Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොතුපිටියේ වාලුකාරාම මහා විහාරය

සුදු කළු මිසදිටු පර දෙස්සනට නො ගැතිව දෙස බස රැස රක්නට, පුද බිම් ද, බෝ රුක් ද, මහ සඟ රුවන ද පමණක් නොව දේවාල ද දිවි දෙවැනි කොට රැක ගත් කලුතර පෙදෙසේ ග්‍රාම අතරින් වෙසෙස් තැනෙක වැජඹෙන සඳෙස් කතු නෙතු පිය දසුන් වූ පොතුපිටියේ පිහිටි වාලුකාරාම මහා විහාරය සිල් සුවඳ දම් සුවඳ හෙළ දිව පමණක් නොව විදෙස්හි පවා පතුරන පුණ්‍යස්ථානයකි.

සිංහලේ අවසන් රජ සමයේ දී පමණ, අද ද මේ පින් බිමේ දී දැක ගත හැකි ඓතිහාසික නා රුක මුල වූ කුඩා කුටියෙක ගණින්නාන්සේ නමක් වාසය කිරිමෙන් බිහිවූ බවක් ජන වහරේ එන මෙම විහාරස්ථානය අතීතයේ දී “දැව පිට වෙහෙර” නමින් ද “වැලි අරම” නමින් ද හැඳින්වී ඇති බවක් තතු දන්නෝ පවසති. වගයාකුලමේ තෙරුන් වහන්සේ නමින් හැඳින්වූ හිමි නමකගේ අනුශාසකත්වයෙන් මුළුමනින්ම දැවයෙන් තැනුන කුඩා පිළිම ගෙයක් මෙම පින් බිමෙහි වූ බව විහාර වංශ කථාවේ සඳහන් වුව ද දින වකවානු සොයා ගැනීම උගහටය.

සිරිලක බොහෝ නිකායික මහ තෙරුණගේ වාස භූමියක් ලෙස පැවතී ඇති මෙම පින් අරමේ මහා විහාර වංශික මඩදෙණියේ නා සමිඳුන් ගේ ශිෂ්‍ය නමක ලෙස ශ්‍රී. බු. වර්ෂ 2330 දී පමණ නිසි ලෙස සසුන් ගත වූ සුසෙව් හේවාගේ බන්ද්‍රිස් උපාසක තෙමේ වයස්ගතව අඹු - දරු, ගේ් දොර, වතු - පිටි අතැර මහණ වූ බවක් ද සඳහන් වේ.

වගයාකුලමේ තෙරුන් වහන්සේ මෙම විහාරස්ථානයේ වස් සමාදන්ව සිට අවසන පැවැත් වූ කඨින පින්කමේ දී මහ සඟරුවනට

ශ්‍රී ඤාණානන්ද ධර්ම ශාලාව

විහාරයේ ඉදිරි පෙනුම

බුදු මැදුරේ පැති පෙනුම

කඨින චීවරය සකසා ගැනීමට ඇවැසි දෙය ද ශාසන දාසයකු ද පමණක් නොව මහා භූ®මි ප්‍රමාණයක් ද පූජා කිරිමට තරම් මෙම විහාරස්ථ දායක කාරකාදීන් නො මසුරු වී ඇත.


විහාරාධිපති පොතුපිටියේ
චන්දානන්ද නා හිමි

වගයාකුලමේ තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය නමක වූ රතනපාල සාමණේර හිමියන් නිර්ලෝභී මෙ ගම ධනවතුනගේ සහ සියලු වැසියනගේ සහයෙන් කාමර තුනකින් යුත් ආවාස ගෙයක් ද, දාන ශාලාවක්ද ඉදිකර ඇති බව ද සඳහන් ය.

ශ්‍ර‍්‍රී බු. වර්ෂ 2368 දී පොල්වත්තේ ධම්මපාල, වැල්ලේබොඩ ඤාණානන්ද යන නමින් පැවිදි වූ කුල දරුවනට අමතරව කොරොස්දූවේ ගුණරතන, අග්ගසාර, සුමන යන හිමිවරු ද මෙම වෙහෙර බබුලුවාලීමට නො ම¼ඳ වෙහෙසක් ගෙන ඇත. උන්වහන්සේලා එවකට නාගහවල (වත්මන් ;කාරොස් දුව) උදකුක්ඛෙප සීමාවේ දී උපසපන් වී ඇති අතර, ඉන් එක් හිමි නමක වූ බටුවන්තුඩාවේ ප¼ඩිඳුන්ගෙන් ද සතර උගත් ඤාණානන්ද හිමියෝ වගයාකුලමේ සමිඳුන් සමග සතර කෝරළයේ තල්ගස්පිටිය නම් ග්‍රාමයක වස් වසමින් එම පෙදෙසේ ආගමික දියුණුව වෙනුවෙන් මෙහෙ කැර ඇති බවක් ද වංශ කථාවේ සඳහන් වේ.

පැරණි දැව පිට පිළිම ගෙය ජරාවාස වනු දුටු රතනපාල යතිවරයාණෝ දායක කාරකාදීන් මෙහෙයවා නව පිළිම ගෙයක් තනවා බුදුරදුන් පිරිවරා ගත් අග සවු දෙනම ද තවත් පිළිම වහන්සේ 24 ක් ද එහි වඩා හිඳුවාලීමට ක්‍රියා කර ඇති බවක් ද එම විහාර මන්දිරය දුටු දන පොබයන අයුරින් හෙළ කලා ශිල්පීන් ගේ දස්කම් විස්කම් පසක් කැරමින් අගනා පිළිම, ජාතක කථා වස්තූ®න්, බුද්ධ චරිතයේ වෙසෙස් සිදුවීම් ඇඹීමෙන් ද, සිතුවම් කිරීමෙන් ද යුතුව දෙවැනි ප්‍රතිසංස්කරණයක් ශ්‍රී බු. ව. 2501 දී කර ඇති බව එම විහාර මන්දිරයේ ම සඳහන් කර ඇත.

ශ. ක. වර්ෂ 1851 ඉදිකර ඇති විහාරස්ථානයට ඇතුල්වන දර්ශණීය වූ දැවැන්ත තොරණ ද ශ්‍රී බු. වර්ෂ 2477 දී ඉදි කළ බව සඳහන්, දළදා මැදුර සිහි ගන්වන ශ්‍රී ඤාණානන්ද ධර්ම ශාලාව, එ තුළ ඇති මුළුමනින්ම දැවයෙන් කැටයම් කළ ධර්ම මණ්ඩපය ද සිහසුනක් වන් දම් අසුන ද වාලුකාරාම මහා විහාරයේ අබිමන කියන සාධක අතර වේ.

මෙම මහා වෙහෙරෙහි විහාරාධිපතීන් වහන්සේලා අපමණයහ. ඉන් පොතුපිටියේ ඤාණානන්ද නා හිමි, අනුනායක ශ්‍රී ධම්මානන්ද, සංඝානන්ද, ගුණානන්ද, මේධානන්ද විදෙස්හි පවා පතළ ධර්ම කථික අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති මොල්ලිගොඩ සුමනානන්ද, විචිත්‍ර භාණක ආනන්ද, වත්මන් විහාරාධිපති කම්මට්ඨානාචාර්ය අභිනව කළුතර දිසාවේ මහා සංඝ නායක පොතුපිටියේ චන්දානන්ද නා හිමිවරු වාලුකාරාම මහා විහාරයට හා පෙදෙසට පමණක් නොව රටට ද කර ඇති කරන මෙහෙවර මැනිය නො හැක.

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අංකුරයක් ලෙස ගැනෙන එවන් අයුරින්ම නො වැඩෙන බෝධීන් වහන්සේ ද, නව කොතකින් සැරසීමට බැතිමත් දන සැරසෙන පැරණි චෛත්‍යරාජයාණන් වහන්සේ ද ඇතුළු වාලුකාරාමය ද පෙදෙස ද තව තවත් නගා සිටුවීමට විහාරාධිපති අභිනව කළුතර දිසාවේ නා සමිඳුනට මුළුමණින් ම ඇප - කැප වී මෙහෙවර කරන මොල්ලිගොඩ සුගතානන්ද ලේඛකාධිකාරී හිමියන්ද පැසසුම් කටයුතුය.

වාලුකාරාම මහා විහාරයේ වංශ කථාව ඉතා දිගුය. බුදුසරණ ධර්ම භාණ්ඩාගාරයේ තැන්පත් කිරීම පිණිස එය ලගු කළේ අසීරුවෙනි. කොළඹ මෝදර ශ්‍රී බෝධිරාජාරාමය, මොල්ලිගොඩ සුමනාරාමය, කොළබද පුෂ්පාරාමය (අතීතයේ දී පූජාරාමය ද අයත්ව තිබූ බවක් කියැවේ) යන විහාරස්ථානයන්හි අධිපති ලෙස ද කළුතර දිසාවේ අභිනව නා සමිඳුන් ලෙස ද මහත් වූ වගකීමක් දරමින් අවිවේකී බව නොසලකා ලේඛකාධිකාරී හිමියන් සමග මට වංශ කථාවේ තතු හෙළිකර දුන් විහාරාධිපති නා සමිඳුන් ද 6 වැනි පැරකුම් රජ සමයේ සිට පැවත එන ශ්‍රී අල්ලිය දේවාලයේ භාරකාර සැමී සිරිසේන, දායක ජයන්ත විජේසේන යන මහතුන් ද රමණී පියසේන ගුරු මාතාව ද බැතියෙන් සිහි කළ යුතුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.