාව වැඩිපුර ද ඇත්තාහ.

ප්‍රශ්නය - සෝවාන් ඵලය ලබන විට ම ආර්ය ශ්‍රාවක තමන් සසරට බැඳ තබන සංයෝජන හෙවත් බන්ධන තුනක් සිඳ දමයි. ඒ මොනවා ද?

පිළිතුර - සංයෝජන තුනකි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස , සක්කාය දිට්ඨි, ස ති, කායො, දිට්ඨි, මෙහි කාය යන්නෙන් ස්කන්ධ පංචකය අදහස් කෙරේ. එනම්, රූප වේදනා සංඤ්ඤා , සංඛාර හා විඤ්ඤාණ යන පහයි. මෙම නාම හා රූප සංකීර්ණය පවතිද්දී නොවෙනස්වන ඒකකයක්, සදාකාලික ආත්මයක් පවතියි යන දෘෂ්ඨිය, සක්කාය දිට්ඨි නම් වේ.

විචිකිච්ඡා, සැකය මෙහි සැක වශයෙන් ගැනෙන්නේ බුද්ධ, ධම්ම, සංඝ, සික්ඛා අතීතය අතීතය හා අනාගතය පටිච්ච සමුප්පාදය යන කරුණු අට පිළිබඳ ව ඇතිවන විමතීන් ය. සීලබ්බත පරාමාස, සීලය මඟින් හෝ පුද පූජා මඟින් හෝ ඒ දෙකම මඟින් පාරිශුද්ධිය ලද හැකි බව මේ ධර්ම විනයට පරිබාහිර ව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීමකි.

ප‍්‍රශ්නය - කාම ලෝකයෙහි විපාක දෙන අකුසල කර්ම මොනවාද?

පිළිතුර - අකුසල විපාක ලබා දීමට සමත් අකුසල කර්ම දහයකි. කය, වචනය හා මනස යන තිදොරින් සිදු වෙයි. පාණාතිපාතය අදින්නාදානය හා කාම මිථ්‍යාචාරය කයින් සිදු වේ. මුසාවාදය, පිසුණාවාචය, ඵරුසාවාචය සම්පප්ප්‍රලාපය වචනයෙන් සිදුවන අතර සිතින් විෂමලෝභය (අභිජ්ඣාව) ව්‍යාපාදය හා වැරදි දැකීම (මිච්ඡාදිට්ඨි)

ප්‍රශ්නය -ව‍යාපාද අකුසල කර්ම විපාක ගෙන දීම සඳහා අවශ්‍ය හේතු කීයක් තිබේද? ව්‍යාපාද අකුසල කර්මයේ විපාකය කුමන ස්වරූපයක් ද?

පිළිතුර - කරුණ (හේතු) දෙකක් සම්පූර්ණ විය යුතු ය.

1. වෙනත් පුද්ගලයෙකු වීම

2. ඔහුට හිරිහැරයක් කරන්නට සිතීම, ව්‍යාපාද අකුසල කර්මයෙහි අනිවාර්ය විපාකය නම් විරූපී බව විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීම හා අපි‍්‍රයජනක වීම

ප්‍රශ්නය - ලක්දිවට බුදුදහම ගෙන ඒමෙන් පසුව ජලය හා එක්වුණු ප්‍රධාන ඇදහිලි හා චාරිත්‍ර ක්‍රම දෙකක් වූයේ ශ්‍රී මහා බෝධිය හා දන්ත ධාතූන් වහන්සේ මුල්කරගත් පූජා විධින් ය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කර එය ජලයෙන් නැහැවීම සඳහා ක්ෂත්‍රිය කන්‍යා කුමරියන් සතර දෙනෙක් ධර්මාශෝක රජු විසින් ම අනුරාධපුරයට එවන ලද්දේ සශ්‍රීකත්වය පිළිබඳ ව එකල පැවැති විශ්වාසය නිසා විය යුතු ය මූලාශ්‍රවලින් දැක්වෙන තොරතුරු ඇසුරෙන් මෙම චාරිත්‍ර සම්ප්‍රදාය පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර - රජ කෙනෙකු සතුව තිබූ ප්‍රධානත ම වගකීම වූයේ ජනයාගේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වැසි ජලය කලට සැපයීමය. එය සිදු වන්නේ රජුගේ ධාර්මිකත්වය මතය යන විශ්වාසය මිනිසුන් අතර විය. එසේ වැසි නොලැබී ගිය කල රජවරුන් සත්‍ය ක්‍රියා කිරීමට පවා පෙළඹුණේ එහෙයිනි. සිරිසඟබෝ රජතුමන් එවැනි අවස්ථාවක කළ සත්‍ය ක්‍රියාවක් ගැන වංස කථාවල විස්තර වෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේට කන්නලව් කිරීමෙන් හා පුද පූජා පැවැත්වීමෙන් අවශ්‍ය වර්ෂා ජලය ලබා ගැනීමට හැකි බව ජන විශ්වාසයයි. නියං කලට තිසා වැවෙන් පැන් ගෙන පෙරහරින් ගොස් බෝධීන් වහන්සේ නැහැවීම, වැසි ලබා ගැනීමේ එක් පිළිවෙතකි. දළදා වහන්සේට එවැනි බලයක් ඇතැයි විශ්වාස කළ ජනයා වාර්ෂිකව දන්ත ධාතූන් වහන්සේ පිටතට වැඩමවා පෙරහර පවත්වා ප්‍රදර්ශනය කිරීමෙන් වර්ෂාව බලාපොරොත්තු වූහ.

වැසි නොවසින කල පෙරහර කොට දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ සම්ප්‍රදාය අද දක්වාත් පවතින්නකි. සැදැහැවත් බෞද්ධ රජවරුන් බොහෝ දෙනෙකු මුළු මහත් ලක් තලයම ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා දන්ත ධාතූන් වහන්සේට පූජා කොට යමක් මේ පොළොවෙන් උපදී ද එය පළමුව බුදුරදුන්ට පූජා නොකොට පරිභෝජන නොකළ යුතු යැයි නීති පැනවූයේ ද එබැවිනි. මහ පොළොවෙන් උපදින දැයෙන් ත්‍රිවිධ රත්නය පූජා කිරීම සැදැහැවත් නරපතියන් ප‍්‍රමුඛ මේ රටේ දුගී දුප්පත් සියලු ජනයා පුරුදු වූ සද් චාරිත්‍රයෙකි. එය මහා පුණ්‍ය ක්‍රියාවක් සේ සැලකූ ඔවුහු ඒ හේතුවෙන් උසස් ජීවන පැවැත්මක් ලබා ගත හැකි බව විශ්වාස කළහ.

රට වැසියාගේ කුසගිනි නිවා ඔවුන් සතුටට පත් කර භික්‍ෂූන් වහන්සේ පෝෂණය කොට ධර්මය ආරක්‍ෂා කිරීමෙන් රජවරු ධාර්මික ජීවිතයක් ම ගත කළෝ ය.

විශේෂයෙන් ම කෘෂිකර්මය සඳහා අවශ්‍ය ජල පහසුකම් සැලසූ රජවරු බෝසතුන් මෙන් ම දෙවිවරුන් වශයෙන් ද සැලකූ සිංහල ගැමි විශ්වාසය අනුව ධර්මිෂ්ඨ රජතුමන් වූ කලි සියලු සතුන්ගේ දුක්ගිනි නිවා ඔවුන් ගේ මෙලොව පරලොව සුගතිය, සලසන මිනිස් වෙස්ගත් දෙවියෙකි.

නිසි කලට වැසි වසීවා! සශ්‍ය සම්පත් වැඩි වේවා රජු දැහැමි වේවා! මේ සියල්ලෙන් රටට සෞභාග්‍යය උදා වේවා යැයි උදේ සවස මහා සංඝයා වහන්සේ මෙත් වඩන්නේ එබැවිනි. ජලයේ ඇති බලයත් රජතුමාගේ ධාර්මික ජීවිතයත් අතර සම්බන්ධතාවය ගැන එවැනි බෞද්ධ සංකල්පයකින් කරුණු වටහා ගත හැකියි. මහසෙන් රජතුමා “මින්නේරි දෙවියන්” වශයෙන් සැලකුණේ ඒ හේතුවෙනි.

ජලය හා සිංහල බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර අතර ඇත්තේ දැඩි සම්බන්ධතාවයකි. සිංහල ගැමි ජීවිතයේ සංකේතාත්මක ඉටු කරන මෙහෙය සිත් ගන්නා සුළු ය.

අතපැන් වත් කිරීමෙන් සංකේතවත් වන්නේ අයිතිය ලබා දීම ය. මෙය දන්දීමෙහි දීත් විවාහයේත් සිදුවන චාරිත්‍රයකි. මළගිය අයට පින් පැමිණවීමෙහි දීත් පැන් වැඩීම යනුවෙන් සිදු වන්නේ එවැනි ම අදහසක් ක්‍රියාත්මක කිරීමකි. ලෙඩ දුක් නිවාරණය සඳහා යොදා ගන්නේ පිරිත් පැන් ය. සුබ නිමිති අතර ජලය වැදගත් වස්තුවකි. වතුර කලය සෞභාග්‍යයේ සංකේතයකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.