Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අන්‍ය ආගම් පිළිබඳ බෞද්ධ ආකල්පය

බුදු සමය පහළ වන සමාජයේ සමයවාද රැසක් පැවති බව පැහැදිලි ය. බුදු සමය පහළවීම ද එම ආගමික වාතාවරණය බෙහෙවින් උපස්ථම්භක වූ බවට කිසිම සැකයක් නැත. චිරාගත සම්ප‍්‍රදායට ප‍්‍රතිවිරුද්ධ අදහස් වෛදික සම්ප‍්‍රදාය තුළම ඇති වෙමින් පැවතුණ බවට සාධක ඇත. මුල් වේද ග‍්‍රන්ථවල එන විමුක්ති මාර්ගය පිළිබඳ සැක පහළකරමින් ඇතැම් මුනිවරු ප‍්‍රකාශ කළ අදහස් ආරණ්‍යක ග‍්‍රන්ථවල ඉතා පැහැදිලිව දක්නට ලැබේ.

වෛදික විමුක්ති මාර්ගය වන යාඥා වෙනුවට උපනිෂද් යුගයේ ඤාණයට මුල් තැන ලැබිණි. එම ඤාණය කෙරෙහි විශ්වාසය තැබු සමයවාද රාශියකි. ඉන් එකක් ලෙස බුදු සමය දැක්විය හැකිය. මෙමගින් පෙනී යන්නේ බුදු සමය හුදකලාව ඇති වූවක් නොවන බවයි. එය සහෝදර අනික් සමය රාශියක් සමග එකට වැඩුණු ඉගැන්වීම් ක‍්‍රමයකි. අනෙක් සමයයන්ගේ බලපෑම නොමඳව ඒ කෙරෙහි දක්නට ලැබුණු බව අප විසින් අමතක නොකළ යුතුය.

එකල පැවති සමයවාද තුළ විඤ්ඤාණවාදී අදහස් ද, භෞතිකවාදී අදහස් ද දක්නට ලැබිණි. එකල පැවති සියලු ඉන්දියානු ආගම් තුළ දක්නට ලැබෙන ආගමික සහනශීලීතාව ඇති වූයේ, වෛදික සම්ප‍්‍රදාය තුළින් බව පැහැදිලි ය. විඤ්ඤාණ වාදය - ලෝකෝත්තර දෙසට ද, භෞතික වාදය - ලෞකිකය දෙසට ද යොමු වූ බව කරුණු අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනේ. ඉන්දියානු භෞතිකවාදී ආගම් සියල්ලටම මූලය ලෙස සලකන්නේ වේදය යි. ඤාණ ප‍්‍රභවය, වේදය පිළිගත්තේ ඒ නිසයි.

කල් යත්ම වේදයේ ප‍්‍රභූත්වය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරමින් සමයවාද රාශියක් ඉන්දියාවේ බිහි විය. ශ‍්‍රමණ සම්ප‍්‍රදාය මේ අලුත් අදහස් අනුව බිහි විය. ශ‍්‍රමණ - බ‍්‍රාහ්මණයන් වශයෙන් ඒ පිරිස හැඳින්විණි.

කි‍්‍ර. පූ. 06 වන සියවසේ බුදු සමය ඉන්දියාවේ පහළ විය. කර්ම හා කර්ම විපාක පිළිගැනීම, සදාචාරාත්මක ජීවිතය නැවත අගය කිරීම, නැවත උත්පත්තිය පිළිගැනීම, විමුක්ති සාධනය විෂයෙහි මානසික සංවර්ධනය ප‍්‍රබලම සහ එකම සාධකය ලෙස සහනශීලී පිළිගැනීම බුදු සමයේ එන වැදගත් ඉගැන්වීම් ලෙස සැලකෙයි. වෛදික ස්ත්‍රෝත‍්‍ර නිර්මාණය කළ අට්ඨක, වාමදේව ආදී ඍෂිවරුන් බුදුරජාණන් වහන්සේගේ පැසසුමට ලක් වී ඇත. පෙර විසූ ආචාර්යවරුන් කීප දෙනෙක් පිළිබඳ කෙරෙන වර්ණනාවෙන් ඒ බව පැහැදිලි වේ. සදාචාරසම්පන්න ජීවිතයක් ගත කළ මුනිවරු ලෙස ද ඒ අය හැඳින්විණි. බෝධිසත්වයන් වහන්සේට ද සත්‍ය ගවේෂණයේ දී ආලාරකාලාම, උද්දකරාම වැනි ආචාර්යවරු වැදගත් විය.

බුද්ධත්වයෙන් පසුව ඒ දෙදෙනා පිළිබඳ සළකා ඇත්තේ නුවණ මුහුකුරා ගිය තැනැත්තන් ලෙස ය. එසේම අනෙකුත් ශාස්තෘන් අතර බුදුරජාණන් වහන්සේ කවර තැනක සිටින්නේදැයි තේරුම් ගැනීමට උපකාර වන සූත‍්‍රය, ම. නිකායේ සංගරාව සූත‍්‍රයයි.

ප‍්‍රභවය, පැවැත්ම, අන්‍යොන්‍ය සම්බන්ධය ආදී කරුණු සලකා බලන විට බුදු සමය හා සමකාලීන අනෙක් සමයවාද අතර ගැටුමක් ඇතිවීමට අවකාශ නොමැත. ඇත්තටම බුදු සමය කි‍්‍රයාත්මක වූයේ එවැනි සහනශීලී ක‍්‍රමයකටය. මේ බව අනෙක් සමකාලීන ශාස්තෘවරුන් විෂයෙහි බුදුරජාණන් වහන්සේ දැක්වු ආකල්ප වලින් එය මනාව පැහැදිලි වෙයි. සමහර ශාස්තෘවරුන් ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කොට ඇත. විනය පිටකයේ සිංහ සේනාපති පිළිබඳ පුවතත්, ම. නිකායේ උපාලි ගෘහපතියා පිළිබඳ පුවතත් ඊට උදාහරණ වෙයි. එම දෙදෙනාම ජෛන මහාවීරගේ අනුගාමිකයන් ය. එම දෙදෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමට පත්විය.

එහි දී උන්වහන්සේ කියා සිටියේ තමන්ගේ මුල් ශාස්තෘවරයා වන නිගණ්ඨනාථ පුත්තයන්ට කළ ගෞරව සත්කාර නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ දෙපළ බැඳී සිටින බවයි. එවැනි උතුම් අදහසක් ඇති වන්නේ එවැනි උත්තරීතර ශාස්තෘවරයකුටය. එම දෙදෙනා බුදුරජාණන් වහන්සේට සියලු සත්කාර සම්මාන ගෞරව කිරීමට ඉදිරිපත් වූ අවස්ථාවක දී කලින් ශාස්තෘවරයාට ද සුපුරුදු අයුරින් සැළකීමට ඔවුන් පෙළඹවූහ. මෙවැනි කරුණු ති‍්‍රපිටකයේ තවත් දක්වා ඇත.

බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන සමහර බමුණෝ විටෙක බුදු සමය පිළිගනිති. තවත් විටෙක බුදුන් වහන්සේ සමග එකඟ වී බමුණු මතය ම පිළිගනිති. ඇතැම් මහණ බමුන් බුදුන් වෙත එළඹ වාද විවාදයෙහි පැටලී උන්වහන්සේට නිග‍්‍රහ කරති. මේ සෑම දෙනා කෙරෙහිම උන්වහන්සේ අනුගමනය කරන්නේ් මැදිහත් පිළිවෙතකි. ඇතැම් අය තමන්ගේ අරමට උන්වහන්සේ එතැයි බලාපොරොත්තුවෙන් සිටි බව ම. නිකායේ චූල සකුඑදායි සූත‍්‍රයෙන් පැහැදිලි වෙයි. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වච්ඡගොත්තයන්ගේ ආරාමයට ගිය බව සඳහන් වෙයි. මම ඔබ වහන්සේ බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඒ සඳහා අසුන් පනවා ඇත. ස්වාමීනි, අසුනේ හිඳගනු මැනවැයි වච්ඡගොත්තයන් බුදුුරජාණන් වහන්සේට ආරාධනා කරති. මේ උන්වහන්සේ ප‍්‍රාදේශීය සුළු ආගමික නායකයන් අතර පැවැති සුහද පිළිගැනීමයි.

නිගන්ඨනාථ පුත්තගේ සව්වන් වෙත උන්වහන්සේ එළඹ කළ සාකච්ඡාවලදී පූර්වකෘත අකුසල කර්ම ක්ෂය කිරීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැක්වූ අදහස්වලට ඔව්හු එකඟ වෙති. නිගන්ඨනාථ පුත්තගේ අභාවය පිිළිබඳ වුවද උන්වහන්සේ තුළ සතුටක් නොවීය. ෂඩ් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම පිළිබඳව නොයෙක් විවේචන උන්වහන්සේට තිබුණ ද ඔවුන් පිළිබඳ නිහඬව සිටීමට වග බලාගත්හ.

මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ‍්‍රාවකයා වන සුභද්‍ර උන්වහන්සේට මෙසේ ප‍්‍රකාශ කරයි. ෂඩ් ශාස්තෘවරු එකිනෙකට පටහැනි අදහස් ප‍්‍රකාශ කරති. එහෙයින් කවරක් පිළිගත යුතුද? එහි දී උන්වහන්සේ ප‍්‍රකාශ කළේ එය එසේ තිබේවා. මම තොපට ධර්මය දේශනා කරමි. එය ඔබ අසන්න යනුවෙනි. එසේම අජාසත් රජු ෂඩ් ශාස්තෘවරුන් පිළිබඳව විස්තරයක යෙදෙයි. තමා අඹ ගැන අසන විට ඔවුන් දෙල් ගැන කතා කරතියි අජාසත් රජු බුදුරදුන්ට ප‍්‍රකාශ කර සිටියි. බුදු හිමියෝ ඒ පිළිබඳ නිහඬ භාවයක් දක්වා ලෝකයේ යථා ස්වභාවය පිළිබඳ රජුට පැහැදිලි කරති. එසේ කළේ නිවන් ප‍්‍රත්‍යක්ෂයට හේතු නොවන නිසයි.

ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට නිසි ලෙස සැලකිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඔහු වසලයකු බවත්, උන්වහන්සේ වසල සූත‍්‍රයේ දී පැහැදිලි කළහ. තම ආගමට තමා යම් පමණකට සලකයි ද ඔබ අන් ආගම්වලට ද එසේ ගරු කරන්න. අන් ආගම්වලට ගරු නොකරන්නා තම ආගමට ද ගරු නොකරයි යන්න බුදු සමය පෙන්වා දෙයි. ම. නිකායේ නිවාප, සන්ධක සූත‍්‍රවල ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් වර්ග හතරක් ඉදිරිපත් කොට ඇත.

1. පස්කම් සැප විඳිමින්, ඒවායේ මුලාව පමාවී සිටින අය.
2. සුළු කාලයකට පස්කම් සැප අතහැර පසුව ඒවායේ වසඟයට පැමිණෙන අය.
3. පස්කම් සැපයෙන් ප‍්‍රතික්ෂේප කොට යැපීම සඳහා පමණක් ආහාර ගන්නා එසේ වුවද සිතේ වැරැදි අදහස් පහළ වන අයයි.
4. පස්කම් සැප සම්පූර්ණයෙන් මිදී, විමුක්ති මාර්ගයට පිවිස ක‍්‍රමයෙන් සත්‍ය ගවේෂණ කරන අයයි.

සන්ධක සූත‍්‍රයට අනුව සමකාලීන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් කොටස් 02 කට බෙදා ඇත. එක් කොටසක් අබ‍්‍රහ්මචරිය වශයෙනුත්, තවත් කොටසක් බ‍්‍රහ්මචරිය වශයෙනුත් දක්වා ඇත. සිද්ධාර්ථ තාපසයන්, ආලාරකාලාම, උද්දකාරාමපුත්ත සමීපයෙහි බඹසර හැසිරීම බ‍්‍රහ්මචරිය යනුවෙන් එය දක්වා ඇත. එමෙන්ම අර්ථවත් ජීවිතයට උපදෙස් නොදෙන බොරු ආගම් අබ‍්‍රහ්මචරිය ගණයට වැටේ. එම ආගම් වලින් දෙන උපදෙස් පිළිබඳව විමසා බලමු.

1. පරලොවක් නැතැයි පවසන අය.
2. කර්මඵල ගැන විශ්වාසයක් නැති අය.
3. සියල්ල ඉබේ සිදුවන බව පවසන අය
4. නියති වාදයක් ගැන කථා කරන අය.

මෙම අය ගැන දැන ගැනීම සඳහා පහත සඳහන් කරුණු වෙත ද අවධානය යොමු කළ යුතුව ඇත.

1. සියල්ල දන්නා බව පවසන ශාස්තෘන් සිටින ආගම්
2. අනු ශ‍්‍රවයට අනුරූප ආගම්
3. තර්කානුසාරීව හටගත් ආගම්
4. වික්ෂේපවාදී ආගම්

පළමු කරුණ සියල්ල දන්නා බව පැවසුවත්, ඒ අනුව නොහැසිරෙන බැවින් සියල්ල දන්නා බව පිළිබඳව සැක ඇතිවීම, පළමු කරුණින් පෙන්නුම් කරයි. දෙවන කරුණ ශ‍්‍රැතියට හිමි වෙයි. එය මනාව ඇසූ එකක් මෙන්ම මනාව නොඇසූ එකක් ද විය හැකිය. තුන්වැනි කරුණ ගැන පැවසීමේ දී තර්කය හරියට මෙන්ම වැරදියට කළ හැකිය. සතර වැනි කරුණ සත්‍ය යැයි ගත හැකි අදහසක් ප‍්‍රතික්ෂේප විය හැක.

සන්ධක සූත‍්‍රයට අනුව බුද්ධ කාලයේ තිබුණු සියලු සමයන් එක්කෝ අබ‍්‍රහ්මචරිය වාසයට හෝ බ‍්‍රහ්මචරිය වාසයට ඇතුළත් වෙයි. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සියලු ආශ‍්‍රව දුරු කිරීමටය. ඒ නිසා ඛීණාශ‍්‍රවයන් දැකිය හැකි වන්නේ බුදු සමය තුළ පමණි. නිවාප ආදී සූත‍්‍රවලට අනුව සත්‍ය දැකිය හැක්කේ බුදුසමය තුළ පමණි. එම නිසා බුදු සමයට වෙනත් ආගම් මඟින් අභියෝග කළ නොහැකි බව පෙනී යයි. බුදු සමය ලෝකයේ පහළ වන්නේ සත්‍ය කියා දීමටය.

සූත‍්‍ර නිපාතයේ නන්ද සූත‍්‍රයට අනුව විමුක්තිය සාක්ෂාත් කළ හැක්කේ බෞද්ධ මාර්ගයෙන් පමණි. තණ්හාව පිරිසිඳ දැක ආශ‍්‍රව දුරු කරන්නේ බුදුරජාණන් වහන්සේ සහ ශ‍්‍රාවකයන් පමණි. සත්‍ය දැකීමට බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් විය යුතුය. එසේ නොවන අන් අය පංචකාමයන්ට ගොදුරුව මාරයාගේ වසඟයට පැමිණෙත්. බුදු සසුනෙහි අන්‍ය තීර්ථකයන් මහණ කිරීමේ දී ඔවුන්ට සිව් මසකට පරිවාසයක් දිය යුතු බව මහා පරිනිබ්බාන සූත‍්‍රයේ සඳහන් වේ. ඔවුන්ට මෙතෙක් අනුගමනය කළ විශ්වාස මාර්ගය සම්පූර්ණයෙන්ම අතහැර බෞද්ධ මාර්ගයට හුරුවීමට කාලයක් අවශ්‍ය බව මින් ගම්‍ය වේ. මෙම පරිවාසයෙන් නිදහස් වූ අන්තිම ශ‍්‍රාවකයා සුභද්‍ර විය. වෛදික උපනිෂද් සම්ප‍්‍රදායන්ට අයත් කෙනෙකුට බුදු සසුනෙහි පැහැදුණු විගස මහණවීමට අවකාශය තිබිණි. උපනිෂද් සමයයන්ට බුදු සසුනෙහි දැක්වූ විශේෂ අනුකූ®ලතාවය මින් පැහැදිලි වෙයි. අනගාරිකව පැවිදිවීම සමකාලීන බොහෝ ආගම් දර්ශන පිළිගෙන තිබිණි. පැවිදි බව එකකි. උන්වහන්සේගේ සත්‍ය ධර්මයට පැමිණ වාසය කිරීම එකකි. අන් ආගම්වලත් පැවිද්ද ඇති නිසා පැවිදිවීම සහ බුදු සසුනට පිවිසීම දෙකක් බව සූත‍්‍ර දේශනාවන් අනුව පැහැදිලි වේ. යථාභුත ඤාණයට පිවිස ආසවක්ඛඤාණයට පැමිණිය හැකිය. මෙම තත්ත්වය ලැබිය හැක්කේ බුද්ධ ශ‍්‍රාවකයකුට පමණක් බව බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් ඉතා පැහැදිලිවම කිව හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.